
මෙරට රජ කළ සිංහල බෞද්ධ රජකු වූ අසේල රජුගෙන් රජකම පැහැරගෙන රජරට රාජධානිය කේන්ද්‍ර කරගෙන වසර 44ක් පාලනය කළ ආක්‍රමණික දෙමළ පාලකයකු ලෙස එළාර රජු හැඳින්විය හැකිය. එළාර රජු හා සටන් වැදී ඔහු පරාජයට පත් කිරීමෙන් පසු රට එක්සේසත් කිරීමෙන් ලද සතුට හැම විටම බෞද්ධ ශාසනයේ කටයුතු වෙනුවෙන් වෙන් කරන්නට දුටුගැමුණු රජතුමා කටයුතු කෙළේය. යුද ජයග්‍රහණය වෙනුවෙන් යැයි ඍජුව නොපැසුවද අහස සිඹින මහා දැගැබ් ඉදි කරන්නට රජතුමා කටයුතු කෙළේය.
එළාරගේ පාලන සමයෙන් පසුව දීර්ඝ කාලයක් මෙරට රාජ්‍ය පාලනයෙන් මිදී වෙනම පාලන තන්ත්‍රයක පාලනයක් උතුරේ සිදුවූයේ එල්ටීටීඊ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ සමයේදීය. රට රැක ගැනීම වෙනුවෙන් තිස් වසරක් තිස්සේ දිවි පුදමින් රට රැක ගැන්ම පිණිස මෙරට යුද හමුදා, නාවික හමුදාව හා ගුවන් හමුදාවත් පොලිසිය හා සිවිල් ආරක්ෂක බළකායක් කටයුතු කරන ලදී.
ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් සමස්ත ශ්‍රී ලංකාවම මුදා ගැනීම 2009 වසරේ මැයි මස 19 වැනිදා සිදුවිය. ඒ මුදාගැනීම වෙනුවෙන් මෙරට ත්‍රිවිධ හමුදාවේම 29,000කට අධික පිරිසක් දිවි පුද කළහ. යුද හමුදාවේ පමණක් 20,474 මෙන්ම දිවි පුද කළ අතර අතුරුදන් පිරිස 3488කි. ගුවන් හමුදාවේ 443 දෙනකු දිවි පිදූ අතර 236 දෙනකු ආබාධිත තත්ත්වයට පත්විය. එය නාවික හමුදාවේ 1,168 කි.
මීට අමතරව පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේද දහස් ගණනක් මිය යන ලදී. ඔවුන් එදා ජීවිත පූජා නොකළානම් අප අපට ජීවත්වන්නට රටක් ඉතිරි වන්නේ නැත.
ශ්‍රී ලංකාවේ මෑත දශක ගණනාවක ඉතිහාසයේ අප මුහුණ දුන් බෙදුම්වාදී යුද්ධය වෙනුවෙන් දිවි පිදූ මෙන්ම රණක්ෂිතයට පත් රණවිරුවන් උදෙසා කළ ගුණ සැලකීමට අතීත ශ්‍රී විභූතියට හිමිකම් කියන අනුරාධපුරයේම සුවිසල් දාගැබක් ඉදි කරන්නට සැලසුම් කළේ 2010 වසරේදීමය. ඒ එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිනි.
ඒ අනුව 2010 වසරේ නොවැම්බර් 22 වැනිදා රණවිරුවන් උදෙසා ඉදිවන සෑයට මුල්ගල් තබන ලදී. රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් හා රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් කළ ගුණ සැලකීමක් ලෙස ඉදි කරන්නට යෝජිත වූ මේ සෑයට ආරම්භයේදී ‘රණවිරු සෑය‘ යන නම යොදන්නට තීරණය කළද පසුව එය සඳහිරු සෑය යන නමින් හඳුන්වන්නට වූයේ සඳ හිරු පවතිනා තුරු විරාජමානව පවතිනු ඇතැයි යන සංකල්පයෙන් යුක්තවය. සෑය ඉදි කිරීමේදී රජයට බරක් නොවන සේ පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම රණවිරුවන්ගේ වැටුපෙන් ඉතා සුළු මුදලක් ලබා ගෙන එහි ඉදි කිරීම් කරන්නට යෝජනා වී තිබුණි.
