
•අලි ඇතුන්ගේ DNA පර්යේෂණ ඇරඹුණේ 1990 දී
කොටියාට ගස් නඟින්නට ඉගැන්වුවත් ගසින් බසින්නට ඉගැන්වුවේ නැති බළලා, කොටියාට තම වසුරුවල ගඳක්වත් නොදැනෙන්නට වගා බලා ගනිමින් වසා දැමීමට පුරුදු වූ බව අප අසා තිබෙන්නේ කුඩා වියේදීය. වසුරු ගඳ ඔස්සේ සතුන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමේ හැකියාව සතුන්ට තිබෙන්නේ උන්ට ඇති ඉව නිසාය. එහෙත් මිනිසුන්ට හැකි වන්නේ වසුරු අනුව එය අසවල් සතාගේ යැයි හඳුනා ගැනීම පමණි. සත්ව විශේෂය හඳුනා ගත්තත් සතාගෙන් සතාට වෙන් කර හඳුනා ගැනීමේ හැකියාව මිනිසුන්ට නැත.
එහෙත් අලින්ගේ වසුරු මඟින් අලියාගෙන් අලියාට විශේෂ කොට හඳුනා ගත හැකි ආකාරයේ අධ්‍යයනයක් සිදු කළ පර්යේෂණ කණ්ඩායමක් ගැන අපට වාර්තා විය. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානය එකතු වී සිදු කළ නව අධ්‍යයනයෙන් අලුත් හෙළිදරව්වක් කිරීමට ඔවුන්ට හැකි විය. මෙම පර්යේෂණ පත්‍රිකාවේ මාතෘකාව Revisiting traditional SSR based methodologies available for elephant genetic studies ලෙස නම් කර ඇත. මෙය ලොව පිළිගත් Publising Group යන විද්‍යාත්මක පර්යේෂණ ප්‍රකාශන ආයතනය විසින් වසරක් පාසා සිදු කළ සමියුරු ප්‍රතිනිරීක්ෂණ ක්‍රියාවලියකින් (Peer review process) අනුමත කිරීමෙන් අනතුරුව පසුගිය අප්‍රේල් 22 වැනි දින Scientific Reports Nature පත්‍රිකාවේ පළ කෙරිණි.
“වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වුණා ලංකාවේ වන අලි පිළිබඳ පර්යේෂණයක් කරන්න. වන අලින්ගේ ජාන සංයුතිය, ගහනයන් අතර ජාන සමානතාවන්, ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ආසියානු අලින්ට වඩා වෙනස් වන විදිහ ගැන තොරතුරු රැස් කිරීම තමයි මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වුණේ. අලි මිනිස් ගැටුම සහ වන අලි අන්තර්ජාතික වෙළඳාම යාමනය පිළිබඳ කටයුතු කිරීමේදී එක් එක් අලින්ගේ අනන්‍යතාව තහවුරු කර තිබීම ඉතා වැදගත්. විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන කරනු ලබන සංරක්ෂණ ක්‍රම මුළු ලෝකයම පිළිගන්නවා. ඒනිසයි ලෝක බැංකු ආධාර යටතේ පරිසර පද්ධති සංරක්ෂණ සහ කළමනාකරණ ව්‍යාපෘතියට (ESCAMP) පූර්ණ අනුමැතිය සහ මූල්‍ය ප්‍රතිපාදන හිමි වුණේ. මෙම පර්යේෂණය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානය ඒකාබද්ධව සිදු කළේ.“ යනුවෙන් සඳහන් කළේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සන්නිවේදන පද්ධති නිලධාරිනි, නිලන්ති රාජපක්ෂ ය.
මෙම පර්යේෂණයේදී වන අලින්ට කිසිදු හානියක් නොවන ලෙස අලි ඇතුන් 700කගෙන් පමණ වසුරු එකතු කරගෙන ජානමය විශ්ලේෂණය සිදු කළ අතර එහි මූලික අදියරේදී ඒ සඳහා භාවිත කළ යුතු සුදුසු ක්‍රමවේදයක් තෝරා ගැනීමට සිදු විය. මෙහිදී අලි ඇතුන් පිළිබඳ සිදු කරන DNA පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කෙරිණි.
