පන්සිල් නොගෙන පන්සිල් රකින්නා | සිළුමිණ

පන්සිල් නොගෙන පන්සිල් රකින්නා

බුද්ධදාස විතානආරච්චි සිය බිරිඳ සහ දූදරු මුණුපුරු මිනිපිරියන් සමඟ

 

 

සාම්ප්‍රදායික කුලගර්වය සහ පාරම්පරිකව තම නින්දගමක් බවට පත් වූ ආත්මාරක්ෂක ශිල්ප ක්‍රම රැක ගැනීම සඳහා ගමේ ආරච්චිල කෙනෙකු හා නොදියුණු ගමට විශ්ව දැනුම ලබාදෙන සේතුපාල ගුරුන්නාන්සේ නව සමාජයක් තැනීමට උර දෙයි. ආරච්චි හා සේතුපාල ගුරුන්නාන්සේ ගමේ ඉහළම පවුල් දෙකක ප්‍රධානින්ය. මේ දෙදෙනා එකිනෙකාට නොපරදින අංගම් පොර ශූරයන්ය. කිසියම් ප්‍රශ්නයකට මේ දෙදෙනා අංගම් පොර සටනට සැරසෙති.

 

“කුල දේවතාවුන් සිහිකරගෙනද ආවෙ“ ආරච්චි ඇසීය.

“මම ඒවා ගෙදර දී කරගෙන ආවෙ.“ සේතුපාල ගුරුන්නාන්සේ අභිමානයෙන් කියයි.

මුල්ම ප්‍රහාරය ආරච්චිට එල්ල කරනු ලබන්නේ සේතුපාල විසිනි. එතැන් සිට ආරච්චි වේගවත් පහරදීම අරඹයි. සටන දරුණු ලෙස ද ජය පරාජයක් තීරණය කළ නොහැකිව ද සම මට්ටමින් බොහෝ වේලාවක් සිදු කෙරේ.

* සුමති සම්මාන උලෙළේ හොඳම නළුවා

1994 වසරේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ජයන්ත චන්ද්‍රසිරිගේ “දඬුබස්නාමානය“ ප්‍රාසාංගික ටෙලි නාට්‍ය ඔබට කෙසේ නම් අමතක වේද? එසේ නම් සේතුපාල ගුරුන්නාන්සේ ද ඔබට මතක ඇති. මේ චරිතය රඟපෑවේ බුද්ධදාස විතානආරච්චි ය. 1995 වසරේ පැවති ප්‍රථම සුමති සම්මාන උලෙළේදී හොඳම නළුවා ලෙස සම්මානය ලැබුවේ ඔහු ය.

බුද්ධදාස විතානආරච්චි ප්‍රතිභාපූර්ණ නළුවකු සංයමයෙන් මනාව බස හසුරුවන සන්නිවේදකයකු ද විය. ඔහුගේ ජීවිතයේ දක්නට ලැබෙන අසාමාන්‍ය ගති ලක්ෂණ හා ඍජු ගති පැවතුම් සමීපව ඇසුරු කරන අය නම් දනී. ඔහුටම ආවේණික ප්‍රතිපත්ති මාලාවක් ද තිබුණි. ඔහු මත්පැන් බොන්නේ නැත. දුම්වැටි උරන්නේ නැත. සත්ව මස් ආහාරයට ගන්නේ නැත. කිරි බොන්නේද නැත. අඩුම තරමේ යෝගට් එකක්වත් කන්නේ නැත. සත්ව තෙල් සහිත ආහාර බුදින්නේද නැත. උම්බලකඩ මිශ්‍ර ආහාරයක් පවා ගන්නේ නැත. ඔහු තම උදරය කනත්තක් කර ගන්නට කැමති නැත.

