
• ආචාර්ය
යූ. අයි. මුතුකුමාරණ
“හැම දිනකම මම මරණ තර්ජනයන් යටතේ ජීවත් වෙමි. මිනිස්සු ලස්සන දේවල් කීම මීට කදිම ප්‍රතිලෝචනයකි. මට කන්ද උඩ නැඟී සිටිය හැකිවේ යැයි මම සිතමි. එහෙත් මිටියාවත මට අඬගසයි. ‘මිසිසිපි’ හි බලාපොරොත්තු භංගත්වයේ මිටියාවතේ බලාපොරොත්තුව අවශ්‍ය ජනයා සිටිති. මා මිටියාවත වෙත යා යුතුව ඇත.”
1929 ජනවාරි 15 වැනි දා ජෝර්ජියාවේ ‘ඇටිලන්ටා’ හි උපත ලද මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) ගේ පියා එකල එබ්නෙසර් බැජ්ටිස්ට් දේවස්ථානයේ සහකාර දේවගැතිවරයා විය. පවුලේ මුල වහල් භාවයෙන් ආරම්භ වූවකි. මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) ගේ මවගේ පියාවූ ‘ඇඩම්ස් විලියම්ස්’ 1863 දී වහල් දෙමාපියනට දාව උපත ලද්දෙකි.
එම වසරේදීම එවකට අමෙරිකානු ජනාධිපතිව සිටි ‘ඒබ්‍රහම් ලින්කන්’ විසින් වහල් භාවයෙන් නිදහස් කිරීමේ පනත ප්‍රකාශයට පත් කරන ලදි.
1894 දී ඔහු එබ්නෙසර් දේවස්ථානයේ දේවගැති තනතුරට පත් කරන ලදි. මෝර්හවුස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද තරුණ මාටින් ලූතර් කිං, පෙන්සිල්වේනියාවේ ‘චෙස්පර්’ අසළ දේවධර්‍ම පාසලේ වැඩිදුර අධ්‍යාපනය ලබා ‘දේවධර්‍ම ගාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගති.
මෙහිදී ‘මහත්මා ගාන්ධි’ තුමා පැවැත්වූ දේශන ඇසීමෙන් පැහැදුනු ඔහු, සමේ පාට නිසා කළු මිනිසුනට විඳින්නට සිදුවූ සියලු ආකාරයේ වෙනස්කම් හා මදි පුංචිකම්වලට එරෙහි තම සටනද, අවිහිංසා මාවතට අවතීර්ණ කිරිමට අදිටන් කරගති. ආචාර්ය කිං පසු කලෙක පවසා ඇත්තේ අවිහිංසා සංග්‍රාමය තමා උගත්තේ මහත්මා ගාන්ධිතුමා ගෙන් බවය.
1955 දී බොස්ටන් සරසවියෙන් දර්ශනවාදය පිළිබඳ ගෞරව උපාධිය ලබාගෙන, එම සරසවියේම සංගීතය හැදෑරූ කොරේටා ස්කොට් සමඟ විවාහ විය.
කුඩා කිං, ලොකු මහත් වනවිට සුදු ජාතිකයන්ගෙන්, කළු සම නිසා විඳින්නට වූ කෙණෙහිලි කම් හා මදිපුංචිකම් පිළිබඳ වේදනාකාරී අත්දැකීම් රැසක්ම විඳ තිබුණි.
එයින් ප්‍රබලවම ඔහුගේ හද සසල කළේ, තම පියා සමඟ සපත්තු සාප්පුවකට ගොස්, සුදු මිනිසුන්ට වෙන්කර තිබූ අසුනක වාඩිවී සිටින විට සාප්පු හිමියා එතැනට පැමිණ එතනින් ඉවත්ව කළු මිනිසුන්ට වෙන්ව ඇති ආසනවල වාඩිවන ලෙසට අවවාද කිරීමයි. “එක්කෝ අප මෙතැනම හිඳ සපත්තු ගන්නව, නැතිනම් කොහෙත්ම ඒවා ගන්නෙ නැතැ” යි පියා කියූ විට, සාප්පු හිමියා කීවේ වහාම ඔවුන් ඉවත්ව යා යුතු බවයි.