“අලි ඇතුන්ගේ DNA පර්යේෂණ ලෝකයේ පටන් ගත්තේ 90 දශකයේදී. මෙහි මුල සිිට භාවිත කළ microsatellite markers ක්‍රමය ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, අප්‍රිකාව, තායිලන්තය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන ක්‍රමයක්. මිනිසුන්ගේ DNA පර්යේෂණ සඳහා යොදා ගන්නෙත් මේ ක්‍රමයම තමයි. ඒත් දැන් අවුරුදු 30ක් විතර කාලය ගතවන විට මිනිසුන්ගේ DNA පරීක්ෂණ ක්‍රම වැඩිදියුණු වුණා. ඒත් අලි ඇතුන්ගේ DNA ක්‍රම ඉදිරියට ආවේ නැහැ. තවමත් එය තිබෙන්නේ 90 දශකයේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අලි ඇතුන්ගෙන් වසුරු සහ රුධිර සාම්පල ලබාගෙන අපට භාර දුන්නා. අපි අපේ විද්‍යාගාරවල පරීක්ෂණ කළා. මෙම පරීක්ෂණයට මෙතෙක් කල් ලොව පුරා භාවිත කළේ microsatellite primers යුගල 24ක් යොදාගෙන කරනු ලබන අධ්‍යයනයයි. ඒත් වන අලින්ගේ වසුරු යොදාගෙන කරන මෙම අධ්‍යයනයේදී ගැටලු මතු වුණා. මේ ක්‍රමය වැරදියි කියලා මම කියන්නේ නැහැ. ඒත් දත්තවල මදිපාඩුවක් තියෙනවා. අපි අලින්ගේ වසුරු ගත්තාම පර්යේෂණ ප්‍රතිඵලය අලියාට පමණක් විශේෂ වෙන්න ඕනෑ. ඒත් මෙම ක්‍රමයෙන් වසුරුවල වහන මැස්සන්, පණුවො, තණකොළවල සිටින කෘමීන් මේ හැමදේම උත්තරයට යනවා. අලියාට විතරක් විශේෂ වෙන්නේ නැහැ. ඒනිසා මෙම අධ්‍යයන ක්‍රමයෙන් අපට ගැටලු මතු වුණා. ඒනිසා විවිධ තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් පර්යේෂණ ගණනාවක් කර ලබා ගත් දත්ත, විශේෂිත පර්යේෂණ පත්‍රිකාවට ඉදිරිපත් කළා.“ යනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ මහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක සිය පර්යේෂණ තුළින් සිදු කළ නව සොයා ගැනීම විස්තර කළාය. මෙය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ලංකාවේ අණුක ජීව විද්‍යාඥයන්ගේ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. වසර 30කට වැඩි කාලයක් තුළ විවිධ රටවල්වලින් හඳුන්වා දුන් microsatellite primers 24ක අවිනිශ්චිතතාව මෙහිදී අනාවරණය කර ඇත. ඒ අනුව මෙතෙක් microsatellite primers යුගල 24 භාවිත කරමින් වන අලින්ගේ වසුරු යොදාගෙන සිදු කරනු ලබන පර්යේෂණවල ප්‍රතිඵලයන්ගේ නිරවද්‍යතාව පිළිබඳ ගැටලු මතු වේ. තවද රුධිර සාම්පල භාවිත කරමින් සිදු කරනු ලබන ආසියානු අලින් පිළිබඳ ජානමය අධ්‍යයනය සඳහා භාවිත කළ හැකි microsatellite primers හඳුන්වා දී ඇත.
