හිසේ සිට පාදය දක්වාම නිරෝ­ගි­කම පතන සිංහල අවු­රුද්ද | සිළුමිණ

හිසේ සිට පාදය දක්වාම නිරෝ­ගි­කම පතන සිංහල අවු­රුද්ද

 

 

ආයුර්වේදයේ මෙන්ම දේශීය වෙදකමේ දී හිසේ සිට පාදාන්තය දක්වා නිරෝගී කම ප්‍රාර්ථනා කරනවා. හිස ශරීරයේ උත්තමාංගයයි. හිසේ මොලය පිහිටා තිබෙනවා. මොලයත් සමඟ ශරීරයේ සියලුම ස්නායු සම්බන්ධ වෙනවා. සිතුවිලිවලට ප්‍රධාන වන්නෙත් හිසයි. ඒ නිසා නිරන්තරයෙන් හිස රැක ගැනීම නිරෝගීභාවයට ප්‍රධාන වෙනවා.

චන්ද්‍ර චක්‍ර 12 ක් ගමන් කිරීම අවුරුද්දක් ලෙස හඳුන්වනවා. චක්‍රයක් ලෙස හඳුන්වන්නේ පුර පසළොස්වක, පුර අටවක, අව අටවක, අමාවක ආදී වශයෙන් ගමන් කිරීමටයි. පුරාණ හෙළයන් අහස කොටස් 12 කට බෙදා වෙන්කර ගත්තා. ඔවුන් එක් කොටසක් හැඳින්වූයේ රාශියක් ලෙසයි. හෙළයන් භාවිත කරන රාශී 12 නිර්මාණය වූයේ ඒ අනුවයි.

සූර්යය මංගල්‍යයේ ප්‍රධානතම අංගයක් වන්නේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයයි. හිසේ තෙල් ගැල්වීම හොඳ පුරුද්දක්. එය චාරිත්‍රානුකූලව සිදු කරන්නේ හොඳ පුරුද්දක් නිසයි. හිසතෙල් ගෑම සිදු කරන්නේ නැකතටයි. මෙවැනි හොඳ පුරුදු මඟින් සිදු කරන්නේ පුද්ගල සෞඛ්‍ය සංරක්ෂණයයි. මේ මඟින් ඉහළ මට්ටමේ ජීවන තත්ත්වයක් (Quality of Life) උදා කර ගැනීමට හැකි වෙනවා.

සූර්යයා ගමන් ආරම්භ කරන්නේ මේෂ රාශියෙන්. රාශි 12 අනුපිළිවෙළින් ගොස් නැවත මේෂ රාශියට පැමිණීම අලුත් අවුරුදු උදාව ලෙසින් හඳුන්වනවා. හිස තෙල් ගැල්වීම සිදු කරන්නේ හෙළ නැකතට අනුව සූර්යය උදාවත් සමඟ උදය වරුවෙයි; එනම් දිවා කාලයට ප්‍රථමයි. ජලය නා ගැනීම උදෙන්ම කරන්න කියල, දේශීය වෛද්‍ය ක්‍රමය මගින් උපදේශයක් ලබා දෙනවා. ශරීරයේ උත්තම අංගය වන ශීර්ෂය පිරිසිදු කර ගැනීම මේ මඟින් සිදු වෙනවා. මොලයේ හා ශරීරයේ පිරිසිදු බවේ වටිනාකම මේ අනුව හෙළයන් ප්‍රත්‍යක්ෂව දැන සිට තිබෙනවා. සූර්යය ශක්තිය පොළොවට පතිත වීමේ දී කාලය සමඟ ඇති වන ශක්ති වෙනස හෙළයා අවබෝධ කර ගෙන තිබෙනවා. පුරා පැය 12 ක් පමණ චන්ද්‍රයාගේ බල පෑමට හසුව සිසිල් සෞම්‍ය රාත්‍රිය ගත කරන පරිසරය පසුව එළැඹෙන සූර්යය තාපයට මුහුණ දී දිවා කාලය ගත කරනු ලබනවා. ඊට හැඩ ගැසීම අනුකරණය කරමින් ආයුර්වේද දේශීය වෛද්‍ය ක්‍රමයේ උපදේශය ලබා දෙන්නේ උදෑසන ජලස්ථානය කිරීමටයි.

මෙය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වුවත් හිස තෙල් ගෑමේ චාරිත්‍රය හින්දු භක්තිකයන් කරන්නේ නැහැ. හිස තෙල් ගෑම, අලුත් අවුරුදු චාරිත්‍රයක් ලෙස සිදුකරන්නේ සිංහලයන් පමණයි.

