ජීවන විය­දම ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5 ක් | Page 4 | සිළුමිණ

ජීවන විය­දම ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5 ක්

1.ජීවන විය­දම ඉහළ යෑමට සාපේ­ක්ෂව රජය දෙන සහන  ප්‍රමා­ණ­වත්ද?
 

2.උත්සව  සම­යේදී  අත්‍ය­වශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමට හේතුව කුමක්ද?
 

3.සීනි, පොල්තෙල් සහ සහල් සම්බන්ධ  සුවි­ශේෂ  ගැට­ලු­ව­ලට  විස­ඳුම කුමක්ද?
 

4.උත්ස­වය සමයේ  පාරි­භෝ­ගි­ක­යන්ට වන පීඩා වැළැ­ක්වී­මට ජාතික  ප්‍රති­ප­ත්ති­යක් සකස් කළ  යුතු බව ඇතැ­මුන්ගේ  අද­හ­සයි. එයට එක­ඟද? 
 

5.අත­ර­මැදි වෙළෙ­ඳුන්  පාල­න­ය­කින් තොරව ඇතැම් භාණ්ඩ මිල ඉහළ දැමී­මක් කර  ඇති බව පේනවා. එසේ කරන වෙළෙ­ඳුන්ට එරෙ­හිව  නීති­මය පිය­ව­ර­ගත හැකිද ?

 

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

1. වර්තමාන ලෝක ව්‍යසන තත්ත්වය තුළ අප රජයක් ලෙස ජීවන වියදම පාලනය කරගෙන සිටිනවා. රජයකට කරන්න පුළුවන් බඩුමිල වැඩි වෙන වේගය පාලනය කිරීම පමණයි. උද්ධමනය පාලනය කිරීම සඳහා වත්මන් රජය පසුගිය රජයට වඩා බරපතළ ලෙස මැදිහත් වී තිබෙනවා.

එවිට ජීවන වියදම අඩු කිරීම සඳහා භාණ්ඩ මත පනවන බදු අසාමාන්‍ය ලෙස පහත හෙළා තිබෙනවා. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කර තිබෙනවා. ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කර තිබෙනවා, උපයන විට ගෙවීමේ බද්ද ඉවත් කර තිබෙනවා, ආනයන තීරු බදු 30% සිට 15% දක්වා අඩු කර තිබෙනවා. ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රජය බදු අයකරන්නේ සත 25 යි, මේ බදු නැවත පැනෙව්වොත්, සත විසිපහේ බද්ද රුපියල් 50 ට 60 ට වැඩි කළොත්, බඩු මිල වැඩි වෙනවා. සතොසින් භාණ්ඩ වර්ග 28ක් ජනවාරි මාසේ මිලට වඩා අඩුවෙන් පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාස 3 ම ලබා දෙනවා. පළවෙනිදා සිට රු 1400ක් වටිනා භාණ්ඩ වර්ග 12ක්, රුපියල් දාහකට සතොසට පැමිණෙන පාරිභෝගිකයන්ට ලබා දෙනවා. පාරිභෝගිකයන්ට අවුරුදු දීමනා වශයෙන් තමා මෙය ලබා දෙන්නේ.

2.ජනවාරි මාසේ වෙනකොට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු වෙලා තියෙන්නේ. පරිප්පු තිබුණේ රුපියල් 180-190ට, දැන් පරිප්පු මිල රුපියල් 165 යි. රුපියල් 230ට තිබුණු ලූනු රුපියල් 70 යි, සීනි තිබුණේ 120 - 110 යි, දැන් රුපියල් 99 යි, හාල්මැස්සෝ තිබුණේ රුපියල් 700 ට, දැන් 500g 75 යි, නාඩු සහ කැකුළු හාල් රුපියල් 100 ට අඩුවෙන් සතොස සමුපකාර වෙළෙඳසැල්වල තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක් මේ මිලට සුපිරි වෙළෙඳසැල් තුළත් අලෙවි කරනවා කියලා දිගටම පුවත්පත් දැන්වීම් පළ කළා.

3.ගැටලුවක් නැහැ. දැන් සීනි දිගටම රුපියල් 99 ට අලෙවි වෙනවා. සීනි මිල සම්බන්ධයෙන් කිසිම වංචාවක් වෙලා නෑ, සීනි බද්ද සත 25 ට අඩු කරලා තියෙනවා.ඊට පස්සේ රුපියල් 30 ට නැත්තම් 40 ට වැඩි කරලා වංචා කළේ පසුගිය රජයයි. ඒක මේ ආණ්ඩුව කරලා නැහැ.