එකල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ඍජු මෙහෙයවීම මත එවකට යුද හමුදාපතිව සිටි ලුතිනන් ජෙනරාල් දයා රත්නායකගේ අධීක්ෂණය යටතේ යුද හමුදාවේ 4 වැනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරීහු මෙම සඳහිරු සෑය ඉඳි කිරීම ආරම්භ කළහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සහාය ඇතිව එහි ඉදි කිරීම් සිදු කෙරුණේ ශ්‍රී ලාංකික ඉංජිනේරු තාක්ෂණයට අනුරූපවය.
ආරක්ෂක ලේකම්වරයා විසින් අටමස්ථානාධිපති හිමියන්ට නිධන් කිරීම පිණිස නිධන් වස්තු පිරි නැමූ අවස්ථාව.
ඒ අනුව මෙරට විශාලත්වයෙන් හතරවැනි චෛත්‍යය ලෙස අනුරාධපුරයේ මහ මෙවුනා උයනට අයත් භූමි භාගයක සෑයේ ඉදි කිරීම් ආරම්භ කෙරුණි. 2014 වසරේ නොවැම්බර් 23 වැනිදා සෑයේ ගර්භයේ ධාතු නිධන් කිරීමද සිදු කෙරුණු අතර ඒ වෙනුවෙන් කිලෝ 8ක දඹ රන්පිළිමයක් නිධන් කරන ලදී.
රත්රන් වලින් නිම කළ බුදු පිළිමයට අමතරව රත්රන්වලින් සැකසූ බෝධින් වහන්සේ නමක්, රන් පත් ඉරුවල ලියන ලද ත්‍රිපිටකය ද මෙහි තැන්පත් කෙරිණි. ඊට අමතරව බාහිර අය ලබාදුන් රිදී, මුතු, මැණික් ද මෙහි තැන්පත් කෙරිණි. සඳහිරු සෑයේ උස අඩි 282 අඟල් 6ක් වන අතර එයට වඩා උසින් වැඩි වන්නේ රුවන්වැලි මහා සෑය, අභයගිරිය හා ජේතවනාරාමයට පමණක් වීමද විශේෂත්වයකි. සැයේ විෂ්කම්භය අඩි 255 ක් වන අතර වට ප්‍රමාණය අඩි 801කි. සඳහිරුසෑය ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13ක් වන අතර වැලි මළුව අක්කර 6ක් රූඩ් එකක් හා පර්චස් 30 ක් භූමි භාගයකට අයත් වේ. සලපතළ මළුවට අක්කර 4 ක් හා රූඩ් 2 ක් අයත් වන අතර වෛත්‍යය ආවරණය වන භූමි ප්‍රමාණය අක්කරයක් හා පර්චස් 20 කි. බුබ්බුලාකාර හැඩයෙන් ඉදිවන සඳහිරු සෑය ඉදිකිරීමට පාදම සකස් කිරීම නවීන තාක්ෂණය අනුව සිදුකරන්නට ඉදි කිරීම් කටයුතු කරන යුද හමුදා ඉංජිනේරු අංශය විසින් කටයුතු කරන ලදී. ‘සඳහිරු පවතින තුරු පවතින්නට යෝජිත සෑයේ අත්තිවාරම පොළොව මට්ටමේ සිට අඩි 45 ක් යටට කළුගල් ස්ථරය හමුවන තෙක් යොදා ඇත. ඒ කිසිදු කම්පනයකින් ගිලා නොබසිනා ලෙසින් ඉදි කළ යුතු හෙයිනි.
