ලේඛ­නා­ලය විද්‍යාවේ ලංකා තිල­කය ඉයන් ගුණ­ති­ලක | Page 2 | සිළුමිණ

ලේඛ­නා­ලය විද්‍යාවේ ලංකා තිල­කය ඉයන් ගුණ­ති­ලක

ඥාන ගවේෂණය හා ව්‍යාප්තිය විශ්වවිද්‍යාලයක ප්‍රමුඛතම කාර්යයයි. ශාස්ත්‍රායතානුබද්ධව මෙන්ම ඉන් පරිබාහිරවද ශාස්ත්‍රඥයන් විසින් සම්පාදනය කෙරෙන ඥානය සංරක්ෂණය වන්නේ ග්‍රන්ථ හා ලේඛන ස්වරූපයෙනි ලේඛනාරූඪ වන එම ඥානය භූගෝලීය සීමා විනිවිද ලොව පුරා සංසරණය වීමෙන් විශ්වඥානයක් බවට පත් වෙයි ශාස්ත්‍ර ගවේෂණයෙහි ලා ශිෂ්‍යයාට මෙන්ම ශික්ෂකයාටද පිහිට වන්නේ එසේ ග්‍රන්ථ ලෙස සංරක්ෂණය වන ඥානයයි. ලංකාවේ නූතන ශාස්ත්‍ර පුනරුදයේ සමාරම්භක අවධියේ ශාස්ත්‍ර ගවේෂකයන් බොහෝ දුර බැහැර ගෙවා ශාස්ත්‍ර ඥානයෙන් සමෘද්ධ උගතුන් කරා එළඹ දුක සේ ශාස්ත්‍ර ගවේෂණයේ යෙදුණු අවස්ථා පිළිබඳව මේ තීරුවෙන් මීට පෙර සාකච්ඡා කෙරිණ. පසුව අනුක්‍රමයෙන් ග්‍රන්ථ සම්පාදනය සිදු වී ඒ් ග්‍රන්ථ අභිනවයෙන් තැනුණු පොත්ගුල්වල සංරක්ෂණය වීමත් සමඟ ගුරුන් අභිමුඛව මෙන්ම අනභිමුඛයෙහිද ශාස්ත්‍ර ගවේෂණයෙහි නිමග්න වූ උගතුන් අතින් ඥාන ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් සිදු විය.

පුරාණ ලංකාවේ දියුණු පොත්ගුල් සම්ප්‍රදායයක් පැවති අතර නූතන ලේඛනාලය බිහිවන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිටය. ලංකා විශ්වවිද්‍යාල විද්‍යායතනය බිහි වීමත් සමඟ ඇරඹෙන විශ්වවිද්‍යාල ලේඛනාලය අනුක්‍රමයෙන් දියුණු වී පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ වීමත් සමඟ මෙරට විවිධ විෂය ක්ෂේත්‍රවලට අයත් ග්‍රන්ථ සමුදායකින් යුත් නැණ සයුරක් වන් අංග සම්පූර්ණ ලේඛනාලයක් නිර්මාණය විය. ලංකා විශ්වවිද්‍යාලයීය ලේඛනාලයේ ප්‍රථම ලේඛනාලයාධිපති තනතුර හොබවන ලද්දේ ආර්. එස්. එන්රයිට් නමැති පරමාදර්ශී විද්වතාණන් විසිනි. 1925 වර්ෂයේදී පොත් හාරදහසකින් ඇරඹුණු ලේඛනාලය 1952 වර්ෂය වන විට පොත් අසු දහසකින් සමන්විත විය. එන්රයිට් මහතාගෙන් පසු එස්. සී. බ්ලොක් සහ කේ. ඩී. සෝමදාස යන විද්වතුන් පේරාදෙණිය විශ්විද්‍යාලයේ ලේඛනාලයාධිපති තනතුර දරා ඇති අතර මේ දෙපළ නොයෙක් අංශවලින් ස්වකීය වෘත්තීය භූමිකාව ශෝභාවත් කළහ. 1971 වර්ෂයේ ඉයන් ගුණතිලක ලේඛනාලයාධිපති තනතුරට පත් වූ අතර පූර්වගාමීන්ගේ මෙහෙවර කාලානුරූපව අර්ථවත් කරමින් දශකයට ආසන්න කාලයක් ශාස්ත්‍ර ලෝකයට අමිල සේවයක් කිරීමට ඔහු සමත් විය. ඉයන් ගුණතිලක හුදු ලේඛනාලයාධිපතිවරයෙක් පමණක් නොවීය. ඔහු පළමු පෙළේ ශාස්ත්‍රඥයෙක්, එමෙන්ම නූතන සියුම් කලාවන් පිළිබඳ මෙන්ම ජගත් කීර්තිධර කලාකරුවන් පිළිබඳවද මනා අවබෝධයක් ඇති කලා රසිකයෙකි. විශිෂ්ටයන්ගේ චරිතාලේඛ්‍ය ඔහු අතින් සම්පාදනය වූයේත් ශාස්ත්‍ර ගවේෂකයන්ට මහෝපකාරී වන ලේඛනාවලී කිහිපයක් ඔහු අතින් සම්පාදනය වූයේත් මේ උපනිශ්‍රය සම්පත් හේතු කොට ගෙනය.

