
අතීතයේ යතිවරුන් දිවි හිමියෙන් බුදු දහම රැක ගන්නට කටයුතු කළත් මෑත අඩ සියවස තුළ ජාතිය ආගම වෙනුවෙන් එවන් අමරණීය සේවාවක් කළ හිමිවරුන් ගැන අපට අසන්නට දකින්නට නොලැබෙතත් බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ නාගදීප ඓතිහාසික පුද බිම රැක ගන්නට කටයුතු කළ හිමිවරුන් අතර නවදගල පදුමකිත්ති හිමියන්ගේ නාමය අමරණීය වනු ඇත.
පදුමකිත්ති හිමියෝ උපත ලැබුවේ 1961 වසරේ අප්‍රේල් මස 3 වැනිදාය. ඒ ඇල්පිටියේ නවදගල ගම්මානයේ පදිංචිව සිටි බීටින් මැන්දිස් හා රොසලින් නෝනාගේ බඩපිස්සා ලෙසිනි. ගිහි නම වූයේ පදුමසිරි මැන්දිස් වන අතර පද්මසිරිට සහෝදර සහෝදරියන් 8 දෙනෙක් විය.
ඇල්පිටිය නවදගල මහා විදුහගේ අකුරු කළ පද්මසිරි පාසල් කාලයේදී ගමේ කොල්ලො කුරුට්ටන් සමඟ බට්ටා පනිමින් අඩදබර කරගත්තද ගමේ පන්සලට ගොස් මල් පහන් පූජා කිරිමටද කැමැත්තක් දැක්වීය. පද්මසිරිගේ පවුලට නෑකමක් ඇති බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නා හිමියෝ පදුමසිරි පැවිදි කරන්නේ මේ අතරය. ඒ නවදගල පද්මකිත්ති තිස්ස නමින් නාගදීපයේදීය. ඒ වන විට පද්මසිරිගේ වයස අවුරුදු 11කි.
කොළඹ දෙමටගොඩ විද්‍යාංලකාර පිරිවෙන (අද විද්‍යාලංකාර විද්‍යාපිඨය) හා අනුරාධපුර සාරානන්ද පිරිවෙනින් අධ්‍යාපනය ලබන්නට උන්වහන්සේ කටයුතු කළද උන්වහන්සේගේ වයස අවුරුදු 22ක් වන විට ත්‍රස්තවාදී යුද්ධය ආරම්භ විය. උන්වහන්සේගේ අධ්‍යාපනය මුළුමනින්ම කඩාකප්පල් විය. 1985 වසරේ ජූනි මස 14 වැනිදා පදුමකිත්ති හිමියන්ගේ උපසම්පදාව සිදු කෙරුණේ බලපිටිය මෝය කටේ ඉදි කරන ලද සීමා මාලකයේදීය. ඒ කොටි ත්‍රස්තවාදී තර්ජන මැද ගුවන් මඟින් කොළඹට වැඩම කරමිනි.
එල්ටීටීඊ සංවිධානය හා ජේ.ආර්. ජයවර්ධන රජය සමයේ ඇති කරගත් සාම ගිවිසුම නිසා දකුණේ ජනතාව උතුරට පැමිණියද මූහමාලේ හා ඕමන්තේ කොටි ත්‍රස්තවාදී මුරකපොලුවලදී ඒ හරහා ගෙන යන සියලුම භාණ්ඩවලට බදු අය කරන ලදී. එකල සිටි සියලු මැති ඇමැතිවරුන් මෙන්ම මුරපොළ පසු කර යන සෙසු සියලු දෙනා බදු ගෙවා ගමන් ගත්හ. එහෙත් පදුමකිත්ති හිමියෝ අවස්ථා කිහිපයකදී කොටි සංවිධානයේ පිරිස් වෙත දැඩි ලෙස දෝෂාරෝපණය කළහ. එක් වරක් නාගදීපයට ගෙන ගිය පොත් පත්‍රිකා තොගයකට රුපියල් 15,000ක බදු නියම කළ අවස්ථාවේදී උන් වහන්සේ ඕමන්ත මුරපොළ දෙවනත් කළේ ‘එක සත පහක් දෙන්නෙ නැහැ, රජවරුවත් පන්සල්වලට බදු අය කෙළේ නැහැ ‘ යනුවෙන් හඬ නඟමිනි. අවසානයේ බද්ද රුපියල් 1000ක් දක්වා අඩු කරන්නට කොටි සංවිධානයේ එතැන සිටි නායිකාවක් විසින් කටයුතු කළද පදුමකිත්ති හිමියෝ එයටද අවනත නොවූහ.