 

පන්සිල් රකිනවා

 

“ප්‍රතිපත්තිවලට අනුගතව ඇත්තේ පාර භෞතික හේතු නිසා නොවේ. ජීවත් වීමට අයිතියක් තිබිය යුතු සතෙකුගේ මස්, කිරි ගැනීම සදාචාරාත්මක නැති නිසා. මෙයට කිසිම ආගමික හේතුවක් නැහැ. මම පන්සිල් රකින නිසා පන්සිල් ගන්නේ නැහැ. මම ජනප්‍රිය බෞද්ධාගමට කැමති නැහැ. මම බෞද්ධයෙක් හැටියට ගරු කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්ය සත්‍යට පමණයි. මම පරපණ නසා නෑ. නුදුන් දේ අරගෙන නැහැ. කාමයෙහි වැරැදී හැසිරිලා නැහැ. බොරු කියා නැහැ. ප්‍රමාදයට කරුණු වන සුරාව, මේරය, මජ්ජ යන තුනෙන්ම වැළකී තිබෙනවා.

මගේ පුතා සිද්ධාර්ථ විතානආරච්චිත් මා මෙන්ම මගේ මේ ප්‍රතිපත්ති අකුරටම පිළිපදිනවා. අපේ ගෙදර බුදු පිළිමයක් තියෙනවා. මගේ බිරිය භාවනා කරනවා. මම කිසිදා ප්‍රතිමා, දාගැබ්, වෘක්ෂ වන්දනා, දේව වන්දනා කරල නැහැ. කිසිම දෙවියෙකු වැඳ පිහිට ලබා නැහැ“ බුද්ධදාස තම ප්‍රතිපත්ති ගැන කතා කරමින් කීවේය.

1947 වසරේ ජුනි 30 වෙනිදා කෑගල්ලේ දැදිගම මැතිවරණ කොට්ඨාසයේ අල්පිටිය ගමේ උපන් බුද්ධදාස විතානආරච්චිගේ පියා ටිකිරි බණ්ඩා මුදලිහාමි මහ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කොට දෙවන ලෝක යුද්ධ සඳහා එංගලන්තයට මිත්‍ර පාක්ෂික මිසරයේ යුද්ධ සෙබළකු ලෙස සේවය කොට නැවත ලංකාවට පැමිණ තැපැල් සේවයට එක්ව ඇත. බුද්ධදාසගේ මව රූපවතී කුමාර උන්නැහේ තාත්තාගේම ගමේම කාන්තාවකි. බුද්ධදාස පවුලේ වැඩිමලාය. බාල සොහොයුරන් වූ වීරසිංහ, වීර තිලක, වීරරත්න අද ජීවතුන් අතර නැත. නැඟණියන් වූ චන්ද්‍රා බණ්ඩාර මත්තේගොඩ ද, මාලිනි සේනානායක මහනුවර ද පදිංචිව සිටින්නාහ.

 

පාසල් කාලය

 

බුද්ධදාස මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ගලපිටමඩ වළගම්බා විද්‍යාලයෙනි. කිණිවිට කනිෂ්ඨ විද්‍යාලයේ ද කෑගල්ලේ ශාන්ත මේරිස් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇත. ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පතිවරු වී ඇත්තේ ඉතාලි ජාතික විදුහල්පතිවරුන් ය.

