බිහිරි බව නැති කිරීමේ අලුත්ම සැත්කම | සිළුමිණ

බිහිරි බව නැති කිරීමේ අලුත්ම සැත්කම

ද්විත්ව කර්ණ සංඛ බද්ධ­ සැත්කමෙන් පසු

 

 

ලංකාවේ ප්‍රථම වරට රජයේ රෝහලකදී ද්විත්ව කර්ණ සංඛ බද්ධයක් 'Cochlear Nucleus Freedom Series' සාර්ථකව සිදුකර තිබේ. ඒ පසුගිය මාර්තු 11 දින කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ උගුර කන නාසය පිළිබඳ උපදේශක ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ ප්‍රමුඛ කණ්ඩායමක් විසිනි. මීට ප්‍රථම එක් කනක කර්ණ සංඛ බද්ධයක් මෙරටදී සිදු කර ඇත්තේ 2004 වසරේදී විදේශීය වෛද්‍යවරයකු විසින් පෞද්ගලික රෝහලකදීය.

පසුගිය පෙබරවාරි මාසයේදී, වයස අවුරුදු දෙකහමාරක දරුවෙකු සඳහා ද්විත්ව කර්ණ සංඛ බද්ධය සිදු කරන ලද අතර, මේ සඳහා භාවිතා කරන ලද්දේ, ලොව දැනට පවතින දියුණුතම ශ්‍රවණ උපාංගය ලෙස සැලකෙන, රැහැන් රහිත N7 කථන ප්‍රොසෙසරයක් සහිත 'Cochlear Nucleus freedom contour advance' උපාංගයකි පෙබරවාරි 25 දිනට යෙදුණු ලෝක කර්ණ ශංඛ බද්ධ දිනය සැමරීමක් වශයෙන්, පෙබරවාරි 24 වැනි දින නුගේගොඩ වික්‍රමාරච්චි ශ්‍රවණ ආයතනයේදී එම ප්‍රොසෙසරය ක්‍රියාත්මක කරන ලදි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ උගුර කන නාසය පිළිබඳ උපදේශක ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ සහ වික්‍රමාරච්චි ශ්‍රවණ ආයතනයේ සභාපති මිහිර වික්‍රමාරච්චි සමඟ සාකච්ඡා කළෙමු.

Cochlear අධිරෝපණය යනු සාමාන්‍ය මට්ටමේ සිට බරපතළ මට්ටම දක්වා ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් සඳහා පිළිගත්, සාර්ථක හා දීර්ඝකාලීන විසඳුමකි. මෙමගින් සිදුකෙරෙනුයේ හානි වී ඇති ඇතුළු කන වෙනුවට විකල්පයක් ලෙස ක්‍රියා කරමින්, මොළය වෙත ශබ්ද සංඥා ලබා දීමය. සාමාන්‍ය ශ්‍රවණාධාර උපාංග මඟින් සිදුවන්නේ හුදෙක් ශබ්දය වැඩිකර දීම පමණි.

කන් දෙකෙහිම සාමාන්‍ය මට්ටමේ සිට බරපතළ මට්ටම දක්වා ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට හෝ සාමාන්‍ය ශ්‍රවණාධාරවලින් ප්‍රමාණවත් ප්‍රතිඵල නොලබන පුද්ගලයන්ට මෙම ශ්‍රවණ උපාංගය (Cochlear) මඟින් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙයි. තවද මෑතදී සිදු කළ ද්විත්ව අධිරෝපණ සැත්කම රජයේ රෝහලකදී සාර්ථක ලෙස සිදුකිරීමට හැකිවීම මඟින්, රජයේ සෞඛ්‍ය සේවා අරමුණුවලට සමගාමීව රාජ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්ති ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැංවෙන බව සනාථ වේ. මේ නිසා ශ්‍රී ලාංකිකයන්ට මින් ඉදිරියට මෙම සැත්කම සඳහා විදේශගත වීමට අවශ්‍ය නොවන අතර, මෙරටදීම පහසුවෙන් එම සැත්කම සිදුකර ගැනීමට හැකියාව පවතී.

මෙය ශ්‍රී ලාංකිකයන්ට විශාල මුදලක් ඉතිරි කරදෙනු ඇති අතර, මෙවැනි සැත්කම් සාර්ථක ලෙස සිදුකිරීමට හැකිවීම මඟින් ශ්‍රී ලංකාව සතු කීර්තියද ඉහළ යනු ඇත. රට තුළ වෛද්‍ය සේවා සංචාරක ක්ෂේත්‍රය (Medical tourism) වැඩිදියුණු කිරීමට රජය මෙන්ම පෞද්ගලික අංශයද අවධානය යොමුකර ඇති පසුබිමක් තුළ මෙය එම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහාද උපකාරී වේ.

