සමා­ජ­යට සෙත සදන ශ්‍රී ලංකා පවුල් සංවි­ධාන සංග­මය | සිළුමිණ

සමා­ජ­යට සෙත සදන ශ්‍රී ලංකා පවුල් සංවි­ධාන සංග­මය

 

පුරා වසර 60 ට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය අපේ රට තුළ ප්‍රජනක සෞඛ්‍යය හා පවුල් සැලසුම පිළිබඳ තොරතුරු හා සේවාවන් ලබාදෙන ආයතන අතර පෙරමුණේ සිටීමට සමත්ව සිටී.

ලෝකය පුරාම පවුල් සංවිධානය ගැන උනන්දුවක් ඇති වුණේ 1953 මුල් අවධියේය‍. ඊට හේතුව එම යුගයේ ඉන්දියාව හා අනෙකුත් රටවල මාතෘ මරණ සංඛ්‍යාව වැඩිවීමයි. ඒ වනවිට උපත් පාලනය සඳහා විධිමත් ආයතන ලෝකයේ නොතිබුණි. ඒ වනවිටත් විවිධ ස්වේච්ඡා සංවිධාන ලෝකයේ පැවැති අතර, පවුල් සැලසුම් සංවිධානය ලාභ නොලබන ආයතනයක් ලෙස ස්වේච්ඡාවෙන් කටයුතු කරමින් තිබුණි. 1963 වසර වන තුරුම, නොයෙකුත් සේවාවන් පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් සමාජ සේවාවේ නිරත විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවු. 16 – 18 වයස් ඛාණ්ඩවල මාතෘ මරණ අඩු කිරීමට හැකි විය. ඉන්පසු පවුල් සැලසුම මාතෘ හා ධාරක ව්‍යාපෘතිය රජයේ ප්‍රතිපත්තියක් ලෙස සකසා ජනතාව අතර දියත් කළේය. ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ මාතෘ මරණ ප්‍රමාණය අඩු වූ අතර බිලිඳු උපත් ලක්ෂයකට බිලිඳු මරණ 30 දක්වා අඩු විය.

අද වනවිට මෙම සංවිධානය රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා නිරන්තර ගැබිනියන් හා කිරිදෙන මවුවරුන් පිළිබඳ සොයා බලයි. එසේම කාන්තාවන්ගේ ලිංගික පද්ධතියේ පිළිකා ඇතුළු අනෙකුත් සංකූලතා සඳහා ප්‍රතිකාර ලබාදෙයි. ප්‍රජනක සෞඛ්‍යය, මාතෘ සායන, ගැබ් ගැනීම් ආදිය සඳහා අගනුවර හා දිවයින පුරා සේවය සපයයි.

පවුල් සෞඛ්‍ය සංවිධානය මඟින් ලිංගිකව සම්ප්‍රේෂණය වන එච්. අයි. වී., සිපිලිස්, ගොනෝරියාවලට පරීක්ෂණ හා උපදේශන සපයන රජයේ පාර්ශ්වකරුවෙක් ලෙසට රජයේ ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාකරයි.

මෑත කාලයේ පාසල් අධ්‍යාපනය අහවරවූ ළමුන්ගේ අධ්‍යාපනය පුළුල් කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් හිංසනය තුරන් කිරීමට සහ මානව හිමිකමක් සේ සැලකෙන ප්‍රජනක සෞඛ්‍යය ප්‍රතිකාර නිතරම පුළුල් කිරීම ආදී සේවා රැසක් ඉටු කරයි.

මේ සම්බන්ධයෙන් පවුල් සැලසුම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා තුෂාරා රණසිංහ පවසන්නේ “පවුල් සැලසුම් සංගමය හා අනුබද්ධිතව ලංකාව පුරා වෛද්‍යවරු, කාර්යාල සේවකයන් ඇතුළු 135 දෙනෙක් සේවය කරනවා‍. දිවයින පු‍රා සායනවල ඉන්නේ රජයේ වෛද්‍යවරුයි. කොළඹ 07, බුලර්ස් පටුමගේ ප්‍රධාන කාර්යාලයේ තියන සායනවලට සතියේ දින පහේම වෛද්‍යවරුන්ගේ සේවය නොමිලේ සැපයෙනවා. එසේම වි‍ෙශ්ෂඥ වෛද්‍යවරුන‍්ගේ සේවය ද මෙයින් ලබාගත හැකි ය. ලිංගික ගැටලුවලට දින 5 ම සායන පැවැත්වේ.

සඳුදා, බදාදා, සිකුරාදා දිනවල සායනයන් සඳහා දුරකතන සේවා මඟින් උපදේශන සේවා ලබාගත හැකි ය. අප රජය සමඟ සහයෝගයෙන් දශක හතක කාලයක් පමණ කටයුතු කරලා තියනවා.

තරුණ පරපුර මුහුණපාන ලිංගික ගැටලුවලට අවශ්‍ය විසඳුම් තොරතුරු තාක්ෂණය හරහා ලබාදෙනවා. මඳ සරුභාවය සඳහාත් අපි ප්‍රතිකාර ලබාදෙනවා. පවුල් සංවිධානයෙන් කෙරෙන්නේ පවුල සීමාකිරීම නෙමෙයි. හැමෝටම අවශ්‍ය වෙලාවට දරු සම්පතක් ලබාගැනීමයි. මඳ සරුභාවය ඇති ඕනෑම යුවළකට පිළිසිඳ ගැනීම ප්‍රමාද නම් සේවය ලබාගැනීමට හැකියි. විවාහ වෙලා වසර 13, 14 ගිහින් මෙහි ප්‍රතිකාර මත දරුවන් ලැබුණු දෙමාපියන් දරුවන් වඩාගෙන ඇවිත් අපිට පෙන්නලා යනවා‍. ඇත්තටම ඒක අපිටත් සතුටක්.