තවත් විටෙක විහාරස්ථානයට රැගෙන ගිය ත්‍රිරෝද රථයකට රුපියල් 17,500ක බදු නියම කළ අවස්ථාවේද පදුමකිත්ති හිමියෝ දැඩි විරෝධයක් එල්ල කළහ.
පදුමකිත්ති හිමියන් ආරක්ෂක අංශ හා සබඳතා ඇති බව දැනගත් කොටි සංවිධානය උන් වහන්සේ මඟින් හමුදා නිලධාරීන්ගේ තොරතුරු ලබා ගන්නට තැත් කෙළේ උන් වහන්සේට මුරපොළ හරහා ඕනෑම භාණ්ඩයක් ගෙන යාමට අවසර ලබා දෙන බවද පවසමිනි. මුදල්ද ලබා දෙන බව පවසමිනි. එහෙත් රටත් ජාතියත් පාවා දෙන්නට උන් වහන්සේ කිසි විටෙක කටයුතු නොකළාක් මෙන්ම ත්‍රස්තවාදීන්ගේ එම ක්‍රියාව හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටද දන්වන ලද්දේ ජීවිතය ගැන පවා නොතකාය.
ත්‍රස්තවාදීන් කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට නාගදීපයට මෝටාර් ප්‍රහාර එල්ල කළ නිසා නාගදීප නාවික හමුදා කඳවුරට අමතරව නාගදීප විහාරස්ථානයේද වහලේ මෝටාර් විදිනයක් සවි කරන ලදී. එයට මෝටාර් ඇතුළත් කිරීමට සහාය ලබා දුන්නේ පදුමකිත්ති හිමියන්ය. එසේම නාගදීපයේ නාවික මුරකපොලු තුළ රැය පහන් කරන නාවික සෙබළන් හා එක්ව රාත්‍රිය පුරාම එය තුළට වී තේ කෝපි වළඳමින් රාත්‍රියම එතුළ ගත කරන්නට පදුමකිත්ති හිමියන් කටයුතු කරන ලදී. පදුමකිත්ති හිමියන් බර අවි ඇතුළු සියලුම අවිවලින් වෙඩි තබන්නටද පුහුණුව ලබන ලදී. එවන් අත්දැකීම් ඇති භික්ෂූන් වහන්සේ නමක් මෙරට තුළ තවත් නොමැත.
‘සමහර අය හිතන්න පුළුවන් ගිනි අවි පුහුණුව භික්ෂූන් වහන්සේට අකැපයි එහෙම කිරීම සුදුසුද කියලා. මම එහෙම කෙළේ නාගදීපය රැකගන්න මිසක් ජීවිත හානි කරන්න නෙමෙයි. අනෙක් එක මම රෑ එළිවෙනකල් නාවික කඳවුරුවල හිටියෙ ආසාවට නෙමෙයි. ඒ විරුවො අපේ විහාරස්ථානය රැකගන්න යුද වදිනකොට අපිට සැතපිලා ඉන්න පුළුවන්ද? ඒ පදුමකිත්ති හිමියන්ගේ අදහසයි.