අලුත් අවුරුදු චාරිත්‍ර ආරම්භ වන්නේ නව සඳ බැලීමෙන්. චාරිත්‍ර, ස්නානයෙන් අවසන් වෙනවා. ස්නානයට ප්‍රථම නානු ගා හිස තෙල් ගෑම සිදු කරනවා. අශ්ඨාංග හෘදය සහ චරක සංහිතා ග්‍රන්ථ වලත් හිසේ නිතර නිතර තෙල් ගැල්වීමෙන් හිසේ ඇතිවන රෝග රැසක් වළක්වාගත හැකි බව ඒවායේ සඳහන් වෙනවා. අකලට හිසකෙස් ඉදීම, කෙස් හැලීම වළක්වා ගත හැකියි. ඒ වගේම ඇස් පෙනීම, බුද්ධි වර්ධනය, පැහැපත් සමක් ඇතිකර

 

 

 

මිනිසා සෘජු කාය විලා­සය ඇති සත්ත්ව­යෙක්. මිනි­සාගේ හිස පිහිටා තිබෙන්නේ පොළො­වට ලම්බක වන ආකා­ර­යෙන් 
සිර­ස්වයි. මිනි­සාගේ හිස ප්‍රධා­නයි. අනෙක් සතුන් බොහො­ම­ය­කගේ හිස පොළො­වට සමා­න්තර ලෙස තිරස්ව පිහිටා තිබෙ­නවා. ඔවුන්ට තිරි­සනා යන නමක් පට­බැ­ඳෙ­න්නේත් ඒ නිසයි. 

 

ගැනීමට හිසේ තෙල් ගැල්වීම වැදගත් වෙනවා.

හිස තෙල් ගෑමට ප්‍රථම නානු ගෑම සිදුකරනවා. කලාදුරු අල, කුංකුමප්පු, සුදු හඳුන්, විෂ්ණු ක්‍රාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙලූම් දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊ තණ යන ‍‍ෙඔෟෂධ වර්ග 14 තලා අලුත් මුට්ටියක පත අට එකට සිදුවා ගෙන එයට දිවුල් පත් ඉස්ම සහ දෙහි යුෂ කවලම් කර පෙරා ගන්නා දියරය නානු ලෙස හඳුන්වනවා.

එකම වර්ෂයක දෙවරක් මෝසම් සුළං ලැබෙන ලෝකයේ එකම රට ලංකාවයි. එබැවින් එක් වර්ෂයක් තුළ දෙවරක් අස්වැන්න ලබා ගන්න පුළුවන්. මේ නිසාම කෘෂි කර්මාන්තය හා බැඳුණ සුර්යය මංගල්‍යය ලංකාවේ ජන ජීවිතයත් සමඟ බද්ධ වී තිබෙනවා.

ශ්‍රි ලංකාවට ආවේණික දේශීය සහල් ප්‍රභේද 108 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පුරාණයේ භාවිත කර ඇති බව දැනට සොයාගෙන තිබෙනවා. පැරණි ජනතාව එම සහල් වර්ග බෝවන හා බෝ නොවන විවිධ රෝගාබාධ සඳහා භාවිත කර තිබෙනවා. ඔවුන් සිය ආහාර සකසා ගෙන තිබුණේද සමබල ආහාරයක් ලෙසයි. ආහාර උෂ්ණ, ශීත මෙන්ම සැර ගුණ, අඩු වැඩි ආහාර ලෙසද ඔවුන් සකස් කරගෙන තිබුණා.

අප්‍රේල් මාසයේ මැද සති දෙක තුළ ලංකාවට ඉර මුඳුන් වෙනවා. ඒ නිසා අප්‍රේල් මාසයේ අධික උෂ්ණත්වයක් පවතිනවා. අධික උෂ්ණත්වය නිසා ශරීරයේ පිත වැඩි වෙනවා. නානු ගෑම මඟින් අධික අවු රශ්මියෙන් ඇති වන ශාරීරික පීඩා අවම කරගන්න පුළුවන්. තෙල් ගෑම, ආයුර්වේද වෙද කමේ හඳුන්වනු ලබන්නේ තෛල අභ්‍යන්ගය නමින්. අභ්‍යන්ගය යනු ගෑමයි. එම නිසා ශීර්ෂ තෛල අභ්‍යන්ගය, හිස තෙල් ගෑම ලෙසද හඳුන්වනවා. සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍රයක් ලෙස හිස තෙල් ගෑම, කිසිදු තැනක ලිඛිතව සඳහන්ව නැහැ. මෙය වඩාත් පැරණි චාරිත්‍රයක් වීම එයට ප්‍රධානතම හේතුවයි. ආයුර්වේද වෙද කමේ ආරම්භය පිළිබඳව ඉතිහාසයේ හා ජනප්‍රවාදයේ විවිධාකාරයෙන් සඳහන් වෙනවා. හෙළ වෙදකම හා ආයුර්වේදය එකිනෙකට වෙනස් කාරණා දෙකක්. ලංකාවේ රාවණා යුගයේ හෙළ වෙදකම වඩාත් දියුණු තත්ත්වයට පත්ව ප්‍රචලිත වී තිබූ බවට ඓතිහාසික සාක්ෂි තිබෙනවා.

