නවීක­ර­ණය වූ කොළඹ රටේ ඉපැ­රණි ළිං තාම තියේ | සිළුමිණ

නවීක­ර­ණය වූ කොළඹ රටේ ඉපැ­රණි ළිං තාම තියේ

 

 

ක්ලෝරින් මුසු ජලයෙන් හැමදාම නාන අයට, ගම්බද සීතල දිය පිරුණු ළිඳකින් නාන්නට ඇත්නම් කොතරම් නම් අගේද? ඒත් මේ කොළොම්පුරයේ එවැනි ළිං කොහේ ඇතිද.? අපට එහෙම හිතුනත් කොළඹ ඇති නානළිං සමූහයක් ගැනයි මේ කතාව.

වසර 100 එහා ගිය අතීතයකට හිමිකම් කියන මේ ළිං වලින් ඒ කාලේ කවුරුත් නාලා තියෙන්නේ ළිඳෙන් ඇදලා පුරවගෙන. හරියට ආඬි ළිඳක් වගේ ඇල් වතුර අවශ්‍ය නම් ඇල්වතුර. උණුවතුර අවැසි නම් උණු වතුර. කොපමණ නෑවත් ශත 10 - 15 අය කරන්නේ. වතුර රත් කරන්න ඕනෙ තරම් දරත් තිබිලා තියනවා. ඒකාලේ පිටකොටුවේ ගුණසිංහපුර ඩයස් පෙදෙසේ ෆයිස් පාරේ සුචරිතය අවට නාන ළිං 6ක් පමණ තිබී ඇති අතර මරදාන මරියකඩේ, කොම්පඤ්ඤවීදියේ, මාලිගාතැන්නේත් නාන ළිං තිබී ඇත. මේ වන විට මරදාන, කොම්පඤ්ඤවීදිය, මාලිගාවත්ත ප්‍රදේශවල නාන ළිං වසා දමා ඇත්තේ, පසුකාලිනව එම ස්ථාන වලද නිවාස ඉදිවූ බැවිනි.

පිටකොටුව, ගුණසිංහපුර ඩයස් පෙදෙසේ නාන ළිඳ වසර 91ක් පැරණිය. එම ළිඳේ අයිතිය මාඩසාම් නම් දෙමළ අයකුටය. යාපනයේ සිට පැමිණි මාඩසාම් 1930 ගණන්වල රජයට අයත් පර්චස් 1 1/2 ඉඩමක පිහිටි ළිඳ රැක බලා ගත්තේය.

මුල් යුගයේ මෙම ළිඳ ගඩොලින් බැඳ තිබූ අතර සිමෙන්ති දමා සකස් කළේ පසුකාලීනවය. අඩි 50 පමණ ගැඹුරින් යුක්ත මෙය ආඬි ළිඳක ස්වරූපය ගනී. දැන් මේ ළිඳ බලාගන්නේ, මාරියප්පන් මනෝ (32) නම් අයෙකි. මේ ඔහුගේ අදහස්.

“නාන ළිඳ රැකගෙන පවත්වාගෙන ආව මාඩසාමි මගේ සීයා. ඉස්සර උල්පත් ජලය ගත්තේ පනිට්ටුවලින් ඇදලා. 1980 පමණ ශතයයි නාන්න අය කළේ. දැන් රු. 50/-ක් අය කරනවා. දැන් මෝටරෙන් තමයි වතුර අදින්නේ. උදේ 5 ඉඳලා රෑ 10 වනතුරු ළිඳ ඇරලා තියෙනවා. නාන ළිං තියන කාමරය රෑට දොරවල් ලොක් කරනවා. සීයගෙන් පස්සේ සියගේ බිරිඳ මේ නාන ළිඳ බාරව හිටියා. පස්සේ එයාලගේ පුතාලා බලාගත්තා. ඒ විදිහට පරම්පරාවෙන් පවත්වගෙන ආපු ළිඳක් මේක. නාගරික සංවර්ධන අධිකාරියට මාසිකව රුපියල් 3500 විදුලි බිලක් ගෙවනවා මෝටරය පාවිච්චි කරන නිසා. ඊට අමතරව නාන අයට ඔළුවෙ ගාන්න පොල්තෙල්, දත්මදින්න දන්තාලේප නොමිලේ දෙනවා. නාන අයගේ ඇඳුම් මැදලා දෙන්නත් කෙනෙක් ඉන්නවා. ඒ සඳහා මුදලක් අය කරනවා. පිටකොටුවේ කඩවල වැඩකරන අය, රියදුරන්, නාට්ටාමිලා, දුර පළාත්වල අය. කොහොම වුණත් මෙතන නාන්නේ පිරිමි විතරයි.“