හෙන්රි ඇල්ෆ්‍රඩ් ඉයන් ගුණතිලක උපත සිදු වූයේ 1922 වර්ෂයේ ජනවාරි මස 05 වැනි දිනයග ඉයන් ගුණතිලකගේ පරපුරේ පූර්වගාමීහු විද්වත් වෘත්තීය ක්ෂේත්‍රවල නිරත වූවෝ වෙති. ඔහුගේ මුත්තණුවන් මහනුවර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු ලෙස කටයුතු කළ අතර පියා මහනුවර දිස්ත්‍රික් උසාවියේ ලේකම්වරයකු ලෙස සේවය කෙළේය. ඉයන් ගුණතිලක සිව් හැවිරිදි වියේදී පියාගේ හදිසි අභාවය සිදු විය. එහෙත් ඉයන්ගේ ළමා විය පියා අහිමි වීමෙන් ජනිත කම්පනයෙන් හා අනාරක්ෂිත බවෙන් මුදා ගැනීමට වැඩිහිට ඥාතීහු වග බලා ගත්හ. මේ අය අතුරින් දෙදෙනකු නීතිවේදීන් වූ අතර ඉන් එක් අයෙක් දැඩි ලෙස ශාස්ත්‍රීය කටයුතුවලට නැඹුරු වූවෙකි. විලියම් ගුණතිලක නම් වූ හෙතෙම එවක ප්‍රසිද්ධ ශාස්ත්‍රීය ප්‍රකාශනයක් වූ Orientalist සඟරාවේ සංස්කාරකවරයා විය. ඔහු සතුව පෞද්ගලික ලේඛනාලයක්ද විය. මේ පරිසරය ළමා ඉයන්ගේ අනාගත දිවි මංපෙත පාදා ගැනීමට බෙහෙවින් ඉවහල් විය.

ඉයන් ගුණතිලකගේ පාසල් අධ්‍යාපනය දිවයිනේ එවක පැවති ප්‍රසිද්ධ පාඨශාලා කිහිපයකින් සපුරා ගැනිණග මුලින්ම ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍ර හදාළ ඉයන් පසුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත්ව පාසල් අධ්‍යාපන කටයුතු මනා ලෙස නිම කෙළේය. මේ පාඨශාලා දෙකෙහිම අංග සම්පූර්ණ ලේඛනාලය තිබුණු බැවින් ඉයන්ගේ පාසල් වියේදී ලේඛනාලය පරිශීලනයෙන් ඔහු උපරිම පල නෙළා ගත් අතර ලේඛනාලයක වැදගත්කම ද ඔහුට මැනවින් අවබෝධ වී තිබිණ.

විශිෂ්ට ගුරු සේවනයෙන් හා ලේඛනාලය ඇසුරෙන් වර්ධනය කර ගත් ඥානයෙන් සමෘද්ධ වූ ඉයන් අදාළ විභාගවලින් උත්තීර්ණව 1937 වර්ෂයේදී ලංකා විශ්වවිද්‍යාලයීය විද්‍යායතනයට පිවිසිණ. 1940 වර්ෂයේදී ශාස්ත්‍රවේදී උපාධිය ලද අතර එතැන් සිට දශකයකට අධික කාලයක් පිළිබඳ ඔහුගේ ජීවන තොරතුරු අප්‍රකටය. ඉයන් ගුණතිලක 1950 දශකයේ මුල් භාගයේ මදුරාසි විශ්වවිද්‍යාලයට බැඳී ලේඛනාලය විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතුවල නිරත විය. 1952 වර්ෂයේ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙන ගිය පසු 1953 වර්ෂයේ සහාය ලේඛනාලයාධිපති තනතුරට ඉයන් ගුණතිලක බඳවා ගන්නා ලද්දේ ඒවක සිටි කීර්තිමත් උපකුලපතිවරයකු වූ ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් විසිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ලේඛනාලයේ සේවයට බැඳී නොබෝ කලකින් ස්වකීය විෂය ක්ෂේත්‍රය පිළිබඳ වැඩි දුර අධ්‍යාපනය ලැබීම සඳහා ඉයන් ගුණතිලක 1955 වර්ෂයේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයට බැඳී මහාචාර්ය රේමන්ඩ් අර්වින්, ශ්‍රීමත් ෆ්රෑන්ක් ෆ්රැන්සිස්ල රෝලන්ඩ් ස්ටේව්ලි සහ මේරි පිගට් යන කීර්තිමත් ආචාර්යවරුන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ ලේඛනාලයීය සහ විඥාපන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීය. වැඩි කලක් ගත වීමට මත්තෙන් ලේඛනාලය විද්‍යාව විෂයයෙහි ජාත්‍යන්තර පිළිගැනීමක් ඉයන් ගුණතිලකට හිමි විය.

