
කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොට්ටල්බැද්ද ගම්මානයේ බොහෝ පිරිසක් කම්හල් කර්මාන්තයේ යෙදෙන අතර අමුද්‍රව්‍ය හිඟය කාලයක් තිස් හේතුවෙන් ඔවුහු දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.
එන්. ඒ. නිමල් කරුණාරත්න පවසන්නේ
“කම්මල් කර්මාන්තයේ නියැලෙන අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න විදිහක් නැහැ. අපට වානේ නැති එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. ඊට අමතරව දුනුකොළ. ඉස්සර කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මැදිහත්වෙලා ලංගම ඩිපෝවෙන් දුනුකොළ කිලෝවක් රුපියල් 50 ගානේ අපට අරන් දුන්නා. ඒත් අද එහෙම වැඩපිළිවෙලක් නැහැ. අපි දැන් අමුද්‍රව්‍ය ගේන්න පොළොන්නරුව, මහනුවර, රත්නපුරය, අම්පාර වගේ ප්‍රදේශවලට යන්න ඕන. ඒ ගිහිල්ලා දුනුකොළ කිලෝවක් ගේන්නේ රුපියල් 150ට. අපි වාහනයක් අරගෙන ගෝලයෝ දෙන්නෙකුත් අරගෙන යන්න ඕන. ඒ ගිහින් දුනුකොළ කිලෝවක් මෙහෙට ගේනකොට රුපියල් 250කටත් වඩා වැඩිවෙනවා. අපි කොහොමද එහෙම ගෙනැල්ලා බඩු හදලා විකුණන්නේ. වෙළදපොලේ බාල වර්ගයේ බඩු ඉතාම අඩු මිලකට ගන්න තියෙනවා. අපිට ඒවාත් එක්ක තරග කරන්න අමාරුයි.“ එන්. ඒ. නිමල් කරුණාරත්න පවසන්නේ කම්මල් කර්මාන්තය කරගෙන යන්නට බැරි අමාරුකම්ය.
පී. එම්. නිමල් චන්ද්‍රසේන අපට පැවුසුවේ මෙවන් කතාවකි.
“මේ කර්මාන්තය ඉහළට ගේන්න 2004 සන්ධාන ආණ්ඩුවේ කුඩා කර්මාන්ත හා සාම්ප්‍රදායික කටයුතු ඇමති ලාල් කාන්ත මහත්තයා ගුරු පැහැයෙන් රත්පැහැයට යන වැඩසටහන යටතේ දැඩි වෙහෙසක් ගත්තා. එතුමා විශාල යන්ත්‍ර සූත්‍රත් දීලා රුපියල් එක්කෝටි දහනව ලක්ෂයක් වටිනා අංගසම්පුර්ණ ගොඩනැගිල්ලක් හැදුවා. ඒකේ රැස්වීම් ශාලාවක් පවා තිබුණා. ඒ දවස්වල අපි නිෂ්පාදනය කරන බඩු ටික වතුවලට විකිණුවා.“
මෙය පරම්පරාවෙන් ආ රස්සාවකි. කොට්ටල්බැද්ද ගමේ බහුතරයක් කම්මල් කර්මාන්තයේ නියැෙළන්නෝය. එහෙත් අද වන විට ඔවුන් ගෙන් ඇතැමෙක් වෙනත් රැකියා වලට යොමුව සිටීති.
ඒ. සිරිවර්ධන ද මෙම කර්මාන්තයට වන හානිය සම්බන්ධයෙන් පසුතැවිලි වන්නෙකි.
“අපි කුඩාකාලයේ ඉදලා මේ කර්මාන්තයේ යෙදෙනවා. වානේ ලබාගන්න එකත්, ලී මිටක් හොයාගන්න එකත් අද විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. අපි හොඳම වර්ගයේ වානේ හොයද්දි බාල වර්ගයේ වානේ දාලා බාල වර්ගයේ භාණ්ඩ නිෂ්පාදනය කරලා මුදලාලිලා වෙළද පොළට දානවා. අපි හදන නඟුල් ඉතා උසස් තත්වයේ ඒවා. වෙළෙදපොළේ තියෙන ඒ බාල තලවලින් හාන්න පුළුවන් අක්කර 7ක් විතරයි“.