මෙම අධ්‍යයනය ආරම්භ කරනු ලැබුවේ 2019 දීය. අලින් 700කගේ වසුරු සහ කීපදෙනකුගේ රුධිර සාම්පල ලබාගෙන මෙම අධ්‍යයනය සිදු කළ ද පර්යේෂණ පත්‍රිකාව සඳහා යොදාගෙන තිබෙන්නේ අලින් 100 දෙනකුගේ දත්ත පමණි. වසර 3ක් පුරා අදියර 2ක් යටතේ පර්යේෂණය සිදු කෙරෙන අතර අලින්ගේ ඉතිරි දත්ත ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා යොදා ගැනෙනු ඇත.
මෙම පර්යේෂණ කණ්ඩායමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර ඇතුළු අධ්‍යක්ෂ මෙහෙයුම් රන්ජන් මාරසිංහ, නිලන්ති රාජපක්ෂ, නුවන් ජයවර්ධන සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ මහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක ඇතුළු ආචාර්ය භාග්‍යා චන්ද්‍රසේකර, භාග්‍යා හතුරුසිංහ, එම්. කෝදාගොඩ සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ආර්.සී. රාජපක්ෂ යන පිරිස අයත් වෙති. “කැලයේ ඉන්න අලි ඇතුන්ගේ රුධිර සාම්පල ලබාගන්න බැරි නිසා ඒ අයගේ වසුරු ගත්තා. අලින් ගැවසෙන තැන්වලට ගිහින් අපේ කණ්ඩායම පැය ගණන් බලාගෙන ඉඳලා තමයි වසුරු ගන්නේ. රුධිර සාම්පල ලබා ගත්තේ දෙහිවල සත්වෝද්‍යානයෙන්. ලංකවේ ජීවත් වෙන්නේ ආසියානු අලියාගේ උප විශේෂයක්.
ලංකාවේ අලි elephas maximus maximus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. මේ පර්යේෂණයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ විල්පත්තුව, උඩවලවේ, මින්නේරිය වගේ අලින් බහුලව ගැවසෙන ස්ථානවල සිටින අලින්ගේ ජානවල වෙනස්කම් හඳුනා ගැනීම. අපි හිතමු අපිට විකුණන්න ගෙනියන ඇත් දළ හම්බවුණා කියලා., ඒ දළ DNA පරීක්ෂාවට භාජනය කරලා අපි ළඟ තිබෙන දත්ත අනුව ඒ ඇත් දළ අයිති ඇතා කවුද, කොයි ප්‍රදේශයේද කියලා අපිට හඳුනාගන්න පුළුවන්. මේ පර්යේෂණ කටයුතු අවසාන වුණාම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අලි ඇතුන් ගැන දත්ත රැස් කරලා තොරතුරු එකතුවක් තබා ගන්න පුළුවන්.“ යනුවෙන් නිලන්ති රාජපක්ෂ විස්තර කළාය.
මේ වන විටත් ශ්‍රී ලංකාවේ ඇතාගේ ජාන සංයුතිය කියවා ඇති අතර එම දත්ත සහ අනෙකුත් අලින්ගේ මෙතෙක් ඉදිරිපත් කර ඇති ජාන සංයුති දත්ත යොදාගෙන ලංකාවේ වෙසෙන අලින් ආසියානු අලින්ගෙන් පහසුවෙන් හඳුනා ගත හැකි ක්‍රමවේදයක් සකස් කරමින් මූලික අරමුණ කරා යෑමට පර්යේෂණ කඩිනම් කර ඇත. තවද මෙම පත්‍රිකාව මඟින් SSR මත පදනම් වූ ක්‍රමවේදයන්ට අමතරව නවීන ක්‍රම හඳුන්වා දී ඇත. මෙවැනි අධ්‍යයනයක අවශ්‍යතාව අනෙකුත් වනජීවීන් පිළිබඳ අධ්‍යයනයකදී, නිදසුනක් ලෙස කොටි පිළිබඳ ජානමය අධ්‍යයනයකදී වුවද වැදගත් බව පෙන්වා දී ඇත. මෙම සොයා ගැනීම මුළු ලෝකයටම ශ්‍රී ලංකාවෙන් ලද ආශීර්වාදයකි.