අහන හැටි හා ප්‍රති­චාර ලැබෙන හැටි | Page 2 | සිළුමිණ

අහන හැටි හා ප්‍රති­චාර ලැබෙන හැටි

“ඔබ යම්කිසි කෙනකු හමුවී ඔහුගෙන් හෝ ඇයගෙන් නිසි ප්‍රතිචාර ලබාගැනීමට කැමැත්තක් දක්වනවා නම් ඒ සඳහා කල් ඇතිව සූදානමක් (Preparation) තිබිය යුතුයි. ඔබ අහන්නේ මොන වාගේ ප්‍රශ්නද? ඒ ප්‍රශ්න අහන්නේ මොන විදියේ තානයකින්ද (tone) යන්න පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුයි.“ මේ විදියටය අපේ මාධ්‍යවේදී ගුරුතුමා වන ජෝර්ජ් ශෝට් (george short) තම අභ්‍යාසය පටන් ගත්තේ. අපේ ගුරුතුමා අප වෙනුවෙන් අපූරු පුංචි අත්පොතක් සූදානම් කළ බවක් අපට පෙනුනා. ඒ අත්පොත (Hand Book) ප්‍රශ්න, උත්තර, සංවාද හා කතාවලින් පිරුණු අපූරු වර්ගයේ පොතක්. හැම පිටුවක්ම අපට ඵලදායකයි. පටන්ගන්නා නිශ්චිත තැනක් හෝ අවසන්වන නිශ්චිත තැනක් දැකගත නොහැකියි. අපෙන් ප්‍රශ්න කෙරෙනවා. අපගෙන් ප්‍රතිචාර ලැබෙනවා.

අපට කොතැනදි වුනත් අහන්න වෙන්නේ මූලික ප්‍රශ්න කීයද?

කොයි කවුරුනුත් කිනම් සමාජයක වුනත් අහන්නේ ප්‍රශ්න කීයද?

කවුද? who?

කුමක්ද? what?

කොහේද? where?

කවුදාද? when?

කොහොමද? How?

තවත් ප්‍රශ්න කොතෙකුත් නැතැයි කීම අපහසුය. එහෙත් මේ තමයි සංවාදයකදි නැ‌ෙඟන මූලික ප්‍රශ්න.

“කුමක්ද මේ ප්‍රශ්නවල පවතින අපූරුව?“

ගුරුතුමා ඉතා කෙටියෙන් ප්‍රතිචාර දක්වන අයුරු දිගු දැක්මකට මුල පිරෙනවා.

“ප්‍රශ්න නොඅසා ජීවිත කාලය ගෙවිය හැකිද?

ප්‍රශ්න අසන්නට අසන්නට ඒවාට කිසියම් ප්‍රතිචාරයක් ලැබෙනවා නොවේද? ඇතැම් ප්‍රශ්නයකට ප්‍රතිචාරය නිශ්ශබ්දතාව (Silence) වෙන්නට පුළුවන්.

නිශ්ශබ්දතාවෙන් ලැබෙන ප්‍රතිචාරය ශබ්දයකින් ලැබෙන ප්‍රතිචාරයකට වඩා ප්‍රබල බවත් හඳුනා ගැනීමට සිදුවෙනවා.

රංග කලාවේදි රංග ගුරුවරුන් භාවිතයට ගන්නා එක් යෙදුමක් අපට මතක් කර ගත හැකියි.

ඒ කුමක්ද?

ඒ තමයි ඵලදායක බලපෑමකින් යුත් නිශ්ශබ්දතාව (effective silence)

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් (Bertolt Brecht) නම් වූ මහා රංගධරයා කීදෙයක් ඊළඟට සංවාදයක් ලෙස අප හමුවට එයි.

“මගෙන් ප්‍රේක්ෂකාගාරයේ හුන් එක්තරා උගතෙක් වතාවක් ප්‍රශ්නයක් නැඟුවා.

මොකක්ද එ් ප්‍රශ්නේ?

ඔබේ නාට්‍යයේ රඟපෑ නළුනිළි කැල හිටිගමන් කතාවක් බහක් නැතිව හිටිපිළිම වාගේ නිශ්ශබ්ද වුණා. ඇයි ඒ? ඒ ප්‍රශ්නය යොමු කළ උගතාගෙන් පෙරළා මමත් ඒ ප්‍රශ්නයම ඇහුවා.

ඒ ඇයි?

“නිශ්ශබ්දතාවක් එතනදි අවශ්‍යයි කියල දැනුණා“

“ඔබට එහෙම දැනුණාද?“

“ඔව්“

“මටත් එහෙම දැනුණා“

“මේ නිශ්ශබ්දතාවට වේලාවයි කියල අමුතුවෙන් කීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා නිශ්ශබ්දතාව ප්‍රබල ප්‍රතිචාරයක්. ‘උසාවිය නිශ්ශබ්ද වෙනු‘ කියල අපට හඬක් ඇහෙනවා.

නිශ්ශබ්දතාව මධ්‍යයේ මහවිනිසකරු උසාවි ගර්භයට ඇතුළුවෙන්නේ. නිශ්ශබ්දතාව වර්ග දෙකක්. තවත් සමහරු අහන ප්‍රශ්නයට වදනින් පිළිතුරු නොදී සිනහවෙන් පිළිතුරු දෙනවා.

(Respond with a smile) ඒ සිනහවෙන් බොහෝ දේ පැවසෙනවා. ඒ විතරක්ද? සිනහව වගේම තමයි, හැඬිල්ල (Cry) සිනහවෙවී ඉඳල හිටි ගමන් කෙනෙක් හඬන්නට පුළුවන්. ඒ දෙකම ප්‍රතිචාර - අහන දේකට ප්‍රතිචාර! වදනින් දක්වන ප්‍රතිචාර සටහන් කර ගැනීම තරම් අපහසු දෙයක් තවත් නැහැ.

අපි නැවතත් බ්‍රෙෂ්ට් කීදෙයකට හැරෙමු.

“මට නාට්‍යයකින් කියාගත නොහැකිවූ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගත්තේ - ප්‍රතිචාර ලබා ගත්තේ මගේ හිතේ පැන නැඟුණු කවි චින්තා මඟින්. (Poetic thoughts) ඒ නිසා මම කවි කලාව සලකන්නේ ‘ප්‍රශ්න‘ හා ‘ප්‍රතිචාර‘ සමුදායක් වශයෙන්.

“ඔබ මගෙන් අසන ප්‍රශ්නයට කන්දෙමි. එහෙත් මම මෙසේ කියමි.“

නොඅසන්න මගෙන් ඒ ප්‍රශ්නය!

මට ප්‍රතිචාර දැක්විය නොහැකිය.

එයම නොවේද මගේ ප්‍රතිචාරය?

Comments