ශ්‍රවණාබාධ සහිත දරුවන් සඳහා මෙම ශෛලකර්මය සිදු කරන අතර, විශේෂයෙන් උපතින් ම කන් නො ඇසෙන දරුවන් කෙරෙහි වැඩි අවධානයක් ලබාදෙයි. මෙරට ප්‍රධාන ප්‍රධානපෙළේ ආරෝග්‍යශාලාවන්හි ශ්‍රවණාබාධ ඇත්දැයි පරීක්ෂා කිරීමේ හැකියාව තිබේ. මීට ප්‍රථම ශ්‍රවණාබාධ ඇත්දැයි පරීක්ෂා කිරීම සිදු කරනු ලැබූයේ අවදානම් සහගත දරුවන්ගේ පමණි.

එනම්, අඩුවයසින් උපදින, නොමේරූ ළදරු ඒකකයේ සිටින සහ මවට දියවැඩියාව වැනි කිසියම් රෝගී තත්ත්වයක් ඇති දරුවන්ට පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට අනුව මෙවැනි දරුවන් ඉපදුණු වහාම ශ්‍රවණ පරීක්ෂණය කළ යුතු බවට නිර්දේශ කර ඇත. නමුත් අද වනවිට එම මාර්ගෝපදේශය අනුව උපදින සෑම දරුවකුගේම ශ්‍රවණ පරීක්ෂණය සිදු කිරීමට නිර්දේශ කර තිබේ.

2016 වසරේදී ජයවර්ධනපුර රෝහලේ ශ්‍රවණ පරීක්ෂණ ඒකකය ආරම්භ වූ අතර, මේවනවිට රජයේ රෝහල් කිහිපයක හා පෞද්ගලික රෝහල් කිහිපයක මෙම පරීක්ෂණය සිදු කෙරේ. මෙම පරීක්ෂණය සිදු කිරීමේන් දරුවකුගේ කන් ඇසීම පිළිබඳ දළ අදහසකට එළඹිය හැකිය. දරුවකු ශබ්දවලට ප්‍රතිචාර නොදක්වන විට සහ ඔහුගේ කථන හැකියාව වර්ධනය නොවන විට කන් ඇසීම දුර්වල බව අපට නිගමනය කළ හැකිය.

සාමාන්‍යයෙන් මාස 8ත්-10 ත් අතර කාලයේදී දරුවකු බහ තේරීමට පටන් ගනී. එසේ නොකරන විට එම දරුවා කතා නොකරන බව මවුපියන් වටහාගනී. එවිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවන් යොමු කිරීම මා පියන්ගේ සාමාන්‍ය සිරිතය. එහිදී අවබෝධ වන්නේ මෙම දරුවන් කතා නො කරන්නේ ඔවුන්ට කිසිවක් නො ඇසෙන නිසා බවය.

උප්පත්තියෙන් ගොළු ළමයින් බිහිරි නොවන අතර, කන් නො ඇසීම නිසා ඔවුන් ගොළු බවට පත්ව තිබේ. ලොව පුරා සිදු කර ඇති ශ්‍රවණ පරීක්ෂණය මඟින් මේ බව හඳුනාගෙන තිබේ.

 

රජයේ රෝහලකදී කෙරුණු ප්‍රථම ද්විත්ව  කර්ණ සංඛ බද්ධය

සැත්කම කළ යුතු අවස්ථාව

 

අලුත උපන් දරුවකුගේ මොළය විකාශනය වීමේදී එහි ඇති එක් එක් කොටස්වලින් අදාළ කාර්යයන් සිදු කරයි. එනම්, ඇස් පෙනීම, කථනය, අත් පා චලනය වීම සහ කන් ඇසීම සම්බන්ධයෙන් ක්‍රියාකරන එක් එක් කොටස් අප මොළය තුළ පවතී. ඒ අනුව මේ එක් එක් අවයවයන්ගේ ක්‍රියාකාරකම් තීරණය කරනු ලබයි. මේ අතරින් කන් ඇහීම සම්බන්ධ කොටස හා කථනය සම්බන්ධ කොටස සමඟ සම්බන්ධතාවයක් පවතින අතර එය නිවැරදිව සිදු විය යුතුය. කෙනෙකුට ඇසෙන විට ඉන් කතා කළ හැකි කොටසට සංඥා නිකුත් කරයි. කෙනෙකුගේ උපතින් කන් නො ඇසෙන අවස්ථාවක කතා කළ හැකි කොටස ඊට අනුරූපව ප්‍රතික්‍රියා නොදක්වයි. එයින් හැඟී යන්නේ එහි ක්‍රියාකාරිත්වය නිසිපරිදි සිදු නොවන බවයි. මේනිසා ඔහු ගොළු අයකු බවට පත්වේ.