ආයුර්වේද වෙදකම ලංකාවට පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්. එය ලංකාවට පැමිණීමෙන් පසු එකිනෙකට වෙන් කර ගැනීමට නොහැකි පරිද්දෙන් හෙළ වෙදකම සමඟ බද්ධ වී තිබෙනවා. නමුත් ආයුර්වේදය හා දේශීය වෙදකම යනු එකිනෙකට වෙනස් වූ කාරණා දෙකක්. එය අප රටේ දී එකිනෙකට බැඳී තිබෙනවා. කැඩුම් බිඳුම් වෙදකම, ඇස් වෙදකම, සර්ප විෂ වෙදකම, ආදිය දේශීය අපේ හෙළ වෙදකමට උදාහරණ ලෙස දැක්විය හැකියි. නමුත් ආයුර්වේද වෙදකම අපට සෘජුවම ලැබෙන්නේ ඉන්දියාවෙන්.

මිනිසා සෘජු කාය විලාසය ඇති සත්ත්වයෙක්. මිනිසාගේ හිස පිහිටා තිබෙන්නේ පොළොවට ලම්බක වන ආකාරයෙන් සිරස්වයි. මිනිසාගේ හිස ප්‍රධානයි. අනෙක් සතුන් බොහොමයකගේ හිස පොළොවට සමාන්තර ලෙස තිරස්ව පිහිටා තිබෙනවා. ඔවුන්ට තිරිසනා යන නමක් පටබැඳෙන්නේත් ඒ නිසයි. මිනිසාගේ ඔළුව සිරස්ව පිහිටන නිසා තිරිසනාගෙන් වෙන් වෙන්න ඕනෑ. ආයුර්වේද වෙදකම සම්බන්ධයෙන් සුස්කෘත සංහිතා ග්‍රන්තයේ සඳහන් වන ආකාරයට පැතිරීම, ආකර්ෂණය සහ චලනයන්වලට සඳු, හිරු සහ වාතයේ ක්‍රියා පදනම් වන සේම මනුෂ්‍ය ශරීරයේ කප (ජලය), පිත (අග්නිය), වාත (වාතය) ප්‍රධාන වෙනවා. එයට අමතරව ධාතු සහ මල, දේහය දරා සිටීමට උදවු වෙනවා. ශරීරයෙන් ඉවත් කළයුතු කොටස් මල ලෙස හඳුන්වනවා. ආයුර්වේදයට අනුව නිරෝගී පුද්ගලයෙක් යනු ප්‍රසන්න වූ ආත්මය ඉන්ද්‍රියන් හා මනස නිසි ක්‍රියාකාරිත්වයෙන් යුත් අයයි. ආයුර්වේදයේ ඌර්දව ඡත්‍රර රෝග ලෙස හඳුන්වන්නේ හිස ප්‍රධාන වූ රෝගයි.

අධික අවු රශ්මියෙන් ඇතිවන පීඩා අවම කරගන්න අප්‍රේල් මාසය පුරාම නානු ගා ස්නානය කරන්න පුළුවන් නම් වැදගත්. එයට අමතරව සෘතු කාල අනුව ඖෂධ වර්ගවලින් සකසාගත් නානු ගා ස්නානය කිරීමෙන් ලෙඩ රෝග බොහොමයක් වැලඳීම වළක්වා ගත හැකියි. ඒ වගේම ශරීරයේ සිසිල් බවකුත් ඇති වෙනවා. නානුවලින් හිස පිරිසිදු වීමක්ද සිදු වෙනවා. පරණ අවුරුද්දට ස්නානය කිරීමත් අවුරුදු චාරිත්‍රවල තිබෙනවා. ඒ අවස්ථාවේදීත් නානු ගාන්න පුළුවන්. ජ්‍යොතිෂය හා ආයුර්වේදය අතරත් බැඳීමක් තිබෙනවා. නමුත් ජ්‍යොතිෂය හා නවීන විද්‍යාව යනු එකිනෙකට වෙනස් කාරණා දෙකක්. මෙයින් ජ්‍යොතිෂය විද්‍යාත්මක නොමැති බවක් අදහස් කරන්නේ නැහැ. තෙල් වශයෙන් බොහෝ අය පොල් තෙල් භාවිත කරනවා. පොල් තෙල් වලත් ඖෂධීය ගුණයත් තිබෙන බව ඇත්ත. නමුත් සිංහල අවුරුදු චාරිත්‍ර ලෙස හිස තෙල් ගෑමට තෝරා ගන්නේ තල, මී, අබ, කොහොඹ, එඬරු, තෙල් වර්ගවලින් සකසා ගන්නා ලද පස්තෙල් වර්ගයක්. මෙයිනුත් හිසට ඖෂධීය ගුණයක් ලැබෙනවා. කෙසේ වෙතත් හිස තෙල් ගෑම යනු ශරීරයේ උත්තම අංගය වන හිසේ නිරෝගීභාවය සඳහා වන වැදගත්ම කාර්යය ලෙස පැරණි සෘෂිවරුන් උගන්වා තිබෙන ශීර්ෂ තෛල අභ්‍යන්ගය අලුත් අවුරුද්දට නැවත ආරම්භ කිරීමක් ලෙස පෙන්වා දිය හැකියි. අනෙක් චාරිත්‍ර වලින්.

