නිවැරැදි ල - ළ යෙදුම තව දුරටත් විමසමු | සිළුමිණ

නිවැරැදි ල - ළ යෙදුම තව දුරටත් විමසමු

 

හරි වහර විමැසුම් නුවණින් යුතුව කියවා එහි හරි වැරැදි දක්වන්නට පෙලැඹෙන්නන් වැඩි වීම මහත් සතුටට කරුණෙකි. ගිය වර ලිපියෙහි දැක්වුණු ‘පලඳ‘ ධාතුවෙන් ඇති වන පදවල (මූර්ධජ) ‘ළ‘ නොව, (දන්තජ) ‘ල‘ම යෙදෙන බව පිළිබඳ වැ වියත් කෙනෙක් විමැසීමක් කෙරෙති. සිංහලය ගැන මනා දැනුමක් ඇති කෙනකුන් සේ පෙනීයන ඔවුන්ගේ අදහස වනුයේ එහි ලා මූර්ධජ, දන්තජ දෙක ම යෙදීම නිවැරැදි බව යි. එහි ලා නිදසුනුදු දක්වන ඔහු කුමාරංතුංග මුනිදාසයන් පවා ‘ළ‘ යොදා ‘පළඳ‘ යන ක්‍රියා මූලය ලියා ඇති සැටි පෙන්වාලති.

ඒ සැබෑවෙකි. කුමාරතුංගයන් ‘ක්‍රියා විවරණය‘ නම් ග්‍රන්ථයෙහි ඒ දක්වා ඇත්තේ ‘ළ‘ සහිත වැ ‘පළඳ‘ යනුවෙනි. වෙනත් තන්හි ද එසේ ‘ළ‘ යොදා ඇති අයුරු පෙනේ. මහ වියතුනුත් මෙහි ලා ‘ළ‘ යොදන බව මුලින් ම කියන ලදුයේ මෙබඳු තැන් ඇති නිසා යි.

ඡේක ව්‍යවහාරයෙන් ම නිවැරැදි යෙදුම සොයා ගත නොහැකි කල්හි වචනයෙහි නිෂ්පත්තිය (නිපැදී ඇති අයුරු) විමසන්නට සිදු වෙයි. ‘පලඳ‘ යන්න හා අනුරූපව පාලියේ යෙදෙනුයේ ‘පිලන්ධ‘ යනු බව කලින් ලිපියේ දැක්විණ. ඒ ‘පිලන්ධ‘ යන්න හා අනුරූප වැ සංස්කෘතයේ යෙදෙනුයේ ‘අපිනන්ධ‘ යන්න බව කියැවේ. එහි යෙදෙන (දන්තජ) න පාලියේ දී (දන්තජ) ‘ල‘ බවට හැරෙති යි සිතිය හැකිය. දන්තජ අක්ෂරයන් මූර්ධජ බවට නොහැරුණ හෙයින් මෙහි (දන්තජ) ‘ල‘ යනු ම යෙදෙන බව ස්ථිරව කිය හැකිය. එනයින් සිංහලයෙහි දු ‘පලඳ‘ යන්නෙහි ‘ල‘ විනා ‘ළ‘ නො යෙදෙන බව නිසැක ය.

‘අළුයම‘ යනු ද නිතර ම වහරෙහි යෙදෙන වදනෙකි. මෙහි ද ‘ළු‘ යන මූර්ධජාක්ෂරය යෙදීම වරදෙකි. ‘අලුයම‘ යනුවෙන් (දන්තජ) ‘ලු‘ සහිතව ලිවීම නිවැරැදි වේ.

‘අලුයම‘ යනු සමාසයෙකි. එ නම් වදන් දෙකෙක එකතුවෙන් අති වූවෙකි. එහි ‘අලු‘ යනු එළිය යන අරුත දෙයි. යම යනු යාමය හෙවත් දවසෙකින් එක්තරා කොටසක් වෙයි. ‘අලු‘ යන වදන හා අනුරූප වැ පාලියෙහි ද සංස්කෘතයෙහි ද නොවෙනස් ව යෙදෙනුයේ ‘ආලෝක‘ යනු යි. එහි යෙදෙනුයේ (දන්තජ) ‘ල‘ (ලෝ) යනු ම ය. එනයින් සිංහලයෙහි ද ‘අලු‘ යන්නෙහි ‘ල‘ (ලු) විනා ‘ළ‘ (ළු) නොයෙදේ. එහෙයින් ‘අලුයම‘ යනු ම ය නිවැරැදි. ‘ළු‘ ඇති වැ ‘අළු‘ යැ යි ලියුවහොත් භස්ම හෙවත් ගිනි ගෙන දැවී ඉතිරිය අදහස් කැරේ.