නිල් කැටේට සීතල ජලය නෙළුම්පත් වන් හැඩයේ නාන තටාකවලින් බාල්දි වලින් රැගෙන නාන පිරිසකි. ඒ කාලේ දිනකට මෙතනට නාන්න පැමිණෙන පිරිස 100 - 200 පමණ වන අතර පිරිසක් නානතුරු තවත් පිරිසක් එළියේ පොරොත්තු ලේඛනයේ සිටිති. මේ දිනවල දවසකට පැමිණෙන්නේ 35 - 40 පමණි. වයස් භේදයකින් තොරව දුර සිට පැමිණෙන රියදුරන්, කාර්යාලවල වැඩ කරන අය දියනාති. ඒ කාලේ නාට්ටාමිලා නාන ළිං වලින් දිනක ආදායම රු. 6000 - 8000 පමණ වුවත් දැන් දිනක ආදායම රු. 2400 පමණ වේ. මේ ළිං වලින් මූණ කට සේදුවාට ඇඟ සේදුවාට මුදල් අය නොකරන අතර මුදල් අය කරන්නේ නෑවොත් පමණි.

ඊළඟට අපි ගමන් කළේ ඩයස් පෙදෙස සුචරිතය ළඟ තියන නාන ළිං පේළියටය. මෙහි එක් නාන ළිඳක රෙදි මදින බි. එල්. එම්. හුසේන් (54) මහතා අපට පැවසුවේ මේ නාන ළිඳ අඩි 100 පමණ ගැඹුරු අතර දිග අඩි 10ක් පළල අඩිල 8ක් වන බවයි.

ඒ ප්‍රධාන හතරැස් නාන ළිඳ මැදි කර ගනිමින් වටේටම කොටු ස්වරූපයෙන් සිමෙන්තිවලින් සෑදු නාන බක්කි රැසකි. මෝටරයකින් ළිඳෙන් ඉහළට අදින ජලය ස්වයංක්‍රීයව සිදුරක් මඟින් කොටුවලට පිරවෙයි. උදේ 4.00 සිට රාත්‍රී 9.00 වනතුරු මේ නාන ළිඳ විවෘතව පවති. එළවළු හා මාළු මාකට් එකට යන එන වෙළෙඳුන්, දුර පළාත්වලින් බස්වලින් පැමිණෙන අය මින් නාති. වරකට ස්නානාය සඳහා අය කරන්නේ රු. 40 ක් පමණි. දැන් දිනකට නාන්න මෙතනට එන්නේ ද 25, 30 වගේ පිරිසකි. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසත් ඒ දිනවල මේ නාන ළිං වලින් නෑම සඳහා එහි පැමිණී බව හුසේන් ප්‍රකාශ කළේය.