පවුලේ සෞඛ්‍ය සම්පන්නභාවය සඳහා පවුල් සැලසුම වැදගත් සාධකයකි. විශේෂයෙන් ම මවගේ හා දරුවන්ගේ නිරෝගී ජීවිත සඳහා මෙය වැඩි බලපෑමක් සිදුකරයි. ඊට අමතරව, දරුවන්ගේ වර්ධනය සිදුවන විට ගැබ් ගැනීම වළක්වා ගැනීම, අඩු වයස් ගැබ් ගැනීම්වලින් ආරක්ෂාවීම සඳහා ද පවුල් සැලසුම් උපක්‍රම වැදගත් වේ.

පවුල් සැල­සුම් සංවි­ධා­නයේ විධා­යක අධ්‍ය­ක්ෂිකා 
තුෂාරා රණ­සිංහ

අලුත උපන් දරුවන් හා වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව අවම කරගත හැකිවීම, දරුවන් අතර සුදුසු පරතරයක් තබාගැනීම සමඟ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් වර්ධනය කරගත හැකිවීම දරුවාට ලැබෙන ප්‍රතිලාභ වේ.

පවුල් සැලසුමෙන් ලැබෙන සමාජයීය ප්‍රතිලාභ අතර පවුලේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගත හැකිවීම, පවුලට අවශ්‍ය ආහාර හා වෙනත් ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් හිමිවීම, වගකිවයුතු හා ආරක්ෂිත ලිංගික හැසිරීම් සඳහා උනන්දු කරවීම, නිවසේදීත් නිවසින් බැහැරවත් දරුවන් සමඟ ගතකිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන්කර ගත හැකිවීම, සැලසුම් නොකළ නැතිනම් බලාපොරොත්තු නොවූ මොහොතක ලිංගික එක්වීමක් නිසා ඇතිවූ ගැබ් ගැනීමක් අනපේක්ෂිත ගැබ් ගැනීමක් ලෙස දැක්විය හැකි ය. සමීක්ෂණ මඟින් වාර්තා වන ආකාරයට වාර්තාගත ගැබ් ගැනීම්වලින් 33% සැලසුම් නොකළ ගැබ් ගැනීම් වේ. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය කරුණු පිළිබඳ නිවැරැදි දැනුමක් නොතිබීම, පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා නොකිරීම, පවුල් සැලසුම් ක්‍රමයක අසාර්ථකත්වය, ලිංගික අපචාරයකට හෝ දූෂණයට ලක්වීම, ඊට හේතු ලෙස දැක්විය හැකි ය.

මෙවැනි සැලසුම් නොකළ ගැබ් ගැනීමක් නිසා ඇතිවිය හැකි ප්‍රතිඵල වන්නේ දරු ප්‍රසූතිය දක්වා පවත්වාගෙන යාමට තීරණය කිරීම, ගැබ් ගත් මව නැතහොත් එම යුවළ නිත්‍යානුකූල නොවන ගබ්සාවක් සිදුකර ගැනීමට තීරණය කිරීම, බිලිඳු ඝාතන, දෙමවුපියන් විසින් දරුවා නොසලකා හැරීම, මවගේ සෞඛ්‍ය තත්ත්ව නිසා සිදුවන බලපෑම් උපදින දරුවා වෙනත් කෙනෙකුට භාරදීම, සිය දිවි හානිකර ගැනීම ආදියයි.

පවුල් සෞඛ්‍ය සංවිධානයේ 2009 වසරේ මුද්‍රිත පොත්වලට අනුව ශ්‍රී ලංකාවේ දිනකට නීත්‍යානුකූල නොවන ගබ්සාවන් 550 – 750 සිදුවන බව ගණන් බලා ඇත. ඒ අනුව සෑම උපදින දරුවන් තිදෙනෙකුට කළලයක් දෙකක් ගබ්සාවේ. මෙවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ නිවැරැදි දැනුමක් ලබාගැනීම මෙන් ම පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීම වැදගත්වේ.‍

එසේම පවුල්වල හා සමාජයේ සිදුවන කායික හිංසනය, ලිංගික හිංසනය, මානසික හිංසනය හා ආර්ථික හිංසනයට, ලක්වූවන් සඳහා පවුල් සෞඛ්‍ය සංවිධානයේ (FPa) ආලෝකය උපදේශන මධ්‍යස්ථානයෙන් උපකාර ලබාගත හැකි ය.

හැපි ලයිෆ් තොරතුරු මධ්‍යස්ථානයෙන් ඕනෑම ආකාරයකින් ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ තොරතුරු වෛද්‍ය උපදෙස් හෝ උපදේශන සේවා ලබාගත හැකි ය.

සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා මෙය විවෘතව පවතී. සති අන්ත, පෝය හා නිවාඩු දිනවල වසා ඇත.

 

මෙහි ලිපිනය මෙසේය.

පවුල් සෞඛ්‍යය මධ්‍යස්ථානය,

37/27, බුලර්ස් පටුමග, කොළඹ 07.

දුර - 0112555455

ආලෝකය උපදේශන - 0779895252

Happy life call center –

0765884881

 

Comments