
රජගහ නුවර වැසියන්ගේ කනට බිහිසුණු පුවතක් වැටිණ.
“මද කිපී සිටින නාලාගිරි ඇතුට රා කළ දහසයක් පොවා, මත තවත් වැඩිකොට බුදුන් පිඬුසිඟා වඩින වීදියට මුදා හරින්නට යනවා. මෙය දෙව්දත් තෙර ගේ වැඩකි. හෙට බුදුරජාණන් වහන්සේ ගේ අවසාන පිඬුසිඟා වැඩීම විය හැකියි.“
බුදු බණට හුරු වැ සිටි ඇත්තෝ ළෙහි අත් ගසාගෙන “අනේ අපේ ස්වාමි දරුවාණෝ“යි කියමින් වැලැපුණහ.
බුදු බණට එරෙහි වූවෝ “හෙට බුදුන් කම්මුතුයි“ කියමින් සොම්නස් වූහ.
මේ බිහිසුණු ක්‍රියාව අනුමත කළ අජාසත්ත රජු ඒ වීදියේ ගමන් යෑමෙන් වළකින මෙන් වැසියනට අණ බෙර මඟින් දැන්වීය.
උදෑසන සිට වීදිය හිස්විය. වීදිය දෙපස නිවෙස්වල උඩුමහල් මිනිසුන්ගෙන් පිරිණ. මේ අතර රජගහනුවර බුමුණු පවුලකට අයත් චූලක කුමරු ද විය.
මහපොළොව පෙරළෙන හඬක් බඳු හඬක් ඔහුට ඇසිණ.
ඒ දැවැන්ත හස්තියා තමා ඉදිරියට හමුවන සියලු සතුන් ගවයන්, එළුවන්, සුනඛයන් හොඬට ගෙන බිම ගසා පයින් පාගාදමමින්, රිය සුනුවිසුනු කරමින් මඟට ළංව පිහිටි නිවෙස් බිමට හෙළමින්, සතුන්ගේ බඩවැල්, ලේ සහ පස් දෙදළෙන් පෙන්වමින් ඉදිරියට එන අයුරු චූලකට පෙනිණ.
මේ පුවත නො ඇසූ මවක සිය දරුවා සමඟ වීදිය හරහා යනු ද ඔහුට පෙනිණ.
නාලාගිරි හස්තියා වහා ඒ මව දෙසට හැරුණේ පසුව දරුවා දැක ඔහුට ළං විය.
ඒ සමඟ ම පිඬුසිඟා වඩිමින් සිටි බුදුරජාණන් වහන්සේ ගේ හඬ ඇසිණ.
“නාලාගිරිය, නුඹ සොළොස් කළයක් රා බී පැමිණියේ මා නසන්නට මිස අර දරුවා නසන්නට නොවේ. මා ළඟට එනු....“
ඒ හඬ ආ දෙසට ඇතු ගේ ඇස් ඇදිණ.
ඒ මිහිරි බුදු රුව, ඒ මිහිරි මුදු හඬ, ඇතු ගේ දෑසත්, දෙසවනත් පිනවූයේ සිත සන්සුන් කෙළේය.
රා මත සිඳුණේ ය. හිස සොලවා, දළෙහි මිය ගිය සතුන්ගේ බඩවැල් පස් ඉවත්කොට, බුදු හිමි ගේ සිරි පා මුල ඇතු දණ නමා නමස්කාර කෙළේය.
බුදු හිමියෝ ඇතු ගේ හිස මත අත තබා, “පුත, මින්පසු හිංසාවේ නොයෙදන්න, මෛත්‍රියෙන් කාලය ගෙවන්න“ යි අවවාද දුන්හ.
බුදු හිමියන්ට එරෙහිව සිටි රජගහනුවර මහ පිරිසක් එදා බුදුහිමියන් අසලට පැමිණ, බුදු සරණ ගියහ. චූලක කුමරු ද මේ අසිරිමත් සිදුවීමෙන් මතු වූ බුදු ගුණ මෙනෙහි කළේ බුදු සසුනේ පැවිදි වූයේ ය.
චූලක හිමි විදසුන් වැඩීම සඳහා තෝරාගත්තේ ඉන්දසාල ගුහාව ය.
ගුහාව තුළ වැඩ වෙසෙන උන්වහන්සේට ගුහා දොරටුවෙන් කළු වලා පිරුණු අහස පෙනිණ; ගිගිරුම් ඇසිණ; විදිලි එළි පෙනිණ. මහ වැසි ඇදහැලිණ. ගුගුරන අහසට පෙම් බැඳගත් මොනරු ප්‍රීතියෙන් ඉපිල කේකාරාව හඬ නංවන්නට වූහ. නැටූහ. ගුහාව ග්‍රීෂ්මය දුරුවිය. සිරුර සංසිඳි යනු උන්වහන්සේට දැනිණ. සිත එකඟ විය. උන්වහන්සේ මේ පසුබිම විස්තර කරමින්, භාවනාවට උත්සාහවත් වෙමින්, මේ ගාථා දෙක තමාට ම කියාගත්හ. ඉන්පසු කමටහනට සිත යොමුකොට විදසුන් වඩන්නට වූහ. මඳ වේලාවකට පසු චූලක හිමියෝ රහත් බවට පත් වූහ.
පසුකලෙක සිය උදානය වශයෙන් චූලක රහතන් වහන්සේ පළ කළේ මේ ගාථා දෙක ය.
සොඳුරු වලා පිරුණු අහස
ගලා බසින නිල් දිය කඳ
තණ නිල්ලෙන් වැසුණු පොළොව
අහා! ඇසෙයි මොනර ගීය.
මනාව නැගි සිළු සහ ඒ
විසිතුරු පිල් කලඹින් යුතු
නිල්ගෙල ඇති මොනරු නඟන
මිහිරි හඬට සවන් ඇදෙයි.
නිසි ඍතු සම්පත් ලැබිලා
සිත සන්සුන් වුණු මොහොතෙකි
ධ්‍යාන වඩනු බුදු සසුනේ
මනා වීර්යයෙන් යුතුව
තියුණු සුදෝසුදු උත්තම
නිවන් පහස ලබනු මැනවි.