“ප්‍රේමදාස මහත්තයා තමයි මේ ළිං තුන හතර අපට හදලා දුන්නේ. ඒ කාලේ ප්‍රේමදාස මහත්තයත් මේ නාන ළිංවල නාන්න ආවා. ටැප්වල වතුර නවත්තපු දවස්වලට මේ පැත්තේ අයත් නාන්න එනවා. පිටකොටුවේ වෙළෙඳාම් කරන කාන්තාවොත් මෙහේ නාලා තියනවා. සමහරු රෙදි හෝදලා වේළෙන්න දාලා යනවා. හවසට තමයි ආපහු රෙදි අරගන්නේ. ඇත්තටම මේ නාන ළිං අපට තියන වටිනාම සම්පතක්.“

පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටත් නෑමට සැකසූ නාන ළිඳක් ද ඒ සීමාවේ ඇත. එය බලා ගන්නේ නෝබට් ජෙරී නමැත්තෙකි. (53) උදේ 4 1/2 විවෘත කරන එම නාන ළිඳ වසන්නේ රාත්‍රි 8 ටය. ප්‍රධාන නාන ළිඳ පිරිමින්ට ස්නානය සඳහාත් ඇතුළේ කාමරයක විශාල හතරැස් ටැංකියක් සේ සැකසුණු නාන ළිඳ කාන්තාවන්ටත් වෙන්වී ඇත. කාන්තාවන්ගේ නාන ළිඳ සමීපයේ වැසිකිළියක් තිබේ. කාමරයේ දොර අගුළු ලාගෙන කාන්තාවන්ට ස්නානය කළ හැකි අතර පිරිමි නාන්නේ විවෘතවය. සාමාන්‍යයෙන් කුඩා දරුවන් නාන ළිංවල ස්නානය සඳහා පැමිණෙන්නේ නැත. වරකට නෑමට රු. 30ක් අය කරයි.

නෑමට ප්‍රථම නාන්න පැමිණෙන අයගේ දුරකථන, වටිනා බඩු, මුදල්, ඇඳුම් සියල්ල ආරක්ෂා කර දීමට නාන ළිං බාරව සිටින අයට භාරදෙන දේ. ඇතැම් නාන ස්ථානවලම සඳහා පැමිණෙන අයට හොඳ සේවයක් ලබාදීමටය.

සතියේ දින හතේම මෙන්ම සිංහල අලුත් අවුරුද්දට මෙම නාන ළිං විවෘතව පවතී. ඇතැම් විට තුවා, සරොම් පවා අමතරව ලබාදෙයි.

නාන ළිං බලාගන්නා අය පවසන්නේ ඉස්සර දිනකට විශාල පිරිසක් ස්නානය සඳහා නාන ළිංවලට පැමිණියත් කොරෝනාවෙන් පසු ස්නානය කිරීමට පැමිණෙන පිරිස ශීඝ්‍ර ලෙස අඩුවී ඇති බවයි.

ඇන්තනී සුදාකර් (41) හැමදාම නාන්න එන පුරුදුකාරයෙකි. නාන ළිඳ අසල තිබූ ඔහුගේ මහගෙදර විකුණා වෙනත් ප්‍රදේශයක පදිංචියට ගියත් ඔහුගේ ත්‍රීවිල් එක දුවන්නේ මේ වැයික්කියේය. රෑට ත්‍රීවිල් හයර් කරන ඔහු උදේට නාගන්න එන්නේ මෙැතනටය.

“මේ කිට්ටුව කාමරේක නැවතිලා ඉන්නේ රැකියාව නිසා. මෙතන හරි පහසුයි. නාලා රෙදි හෝදලා වේළෙන්න දාලා යනවා. මෙයාලා වේළුනාම රෙදි ටිකත් අරන් තියනවා. නාන්නා රු. 40ට පාඩු නැහැ. රෙදි හෝදගත්තොත් තව කීයක් හරි දෙනවා.“ සුළු මුදලකට සිත් සේ නාගන්න යන එන අය කොයි කවුරුත් එන නාන ළිං අසල වතුරවලින් ස්නානය කළ හැකි සේ සමහර තැන්වල වතුර කරාම සවිකර ඇත.

 

Comments