මේ සෑය ඉදි කරන්නට වැලි කළුගල් ඇතුළු පහසුකම් සපයා දෙන්නට ගුවන් හමුදාවත් නාවික හමුදාවත් සහාය ලබා දී ඇතත් වැඩි දායකත්වයක් දරන්නේ යුද හමුදාව විසිනි. මේ වන විට සෑයේ ඉදි කිරීම් හතරැස් කොටුව දක්වා ඉදි කර අවසාන් වී ඇත. පසුගිය මැදින් පුන් පොහෝ දින එහි හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවය පැවැත්වුණේ ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි. මැදින් පුන් පොහෝ දිනය වුවද විහාරස්ථානයන්හි වැඩ කටයුතු සියල්ල මධ්‍යයේ මහා සංඝරත්නය සිය ගණනක් වැඩම කර සිටියහ.
ධාතු නිධානෝත්සවයට පෙර සෑයේ පලඳවන්නට යෝජිත චූඩා මාණික්‍යය අලංකාර පෙරහරින් වැඩම කරවන ලද්දේ බෞද්ධ ධජ සේසත් හා අලංකාර නර්තන මධ්‍යයේය. චූඩා මාණික්‍යය පරිත්‍යාග කරමින් පුණ්‍ය කර්මයට දායක වූයේ ව්‍යාපාරික ආතර් සේනානායකයන්ය විසිනි.
චූඩා මාණික්‍යය වැඩම කිරීමෙන් පසු එය භික්ෂූන් වහන්සේ ඇතුළු ප්‍රභූවරුන්ගේත් ජනමාධ්‍යවේදීන්ගේ වන්දනාවට පත් විය.
ඉන් පසුව ආගමික උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වූ අතර රැස්ව සිටි ගිහි පිරිස පංචශීලයේ පිහිටුවා ආගමික වතාවත් ආරම්භ කරනු ලැබුවේ සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ සුමංගල නා හිමියන් විසිනි.
මේ අවස්ථාවට අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමි, රුවන්වැලි මහ සෑ විහාරාධිකාරී පල්ලේගම හේමරතන නා හිමි ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් සහභාගි වී සිටියහ. එමෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන, ෂෙහාන් සේමසිංහ ඇතුළු මැති ඇමැතිවරුද ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සෙනරත් බණ්ඩාර, පොලිස්පති චන්දන වික්‍රමරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් නන්දන සේනාධීර ඇතුළු ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් සහභාගි වූහ.
පළාත් 9ම ආවරණය වන පරිදි මෙවන් සෑ රඳුන් ඉදි කිරීම කළ යුතු බව අනුශාසනාවේදී ලංකාරාමාධිකාරී රළපනාවේ ධම්මජෝති හිමියෝ පැවසූහ.
ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ රට ජාතිය රැකගත් රණවිරුවන් වෙනුවෙන් ඉදි කළ මේ මහා සෑය ‘කළගුණ සෑය‘ නමින් හැඳින්වුවද එහි වරදක් නොවන බව ය. එමෙන්ම පසුගිය පුන් පොහෝ දිනට පෙර දින පැමිණි බෞද්ධ උපාසක උපාසිකාවන් තම ගෙල පැලඳි රන් මාල මඟුල් මුද්ද කනේ පැලඳි කරාබු පවා ස්තූපයේ තැන්පත් කිරීමට ලබා දුන් බව ද ඔහු පැවසුවේය.
උත්සව සභාවෙන් පසුව මහා සංඝයා වහන්සේට මෙන්ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා ප්‍රභූවරුන් වෙත නිධන් වස්තු පිළි ගැන්වීම සිදු කරන ලදී.