මේ අනුව හෙළයන් වසර 100 කට වඩා ආයු බල සැප වර්ණ ලබමින් ජීවත් වූ බව සනාථ වෙනවා. පරිසරයේ සම්පත් අපූරු ලෙස කළමනාකරණය කර භාවිත කිරීමට හෙළයන් හපන්කම් දක්වා තිබූ බවත් පැහැදිලියි.

සූර්යයාගේ ගමන් මඟ අවබෝධ කරගත් නිසා 1-12 දක්වා චන්ද්‍ර වක්‍රවලට අනුව අර්ථ දක්වන චන්ද්‍ර මාස ක්‍රමයක්ද නිර්මාණය කර ගත්තා. සිංහල මාස ක්‍රමය ලෙස හඳුන්වන්නේ මේ මාස ක්‍රමයයි. මේ අනුව බක් මාසය, භාග්‍යවන්ත මාසය ලෙසින් පිළිගැනෙනවා. එය භාග්‍යවතුන්ගේ මාසය ලෙස හඳුන්වන අවස්ථාද තිබෙනවා. පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව මීට වසර 11000 කට පමණ පෙර සිට හෙළයන් බත්කාපු බවට සාක්ෂි තිබෙනවා.

ප්‍රත්‍යක්ෂ නිවැරදි සෞඛ්‍ය දැනුම පරම්පරා අතර ගලා යෑමෙන් හෙළයෝ රෝගවලට හසු නොවී (හිතායුෂ) සැපවත් (සුඛායුෂ) ජීවිතයක් ගතකර තිබෙනවා. වසර 100 කට වඩා ජීවත් වූ හෙළයන් මේ වන විට වසර 76 ක් තරම් වූ ආයුෂ භුක්ති විදීම ආඩම්බර විය යුතු කරුණක් ද යන්න බුද්ධිමතුන් විමසා බැලිය යුතුය. මෙයට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ ස්වභාව ධර්මය මත හැඩ ගැසුණ ආයුර්වේද දේශීය වෛද්‍ය ක්‍රම ඉවතලා වෙනත් ආනයනික උපදේශනවල සරණ පැතීම නොවේද. ලෝක සෞඛ්‍ය සංවිධානය මානව සංහතිය වෙනුවෙන් සකස් කළ සෞඛ්‍ය දත්ත වාර්තා හා එකඟතාවන් ආයුර්වේද හා දේශිය වෛද්‍ය වෙදකම සමඟ ගළප්පමින් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ නම් හෙළයාගේ ජීවන තත්ත්වය මීට වඩා සූබදායී වන බව කිව යුතුය.

පුද්ගල සෞඛ්‍ය රැක ගැනීම උදෙසා ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයෙන් ස්වභාවයෙන් ලත් දැනුම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා මෙරට ජනයාගේ ජානවල බැඳී පවතින්නේ මෙරට ස්වභාව ධර්මයට හා සංස්කෘතියට අනුකූල වූ හෙළ වෙදකමයි. හෙළයන්ගේ සියලු හුරු පුරුදු හෙළ වෙදකම හා බැඳී පැවැති ඒවා වන්නේ ඒ නිසයි. නිරෝගී කමේ ඵලදායීතාව ඔවුන්ගේ ආර්ථිකයට බෙහෙවින් බලපාන බව ද හෙළයන් හොඳින් දැන සිටියා. එම මාස 12 අවසන් වන්නේ පරණ අවුරුද්ද සඳහා එනම් නව වසර උදාවීමට පෙර දින ජලස්නානය කිරීමේ චාරිත්‍රයෙන්.

බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ වෛද්‍ය නිලධාරී පරාක්‍රම විජයනාග සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරිණි.

Comments