රටින් රට හැඩකරමින් ඉදිවන ‘සාගර නගර’ | සිළුමිණ

රටින් රට හැඩකරමින් ඉදිවන ‘සාගර නගර’

පැසි­ෆික් සාග­රයේ නිර්මා­ණය කිරී­මට නිය­මිත ජපාන සාගර නග­රය

පෘථිවි ගෝලයේ මහාද්වීප හෙවත් ගොඩබිමට වඩා සාගරය වැඩි බව කවුරුත් දන්නා කාරණයකි. දිනෙන් දින මිලියන ගණනින් වැඩිවන ජනගහණයට සුදුසු වාසභූමි ලෙස සෑම ගොඩබිම් ප්‍රදේශයක්ම සැලකිය නොහැකිය. මිනිසා තාක්ෂණය යොදා ගනිමින් සාගරය ආශ්‍රිතව වාස භූමි ඉදි කිරීම ආරම්භ කළේ මීට සියවසකටත් ඉහතදීය. මේ වන විට මෙවැනි ‘සාගර නගර’ ලෝකයේ සාගර ප්‍රදේශයකට හිමිකම් කියන රටවල් රැසක්ම ඉදි කර තිබේ. මෙවැනි ‘සාගර නගර’ සැබවින්ම සංචාරක ආකර්ෂණයද සහිත බැවින් ඒව ඉදි කිරීමේ වාසි බොහොමයකි. මේ වාසි ලබා ගැනීම අරමුණු කර ගනිමින් ලොව පුරා ඉදි කර ඇති ‘සාගර නගර’ කිහිපයක් මෙසේය.

 

 

 පැසි­ෆික් සාග­රයේ පෙන්ග් නා බොක්ක ආශ්‍රි­තව තායි­ලන්ත මුහුදු සීමාවේ  නිර්මා­ණය කර ඇති

 

 

අත්ලා­න්තික් සාග­රයේ මෙක්සි­කානු මුහුදු සීමාවේ නිර්මා­ණය කර ඇති මෙක්සි­කානු වැනී­සය හෙවත් මෙක්සි­කැ­ල්ටි­නන් නග­රය
 
 
 
ඉන්දි­යානු සාග­රයේ නිර්මා­ණය කරන සිංග­ප්පූරු වරාය නග­රය
 
 
 
. අරාබි මුහුදේ නිර්මා­ණය කර ඇති ඩුබායි නග­ර­යට අයත් දූපත්
 
 
 
අත්ලා­න්තික් සාග­රයේ ගෝත­මා­ලානු මුහුදු සීමාවේ නිර්මා­ණය කර ඇති ෆ්ලොරිස් නග­රය
 
 
ඉන්දි­යානු සාග­රයේ නිර්මා­ණය කිරී­මට නිය­මිත ඉන්දු­නී­සි­යානු අග­නු­වර
 
 
 

 

 

 

 

 කෝ පන්යි නග­රය.

තායිලන්තයේ

කෝ පන්යි නගරය

 

තායිලන්තය යනු සංචාරක පුරවරයකි. එරට ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තයයි.

එරට ඉදි කිරීම් බොහොමයක්ද සංචාරක කර්මාන්තය පදනම් කර ගනිමින් සිදු කෙරේ. සාගරය මත ඉදි කර ඇති ‘කෝ පන්යි’ නගරයද අයත් වන්නේ එකී සංචාරක ආකර්ෂණ සහිත ඉදිකිරීම් අතරටය. මේ නගරය පිහිටා ඇති දූපත ආශ්‍රිතව දහ අටවන සියවස දක්වා විහිද යන අතීතයක් පැවතියේ ධීවර ගම්මානයක් වශයෙනි.

එහෙත් විසිඑක්වැනි සියවස එළඹුණු පසුව සංචාරක කර්මාන්තයේ වැදගත්කම වටහා ගත් පසු මෙය නගරයක් ලෙස විධිමත් ඉදිකිරීම් යටතේ සංවර්ධනය කරනු ලැබීය.

අද වන විට පූකට් දූපතට පැමිණෙන සංචාරකයන් විශාල වශයෙන් කෝ පන්යි නගරයට ද පැමිණෙන අතර ඔවුන්ගේ දිවා ආහාරය ඇතුළු අවශ්‍යතා රැසක් මේ දූපතේදී සම්පූර්ණ කෙරේ.

 

මෙක්සිකෝවේ වැනීසිය

 

සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ඉදි කළ මෙක්සිකෝවේ මෙක්සිකැල්ටිනන් නගරය අද හැඳින්වෙන්නේ මෙක්සිකෝවේ වැනීසිය යනුවෙනි.