• වන්දනාකරුවෝ ගෙල බැඳි මාල, කරාබු පවා පුද කරති
නිධන් වස්තු පිරිනැමීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේ සෑයේ හතරැස් කොටුව දක්වා වැඩම කළ අතර ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සෙසු ප්‍රභූවරුන්ද හතරැස් කොටුව දක්වා ගමන් කරන ලදී. ධාතු නිධානෝත්සවය සනිටුහන් කරමින් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නා හිමිපාණන් වහන්සේ විසින් හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීම අරඹන ලදී. සෙසු භික්ෂූන් වහන්සේද එහි නිධන් වස්තු තැන්පත් කළ අතර ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු හමුදා ප්‍රධානීන් සියලු දෙනාද සෙසු ආරක්ෂක නිලධාරීන්ද නිධන් වස්තු තැන්පත් කළහ. මෙම දුර්ලභ අවස්ථාවට සහභාගි වූ මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාද නිධන් වස්තු තැන්පත් කෙළේ ඉන් අනතුරුවය. මේ අවස්ථාවේදී රුපියල් කෝටි විස්සක් වටිනා මුතු මැණික් තොගයක් එහි නිධන් කිරීම උදෙසා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ලබා දීම මෑත ඉතිහාසයේ සිදු කළ විශාලතම පුණ්‍යකර්මය බවද පෙන්වා දිය හැකිය.
හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවය නිමවා සියලු නිධන් වස්තු ආරක්ෂිතව තැන්පත් කර නිමවන තුරු ආරක්ෂක ලේකම්වරයා එහි රැදී සිටියේය.
මහා සංඝයා වහන්සේ හා විශේෂ ආරාධිතයන් හතරැස් කොටුවෙන් නික්ම ගිය පසුව පැමිණ සිටි දහස් සංඛ්‍යාවක් වූ බෞද්ධ ජනතාවෝ හතරැස් කොටුව දක්වා ගොස් තම තමන් ගෙනා නිධන් වස්තු තැන්පත් කළහ. සිල් සමාදන්ව සිටි උවැසි උවැසියෝද ඒ අතර වූහ. එසේම චූඩා මාණික්‍යද ඒ සියලු පිරිස් හට වන්දනාව පිණිස අවස්ථාව ලබා දී තිබුණි.
‘සඳහිරුසෑය’ යන්නෙහි තේරුම ‘සඳමෙන් සෞම්‍ය හා හිරු මෙන් තේජස් බවින් යුක්ත රජුන්‘ යන්න බව පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ පෙන්වා දෙති. එමෙන්ම මේ පිළිබඳව කරුණු දක්වමින් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් පවසා තිබුණේ මෙම ඉදිකිරීම අවුරුදු දහසකට වඩා වැඩි කාලයකට පසු ලෝකයේ රටවල් ඇතුළත සිදු කෙරෙන ඓතිහාසික ඉදිකිරීමක් බවයි. ලෝකයේ රටවල සුවිසල් චෛත්‍ය ඉදිවුවත් සඳහිරු සෑය තරම් විශාලත්වයෙන් යුත් සර්වඥ ධාතූන් නිධන් කරන පාදමේ සිට ඉදිකරන චෛත්‍යයක් වසර 1600 කින් මෙපිට මෙරට ඉදිවී නැති බව පුරාවිද්‍යාඥයෝ පවසති. ඒ අනුව 21 වැනි සියවසේ ලෝකයේ ඉදිකෙරෙන විශාලතම හා සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරෙන එකම දාගැබ මේ සඳහිරු සෑය වනු ඇත.
යුද හමුදාව පවසන්නේ සදහිරු සෑය ඉදි කිරීම පිණිස ඒ සඳහා විශේෂ වූ ස්තූප ගඩොල් ලක්ෂ 310ක් අවශ්‍ය වන බවයි. මේ වන විට එහි ඉදිකිරීම් කටයුතු රැසක් අවසන්ව ඇති හෙයින් ඉදිරි කටයුතු කඩිනමින් සිදු කෙරෙනු ඇත. එසේම සඳහිරු සෑයට යොදා ගනු ලබන ගඩොල් සුවිශේෂී ස්තූප ගඩොල් විශේෂයකි. එම ගඩොලක් දිගින් අඟල් 16 ක් වන අතර පළලින් අඟල් 8 කි. එහි උස අඟල් 2 කි.
