අධිවේගයේ ගමන බන්ධනාගාරයෙන් නිමවෙයි | සිළුමිණ

අධිවේගයේ ගමන බන්ධනාගාරයෙන් නිමවෙයි

දක්ෂිණ අධි­වේගි මගෙහි උන්ම­ත්ත­ක­යන් සේ හැසි­රෙ­මින් පිරිස ගමන් කළ ආකා­රය

 

අධිවේගී මාර්ග අත්දැකීම් මෙරට ජනතාවට මුලින්ම විඳගැනීමට හැකි වූයේ 2011 නොවැම්බර් 27 වැනිදායි. ඒ, කොට්ටාව සිට ගාල්ල, පින්නදූව දක්වා 'දක්ෂිණ අධිවේගී මාර්ගය' ඉදිකිරීමත් සමඟිනි. මේ වන විට මෙරට අතිබහුතරයක් දෙනාගේ ප්‍රවාහන පහසුකම් සඳහා අධිවේගී මාර්ග පද්ධතිය ඉටුකරන්නෙ අමිල මෙහෙවරකි.

 

අධිවේගී මාර්ග භාවිත කරන බොහොමයක් රියැදුරන් කාලය ඉතිරි කරගනිමින් මාර්ග නීති පිළිපදිමින් සිය ගමනාන්තය අපහසුවකින් තොරව නිම කරන්නෙ එම මාර්ගය ඉදිකිරීමට දායක වූ රජය ඇතුළු වගකිවයුතු පිරිස් පිළිබඳව පැසසුම් සහගත මතකය ආවර්ජනය කරමිනි. කෙසේ හෝ අධිවේගී මාර්ගය භාවිතයේදී 'කෙස් ගසක' තරම් වූ කුඩා හෝ වැරැද්දක් කිසියම් රියැදුරෙකු සිදුකළහොත් ඉන් සිදුවන හානිය ඉතාම බරපතළය. එසේම රියැදුරන්ගෙන් සිදුවන එවැනි කුඩා වරදකින් වුවද තවත් රථවාහන කීයකටනම් බරපතළ අනතුරු වේද යන්න කිව නොහැකිය.

පැයට කිලෝමීටර් 100ක තරම් අධික වේගයද පවත්වා ගනිමින් ඉතාම විනීතව රිය ධාවනය කරන පිරිස අතරේ කලාතුරකින් මාර්ග නීති උල්ලංඝනය කරමින් 'මානසික පිස්සන්' සේ රිය ධාවනයේ යෙදෙන පිරිස්ද අධිවේගී මාර්ගයේ ගමන් කරන විට හමු නොවෙනවාම නොවේ. ඒ අතරේ පසුගියදා අධිවේගී මාර්ගයක පමණක් නොව වෙනත් සාමාන්‍ය මාර්ගයක වුව රිය ධාවනයේදී සිදු නොකළ යුතු ආකාරයෙන් රථයක ගමන් ගන්නා පිරිසකගේ අවිනීත හැසිරීමක් අධිවේගී මාර්ගයක් වැනි අධික වේගයකින් ගමන් කරන මාර්ගයකදී දක්නට ලැබීම බරපතළ ගණයේ වැරැද්දකි.

මන්ද එලෙස හැසිරුණු පුද්ගලයන්ගේ නොමනා ක්‍රියා කලාපය නිසාවෙන් ඉතාම නිවැරැදිව රිය ධාවනයේ යෙදෙන රියැදුරන්ටද සිදුවන්නෙ දැඩි අපහසුතාවකි.

එලෙස අධිවේගී මාර්ගයේ ගමන් කළ රථයක රියැදුරාට අමතරව රථයේ ගමන් කරන්නන්ද 'මානසික පිස්සන්' සේ හැසිරෙන ආකාරය දිස්වෙන වීඩියෝවක් පසුගියදා මුහුණුපොත ප්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලාවන්හි සැරිසරනු දක්නට ලැබිණි. එම වීඩියෝ මුලින්ම සමාජ මාධ්‍යයන්හි සැරිසරනු දුටුවේ පසුගිය සෙනසුරාදා (10) දිනයි. නිල් පැහැති CP CAF 9249 දරන හයිබ්‍රිඩ් වර්ගයේ රථයෙහි කවුළුවලින් පිටතට පැමිණි තරුණයන් සිවුදෙනෙකු මෝටර් වාහන පනතේ වැරැදිවලට අමතරව මහාමාර්ගයේ අවහිරතාවන්ද සිදුවන ආකාරයෙන් හැසිරෙන ආකාරයක් දිස්විණි.

සමාජ මාධ්‍යයන්හි බොහෝ දෙනෙකුගේ විවේචනාත්මක වදන්ද සහිතව සැරිසැරු එම වීඩියෝව පිළිබඳව පොලිසියේ අවධානයද සැණින් යොමු වෙමින් තිබිණි. ඒ අනුව පොලිසියද එම රථය සහ පිරිස සොයා පුළුල් විමර්ශනයක් ඇරැඹිණි.