 

4. බඩු මිල තීරණය කරන්නේ ආණ්ඩුව නෙවෙයිනේ, අපි මේ වැරදි තැනක ඉන්නේ. වෙළෙඳපොළ හසුරවන්න ආණ්ඩුවකට බැහැ, රජය නෙවෙයි නිෂ්පාදකයෝ. සහල් නිෂ්පාදනය කරන්නේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ගොවියෝ. පිටි නිෂ්පාදනය කරන්නේ පිටි කර්මාන්තකරුවෝ, සීනි නිෂ්පාදනය කරන්නේ ඒවා නිපදවන ආයතන.

අනිත් සියලුම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ පෞද්ගලික අංශයයි. පසුගිය ආණ්ඩුව අනුගමනය කළේ ගොවීන්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ, සුළු ව්‍යාපාරිකයෝ සහ පෞද්ගලික සමාගම් වනසලා, විදේශයන්ගෙන් භාණ්ඩ අඩු මිලට ගෙන්වන භාණ්ඩ ගෙන්වීමයි.

 

5. එහෙම වෙන්නේ නැහැ. අපි මේ භාණ්ඩ වර්ග 24 ක මිල පිළිබඳ පාරිභෝගිකයා ඇතුළු සියලු දෙනාවම දැනුම්වත් කරලා තියෙන්නේ. ඒ නිසා පාරිභෝගිකයන්ගේ දැනුම්වත්කම තුළයි ඔවුන් ඒ භාණ්ඩ ලබා ගන්න යන්නේ, පාරිභෝගිකයෝ සුපිරි වෙළෙඳසැල්, ආර්ථික මධ්‍යස්ථාන, සතොස , පොළ ආදී විවිධ වෙ‍ළෙඳපොළට යනවා. ඒක ඒ අයගේ කැමැත්ත. සමහරු හිතනවා තමන් හැසිරෙන විදිහටම තමයි පාරිභෝගිකයෝ ‍වෙළෙඳපොළේ හැසිරෙන්නෙ කියලා.

 

සමගි ජන බලවේගයේ මහ ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

1..ආණ්ඩුව කිසිම සහනයක් දෙන්නේ නැහැ, ආණ්ඩුවේ සහන අද ගැසට් එකට පත්තරේට සහ වේදිකාවට සීමා වී තිබෙනවා., බඩුමිල අහස උසට නැගලා තියනවා, එක පැත්තකින් ආණ්ඩුව පත් කරන්න මුදල් වියදම් කරපු, ආධාර කරපු අයට හම්බ කරන්න දීලා බලාගෙන ඉන්නවා. ඒ සහනවලින් ආණ්ඩුවට බදු මුදලුත් නෑ,පාරිභෝගිකයාට සහනයකුත් නෑ, ආණ්ඩුවේ වියදම් කරපු ගජමිතුරෝ අද ඒකෙන් කෝටි ගාණක් හම්බ කරනවා, ඒ විතරක් නෙවෙයි අද ආණ්ඩුව කිසිම සහනයක් දීලා නැහැ, හැම බඩුවක්ම මිල තුන් හතර ගුණයකින් වැඩි වී තිබෙනවා.

 

2.අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමට හේතුව ආණ්ඩුවේ නිසි කළමනාකරණයක් නැතිකම. එදා යහපාලන ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා අවුරුදු හතර හමාරක කාලයක් අැතුළත අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලගේම මිල ගණන් සියල්ල එක තැනක රඳවා ගන්න. ආණ්ඩුව ඒකට බදු සහන වගේම අරමුදල් යෙදෙව්වා. අද වෙලා තියෙන්නේ ආණ්ඩුවේ පාලනයකින් තොරව මේ කටයුතු සිදුවීමයි. එක පැත්තකින් ආණ්ඩුවේ අය කොමිස් ගහනවා.

මේ ආණ්ඩුව ආපු ගමන් කළේ ආණ්ඩුවට උදවු කරපු කොම්පැණිකාරයන්ට ධනපතියන්ට බිලියන 600 ක බදු සහනයක් ලබාදීමයි. දුප්පතා බදු ගෙවනවා, පෝසත් කෙනා බදු ගෙවන්නේ නෑ.