මෙම සුවිශේෂී ස්තූප ගඩොල් සියලු ආරක්ෂක හමුදාවල සහාය ඇතිව අනුරාධපුර ඇලයාපත්තුව, බිංගිරිය, මහියංගනය, ගල්කඩවල, ඇඹිලිපිටිය, අම්පාර වැනි ප්‍රදේශවල විශේෂ උළු කර්මාන්ත ශාලාවලින් නිපදවනු ලැබේ.
සඳහිරු සෑයේ තවත් විශේෂත්වයක් වනුයේ අනුරාධපුර විශාලතම ශෛලමය කලාගාරයක් ද මෙම දාගැබ් පරිශ්‍රයේ ඉදිකිරීමයි. සෑයේ සලපතළ මළුව හා වැලි මළුව අතර, ප්‍රාකාරයේ සතර දෙසට අඩි 400 බැගින් වූ ප්‍රදේශයේ ගලින් නෙළන ලද බෞද්ධ කැටයම්, දස පාරමිතා බුදු දහමේ විකාශය, ශාසන ඉතිහාසය මෙන් ම යුද්ධය අවසන් කිරීම දක්වා විවිධ අවස්ථා නිර්මාණය කිරීමට කටයුතු යොදා ඇත.
ආරම්භක ව්‍යාපෘතිය අනුව සඳහිරු සෑයේ සියලු වැඩ කටයුතු 2016 වසරේදී අවසන් කිරීමට යෝජිත වුවත් ‘යහපාලන‘ රජය එහි ඉදිකිරීම් ප්‍රමාද කර දැමීම නිසා එහි ඉදිකිරීම් අතරමග ඇණ හිටින ලදී.
සඳහිරු සෑයේ ශ්‍රම දායකත්වයට හෝ වෙනත් සහාය ලබා දීම් වෙනුවෙන් දායකත්වය සැපයීමට ඕනෑම සංවිධානයකට හෝ පුද්ගලයන්ට අවස්ථාව තිබේ. මූල්‍ය ආධාර ද ලබා දිය හැකිය. ඒ සම්බන්ධ වැඩි විස්තර 0252056057 යන දුරකථන අංකය අමතා දැන ගත හැකිය.
දුටුගැමුණු රජුගෙන් පසුව මෙරට වංශකතාවන්ගේ ලියැවෙන පරිදි අධිරාජ්‍යවාදීන් හා ගැටෙමින් වීරපුරන්අප්පු ගොන්ගාලේගොඩ බණ්ඩා ඇතුළු විරුවන් සිදුකළ මෙහෙයටත් වඩා මෙහෙයක් තිස් වසරක යුද්ධය වෙනුවෙන් දිවිපුදමින් සටන් වැදුණු රණවිරුවන් විසින් සිදු කළ අප අමතක නොකළ යුතුය.
එමෙන්ම තවමත් රෝද පුටුවලට වී මෙන්ම කිහිළිකරුවෙන් පවා ජීවිතය ගැට ගසා ගන්නා අයද වෙති. එමෙන්ම රාගම රණවිරු සෙවණ හා අභිමංසල ඇතුළු රණවිරු රැකවරණ මධ්‍යස්ථානවල සමස්ත ජීවිත කාලයම ඇදක් මතට වී දිවි ගෙවනා රණවිරුවෝද අප රටේ වෙති. යුද්ධය නිසා එසේ රණක්ෂිතයට පත් වූ රණවිරුවන් සංඛ්‍යාව තිස් දහසකට අධිකය. ඔවුන් වෙනුවෙන් කළ ගුණ සැලකීම පිණිස ඉදි කළ ‘සඳහිරු සෑය‘ සඳහිරු පවතිනා තුරු තිබේවා යන්න අපගේද පැතුම විය යුතු වන්නේ රජ කාලයෙන් පසුව ඉදි කළ විශාලතම ස්තූපය ‘සඳහිරු සෑය‘ වන හෙයිනි.
සේයාරූ- සුලෝචන ගමගේ