අධි­වේගී මාර්ග ආර­ක්ෂණ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි 
ජයන්ත පුෂ්ප­කු­මාර

එහිදී එම විමර්ශනය අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාරගේ උපදෙස් මත එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සිදු කළහ. එහිදී පොලිස් නිලධාරින් මුලින්ම අනාවරණය කරගත්තෙ එම රථය පසුගිය දහවැනිදා (සෙනසුරාදා) කඩවත පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවී ගාල්ල දක්වා ගමන් කර ඇති බවයි. එම පිරිස එලෙස හැසිරි ඇත්තෙ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ පිහිටි 29 වැනි කණුව ආසන්නයේ සිට බවත් අනතුරුව එම රථයට පිටුපසින් ගිය වෙනත් රථයක් පැයට කිලෝමීටර් සියයකට අධික වේගයකින් ගමන් කරමින් එහි වූ පිරිස එලෙස අවිනීතව හැසිරෙමින් ගමන් කළ රථය වීඩියෝ ගතකොට සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවයි.

CAF 9249 දරන එම රථයේ අංකය ඔස්සෙ සිදුකළ විමර්ශනයේදී රථය පේරාදෙණිය පාර, මහනුවර පදිංචි මොහොමඩ් ෆාරුක් නමැත්තෙකුට අයත් බව හෙළි විණි. එම පුද්ගලයා රථය 2015 මාර්තු 13 වැනිදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියවිලිවලින් හෙළි විණි.

රථයේ නීත්‍යානුකූල හිමිකරුවා සොයා ගිය පොලිස් නිලධාරිනට හෙළි වූයේ ඔහු එකී රථය මහනුවර, අලවතුගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් අකුරණ, උඩවැලකැටිය ප්‍රදේශයේ පුද්ගලයකුට නීත්‍යානුකූල නොවන අන්දමින් මීට කලෙකට පෙර විකුණා ඇති බවයි.

වැඩිදුරටත් කරුණු විමර්ශනයේදී පොලිසියට හෙළි වී තිබුණේ සිදුවීම වූ දිනයේ එම රථයෙන් පිරිසක් ගාල්ල, උණවටුන ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් ඇති බවයි. මොහොමඩ් නදීර් මොහොමඩ් සප්ලාන් නමැත්තෙක් එදින එම රථය ධාවනය කර තිබිණි. රියැදුරා සමඟ තවත් තරුණයන් කිහිප දෙනෙක්ම එම ගමනට එක්ව සිටියහ. එදින එම පුද්ගලයා අන්තරාකාරි සහ අපරීක්ෂාකාරි ලෙස අධිවේගී මාර්ගයේ රිය ධාවනය කරද්දී මෝටර් රථයේ ගමන් කළ සෙසු පිරිස විසින් මෝටර් වාහන පනතේ වැරැදිවලට අමතරව මහාමාර්ගයේ අවහිරතාවක්ද ඇතිකර තිබෙන බව විමර්ශනවලදී හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණද පැවැසීය.

එසේම මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේ, එම පිරිස විසින් මංමාවත් පනත යටතේද වරදක් සිදුකර ඇති බවත් ඔවුන් නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයන් බවටද පත්වී තිබෙන හෙයින් එම පිරිසට විරුද්ධව අධිකරණයේ නඩු පවරන බවයි.

තවද අධිවේගී මාර්ගයේ මෙලෙස නීතිවිරෝධි ලෙස ධාවනය කළ මෝටර් රථයේ හිමිකරුවා හෙවත් ලියාපදිංචි අයිතිකරුවා විසින්ද වරදක් කර තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

ඒ, මේ රථය තවත් පුද්ගලයකුට මෝටර් වාහන පනතේ ප්‍රතිපාදනවලට පරිබාහිර ලෙස ලබා දී ඇති බවයි. ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකරන බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා රටේ ජනයාට පණිවිඩයක් ලබා දෙන්නෙ කෙනෙකු තමා සතු රථයක් විකුණන්නේනම් එය මෝටර් වාහන පොරම 6 යටතේ තවත් පුද්ගලයකුට පවරා, එය මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත බාර දී එම පැවැරීම නිත්‍යානුකූලව සිදුකරන ලෙසටයි.

ඒ අනුව මහනුවර අකුරණ, මිල්ලහේන පදිංචි මොහොමඩ් නදීර් නමැති එම රථයේ රියැදුරා පසුගිය 12 වැනිදාත් රථයෙන් පිටතට ශරීරය යොමාගෙන ගිය සිවුදෙනා වන වයස අවුරුදු 18ත් 20ත් අතර පසුවන මුස්ලිම් ජාතික තරුණයන් වන අමීර් අතහාල්ලහ්, මුහුමඩින් මොහොමඩ්, ජවුෆර් මොහොමඩ් සහ මොහොමඩ් අබ්දුල්ලා යන සිවුදෙනා පසුගිය 13 වැනිදාත් අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගැනිණි. එම පස්දෙනා පාණදුර වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පසුගිය අලුත් අවුරුදු දින කීපයේදී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 135ක ආදායමක් උපයද්දී අලුත් අවුරුදු දිනයදාද දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ ‍දොඩංගොඩ පිවිසුම් අතර වූ අනතුරකින් රථවාහන අටකට බරපතළ හානි සිදු විණි.

Comments