
හරි වහරෙහි අරමුණ බසෙහි නිවැරැදි වහර මතු කොට පෙන්වා දීම යි. එ වුව ද බස පිළිබඳ ව ඇතැමුන් - වෙසෙසින් හරි වහර කියවන්නවුන් නඟන ගැටලු විමසා බලා එ සඳහා පිළිතුරු සැපැයීම ද වරින් වර සිදු කැරෙන බව කියවන්නෝ දනිති. මෙ වර ද, එ බඳු ගැටලුවක් කෙරෙහි සැලැකිල්ල යොමු කරමු.
මෙ ගැටලුව මතු කැරුණේ රාජ්‍ය සේවාවෙහි කීර්තිමත් නිලධරයකු වැ සිට වෘත්තීය සමිති විෂයයෙහි ද විශිෂ්ට සේවාවක් කොට විශ්‍රාන්ත වැ සිටුනා කෙනකුන් විසිනි. ඔහු නිවැරැදි බස් වහර පිළිබඳ වැ මහත් සැලැකිල්ලක් දක්වන්නෙකි. එහෙයිනි ඔවුන් කී කරුණ මෙහි ලා මෙ සේ විමැසෙනුයේ.
ඔවුන් ගේ පැනය නම් ‘ප(ර්)චසය‘ යන යෙදුම නිවැරැදි ද යනුයි. මේ හිතවතාණන් වැඩි දුරටත් පැවැසුයේ ඉංගිරිසියෙහි ‘ප(ර්)ච්ස්‘ (perchs)යනු බහු වචන නාමයක් බැවින් එය සිංහලයෙහි ‘ප(ර්)චසය‘ යනුවෙන් ඒක වචන කොට තැබීම නිවැරැදි නො විය යුතු බව යි. එ හෙයින් එය ‘ප(ර්)චය‘ යනුවෙන් නිවැරැදි විය යුතු බව යි.
මේ පැනය මූල ප්‍රකෘතිය පිළිබඳ වැ විමසන්නට අප පොලොඹවයි. මූල ප්‍රකෘතිය නම් භාෂාවේ යෙදෙන පදවල මූල රූපය වර නැඟීමට පෙර ඇති රූපයයි; නාම ප්‍රකෘති හා ධාතු ප්‍රකෘති හා වශයෙන් ප්‍රකෘති භේද දෙකක් වේ. මෙහි දී විමැසෙනුයේ නාම ප්‍රකෘතිය යි.
මූල ප්‍රකෘතියෙහි ප්‍රභවය (එය ඇති වූ ආකාරය) අනුව නිෂ්පන්න, තද්භව, තත්සම යැයි ප්‍රභේද තුනක් වේ. එයින් යට කී ‘පර්චස‘ යන්න අයත් වනුයේ තත්සම ගණයට යි. එ නම් වෙනත් බසෙකින් ආ නාමයක් ඒ බසෙහි ලෙසින් ම යෙදෙන වචන ගණය යි.
සිංහලය හා බෙහෙවින් ආශ්‍රිත සංස්කෘතයෙහි හෝ පාලියෙහි හෝ ප්‍රකෘති සිංහලයට පැමිණෙනුයේ මුල් බසෙහි වූ අයුරින් ම ය. ඒ වෙනස් වන්නේ ඉතා ම කලාතුරෙකිනි. වර නැඟුණු රූප සිංහලයේ ප්‍රකෘතිය ලෙස යෙදෙන තැන් ඉතා අඩු ය. එහෙත් ප්‍රතිචීන (අපරදිග) භාෂාවල ප්‍රකෘති සිංහලයට එන කල සිංහලයට ගැළැපෙන ලෙස වෙනස් ව ඇති බව පෙනේ. නිදසුනක් නම් පුර්තුගීසි බසෙහි ‘කසාදෝ‘ යන්න සිංහලයෙහි ‘කසාද‘ යන රූපයෙන් ප්‍රකෘතියක් ව තිබීම යි. තව ද, ඉංගිරිසියෙහි ‘පෙන්‘ (pen) යනු සිංහලයෙහි ‘පෑන්‘ යන රූපයෙන් යෙදේ. මෙ බඳු නිදසුන් බොහෝ වෙයි. මෙ බඳු රූප තත්සම ලෙස හැඳින්විය හැකි ද, නැත හොත් අර්ධ තත්සම ලෙස සැලැකිය යුතු ද යනුත් වාග් විද්‍යාව දන්නන් විසින් විමැසිය යුතු යි.