මන්නා පිහි කැත්ත උදැල්ල සාදා දිවි රැක ගන්නා ඔවුනට වානේ සොයා ගැනිම මෙන්ම ඒවාට අවශ්‍ය වෙත් අමුද්‍රව්‍ය සොයා ගැනීමද අසීරු කාර්යයකි.
එන්. එස්. කේ. නවරත්න පරම්පරාවෙන් එන මෙම කර්මමාන්තයේ නියැෙළන්නෙකි.
“මේක අපේ පරම්පරාවෙන් එන එකක්. මමත් ඉස්කොලේ ගිහිල්ලා ඉවර වුණාට පස්සේ මේ කර්මාන්තයට එක්වුණා. කර්මාන්තයෙන් අපි ගොඩාක් දේවල් කරගත්තා. දැන් ඉස්සරට වඩා ප්‍රශ්න. පිහියකට, මිටියකට, විසිකැත්තකට, කැත්තකට ගහන්න ලී මිටවල් ඕන. මේවා තියෙන්නේ කැලෑවේ. ලී කපන්න ගියොත් වන සංරක්ෂණයේ නිලධාරීන් අප අල්ලා නඩු දානවා. ලී අඟුරු වලට දර හොයන්න ගියාමත් වනසංරක්ෂණ නිලධාරීන් අප අල්ලා ගන්නවා. කම්මල් කර්මාන්තය නැතිව අපට වෙන ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මම ඉහළට ඉගෙන ගත්තා. මට වෙනත් රැකියාවක් කරන්න පුළුවන් වුණත් මට ඕන අපේ සාම්ප්‍රායික කර්මාන්තය මතු පරපුරට රැකලා දෙන්න.“
වසර ගණනාවක් තිස්සේ කරගෙන යන කර්මාන්තය අඩාල වීමට හේතු දක්වමින් එච්. ඒ. හේමන්ත සඳහන් කළේ,
“යකඩ පදම් කරන්න ගින්දර දානකොට අනිවාර්යයෙන්ම ඕන දෙයක් තමයි ලී අඟුරු. සමහරු අහනවා පොල්කටු ගන්න බැරි ඇයි කියලා. පොල්කටු පිච්චෙනකොට බර අඩුවෙනවා. එතකොට යකඩ පදම්කරන්න බැහැ. කම්හලක වැඩ කරන කෙනෙකුට සම්පුර්ණ දවසක් වැඩ කරන්න බැහැ. ඉන්නේ ගින්දරත් එක්ක. යකඩ තලන කොට ඇගට පුදුම අමාරුවක් තියෙන්නේ. මේ ගම්වල මිනිස්සු කම්මල් කර්මාන්තය ඉදිරියට කරගෙන යන්නේ පුදුම සටනක් දෙනවා. අපි කවදාවත් රජයේ රැකියා ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ වානේ ටිකයි, ලී අඟුරුයි, මිටන් ටිකයි සපයාගන්න වැඩපිළිවෙළක් යොදන්න කියලා විතරයි.“
කම්මල්කරුවෝ තමන්ට ඇති අපහසුතා පෙන්වා දෙමින් ඔවුන්ගේ කර්මාන්තයට හෙට දවසේ කුමක් වේදැයි කියා ඉන්නේ දෙගිඩියාවෙනි. මේ සම්බන්ධයෙන් කාර්මික සංවර්ධන මන්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික් අධ්‍යක්ෂ අයි. එම්. ජේ. ඉලංගකොන්ගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.
“අපි ඔය ගම්මානයට පොදු පහසුකම් මධ්‍යස්ථානයක් හදලා දීලා යකඩ තලන මැෂිනුත් හයිකරලා දුන්නා. සමහරු ඒවා හරියට පරිහරණය කළෙත් නැහැ. අපි ඔවුන්ට පහසුකම් සපයලා තියෙනවා. ඉස්සර ලංගම ඩිපෝවලින් දුනුකොළ අරගෙන දුන්නා. කොහොම වුණත් දැන් මාර්ග බොහෝමයක් හොඳ මට්ටමක තියෙන නිසා දුනුකොළ අඩුයි කියලා තමයි ලංගම කියන්නේ. අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තියෙන කමිටුවලදී තියෙන ප්‍රශ්න පිළිබද සොයා බැලීමක් කරනවා.