‘අළුත්‘ යනු ද එසේ ම බෙහෙවින් යෙදෙන වැරැදි යෙදුමෙකි. එහි නිවැරැදි වනුයේ ‘අලුත්‘ යන (දන්තජ) ‘ල‘ යුත් වදන ය. මූර්ධජ ‘ළ‘ (ළු) සහිත ‘අළුත්‘ යන්නේ අරුත නම් ‘භස්ම ද‘ යනුයි. ‘නව‘ අරුත එ වදනෙහි නොවේ. එහෙයින් අලුත් අවුරුද්ද, අලුත් පොත ඈ තන්හි දී (නව යන අරුතින්) යෙදිය යුතු ‘අලුත්‘ යනු ම ය. මේ වදන නිපැදුණු අයුරු පැහැදිලිව කිය නොහැකිය. ඇතැම්හු ආලෝකය, එළිය යන අරුතෙහි (යට කී) ‘අලු‘ යන්නට ‘අත්‘ ප්‍රත්‍යය එක් ව නිපන් තද්ධිතයක් සේ මෙය දක්වති. නව දෙයෙහි එළියක් ඇති හෙයින් ‘අලුත්‘ යනු නව, නවීන අරුතෙහි යෙදෙති යි යනු ඔවුන්ගේ මතයයි. මේ තවද විමැසිල්ලට ලක් කළ යුතු බව හැඟේ.

නිතර වරදවන තව ද වදනක් නම් ‘දැළි‘ යනු යි. ‘දැළි වළන්‘, ‘දැළි ගෑවුණා‘ වැනි යෙදුම් බෙහෙවින් දැකිය හැකිය. මෙහි (මූර්ධජ) ‘ළ‘ (ළි) යෙදීම ඉඳුරාම වැරැදියි. ‘දැලි‘ යන (දන්තජ) ‘ල‘ (ලි) සහිත වදන ම ය. නිවැරැදි දැලි යනුවෙන් ගැනෙන්නේ ගින්නෙන් නිකුත් වන අංගාරක (කාබන්) අංශු යි. ගිනි සිළුව ද දැලි නමින් ගැනේ. ගිනි දැල්ල යනු එයයි. දැල්ල යනුවෙන් ඒක වචනයෙහිදී මෙහි ‘ලි‘ යනු ද්විත්ව වන බැවින් (දන්තජ) ‘ල‘ ම මෙහි නිවැරැදි බව වඩාත් තහවුරු වෙයි. සංස්කෘතයෙහි, ජ්වාල පාලියෙහි ජාලා ආදිය මේ හා අනුරූප ව යෙදෙන බව පෙනේ.

‘දැළි‘ යන (මූර්ධජ) ‘ළ‘ යුතු වදන ද වැරැදි නොවෙයි. එහෙත් එයින් ලැබෙන්නේ වෙනත් අරුතෙකි. එනම් ‘රවුළ‘ යනුයි. ‘දැළි රවුළු‘ යන තන්හි එය පැහැදිලි වැ පෙනේ. පාලියෙහි දාඨිත යන්න ඒ හා අනුරූප වෙයි. මහාදාඨික මහානාග (මාදැළිමානා) යන රාජ නාමයෙහි එවදන යෙදී ඇත්තේය.

‘දැලි‘ යන (දන්තජ) ‘ල‘ සහිත වදන එක්තරා සමුද්‍ර ජීවි විශේෂයකට ද යෙදේ. ඒ උන්ගේ සිරුර තුළ දැලි පැහැති ස්‍රාවයක් ඇති නිසා ද යනු විමැසිය යුතුය.

Comments