චිත්‍ර අඳි­න්නට උපන් හපන් සංව­ර්ධන නිල­ධා­රිනී | සිළුමිණ

චිත්‍ර අඳි­න්නට උපන් හපන් සංව­ර්ධන නිල­ධා­රිනී

 

එය 2016 වර්ෂය විය. ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත්වෙන ජාතික උත්සවය නිමිත්තෙන් චිත්‍ර කීපයක් ඇඳ දීමේ සහ නිල ලාංඡනය (logo) නිර්මාණය කිරීමේ වගකීම සමන්ති මීරියගල්ලට පැවරුණේ ඈ ළමා චිත්‍ර ශිල්පිනියක ලෙස කටයුතු කරන නිසාය. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් මෙම කර්තව්‍යය ඇයට පවරන විට අතීත ළමුන්ගේ ක්‍රීඩා වූ කුරුම්බැට්ටි මැසිමෙන් සෙල්ලම් කිරීම, කොළපත් ඇදීම වැනි ක්‍රියාකාරකම් මූලික කර ගනිමින් චිත්‍ර නිර්මාණය කළ යුතු බවටත් එම චිත්‍ර නුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායේ මුහුණුවර ගත යුතු බවටත් උපදෙස් දෙනු ලැබීය. ඈ එය අකුරටම ඉටු කළේ ඇයට පැවරුණු කාර්යභාරය නොපිරිහෙළා කළ යුතු බැවිනි. එහෙත් කිසිම විටෙක මෙය ඇගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වේ යැයි ඇය සිහිනෙනුදු සිතුවේ නැත.

“2016 ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වුණු ලෝක ළමා දිනය සැරසුණේ මා නිර්මාණය කළ ලෝගෝ එක සහ චිත්‍රවලින්. ජාතික උත්සවයට ඉස්සෙල්ලා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරි කෙනෙක් ලෝක ළමා දිනය වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීමට ඒ සඳහා ගැළපෙන චිත්‍රයක් කාන්තා හා ළමා අමාත්‍යාංශයෙන් විමසුවාම ඒ අය මගේ චිත්‍ර පෙන්වා තිබුණා. මගේ චිත්‍ර දැක්කාට පස්සේ චිත්‍රයක් මුද්දරයකට ඉල්ලුවා. ඊටපස්සේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒ බව මට දැනුම් දුන්නා. මමත් ඊට කැමැත්ත පළ කළා. ඊටපසුව මගේ චිත්‍රයකින් ලෝක ළමා දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මුද්දරයක් නිකුත් කළා. එය රු. 15/-ක වටිනාකමින් යුතු මුද්දරයක්. මුද්දරයත් මුල් දින කවරය සහ සමරු පත්‍රිකාවත් නිකුත් කළේ කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේදී. මමත් ඒ උත්සවයට සහභාගි වුණා.“ යනුවෙන් පැවසුවේ සමන්ති මීරියගල්ල ය.

සමන්ති මීරි­ය­ගල්ල

ඉන්පසුව 2017 වසරේද ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවැත්වූ ජාතික උත්සවයේ චිත්‍ර නිර්මාණය කිරීමේ කටයුත්ත භාර වුණේ සමන්ති මීරියගල්ලට ය. මේ අතරවාරයේ දී ඇයට නැවතත් තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඇමතුමක් ලැබිණි. ඒ 2018 වර්ෂයේ වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර තුනකට චිත්‍ර නිර්මාණය කිරීම ඇයට භාර දීමටයි. මෙහිදී ඇයට චිත්‍ර ඇඳීමට තැපැල් දෙපාර්තමේන්තුවෙන් මාතෘකාවක් ද සපයා තිබිණි. එකී මාතෘකාව වූයේ චුල්ල සුතසෝම ජාතකයයි. එය ඇසුරු කර ගනිමින් රු: 10.00, රු: 15.00 සහ රු: 35.00 වටිනාකම්වලින් යුතු මුද්දර 3ක් ඈ නිර්මාණය කළාය.

“සාමාන්‍ය විදිහට චිත්‍රයක් අඳිනවාට වඩා වෙනස් ජාතක කතා ඇසුරු කරගෙන චිත්‍ර ඇඳීම. ජාතක කතාවේ මොන අවස්ථා ද චිත්‍රයට ඇඳිය යුත්තේ කියලා මුලින්ම සලකා බලන්න ඕනෑ. ඊටපස්සෙ ජාතක කතාවලට ගැළපෙන චිත්‍ර අධ්‍යයනය කරන්න ඕනෑ. ඒ වැඩේ ටිකක් සංකීර්ණයි. ඒත් මම එය භාර ගත්තා. ඉස්සෙල්ලාම චිත්‍ර ඇඳලා වර්ණ ගැන්වීමට පෙර තැපැල් දෙපාර්තමේන්තුවට පෙන්විය යුතු වෙනවා. ඉන්පසුව වර්ණ ගන්වා අවසාන කරලා පෙන්විය යුතුයි. මම ඒ විදිහට ඔවුන්ගේ අධීක්ෂණය සහ උපදෙස් මත වෙසක් මුද්දර තුන නිර්මාණය කළා.“ යනුවෙන් සමන්ති මීරියගල්ල සඳහන් කළාය.