“ගමේ ඉස්කෝලෙන් කෑගල්ලට ගියාම මගේ ඉංග්‍රීසි භාෂාවේ නොදැනුවත්කම නිසා මාව. 5 වෙනි පන්තියෙන් 2 වැනි පන්තියට දැම්මා. මගේ කලා ජීවිතයට පදනම දැම්මේ ශාන්ත මරියා විද්‍යාලයේ ගුරුවරුන් නිසා. මම පාසලේදී චිත්‍ර ඇන්දා. රඟපෑවා. කතා පැවැත්තුවා. කවි ලිව්වා. මේ සියල්ලටම ධෛර්යය ශක්තිය දුන්නේ මගේ සිංහල ගුරුවරයා වූ එම්.ජී. එදිරිසිංහයි. ඔහු පසු කලෙක විචාරකයෙකු, නීතිඥයකු, නියෝජ්‍ය ආදායම් කොමසාරිස්වරයකු වුණා. නැටුම් ගුරුවරයා වූ ආරියපාල සර් නිෂ්පාදනය කළ “අදින්න පුබ්බක“ ශෛලිගත නාට්‍යයේ රඟපෑම නිසා 1964 කෑගල්ලේ සාහිත්‍යය උලෙළේදී හොඳම නළුවා වුණා. ඒ වගේම හොඳම කථිකයා හා හොඳම ලේඛකයා සම්මානත් දිනා ගත්තා. මේ සාහිත්‍ය උත්සව සංවිධාන කර තිබුණු ඒ කාලයේ කෑගල්ලේ මහ දිසාපති ලීල් ගුණසේකරයන් .“ බුද්ධදාස පාසලෙන් කලා ලොවට පිවිසි අන්දම විස්තර කළේය.

 

පාසල් ප්‍රේමය

 

බුද්ධදාස පාසලේ විවාද කණ්ඩායමේ කැපී පෙනුණ කථිකයෙක් විය. එපමණක් නොව කෑගලු දිස්ත්‍රික්කයේ පාසල්වල ද ඔහු තම කථිකත්වය නිසා නමක් දිනා ගත්තේය. වරක් ඔහු තෝලංගමුව මහා විද්‍යාලය සමඟ විවාදයකට තම විද්‍යාලයීය කණ්ඩායම සමඟ සහභාගි විය. තරගයෙන් ජය ගෙන එන විට තෝලංගමුව මහා විද්‍යාලයේ සිසුවියන් කිහිපදෙනෙක් කතා කරමින් ඔහු පසුපස පැමිණි බව ඔහුට දැණිනි.

“මෙයා නම් කතාවට දක්ෂයෙක්...“ එක සිසුවියක් සිනාසෙමින් කීවාය.

බුද්ධදාස ඇය දෙස හැරී බැලුවේය.

ඇය සිනාසුණාය. ඒ සිනාව ඔහු හදවතේ ලැගුම් ගත්තේය.

ඇය වරකාපොළ සිට විද්‍යාලයට එන බස්රියට ඔහු දැදිගමින් නැගීමට පුරුදු විය. දිනක් පාසල් බස්රියේදී ඇය තම සමරු පොත ඔහුට දුන්නාය. චිත්‍ර කලාවට හැකියාවක් තිබූ ඔහු ඉස්තරම්ම චිත්‍රයක් ඇඳ එය තුළට කඩදාසි කැබැල්ලක් ද දැම්මේය.

“මම ඔයාට ආදරෙයි...“

ඇය එතැන් සිට ඔහු දෙස බැලුවේ ‘ආදරය‘ සඟවා නිරහංකාර සිනාවකින් සංග්‍රහ කරමිනි.

වසර 10ක පමණ ආදර සබඳතාවයකින් පසු ඇය 1973 වසරේ ඔහුගේ සහකාරිය වූවාය. ඇගේ නම සීතා ලලිතා හේමමාලා සුබසිංහ ය. ඇය කොළඹ මහ රෝහලේ මාණ්ඩලික හෙදියක් වූ අතර ඔහු ගුවන් විදුලියේ සහන නිවේදකයකුව සිට ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සබඳතා නිලධාරියකු විය. ඒ අතර එහි වැඩසටහන්වල නිවේදකයා ද විය. ලංකාව පුරා සෑම නගරයකම ලොතරැයි මණ්ඩලයේ නිවේදනය කළ ඒ වැඩසටහන් සජීවීව ලංකා ගුවන් විදුලියෙන් ප්‍රචාරය විය. බුද්ධදාස කොතරම් දක්ෂ නිවේදකයකු ද යත් 1965 වසරේ සිට අගමැති ඩඩ්ලි සේනානායක සමඟ සමීපව කටයුතු කර ඇත. බුද්ධදාසගේ ගම දැදිගම වීම ද මෙයට බලපාන්නට ඇත. පසු කලෙක ප්‍රේමදාස අගමැතිතුමාගේ “ගම් උදාව“, රොනී ඇමතිතුමාගේ ලොතරැයිවල ද, ඇතුලත්මුදලි ඇමතිතුමාගේ “මහපොළ“ ගාමිණී ඇමතිතුමාගේ “ස්වර්ණ භූමි“, රනිල් ඇමතිතුමාගේ “යොවුන් පුර“ වැඩසටහන්වල ආරම්භක පූරකයා ද වී ඇත්තේ ඔහු ය.