දැන් මෙහි විමැසුමට ලක් වන ‘පර්චස‘ යන්නෙහි වී ඇත්තේ මූල භාෂාවෙහි (ඉංගිරිසියෙනි) බහු වචන රූපයෙන් සිංහලයෙහි යෙදෙන නාම ප්‍රකෘතිය නිපැදවීම යි. ජන වහර මැනැවින් පිරික්සීමේ දී පෙනෙනුයේ එ බඳු තවත් වදන් ඇති බව යි.
දැන් ඉතා ජනප්‍රිය ආහාරයක් සඳහා යෙදෙන ‘බනිස්‘ යනුත් එ බන්දෙකි. එය ඉංගිරිසියෙහි ‘බන්‘ (bun) යන වදනෙහි බහු වචන රූපය වන ‘බනිස්‘ (buns) යන්නෙන් නිපන් නාම ප්‍රකෘතියෙහි සිංහල උච්චාරණ ක්‍රමයට අනුගත වනු පිණිස එහි මධ්‍ය අක්ෂරය වන ‘න්‘ යන්නට ‘ඉ‘ ස්වරය ආගමය ව ඇත. සිංහලයේ ඉතා පහසුවෙන් ‘බනිස්‘ යනු කියති.
උච්චාරණ සුඛය පමණක් නො ව මෙ බඳු තන්හි දී වර නැඟීම් රටාවට අනුගත විය හැකි බව ද අරුතෙහි නිරවුල් බව ද වැනි වෙනත් කරුණු ද සැලැකිල්ලට ගැනුණු සේ පෙනේ. ඉංගිරිසියෙහි ‘බන්‘ ගත්ත ම සිංහලයෙහි ද නාම ප්‍රකෘතිය සේ ගන්නා ලද්දේ නම් සිංහලයේ නම් වර නැඟීමේ රටාව අනුව එය වර නැඟෙන්නේ ‘බන - බනින් - බනට - බනෙහි‘. (අනියමාර්ථයෙහි) ‘බනක් / බනෙක් - බනකින් / බනෙකින් - බනකට - බනක / බනෙක‘ ආදි වශයෙනි. කට වහරෙහි දී න - ණ භේදය නිසි ලෙස නො යෙදේ. එ කල්හි බණ ( දෙසුම) යන නාමයත් මෙයත් හඬින් සමාන වේ. එය නිරවද්‍ය අර්ථ ප්‍රකාශනයට බාධාවෙකි.
‘ප(ර්)චස‘ යන යෙදුම පිළිබඳ වැ සලකන කල්හි පෙනෙනුයේ වෙනත් කරුණෙකි. එ නම් වර නැඟීම් රටාව පිළිබඳ කරුණ යි. ඉංගිරිසියෙහි ‘පර්ච්‘ යන්න ම සිංහලයෙහි ද ප්‍රකෘතිය සේ ගන්නා ලද නම් ඒ හා සමාන අනෙක් ප්‍රකෘතියක් සොයා ගැන්ම දුෂ්කර වේ. ‘ප(ර්)චය - ප(ර්)චයෙන් - ප(ර්)චයට‘ ආදි වශයෙන් වර නැඟිය හැකි වුව ද එය වහරට නුහුරු බවක් හැඟේ. එ හෙයින් වහරට වඩාත් හුරු ‘ස්‘ අන්ත ප්‍රකෘතියක් ලෙස ‘පර්චස්‘ යන (බහු වචන) පදය සිංහලයෙහි නාම ප්‍රකෘතිය ලෙස ගැනුණු බව සිතිය හැකිවේ.
එ බඳු නාම තව ද වෙයි. ඉංගිරිසියෙහි පැටි (patty) පෙනි (penny) යන නාම සිංහලයට පැමිණ ඇත්තේ පැටිස්, පැන්ස යන (බහු වචන) රූප ලෙසිනි.
බසක් සැකැසෙන්නේ ඇත්තට ම එය වහර වන්නන් අතිනි. ජේකයන් (පඬිවරුන්) කරනු යේ එහි වැරැදි ඇත් නම් සකසා නිවැරැදි කිරීම යි.