 

සැත්කමේ සාර්ථකත්වය

සාමාන්‍යයෙන් දරුවකු වසර 3ක් පමණ ගතවනවිට මොළයේ විකාශනය වීම සිදුවේ. එනිසා කන් ඇසීම දුර්වල බව දැනගත් වහාම කුඩා දරුවන්ගේ කර්ණ සංඛ බද්ධය සිදු කිරීම කළ යුතුය. එවිට ඉතාම සාර්ථක ප්‍රතිඵල ළඟාකරගත හැකිය. කාල වකවානුවක් දක්වන්නේ නම් වසර තුනක් ගෙවීයාමට මත්තෙන් කර්ණ සංඛ බද්ධය සිදු කිරීම වඩාත් සුදුසු වේ.

සමහරවිට බොහෝ කාලයක් ගත වී ඊට ප්‍රතිකාර කර කර්ණ සංඛ බද්ධයක් සිදු කළ ද කථනය හා සම්බන්ධ කොටස කාලයක පටන් අක්‍රීයව පැවැති නිසා කතා කිරීමට නොහැකි වේ. එනිසා වයස අවුරුදු 16 සිට වැඩිහිටි අවදිය දක්වා වයස්ගත වූ උදවිය මෙම ශල්‍යකර්මය කර ගැනීමට පැමිණියද ඔවුන්ට බලාපොරොත්තු වූ ප්‍රතිඵල අත් කරගත නොහැකිය. ඊට හේතු වන්නේ ඔවුන්ගේ කථන කොටස ක්‍රමානුකූලව දියුණු වී නොමැති වීමය. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන මොළයේ කොටස හීනවී තිබීමය. එනිසා වැඩිවියට පත් වූ පසු මෙම ශෛලකර්මය සිදු කර ගැනීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල අත්කරගත නොහැකිය. කල්ගත වී සිදු කරන කර්ණ සංඛ බද්ධයෙන් කිසියම් ප්‍රතිඵලයක් අත් වුවද 100% ප්‍රතිඵල අත්කරගත නො හැකිවේ.

මාස 8 දරුවන්ට මෙම ශල්‍යකර්මය සිදු කර ඇති අතර, ශල්‍යකර්මය සිදු කර තුවාල සුවවී සති දෙකක් පමණ ගෙවුණු තැන ශ්‍රවණේන්ද්‍රිය මත සවිකළ ඉලෙක්ට්‍රොනික උපකරණය සක්‍රීය කරනු ලබයි. ඉන් අනතරුව දරුවාට සාමාන්‍ය ලෙස ශ්‍රවණය වීමට පටන් ගනී. මෙලෙස ශබ්ද ඇසුණු සැණින් දරුවා කතා නොකරන අතර, මෙතෙක් නොඇසුණු ශබ්ද වචනවලට පෙරළා ගැනීමට වාචික චිකිත්සක ක්‍රම භාවිතා කළ යුතුය. එය හඳුන්වන්නේ ‘ස්පීච් තෙරපි‘ කියාය. ඔහුට කිසියම් ශබ්දයක් ඇසෙන්නට සලස්වා එය හඳුන්වා දීම මඟින් ඒවා වචනවලට පෙරළා ගැනීමට ඔහුට උපකාරීවීම මින් සිදු කෙරේ. කර්ණ සංඛ බද්ධය සිදු කළ දරුවකුට මෙම වාචික චිකිත්සාව ඉතාම වැදගත් වන අතර එසේ නොකර ශල්‍යකර්මය පමණක් සිදු කළ දරුවන් කතා කිරීමට මාස 6-8 පමණ කල් ගතවේ. වාචික චිකිත්සාව නැතිනම් කථන චිකිත්සාව සිදු කළ දරුවන් මාස දෙක තුන පමණ ගතවනවිට කතා කිරීමට පටන් ගනී.