ලේඛනාලයාධිපතිවරයකුගේ භූමිකාවට අයත් විෂයපාරගත ශික්ෂණය නොමඳව ඉයන් ගුණතිලක නමැති ශාස්ත්‍රඥයා වෙතින් මූර්තිමත් විය. මේ කරුණ අවබෝධ කර ගැනීම සඳහා යෝග්‍යතම නිදසුන වන්නේ ඔහු විසින් සම්පාදිත වෙලුම් පහකින් සමන්විත A Bibliography of Ceylon ග්‍රන්ථාවලිය. ශ්‍රී ලාංකේය අධ්‍යයන සඳහා ඉවහල් කොට ගත හැකි පරිසමාප්ත ග්‍රන්ථ හා ලේඛන නාමාවලියක් වන මෙය දේශීය මෙන්ම විදේශීය විද්වතුන්ගේද හස්තසාර ග්‍රන්ථාවලියකි. මේ ග්‍රන්ථාවලියෙහි සවන වෙලුමද ගුණතිලකයන් විසින් සංගෘහීතව අදටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ලේඛනාලයේ අත් පිටපතක් වශයෙන් සංරක්ෂිතව පවතී. මේ විශිෂ්ට ග්‍රන්ථය නොපමාව මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත් කිරීම මෙන් ම 1970 දශකයෙන් පසු ව නිර්මාණය වුණු දැවැන්ත ඥාන සම්භාරය සම්බන්ධ තොරතුරු සංග්‍රහ කරමින් එය යාවත්කාලීන කිරීමද ඉයන් ගුණතිලක විද්වතාණන් වෙත පිදෙන ප්‍රණාමයක් වන බැවින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරයේ අවධානය ඒ් කෙරෙහි යෙමු වනු ඇතැයි අපේක්ෂා කරමි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් ප්‍රකාශිත The Sri Lanka Journal of the Humanities නමැති ශාස්ත්‍රීය සංග්‍රහයේ පළමු වෙළුමේ දෙවැනි අංකයට ඉයන් ගුණතිලක විසින් සම්පාදිත Robert Knox in the Kandyan Kingdom, 1660-1679ථ A

Bio-Bibliographical Commentary මැයෙන් යුත් සාරවත් නිබන්ධය එතුමන්ගේ ශාස්ත්‍රපාරගතභාවයට දැක්විය හැකි තවත් කදිම නිදසුනකි. 1971 වර්ෂය වන තෙක් රොබට් නොක්ස් පිළිබඳ ලියවුණු සියලු මූලාශ්‍රය පිළිබඳ ලේඛනනාමාවලියක් රොබට් නොක්ස් පිළිබඳ දීර්ඝ විවරණයක් සහිතව රචිත ඒ් ලිපිය පරිශීලනය කරන විට තැන්පත් සන්සුන් මනසකින් ග්‍රන්ථාර්ණවයෙහි පත්ලට කිමිදුණු ශාස්ත්‍රඥයකුගේ ප්‍රතාපවත් රූපකාය අප අභිමුව ප්‍රාදූර්භූත වන්නේය. මේ විචක්ෂණ ශාස්ත්‍රගවේෂී අධ්‍යාත්මයේ ප්‍රභාව ඔහු විසින් සම්පාදිත විශිෂ්ට ග්‍රන්ථ නාමාවලි මාලාවේ සහ චරිතාලේඛ්‍යාවලියේ ද ඇතැම් කෘති සඳහා සම්පාදිත සාරගර්භ හැඳින්වීම්වලද නොමඳව දැකිය හැකියග අදීන පෞරුෂ්‍යයක් හිමි ඉයන් ගුණතිලක නමැති ලේඛනාලයාධිපතිවරයා තම ප්‍රතිපත්තිගරුක පැවැත්මට අයෝග්‍ය අප්‍රසන්න වාතාවරණයක් පැන නැගුණු බැවින් විශ්‍රාම වයසට කලින් සේවයෙන් ඉවත් වීමට ගත් තීරණය එවක සිටි උපකුලපතිවරයාගේ කාරුණික ඉල්ලීම හමුවේ පවා වෙනස් නොවිණ. විශ්වවිද්‍යාලයේ සේවයෙන් ඉවත් වුවද මිය යන තෙක්ම ශාස්ත්‍රීය මෙහෙයෙහි නිමග්න වීම මේ ශ්‍රේෂ්ඨ විද්වතාගේ සුවිශේෂ ලක්ෂණයකි. එකාසූ වන වියෙහි පසු වූ ඉයන් ගුණතිලක විද්වතාණෝ 2003 වර්ෂයේ මැයි මස 23 වැනි දා දිවි සැරිය නිම කළහ.

Comments