 

3.මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු බොහොම දක්ෂයි වේදිකාවේ සහ මාධ්‍යවලට කතා කරන්න. ආණ්ඩුවට කඩේ යන පෞද්ගලික මාධ්‍ය බඩු මිල අඩු කළා කිව්වට කඩේ ඒ මිලට බඩු නෑ. සතොස වෙළෙඳසැල් හාරසියයකින්, පන්සියයකින් මේ රටේ ජනතාවට කන්න දෙන්න පුළුවන්ද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.ආණ්ඩුවේ ටිකිරි මොලේට අඩු තරමේ මේදේවත් තේරෙන්නේ නැද්ද? සතොසෙන් සියලු දෙනාටම බඩු දෙන්න බැරි බව තේරුම්ගන්න බැරිද? අනිත් පැත්තෙන් දැන් මේ සැරේ අවුරුද්දට ජනතාවගේ ජීවිත අවදානමට දාලා ආණ්ඩුවේ ගජ මිතුරෝ පිළිකාකාරක තෙලුත් ගෙන්වා තිබෙනවා. එයින් පිළිකා හැදෙන බව මේ රටේ විශේෂඥයන් පවසා තිබෙනවා. සාමාන්‍යයෙන් කරන්නේ මේ වගේ නීති විරෝධී ආනයනයක් කළොත් නැවත එය කරන්න දෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුවේ හිතවතුන්ට රිදෙන්නේ නැති වෙන්න ඒ අයගේ මුදල් බේරා ගන්න මේ දේ කරනවා.

 

4.අපේ ආණ්ඩු කාලයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා නම් බඩු මිල එතැනම තියාගන්න තිබුණා. ජාතික ප්‍රතිපත්තියක් නැතුව ආණ්ඩුවට ඕන ප්‍රතිපත්ති හදනවා. ආණ්ඩුව කියන මිලට කඩේ හාල් විතරක් නොවෙයි කිසිදෙයක් නැහැ. ජනතාව ආණ්ඩුවට ඇහුම්කන් නොදෙන තත්ත්වයට පත්වෙලා. උත්සව සමය එන්න කලින් ආණ්ඩුව සැලසුම් කරල තියෙන්න ඕනේ මේ බඩු මිල පාලනය කිරීමට. අද වෙනකොට ඒ සැලසුම් සියල්ලම අසාර්ථකයි.

5.ඔය කියන අතරමැදියන් සිටියදී අපේ ආණ්ඩුව කාලේ බඩුමිල වැඩි නොවී එක තැන තියාගන්න පුළුවන්කම ලැබුණා. අද ආණ්ඩුව කරන්නේ අතරමැදියාගේ පිට දාලා බඩු මිල වැඩි කරන එක. ආණ්ඩුව තමන්ගේ වැරැද්ද වහගන්න එක එක්කෙනාට වැරැදී පැටවීමේ වැඩපිළිවෙළක නිරත වී සිටිනවා.

ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල් කාන්ත

1. ජීවන වියදම ඉහළ යෑමේ සාපේක්ෂ බලපෑම තියෙන්නේ වැටුපක් ලබලා ජීවත්වන අයටයි. ඊට හේතුව ඔවුන්ට ස්ථිර ආදායමක් තිබුණට ඒ අයට රජයේ කිසිම වැටුප් වැඩිවීමක්, ඒ වැඩිවන ජීවන වියදමට සරිලන ගෙවීමක් කරලම නැහැ. අනිත් හැම කෙනෙක්ම ජීවන වියදම වැඩිවෙනකොට තම තමන් විසින්ම ආදායම වැඩි කරගන්නවා. පෙදරේරුවා එයාගෙ කුලිය වැඩි කරගන්නවා. වඩුවා එයාගෙ කුලිය වැඩිකරනවා. කුලියක් කරන කෙනා ඒ ගාස්තුව වැඩි කරගන්නවා. එතකොට ස්ථිර රස්සාවක් කරලා ජීවත්වෙන අයට තමයි ජීවන වියදම වැඩි වෙනකොට වැටුප් වැඩි වෙන්න ඕනේ. ආදායම වැඩි කරන්න ඕනේ. නමුත් මේ දක්වාම කිසිම වැඩිවීමක් කරල නැහැ.

 

2.එයට බලපාන ප්‍රධාන කාරණාව තමයි නිෂ්පාදනය ප්‍රමාණවත් අයුරින් සිදු නොවීම. ඒක දිගටම තිබුණු තත්ත්වයක් වුවත් කොරෝනා වටපිටාව තුළ එහි බලපෑම තවත් වැඩි වී තිබෙනවා. මේ ආණ්ඩුව දැන් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නැහැ. නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිද්ධවෙන්නේ බාහිරෙන්, එනම් රජයට පිටින්. එතකොට එම නිෂ්පාදනයන් මේ වෙනකොට බිඳ වැටිලා තියෙනවා. ඒකත් එක්ක ජීවන වියදම ඉහළ යනවා. ප්‍රමාණවත් නිෂ්පාදනයක් නැති වෙනකොට අනිවාර්යයෙන්ම ජීවන වියදම ඉහළ යනවා. ඒක තමයි මේ සිදුවී තිබෙන්නෙ. අපි බලාපොරොත්තු වෙන්නේ නෑ ආණ්ඩුව ජීවන වියදම අඩු කරයි කියලා. ඒ නිසා වැඩි වන ජීවන වියදමට සරිලන විදිහට ආදායම් ඉහළ දමා ගැනීමේ සාකච්ඡාව අපි දිගටම කරගෙන යනවා.