ඉන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් 2019 වසරේදී ද වෙසක් මුද්දර නිර්මාණය කිරීමේ අවස්ථාව ඇයට හිමි විය. එවර කුද්දාල ජාතකය ඇසුරෙන් සිතුවම් නැඟීමට ඇයට උපදෙස් දී තිබුණි. එම මුද්දර ත්‍රිත්වය රුපියල් 10.00, රු: 15.00 සහ රු: 45.00 වටිනාකම්වලින් යුක්තවිය. මෙම වෙසක් මුද්දර, මුල් දින කවර සමඟ සමරු පත්‍රිකාව නිකුත් කිරීමේ උත්සව දෙකම පැවැත්වුණේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේය.

නැවතත් ලෝක ළමා දිනය නිමිත්තෙන් මුද්දරයකට චිත්‍රයක් නිර්මාණය කිරීමේ අවස්ථාව ඇයට හිමි වූයේ පසුගිය වසරේදීය. එනම් 2020 වර්ෂයේදීය. එහි තේමාව වූයේ “අපේ රට අපේ දෑතින්“ යන්නයි. මෙම මුද්දරය රු: 15.00 වටිනාකමින් යුක්ත විය. 2020 ඔක්: 01 වැනි දිනට යෙදුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් අපේ ගම පරිශ්‍රයේදී මෙම මුද්දරය නිකුත් කෙරිණි. එම වසරේදීම ඇයට සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ද ඇරයුමක් ලැබිණි. ඒ ඔක්: 15 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිත්තෙන් මුද්දරයක් නිර්මාණය කිරීමට ය. එය රු:10.00ක වටිනාකමින් යුතු මුද්දරයකි. මේ වන විට සමන්තිගේ තෙලිතුඩෙන් බිහි වූ මුද්දර ගණන 9කි.

“මම චිත්‍ර විෂයක් හැටියට හැදෑරුවේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තිය තෙක් පමණයි. අ.පො.ස. උසස් පෙළ පන්තියේ චිත්‍ර අධ්‍යයනය නොකළාට මම දිගටම චිත්‍ර ඇන්දා. මම පුංචිකාලේ ඉඳලා චිත්‍ර අඳින්න ආසයි. මම හිතන්නේ මට චිත්‍ර ඇඳීමේ හැකියාව සහජයෙන් පිහිටන්න ඇති. විශේෂයෙන් ළමා චිත්‍ර ඇඳීමේ හැකියාවක් මට තිබෙනවා. ඒ නිසාම මම උසස් පෙළ විභාගය ඉවර වෙලා චණ්ඩි කියලා ළමා පත්තරේක චිත්‍ර ශිල්පිනියක් විදිහට සම්බන්ධ වුණා.“ සමන්ති මීරියගල්ල ඈ පැමිණි ගමන් මඟේ ආරම්භය පිළිබඳව විස්තර කළේ එසේය. ඉන් අනතුරුව යොවුන් පුවත්පතකත් අධ්‍යාපනික පුවත්පතකත් ලේඛිකාවක් ලෙස කටයුතු කළ ඈ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය. පසුව සංවර්ධන නිලධාරිනියක වශයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට බැඳුණාය. එහෙත් ඈ, ඈ තුළ සැඟවී තිබෙන ලේඛන හැකියාවටත් සිතුවම් නිර්මාණය කිරීමේ හැකියාවටත් නැවතීමේ තිත තැබුවේ නැත. ළමා පොත් කවර නිර්මාණයේත් ළමා පොත් පළ කිරීමේත් නොකඩවා ඈ නිරත වන්නීය. ඊට අමතරව ලේක්හවුස් ආයතනයේ පුවත්පත් සඳහා ලිපි සපයන්නේ බාහිර ලේඛිකාවක වශයෙනි. කඩුවෙල රණාල පදිංචි ඈ කඩුවෙල ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තාකාරිනියක ලෙස ද කටයුතු කරන්නීය. කොළඹ ගෝතමි බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක වන සමන්ති මීරියගල්ලට ඇගේ පාසලේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ රාජකාරියක් පැවරී තිබේ. ඒ, පාසලේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් මුද්දරයක් නිර්මාණය කිරීමේ කටයුත්තයි. මේ දිනවල ඈ ඒ වෙනුවෙන් වෙහෙස වන අතර එය මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වූ පසු ඇගේ සුරතින් නිමැවුණු මුද්දර ගණන 10කට අධිකය.

 

Comments