 

වාමාංශික අදහස්

 

ඒ කෙසේ වුවද බුද්ධදාස වාමාංශික අදහස් දැරූ අයුක්තියට, අසාධාරණයට එරෙහි වූ නැති බැරි මිනිහාගේ පැත්තේ සිටි මානව හිතවාදියෙක් විය. පසු කලෙක ඇන්.ඇම්. ගේ සමසමාජ පක්ෂයේ වෘත්තීය සමිති ව්‍යාපාරයට එක්වී එහි ලේකම් ලෙස ද කටයුතු කොට 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර එයට විරුද්ධ මතයක් ඇති කිරීමට පෙරමුණ ගත් අය අතර ඔහු ද විය. මාදුළුවාවේ, මුරුත්තෙට්ටුවේ යන හිමිවරුන් ද, රතන හිමියන් හා ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිස එදා ජේ.ආර්. රජය විසින් අධිකරණ චෝදනා නැතිව ආරක්ෂක හේතු නිසා අත්අඩංගුවට ගෙන වසර 1 1/2ක් ඔවුන් බන්ධනාගාරගත කර තිබුණි. 1982 ජනාධිපතිවරණ මැතිවරණයට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරට සහාය දැක්වූ ඔහු ඉන්පසු 2005 වසරේ වඩාත් සමීප වූයේ මහින්ද රාජපක්ෂයන්ටය. තමා කවදාවත් මහින්දට කඩේ නොගිය බව පවසන ඔහුගේ අනාගත දැක්මට හැමවිටම සහාය දුන් බව පැවසීය.

1981 සංවර්ධන සභා මැතිවරණයෙන් ජය ලබා මන්ත්‍රීවරයකු වූ බුද්ධදාස 2010 මහ මැතිවරණයේදී කෑගලු දිස්ත්‍රික්කයට තරග කොට පරාජය විය. එදා ඔහු සමඟ තරග කළ සුසන්තිකා ජයසිංහට ද මේ ඉරණම අත්වූවාය.

බුද්ධදාස දේශපාලනයට මෙන්ම කලාවට ද ඇලුම් කළේය. 1973 දී ලයනල් වෙන්ටඩ් රංග ශිල්ප ශාලිකාවේ ඉගෙනුම ලබන කාලයේ ඔහු ධම්ම ජගොඩගේ “වෙස්මුහුණු“ නාට්‍යයේ රවීන්ද්‍ර රන්දෙනිය, සෝමලතා ප්‍රනාන්දු, සිරිල් වික්‍රමගේ සමඟ රඟපානා ලදී. “තක්සලා නාඩගම“ නාට්‍යයේ ද මනමේ කුමරු ලෙස රඟපෑවේය. “සමුගැනීමේ සාදය“, “මුරුගසන් වරුසාව“, “සාගිනි උයන“, “මුහුණු දෙකක්“, “හිරු දහස“, “යක්ෂා ගමනය“, “මකරාක්ෂයා“, “මහ සුපින“ ඔහු රඟපෑ නාට්‍ය අතර විය.