කුඩා ස්වභාවික දූපතක් පදනම් කර ගනිමින් ඉදි කළ මේ නගරය දිනෙන් දින එහි භූමි ප්‍රමාණය වැඩි කර ගනිමින් සිටී. වියළි කාලයට මේ නගරය අනෙකුත් සෑම දූපතක් සේම දිස් වුවද වර්ෂා කාලයට එහි පාරවල් මුහුදු ජලයෙන් වැසී යන බැවින් මහත් සංචාරක ආකර්ෂණයට ලක් වේ.

මේ වන විට දූපතේ ස්ථිර පදිංචිකරුවන් 800ක් පමණ වෙසෙන අතර ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයද වන්නේ සංචාරක කර්මාන්තයයි.

 

සිංගප්පූරුවේ

වරාය නගරය

 

ස්වභාවික සම්පත් කිසිත් නොමැති වුවද තම භූමියෙන් උපරිම ප්‍රයෝජන ගත් රටක් ලෙස සිංගප්පූරුව දැක්විය හැකිය. සිංගප්පූරුව තම රටට ආදායම් ඉපදවීමේදී සෙසු රටවල් කිසිත් සැලකිල්ලක් නොදැක්වූ බොහෝ දේ ඉතා ප්‍රයෝජනවත් ලෙස යොදාගත්හ. ඔවුන් තම රට සතු වරාය ඉතා වැඩදායී ලෙස යොදාගත්තේ ඒවායේ කටයුතු මඟින් මහත් ධනයක් රටතුළට ගෙන එමිනි. දැන් ඔවුන් විසි එක්වැනි සියවසේදී ලොවට හඳුන්වාදීමට කටයුතු කළ පුදුමය ලෙස ඔවුන්ගේ ‘වරාය නගරය’ දැක්විය හැකිය. සිංගප්පූරුව සතු ආදායම් උපදවන ප්‍රධාන මාර්ගයක් වූ වරාය කේන්ද්‍ර කර ගනිමින් ඉතා විධිමත් සේවා සැපයීමේ මධ්‍යස්ථානයක්, පරිපාලන නගරයක් සහ සන්නිවේදන මධ්‍යස්ථානයක්, ජනතා මෙන්ම සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ප්‍රදේශයක් ලෙස මෙම වරාය නගරය ඉදි කිරීම සහ දියුණු කිරීම සිංගප්පූරුවේ අභිප්‍රාය විය. මෙය සමස්ත ආසියාවේ බිහිදොර ලෙස සිංගප්පූරු විශ්ලේෂකයන්ගේ අදහස විය. එපමණක් නොව මුළු ලෝකය එකට බැඳ තබන මධ්‍යස්ථානයක් ලෙසද සිංගප්පූරුව තම වරාය නගරය හඳුන්වා තිබේ.

 

ජපාන

වරාය නගරය

 

ජපානය වඩාත් විශාල ආර්ථික අරමුණු පදනම් කර ගනිමින් පාවෙන නගරයක් මුහුද මත ඉදිකිරීමේ අභිප්‍රායෙන් පසුවේ. ඔවුන් මෙහි වැඩ නිම කිරීමට බලාපොරොත්තු වන්නේ 2025 වසරේදීය.

දූපත් රාජ්‍යයක් ලෙස කොයි පැත්තෙන් බැලුවත් මුහුද හමුවන ජපානය මුහුද මත නගර ඉදි කිරීම පුදුමයක් නොවේ. සැබවින්ම මේ නගරය ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ ජනතාවට වඩාත් සුවපහසු පදිංචි ස්ථාන ලබා දීම බව පැවසෙන අතර ඒ අතරට මැදි වූ ආර්ථික අරමුණුද රාශියක් තිබේ. මේ නගරය ඉදි කිරීමෙන් පසු දහස් ගණනක් ජනතාවට නිවාස ද අහස උසට උසැති ගොඩනැගිලිවල ඉදිකෙරෙනු ඇති අතර, ජපානය සෑම අවස්ථාවකදීම මුල් තැන දුන් අන්දමට මේ නගරය ආශ්‍රිතව වනාන්තර ඇති කිරීමටද නියමිත බව පැවසේ.

ග්වාතමාලාවේ

ෆ්ලොරිස් නගරය

 

අතීතයේදී ඉතා කුඩා ජනාවාසයක්ව පැවති පසුකාලීනව දැවැන්ත ඉදිකිරීමක් බවට පත්වූ ග්වාතමාලාවේ ෆ්ලොරිස් නගරය මුළුමනින්ම සංචාරක ආකර්ෂණය මත පවතින්නකි. නගරය ඉතා විධිමත් ලෙස ඉදි කර ඇත්තේ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමිනි. අහසට ඉතා සුන්දර ලෙස දිස්වන අන්දමින් මේ නගරයේ සියලු ගොඩනැගිලිවල වහල රතු පැහැ ගත් සෙවිලි උළු වලින් ආවරණය කර තිබේ. එයද මේ නගරයේ සුවිශේෂීත්වයකි.