පදුමකිත්ති හිමියන්ගෙන් මා වරක් විමසුවේ අවුරුදු තිහක යුද්ධයට මැදිව සිටියදී ඇති වුණු හැඟීම් මොනවාද යන්නයි. උන් වහන්සේ පැවසුවේ ‘නායක හාමුදුරුවොත් මමත් මරණයත් අතින් අරගෙන මෙහි ජීවත් වුණා. ඒත් අපේ ආරක්ෂාවට නාවික හමුදාව එදා සිටම කළ මෙහෙය කියා නිම කරන්න බැහැ‘ යනුවෙනි. ‘එම අත්දැකීම් ජීවිතයට බලපෑ ආකාරය ගැන ජනතාවට කිව හැක්කේ කුමක්ද?‘ යන්න විමසා සිටි අවස්ථාවේදී උන් වහන්සේ මුද්‍රිත කොළයක් මා අත තැබුවේ ‘මෙන්ම මේ ටික රටේ හැමෝටම දැන ගන්න පළ කරන්න‘ යනුවෙනි. එය අඩුවක් නැතිව මෙහි පළ කරමි.
’මගේ භික්ෂු ජීවිතයේ වටිනාම කාල පරිච්ජේදය වන යෞවන සමය මුළුමනින්ම ගෙවී ගියේ බිහිසුණු යුද්ධය මැද්දේය. එය සුළුපටු කාලයක් නොවේ. වසර තිහකට අධික කාලයකි. එ සමයෙහි සෙසු භික්ෂූන් මෙන් මට සුමධුර ධර්ම දේශනා කරන්නට අවස්ථාවක් නොවීය. මම ධර්ම දේශනයක් කළා නම් ඒ හමුදා කඳවුරක පිංකමකදී කළ කෙටි දම් දෙසුමක් පමණි. මට ධර්ම කාරණා අඩංගු වටිනා පොතපත කියවන්නට විවේකයක් නොතිබිණි. මගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම යුද්ධය විසින් උදුරා ගත්තේය. උදේ පටන් ගතවන සෑම මිනිත්තුවක් පාසා මගේ ජීවිතය ගෙවී යන්නට වූයේ වෙඩි හඬ මැද්දේය.
මම කඩවසම් භික්ෂුවක් නොවෙමි. සුමධුර හඬක් ද මා සතුව නැත. ගිනි කාෂ්ටක අව්රශ්මිය, කරදිය මිශ්‍ර සුළඟ, පෝෂ්‍යදායි ආහාර නොමැතිකම, දීර්ඝ කාලීන යුද්ධය විසින් මා තළා පෙළුෑ මානසික පීඩනය ඇතුළු කාරණා හේතුවෙන් මගේ සිරුර කර්කශ විය. අදටත් එහි වෙනසක් නැත.
ත්‍රස්තවාදීන් බිම්බෝම්බ අටවා ඝාතනයට ලක් කරන හමුදාවේ නිලධාරීගේ සිරුරු සොයා ගැන්මටවත් නොහැකි වූ අවස්ථා තිබුණි. ඒ අවස්ථාවලදී කඳවුරු තුළ පවත්වන පාංශුකූල පින්කම් වෙනුවෙන් උන් වහන්සේත් නායක හිමියනුත් වැඩම කරන්නේ නාවික යාත්‍රා මඟින් කරෙයිනගර් හරහාය. එම අවස්ථාවලදී ත්‍රස්තවාදීන් එම යාත්‍රාවලට පහර දුන්නේ වරක් දෙවරක් නොවේ. කරෙයිනගර් නාවික කඳවුරේ සිට ගුවන් ගත වන හෙළිකොප්වර් යානාවලටද ත්‍රස්තයෝ පහර දුන්හ. ත්‍රස්තයන්ගේ එම ඉලක්කයන්ට අසු නොවන සේ හෙළිකොප්ටර්, යානා ගුවන් ගත කරන්නේ කරණම් ගසමිනි. දානය වළඳා මුහුදින් වැඩම කිරීමෙන් පසු හෙළිකොප්ටරේ එසේ කරණම් ගසන විට දානය උගුරින් එළියට පැමිණෙන තරම් වේදනා දුන් අවස්ථාද තිබේ. ඇතැම් විට හෙළිකොප්ටරය ගුවන් ගත වන විට හෝ ගොඩ බස්වන විට සුළඟේ වේගයට පොරවා ගෙන සිටින ගැලවී මුහුදට ගිය අවස්ථාද විය. තෙත බරියම් වූ සිවුරු පොරවාගෙන පාංශුකූලය ලබා දුන් අයුරු අදත් පදුමකිත්ති හිමියෝ සිහිපත් කරති.