“මම සිනමාවට පිවිසෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ “වීරපුරන් අප්පු“ නාට්‍යයේ එන “ජය අපටයි ලංකාවේ“ ගීතමය දර්ශනයට පෙනී සිටීමෙන්. ගුරු ගෙදර, සුළං කිරිල්ලී, සිහින දේශයෙන් (භික්ෂුවක් ලෙස), චන්ද කින්නරී (ප්‍රධාන චරිතය), සුදු කළුවර, විජය කුවේණි, සමනල සංධ්වනිය, මහරජ, ආලෝකෝ උදපාදි සෙසු චිත්‍රපටයි. මගේ රංගනය වඩාත් කැපී පෙනුණේ ටෙලි නාට්‍යවලින්. ජයන්ත චන්ද්‍රසිරිගේ අකාල සන්ධ්‍යා (මහසෝනා) රැජන (සරණතිස්ස), හතර දෙනෙක් සෙන්පතියෝ, දුන්හිඳ අද්දර, ප්‍රභාතය, දෙරණ, උරුමයක් නැති උරුම ලද්දෝ, සංක්‍රාන්ති සමය, මිහිකතගේ දරුවෝ, මනෝකාය මම රඟ පෑ ටෙලි නාට්‍ය අතර ප්‍රධානයි.

සේතුපාල ගුරුන්නාන්සේ

 

“මගේ අමතක නොවන ටෙලි නාට්‍ය රංගනය “දඬුබස්නාමානය. සේතුපාල ගුරුන්නාන්සේ හැටියට රණකාමි, උදාර චරිතයක් මම එහි රඟපෑවා. මේ ටෙලිනාට්‍ය සඳහා මම අංගම් පොර, පුලියන්කම් වැනි මලයාලම් සටන් ක්‍රම ඉගෙන ගත්තේ සේනක විජේසිංහගෙන්. මා සමඟ ශ්‍රියන්ත මෙන්ඩිස් හා කමල් අද්දරආරච්චිත් ඉගෙන ගත්තා. මේ සටන්ක්‍රම මට බෙහෙවින් ප්‍රයෝජනවත් වුණා. බුද්ධදාස කීවේය.

බුද්ධදාස හා සීතා ලලිතා යුවළට දරුවන් තිදෙනෙකි. ප්‍රියවංදා, සිද්ධාර්ථ හා සුලෝචනා විවාහ වී ඕස්ට්‍රේලියාවේ ස්ථිරව පදිංචිව සිටී. බුද්ධදාස යුවළට මුනුපුරු මිනිබිරියන් හය දෙනෙකි. ඔවුන් නම් කෞෂල්‍යා, සපුමල්, රහුල්, කේතකී, නව්‍යායා, අචින්තය. රුක්මන් සොයිසා, උදය බණ්ඩාර හා කංචනා බෑණාවරු හා ලේලියයි.

බුද්ධදාස අද තලවතුගොඩ, රුහුණුපුර අංක 20 දරන නිවසේ පදිංචිව සිටින්නේ හුදෙකලාවේය. ඔහු බිරිය සීතා ද දරුවන් බැලීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටින්නීය.

“මම හැමදාම උදේ තුනට අවදි වෙනවා. ගේ දොර අස්කරනවා. පැයක් හැතැප්ම තුනක් ඇවිදිනවා. ගෙදර ඇවිත් උයා පිහා ගන්නවා. මට සේවකයන් නැහැ. මම ආහාරයට ගන්නේ සරල ආහාරයක්. ධාන්‍ය වර්ග, පලාවර්ග, පලතුරු එළවළු.

මේ කෑමෙන් මට ශරීරයට පහසුවක්, සුවයක් ලැබෙනවා. හොඳ චිත්‍රපට නරඹනවා. ගොඩක් පොතපත කියවනවා. සැහැල්ලු ජීවිතයක් ගත කරනවා. ටෙලි නාට්‍යවල රඟපාන්න කොළඹින් පිට ගියාම මූලික දේ රැකගෙන මේ ක්‍රමය වෙනස් වෙනවා.“ බුද්ධදාස කියන්නේය.

Comments