2003 වසර වන විට මේ නගරයේ ස්ථිර පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව 13,000 ඉක්මවා තිබිණි.

ඉතා පටු ගොඩබිමි තීරුවකින් ගොඩබිම සමඟ සම්බන්ධව වන මේ නගරය ඒ හැර සම්පූර්ණයෙන්ම සාගරයෙන් වටවී තිබේ.

 

ඩුබායි හි සාගරය මත ඉදිකළ දූපත්

 

නව සියවසට කල් තබා සැලසුම් කළ නගරයක් ලෙස ඩුබායි දැක්විය හැකිය. ඩුබායි හි පාලකයෝ අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කර සිටියේ වසර ගණනක ඉදිරිය සැලසුම් කරමිනි.

ඒ අනුව සාගරය ගොඩ කරමින් ඒ මත සංචාරක ආකර්ෂණය දිනා ගන්නා කෘත්‍රිම දූපත් ඉදි කිරීමට ඔවුන් කටයුතු කළේ අදට දශක කිහිපයකට පෙර සිටමය. මේ වන විට ඩුබායි නගරය සතුව එවැනි කෘත්‍රිම දූපත් රාශියක් තිබේ. මේවා සංචාරක ආකර්ෂණය සහිත හෝටල් සහ නිවාස මෙන්ම බහුකාර්ය මධ්‍යස්ථාන වශයෙන්ද ක්‍රියාත්මක වේ. ඒ අතරින්ද ඉතාම ප්‍රසිද්ධ නිර්මාණය වන්නේ ‘පාම් ජුමේරා’ කෘත්‍රිම දූපත් සමූහයයි.

එය ඩුබායි කාන්තාරයේ වැවෙන ප්‍රධානම ශාකයක් වන ‘පාම්’ ගසේ අත්තක හැඩයට ඉතා සුන්දර ලෙස නිර්මාණය කර තිබේ.

එමෙන්ම මේ සුන්දර නිර්මාණය දැනට ලෝකයේ මිනිසා විසින් ගොඩනගා ඇති විශාලතම දූපත ලෙසින්ද ඉතිහාසයට එක්ව තිබේ.

මේ දූපත වටා කි‌ලෝමීටර් 5.4ක් දුරක ගමන් ගන්නා මොනෝ රේල් මාර්ගය මෙහි තවත් එක් විශේෂත්වයක් බවද පැවසිය යුතුය. මේ හැරුණු විට තවත් මිනිසා විසින් නිෂ්පාදිත කෘත්‍රිම දූපත් රාශියක්ම ඩුබායි නගරය ආශ්‍රිතව මහ මුහුද මත ඉදි කර තිබේ.

 

ඉන්දුනීසියාව

 

මේ වන විට ඉන්දුනීසියාවේ අගනුවර ලෙස පවතින්නේ ජාකර්තා නගරයයි. අනාගතයේදී එම නගරය ජලයෙන් යටවිය හැකි බවට අනාවැකි ප්‍රකාශ වී ඇති බැවින් නුදුරේදීම නව අගනුවරක් ඉදිකිරීම සම්බන්ධව ඉන්දුනීසියානු බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

බෝර්නියෝ දූපතේ ඉදිකිරීමට නියමිත මේ නගරයද ජලාශ්‍රිතව ඉදිවනු ඇති බවට අනාවැකි පළවී තිබේ.

ඉන්දුනීසියාව යනු දූපත් රාශියක එකතුවකි. එබැවින් සාගර ජලය මත ජීවිතය එරට වැසියන්ට අමුතු දෙයක් නොවේ. ඉදිරියේදී ඉදි කෙරෙනු ඇති මේ අගනුවර ඉතා විධිමත් ලෙස. සැලසුම් සහගතව ඉදිකිරීමටත් ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමටත් එරට බලධාරීහු මේ වන විට කටයුතු කරමින් සිටිති.

මේ උදාහරණවලට අමතරව තවත් රටවල් රාශියක් තමන්ට හිමි සාගරය මත නගර ඉදි කිරීමේ බලාපොරොත්තු මත මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් සිටිති.

ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ වර්ධනය වන ජනගහණයට සාපේක්ෂව ගොඩබිමද වර්ධනය කර ගැනීම මෙන්ම විධිමත් නගර ගොඩනගා ගැනීමයි.

පවතින බිමේ නගර ඉදිකිරීමට වඩා විධිමත් ලෙස සාගරය ආශ්‍රිතව නගර ඉදි කළ හැකි වීම මේ සම්බන්ධව වඩාත් අවධානය යොමු වීමට හේතුවක් වී තිබේ.

නෙදර්ලන්තයද තවත් ස්කැන්ඩිනේවියානු රටවල්ද ප්‍රංශය මෙන්ම ජර්මනියද මෙවැනි සාගර නගර ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

Comments