තම පුතා ඉදිරියේ පියෙකු ලැජ්ජාවට පත්වූ විට, පිය-පුතු දෙදෙනාටම හද දවන වේදනාවක් ඇති වේ. “මේ ක්‍රමය තව කොතෙක් කල් පැවතුනත් මා එම ක්‍රමය තවදුරටත් නිවැරදි යයි පිළිගන්නේ නැහැ යයි” සාප්පුවෙන් පිටවෙමින් තම පියා කී වදන් කුඩා කිං ගේ හදවතට තදින්ම කා වැදුනි.
අමෙරිකානු කළු ජාතිකයින් තුළ පැවති දැඩි සටන්කාමී බව, සාමකාමී විරෝධතාවයකට පරිවර්තනය කිරීමට ආචාර්ය කිං මහත් වෙහෙසක් දැරීය.
උදෑසන 6.30 පමණ වනවිට අවදිවීමට පුරුදු වී සිටි ඔහු නින්දට ගියේ අලුයම 2 ට පමණය. ඔහු තම සාම දූත මෙහෙවරේ යෙදෙමින් කැපවීමෙන් කටයුතු කළේද යත්, ඔහු 1963 වර්ෂයේ දී පමණක් සැතපුම් 275000 ක දුරක් ගෙවා තිබූ අතර, ප්‍රසිද්ධ දේශන 400 ක් පමණද පවත්වා ඇත.
අවිහිංසාවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධි මෙන්ම, මාටින් ලූතර් කිං ද සාම පා ගමන් නිසා අනේකවිධ දුක් පීඩා විඳි අයෙකි. ලිපි මඟින් හා නිර්ණාමික දුරකථන ඇමතුම් මඟින් ඔහුට නිරතුරුවම මරණීය තර්ජන එල්ල විය.
සිවිල් නීති කඩ කිරීමේ චෝදනාව මත ඔහුට 14 වරක්ම බන්ධනාගාර ගතවීමට සිදු වූවත්, අදිසි හස්තයක් ඉදිරිපත්ව දඩ මුදල් ගෙවීම නිසා කෙටි කාලසීමාවක් තුළ නිදහස් වීමට ඔහුට හැකි විය. ඔහු සිවුවරක්ම පහර දීම්වලට ලක් වූ අතර, පිහි ඇණුම් කෑමට පමණක් නොව ඔහුගේ නිවසට එල්ලවූ බෝම්බ ප්‍රහාරයන්ට ලක්වීමට ද සිදුවිය.
මෙහිදී ක්ලු - ක්ලස් - ක්ලෑන් නමැති අමෙරිකානු සුදු අන්තවාදී සංවිධානයේ ප්‍රහාරයනට ද ගොදුරු විය. බර්මිංහැම්’ නගරයේ හෝටලයකට එල්ල වූ ප්‍රහාරයෙන් දෛවෝපගතව ගැලවීමට හැකි විය. කිසි විටකත් තම භාර්යාව සමඟ එකට ගමන් නොගියේ දරුවන් සිවුදෙනා අනාථ භාවයට පත්වීමේ අවදානම මඟහැරවීමටය.
මොහුගේ අවිහිංසාවාදී ක්‍රියාමාර්ග නිසා 1964 වර්‍ෂයේදී ආචාර්ය කිං ට නෝබල් සාම ත්‍යාගය ද පිරිනැමිණ. මෙම ත්‍යාගයේ මූල්‍යමය වටිනාකම වූ ඇ. ඩො. 54000 මුදල ඔහුට සැපවත් ජීවිතයක් ගත කිරිමට ප්‍රමාණවත් වුවද, කළු ජාතිකයන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් වූ ‘ප්‍රජා උරුමයන් දිනා ගැනීමේ ව්‍යාපාරය’ සඳහා එම මුදල යොදවන ලදි.
මෙම අවිහිංසා සටන්වලින් ජයග්‍රහණ රැසක් හිමි විය. 1955 දෙසැ: 01 දා ‘රෝසා පාර්ක්’ සිදුවීමට අදාළව බස්රථ තුළ කළු මිනිසාට සිදුවන වෙනස්කම්වලට එරෙහිව කළ වර්ජනයෙන් දින 381 කට පසුව, අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ‘බස්රථ වල කලු ජාතිකයන්ට කැමති තැනක වාඩිවී යාමේ අයිතිය’ තහවුරු කරන තීන්දුවක් ප්‍රකාශයට පත්විය.
1963 දී ‘බර්මිංහැම්’ හි ආපනශාලා ප්‍රභේදකරණයට එරෙහිව කළ වර්ජන හා පාගමන් නිසා, ‘කිං’ ඇතුළු කළු ජාතිකයන් 2500 කට බන්ධනාගාර ගතවීමට ද සිදුවිය.
මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ, ‘මානව හිමිකම් සඳහා වූ ප්‍රභේදකරණය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත’ අමෙරිකානු රජය සම්මත කිරීමය. කළු ජාතිකයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් ‘වොෂින්ටන්’ හි ‘ලින්කන් ස්මාරකය’ වෙත කළු ජාතිකයන් 250000 ක් සහභාගී වූ පා ගමන ඓතිහාසික එකක් විය. “මගේ දරුවන් සිවු දෙනාට යම් දිනක මිනිසාගේ සමේ පාට අනුව නොව, චරිත ලක්‍ෂණ අනුව සලකන රටක ජාතියක වෙසෙන්නට හැකි විය යුතුය” යන්න ආචාර්ය කිං වරක් පවසා ඇත. මෙය බුදුන් වහන්සේ ගේ “නජච්චා වසලො හොති” බුදු වදන සිහිපත් කරවන්නකි. මෙම ජයග්‍රහණ අතර මුල් තැනක් ගන්නේ “ප්‍රජා අයිතිවාසිකම් පිළිබඳ නීතිය අමෙරිකානු පාලන ප්‍රඥප්තියට ඇතුළත් කිරීමේ” ඓතිහාසික සිදුවීමයි.
‘මාටින් ලූතර් කිං’ දේවගැතිවරයකු මෙන්ම දේශපාලන යථාර්ථවාදියකු ද වශයෙන් ජාතිවාදය ප්‍රතික්‍ෂේප කළේය. ඔහු තම ජීවිත කාලයේදීම සුදු - කළු සහෝදරත්වයේ සිහිනය සැබෑවනු අපේක්‍ෂා කළේය.
ඔහු හිංසාව දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කළ කෙනෙකි. වරක් ‘ටෙනිසි ප්‍රාන්තයේ’ මෙම්පිස් හි නගර සභා සේවක වර්ජනයට සහාය දැක්වීමට පැවැති පාගමනේදී අනවපේක්‍ෂිතව සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කලකිරුණු ‘කිං’ කීවේ, “ඊයේ හිංසාකාරී ක්‍රියා සිදුවීමට හැකියාවක් තිබුණේ යැයි මා දැන සිටියා නම්, තමා ඊට සහභාගී නොවන” බවයි.
1964 අප්‍රේල් 03 දා, ‘මෙම්පිස්’ හි කළු පල්ලියක පැවැති දේශනයේදී ද, ඔහුගේ ජීවිත අවදානම ගැන ඉඟියක් පළ වී ඇත. “අනෙක් හැම කෙනෙකු සේම, මම ද දිගු කලක් ජීවත් වීමට කැමැත්තෙමි.
එහෙත් මා දැන් ඒ ගැන නොතකමි. එහෙයින් අද රාත්‍රියේ මම ප්‍රීති වෙමි. මට කිසිදෙයක් ගැන බියක් නැත. මම කිසිදු පුද්ගලයකුට බිය නොවෙමි.”
මෙම දේශනයෙන් පසු ඔහු පැමිණියේ ‘මෙම්පීස්’ හි ලොරේන් හෝටලයේ 306 කාමරයටය. සවස 6 ට ගමනක් යාමට බැල්කනියට පිවිසි ආචාර්ය මාටින් ලූතර් කිං, අසළ මාලයක සිටි ‘ජේමිස් අර්ල් රේ’ නමැති සාහසිකයා එල්ල කළ වෙඩි ප්‍රහාරයකට ගොදුරු විය. (‘කිං’ ගේ සිරුරේ තිබූ උන්ඩ රේ ගේ රයිපලයෙන් නිකුත් වූවක් නොවන බව පසුව අනාවරණය වී ඇත.)
ඔහු රෝහල් ගත කර, පැයක දී දෙකෝටි පනස් ලක්‍ෂයක් වූ කළු ජාතිකයන්ගෙන් පමණක් නොව, සමස්ත අමෙරිකානු ජනතාවගෙන් ද සමුගෙන තිබිණ. ඔහු මිය යන විට 39 වියේ පසු විය.
ඔහු ඝාතනය කරන ලද්දේ වියට්නාම් යුද්ධයට හා දිළිඳු බවට එරෙහිව ගෙනයන ලද සටන, රජයට අභියෝගයක් වූ නිසායැයි’ ජෙසී ජැක්සන් පවසා ඇත.