 

3.බොහෝ දේවල් රජයේ මැදිහත්වීමක්, සැලසුමක් නොමැතිව රජයේ පාලනයෙන් ගිලිහී ගොස් තිබෙනවා. මේ වෙද්දි ජනතාව වෙනුවෙන් මැදිහත් විය යුතු ආයතනවල ක්‍රියාකාරීත්වය සහ ජනතා විශ්වාසය බිඳ වැටී තිබෙනවා. බලධාරීන් අල්ලසට, දූෂණයට යටවී තිබෙනවා. ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, රේගුව ආදී ආයතන ගැන විශ්වාසයක් නැහැ. සියලු රාජ්‍ය යාන්ත්‍රණයන් ඉහළ සිට පහළ දක්වාම දූෂණයට ලක්වෙලා, දේශපාලනය දූෂණය වෙනකොට ඒ හා බැඳී පවතින සියලු ආයතන දූෂණයට ලක්වීම වළක්වන්න බෑ. ඒ නිසා මේ වෙනකොට අපේ රටේ දේශපාලන සංස්කෘතිය බිඳවැටීමත් එක්ක ඒ දේශපාලනය විසින් මෙහෙයවනු ලබන ආයතන පද්ධතියත් බිඳ වැටිලා. යහපත් ක්‍රියාකාරීත්වයක් පිළිබඳ විශ්වාසය ජනතාවට නෑ. එය කනගාටුදායක තත්ත්වයක්.  

4.ප්‍රමාණවත් ලෙස භාණ්ඩ හා සේවා සැපයීම කෙරෙනවා නම් ප්‍රශ්නයක් නෑ. අවුරුදු ගණනාවක් ආපස්සට බලනකොට අදාළ වගකිවයුතු ආයතනවලට මේ සම්බන්ධයෙන් තීරණය කරන්න පුළුවන්. රජය මේ සියල්ලෙන් ඉවත් වීමේ ප්‍රතිඵලයක් හැටියට අද වෙනකොට රජයට එයට මැදිහත් වෙන්න බෑ. රජය සතු ආයතනත් දූෂිත සංස්කෘතික වළල්ලේ කොටසක් බවට පත්වී තිබෙනවා. ආර්ථික වශයෙන් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට යමක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ, ආණ්ඩුවට පොල්, පොල් තෙල්, සීනි හා පරිප්පු මිල වෙනුවෙන් යමක් කරන්න බෑ. බදු අඩු කිරීමකින් හෝ ජනතාවට සහනයක් දෙන්න තරමේ ආර්ථිකමය ශක්තියක් රටේ නෑ. ඒ වගේම ආණ්ඩුවට හාල් මිල පාලනය කරන්න බෑ, ඒකට යාන්ත්‍රණයක් නෑ, ඒකේ තේරුම ඒවා පෞද්ගලික අංශයට දීලා රජය නිදහස් වෙන එක. ඒ අය ලාබ පස්සේ දුවන්නේ. එතකොට රජයට ජනතාව වෙනුවෙන් කරන්න දෙයක් නැහැ.

 

5.රජයට යමක් කරන්න බෑ, ඒකට අවශ්‍ය කරන උපකරණ නෑ. ඒවා රජය ඔක්කොම අත්හැරගෙන තියෙන්නේ, දැන් තියන ආර්ථිකය තියෙන්නේ තමන් හම්බ කරන ක්‍රියාවලියක්. තනි තනියෙන් තමාම හම්බ කරනවා. ඉතින් වෙළෙන්දෝ ඒක කරනවා. ඒක ගැන කතා කරන්න ආණ්ඩුවට බෑ, දැන් ආණ්ඩුයි ආර්ථිකයයි අතර සම්බන්ධය ගිලිහී තිබෙනවා. දැන් රජය කියන්නේ ආයතනයක්. එක යුගයකදී රජය කියන ආයතනය පවරාගත් කාර්යභාරයක් තිබුණා, ඒ තමා කඩේ බඩු මිල පාලනය කිරීම, වෙළෙඳපොළ හැසිරවීම, තොග රැස්කරගෙන සම්බන්ධ වීම ආදී විවිධ ක්‍රම තිෙයනවා. ඔක්කොම අත්හැර ගත්තට පස්සේ රජය මැදිහත් වෙලා හසුරුවන්න කිසිම ක්‍රමවේදයක් නැහැ.

 

Comments