මගේ භික්ෂු ජීවිතයේ වටිනාම කාල පරිච්ජේදය වන යෞවන සමය මුළුමනින්ම ගෙවී ගියේ බිහිසුණු යුද්ධය මැද්දේය. එය සුළුපටු කාලයක් නොවේ. වසර තිහකට අධික කාලයකි. එ සමයෙහි සෙසු භික්ෂූන් මෙන් මට සුමධුර ධර්ම දේශනා කරන්නට අවස්ථාවක් නොවීය. මම ධර්ම දේශනයක් කළා නම් ඒ හමුදා කඳවුරක පිංකමකදී කළ කෙටි දම් දෙසුමක් පමණි. මට ධර්ම කාරණා අඩංගු වටිනා පොතපත කියවන්නට විවේකයක් නොතිබිණි. මගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම යුද්ධය විසින් උදුරා ගත්තේය. උදේ පටන් ගතවන සෑම මිනිත්තුවක් පාසා මගේ ජීවිතය ගෙවී යන්නට වූයේ වෙඩි හඬ මැද්දේය.
මම කඩවසම් භික්ෂුවක් නොවෙමි. සුමධුර හඬක් ද මා සතුව නැත. ගිනි කාෂ්ඨක අව්රශ්මිය, කරදිය මිශ්‍ර සුළඟ, පෝෂ්‍යදායි ආහාර නොමැතිකම, දීර්ඝ කාලීන යුද්ධය විසින් මා තලා පෙලූ මානසික පීඩනය ඇතුළු කාරණා හේතුවෙන් මගේ සිරුර කර්කශ විය. අදටත් එහි වෙනසක් නැත.
නායක හිමියන් අසනීප වී ගුවන් මඟින් කොළඹට වැඩම කිරීමට සිදුවන අවස්ථාවලදී උන් වහන්සේ වැඩම කළේ බරපතළ තුවාල ලැබ අතපය පවා අහිමිව මර ළතෝනි දුන් සෙබළුන් ගමන් ගත් හෙළිකොප්ටරයේය. හෙළිකොප්ටරයේ වැඩම කරද්දී තුවාල වූ සෙබළුන්ගේ ගලා ගිය රුධිරයෙන් පොරවා ගෙන සිටි සිවුරු රත් පැහැ ගැන්වූ අවස්ථා ගැනද උන්වහන්සේ සිහි කරන්නේ බලවත් ශෝකයෙනි.
ඒ සියලු බාධා මැද උන් වහන්සේ නා හිමියන් හා එක්ව නාගදීප පුදබිම රැක ගත්හ. නාවික හමුදාව හා එක්ව නාගදීපයේ වෙසක් පින්කමක් පවත්වත්දී පන්සිල් දීම ආරම්භ කළ විටම ත්‍රස්තවාදීහු එයට මෝටාර් ප්‍රහාර එල්ල කළහ. නාවික හමුදාවේ නිලධාරීන් හා සෙබළුන් ප්‍රතිප්‍රහාර පිණිස කඳවුරට දිව ගියද උන් වහන්සේ ජීවිත අවදානම පවා නොතකා තනිවම පන්සිල් දී විහාරයට වැඩම කළහ.
අවසන් මානුෂීය මෙහෙයුමට පෙර නාගදීපයට අඛණ්ඩ ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙද්දී නාවික හමුදාවට පවා දින දෙක තුනක් විහාරයේ දාන මාන කටයුතු ගැන සොයා බලන්නට අවස්ථා නොවීය. එම අවස්ථාවේදී විහාරය පිටුපස වැලේ තිබූ වට්ටක්කා ගෙඩි ලුණු දමා තම්බා නායක හිමියන්ටද දානය සපයා තමන් වහන්සේද වළඳමින් උන් වහන්සේ විසින් ගත කළ ජීවිතය මෙරට කිසිදු භික්ෂූන් වහන්සේ නමක් අත්විඳ නැත. ජීවිත අවදානම් තත්ත්වය නිසා කොළඹට වැඩම කරන්නැයි කොළඹ වැඩ සිටි හිමිවරුන් දැනුම් දුන්නද කිසිදු හේතුවක් මත නාහිමියන් හෝ පදුමකිත්ති හිමියන් නාගදීපයෙන් පිටමං වූයේ නැත.