අමෙරිකානු සම්ප්‍රදාය බිඳ දමමින්, රාජ්‍ය තාන්ත්‍රිකයතු නොවූ ආචාර්ය මාටින් ලූතර් කිං නමැති මේ මානව හිතවාදියා වෙනුවෙන්, එවකට අමෙරිකානු ජනාධිපති ව සිටි ලින්ඩන් බී. ජොන්සන් විසින් 1964.04.07 දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර, සියලුම රාජ්‍ය ආයතනවල හා විදේශීය අමෙරිකානු තානාපති කාර්යාලවල අමෙරිකානු ජාතික කොඩිය අඩකුඹු කරන ලදි.
එහෙත්, මෙම ඝානතයෙන් කෝපයට පත් කළු ජාතිකයන් වොෂින්ටනය ඇතුලු නගර කිහිපයක විශාල දේපළ හානියක් කළ අතර, අමෙරිකානු හමුදාවට රටේ හදිසි තත්ත්‍වයක් ප්‍රකාශයට පත් කර, එය මැඬ පැවැත්වීමට අතිමහත් ප්‍රයත්නයක් දැරීමට ද සිදුවිය. ඔහුගේ දේහයට ගෞරව කිරීමට පෙළගැසුණු ජනයාගේ පෝලිම කි.මී. 1½ ක් දිගු විය. එය දිවා රෑ ඉදිරියට ඇදුනත් කිසිවිටකත් කෙටි එකක් නොවීය.
කළු ජනතාව පමණක් නොව සුදු ජාතිකයන් ද එහි එකට ගමන් කළහ.
ආචාර්ය මාටින් ලූතර් කිං මිය වන විට ඔහු ලෝකයේ සුවිශේෂී ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ව සිටියේය. ශෝකය පල කිරීමට ඔහුගේ නිවසට ගිය සියලුම දෙනාට “ඔහු තම කතාවට ඔබින පරිදි චාම්ව, සරලව දිවි ගෙවූ අයකු බව” පැහැදිලි විය. ඔහුගේ වචනය හා ක්‍රියාව එකක්ම විය. ලොව ඇති වූ දා සිට කෝටි - ප්‍රකෝටි ගණන් මිනිසුන් ජීවත්ව මියැදුනත්, මිනිසත් බව ඉක්මවූ දේවත්වයට ළං වූ පුද්ගලයන් බිහිවන්නේ කලාතුරකිනි. අන්‍යයන්ගේ යහපත තකා, පරිත්‍යාගශීලීව, පරාර්ථකාමීව කැපවීමෙන් ක්‍රියා කළ මිනිසුන් සමු ගන්නේ, අවට සිටින්නවුන් ගේ දෑසට කඳුළක් ද එක් කරමිනි,
ආචාර්ය කිං ඔහු උපන් ජාතියටත්, රටටත් අභිමානවත් පුද්ගලයකු වූවාසේම, මානව ඉතිහාසයේ උදාර මිනිසකු බවද සනිටුහන් කර ඇත. ඔහුගේ අවමංගලෝත්සවය සුවිශේෂී එකක්ම විය. ඔහුගේ සමු ගැනීමෙන් දින 04 කට පසුව පැවැති අනුස්මරණ උත්සවයක් අමතමින්, සැලෙන හදින් යුතුව දයාබර භාර්යාව ‘කොරේටා කිං’ මැතිනිය පැවැසුයේ “ඔහු ලෝකයේ දුප්පතුන් වෙනුවෙන් ද, මෙම්පීස් හි කසළ ශෝධක කම්කරුවන් හා වියට්නාමයේ ගොවින් වෙනුවෙන්” ද තම ජීවිතය පූජා කළ බවයි. ඔහු මිහිදන් කළ සදර්න් විශ්වවිද්‍යාල සුසාන භූමියේ ශිලා පුවරුවක ඔහුගේම වදන් ලෙස මෙසේ සඳහන් වෙයි.
‘අන්තිමේදී නිදහස්, අන්තිමේදී නිදහස්, සර්වබලධාරී දෙවියනි ඔබට පින් සිදු වෙයි මා අන්තිමේදී නිදහස්.’
(මාටින් ලූතර් කිං - ජිවිතය හා මරණය - ස්තනිස්ලාව් කොන්ද්‍රෂොව් පරිවර්තනය : පියසේන මානිල්ගම කෘතිය ඇසුරෙනි)