රැහැන් රහිත ​N7 ප්‍රොෙස­ස­ර­යක් සහිත  Freedom Nucleus freedom contour advance උපාං­ගය සවි කළ පසු පෙනෙ­න­යුරු දැක්වෙන මුහු­ණෙහි පැති කඩක්

 

ශල්‍යකර්මයේ අවදානම

ඕනෑම ශල්‍යකර්මයක අවදානමක් පවතී. අප ඖෂධ පාවිච්චි කළද එහි අතුරු ආබාධ තිබේ. මෙම ශල්‍යකර්මයේ අතුරු ආබාධ පිළිබඳ විමසීමේදී මෙම ශල්‍යකර්මය මඟින් ඉලෙක්ට්‍රොනික උපකරණයක් කර්ණ සංඛයට ඇතුළු කිරීම සිදු කරයි. එය ජීවිත කාලය තුළම එහි රැඳී තිබෙන උපකරණයකි. එලෙස කාලාන්තරයක් තිස්සේ කිසියම් උපකරණයක් ශරීරය තුළ පවතිනවිට එමඟින් ආසාදන ඇති විය හැකිය. එනිසා එම ආසාදන පාලනය කිරීමට ශල්‍යකර්මය සිදු කිරීමට ප්‍රථම ප්‍රතිශක්තිකරණ එන්නත් මාලාවක් ලබාදීම සිදු කරයි. ප්‍රතිශක්තිකරණය මඟින් රෝගවලින් ආරක්ෂාවන්නා සේම මෙම උපකරණය නිසා ඇතිවිය හැකි ආසාදිත තත්ත්වයන් ද පාලනය වේ.

අනෙක් අතට මෙම ශල්‍යකර්මය පැය හතරක් හෝ පහක් ගතවන ඉතාම සංකීර්ණ ශල්‍යකර්මයක් වන අතර, මොළයට ඇතුළු කරන මෙම ඉලෙක්ට්‍රොනික උපකරණය ඉතාම සියුම් ස්නායු, රුධිරනාල හරහා ගමන් කර සවි කළ යුතුය. එවැනි සියුම් කටයුත්තක් සිදු කිරීමේදී කිසියම් අවදානමක් නොපවතිනවාම නොවේ.

එසේ වුවත් මේ දක්වා එවැනි අවස්ථාවන් ලොව පුරාම වර්තාවී ඇත්තේ ලක්ෂයකට එකක් හෝ දෙකක් පමණි. වෛද්‍ය සංජීවනී රූපසිංහ පවසන ආකාරයට මෙම ශල්‍යකර්මය මෙරට දරුවන් 1,200කට පමණ ඉතාම සාර්ථකව සිදු කර ඇත. මේ දක්වා ඇය විසින් කළ කිසිදු ශල්‍යකර්මයක් අවදානම්කාරී තත්වයකට මුහුණපා නැති අතර, ශල්‍යකර්මය සිදු කරන කාලසීමාව පුරාම අදාළ ස්නායුවේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම මඟින් එකී අවදානම වළක්වා ගනී. එසේම මෙම ශල්‍යකර්මය සිදු කිරීමට ප්‍රථම සිටී ස්කෑන් සහ එම්ආර්අයි ස්කෑන් සිදු කරනු ලබන අතර, එමඟින් අදාළ ස්නායුව සම්බන්ධයෙන්, කර්ණ සංඛය, මොළයට සංඥා ගෙන යන ස්නායුව සොයාගනී. එසේම ශල්‍යකර්මයට භාජනවන පුද්ගලයාගේ වෙනත් රෝගී තත්ත්වයන් හා ඊට මුහුණදීමේදී ඇති විය හැකි වෙනත් සංකූලතා ඇත්දැයි මින් සොයා බලන නිසා මෙම ශෛල්‍යකර්මය සිදු කිරීමෙදී ඇතිවන අවදානම ඉතාම අල්පය.

මෙය දරුවා ගෙදරට සමාජයට රටට බරක් නොවී යහපත් පුරවැසියකු කිරීමට යොදන සාර්ථක අඩිතාලමකි. එමෙන්ම එය ඔවුන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයකි. ඇතැම් අය මෙම ශල්‍යකර්මය පෞද්ගලික රෝහල් මඟින් සිදු කරගත්තද එසේ කළ නොහැකි දරුවන්ට ගැටලුවක්ව පවතින්නේ මෙම ශල්‍යකර්මය රජයේ රෝහල් මඟින් සිදු කර ගැනීමට යාමේදී පොරොත්තු ලේඛනයේ සිටීමට සිදු වීමය.

 

 

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර රෝහලේ උගුර කන නාසය පිළි­බඳ උප­දේ­ශක ශල්‍ය වෛද්‍ය 
සංජී­වනී රූප­සිංහ

Comments