නායක හිමියන් 2003 වසරේ අපවත්වීමෙන් පසු සියලු ආගමික කටයුතු පමණක් නොව දූපතේ ජනතාවගේ කටයුතු පවා උන් වහන්සේට සොයා බලන්නට සිදු විය.
2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව වන්දනාකරුවන්ට නාගදීපයට බාධාවකින් තොරව පැමිණීමට උන් වහන්සේ අවශ්‍ය පසුබිම සකස් කළහ.
අද වන විට නාගදීපයේ අලංකාර නාග තොරණක් ඉදි කර ඇත. එමන්ම සිරිපතුලක් මෙන්ම බ්‍රාහ්මණවත්තේ නා හිමි අනුස්මරණ මන්දිරයක් ඉදි කර තිබේ. සුදු බෝධියක්ද උන් වහන්සේ විසින් රෝපණය කර තිබේ. දූපතේ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස තනා දීමටද උන් වහන්සේ කටයුතු කරන ලදී. අදටත් විහාරස්ථානයේ වැඩ කටයුතු කරන කුමරන් වසර 40ක් එහි සේවය කරන අයෙක් වන අතර ඔහුටද නිවසක් තනා දෙන්නට පදුමකිත්ති හිමියෝ කටයුතු කළහ. එමෙන්ම දිළිඳු ජනතාවගේ අවමංගල්‍යයක් වූ විට දේහය තබන්නට පෙට්ටියක් ලබා ගන්නට මුදල් නොමැතිව දියණිවරුන් විවාහයට පත් කිරීමට නොහැකිව සිටින මවුපියන්ට මුදල් ලබාදීමට පවා උන් වහන්සේ කටයුතු කර තිබේ. කොරෝනා රෝගය පැතිර යාම නිසා ඇඳිරි නීතිය පැනවූ විටදී දූපතේ අඩුආදායම්ලාභී සියලු ජනතාවට අවශ්‍ය අහාර පාන ලබා ලබා දෙන්නට උන් වහන්සේ කටයුතු කළහ.
සැබෑ සංහිඳියාව යනු කුමක්දැයි උන් වහන්සෙ අපට පසක් කර දුන්හ. පදුමකිත්ති හිමියන් පවසන්නේ මෙරට විහාරස්ථානයකට දශක ගණනාවක්ම උදෑසන හා දහවල් දානය සපයා දෙන්නට කටයුතු කළ එකම දෙමළ ජාතිකයා ගැනද සඳහන් කළ යුතුම බවයි. ඒ නාගදීපයේ සිටි රාමචන්ද්‍රන් මුදලාලිය. වර්තමානයේ නාගදීපයෙ මුහුදු පතුළේ නාග විමනක් ස්ථාපිත කර එහි අඩි 150ක අභය මුද්‍රාවෙන් නිර්මින බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට පදුමකිත්ති හිමියෝ කටයුතු කරමින් සිටිති. එය සාර්ථකව අවසන් කරන්නට හැකි වුවහොත් තමන් වහන්සේ දිවි හිමියෙන් රැකගත් නාගදීපය ගැන සතුටට පත්විය හැකි බව උන්වහන්සේ පවසති.
අප්‍රේල් 3 වැනිදා අවුරුදු 60 සපුරන උන්වහන්සේ විසින් සිදු කරන ලද ආගමික ශාසනික සේවාව මෙන්ම සංහිඳියාව මෙරට වෙනත් කිසිදු භික්ෂූන් වහන්සේ නමකට කිසිදු දිනක කළ හැකිවේයැයි සිතන්නට පවා අපහසුය. එවන් අතිවිශාල සේවාවක් කළ උන්වහන්සෙට නිකායෙන් ලබා දුන් උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරය පමණක් හිමිව තිබීම කනගාටුවට කරුණකි.