වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ජවිපෙ භූමිකාව-2 | Page 4 | සිළුමිණ

වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ජවිපෙ භූමිකාව-2

ඉකුත් දශක පහක් ඇතුළත කැරලි දෙකකට ජවිපෙ නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් ක්‍රියාත්මක වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් වූහ. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.

 

24 කොටස

ජවිපෙ තහනම ඉවත් කරන මෙන් ආණ්ඩුවට බලකරමින් 1983 සැප්තැම්බර් ලංකා වෙළෙඳ සේවා සංගමයේ මෙහෙයවීමෙන් කොල්ලුපිටිය සී. එම්. යූ ශාලාවේදී රැස්වීමක්ද පවත්වන ලදී. එ් රැස්වීම අමතා බාලා තම්පෝ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ගුණසේන මහානාම සහ ජවිපෙ වෘත්තීය සමිතිය වෙනුවෙන් ඩී. ආර්. ලියනාරච්චි ද කතා කළහ. රැස්වීමට ජවිපෙ නියෝජිතයන්ට සහභාගී වීමට උපතිස්ස ගමනායක ගේ අවසරය ලැබිණි.

එම සාකච්ඡාවේදී ගත් තීරණයක් වූයේ 1984 මැයි 1 ලෝක කම්කරු දිනය ජවිපෙ වෘත්තීය සමිති මඟින් කොළඹ නව නගර ශාලාවේ මැයි 1 සැමරිය යුතු බවය. ඒ අනුව මැයි දිනය සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය, සමස්ත ලංකා සංස්ථා සේවක සංගමය, සමස්ත ලංකා වතු සේවක සංගමය සහ සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය මෙහෙයවීමෙන් 1984 මැයි 1 විශාල පිරිසක ගේ සහභාගීත්වයෙන් කොළඹ නව නගර ශාලාවේ පැවැත්විණි. එහිදී රැස්ව සිටි පිරිස අමතා සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ වැඩ බලන ලේකම් ගාමිණී ගුණසේකර, එහි වැඩබලන සභාපති ඩබ්ලිව්. වයි. ද සිල්වා, සමස්ත ලංකා සංස්ථා සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩී. ආර්. ලියනාරච්චි. එහි සංවිධායක ලේකම් පී. කේ දයාසේන, සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් වික්ටර් පීරිස් අදහස් පළ කරන ලදී.

ජවිපෙ තහනම ඉවත් කිරීම ඇතුළු මැයි දින යෝජනා 9ක් මෙහිදී සම්මත විය. මෙම මැයි රැලිය ජවිපෙ සාමාජිකයන් තුළ ඉමහත් උත්තේජනයක් ඇති කිරීමට සමත් විය. ජවිපෙ රහසිගතව ක්‍රියාත්මක වෙද්දී ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වූ එකම අංශය වූයේද මෙම වෘත්තීය සමිති අංශයයි.

ජවිපෙ තහනමට ලක්වී මාස 17ක් ගතවන විට නීති විරෝධී තත්ත්වයක් යටතේ පක්ෂ වෘත්තීය සමිති කටයුතු තවදුරටත් කළ නොහැකි බවට මතය පිළිගත් පිරිසක් 1985 ජනවාරි 31න් පසු ඉන් ඉවත්විය. ඒ අතර හේමපාල, උදේනි, ලියනාරච්චි, දයාසේන සහ අයුබ් ඇතුළු කිහිපදෙනෙක්ම විය. ඉවත් වූ එම කණ්ඩායමේ මතය වූයේ යටිබිම්ගත දේශපාලනය කිරීමේ අවසානය මහා ඛේදවාචකයකින් අවසන් විය හැකි බවය.

එම වසරේම අප්‍රේල් වනවිට වෘත්තීය සමිති සහ ජවිපෙ අතර මතභේදයක් ඇතිවූ අතර සමස්ත ලංකා සංස්ථා සේවක සංගමය ජවිපෙන් ඉවත්වීම සඳහා වෘත්තීය සමිති ෙරජිස්ට්‍රාර්වරයා ගේ අනුමැතිය පැතීය.

මෙසේ ඉවත්වීමට හේතුව ජවිපෙ කෙරෙහි සංගමයේ ප්‍රධාන පෙළේ නිලධාරින් දක්වන විශ්වාසය බිඳීයෑම බව එහි සංවිධායක ලේකම් පී. කේ. දයාසේන 1985 අප්‍රේල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඒ වනවිට ද එහි ප්‍රධාන ලේකම් ඩී. ආර්. ලියනාරච්චි, භාණ්ඩාගාරික සෝමරත්න රණසිංහ ඇතුළු කිහිපදෙනෙක් සංගමයෙන් ඉවත්ව තිබිණි. ගමනායක ගේ මැදිහත්වීම මත එම ප්‍රශ්නය නිරාකරණය වූ අතර සංගමයේ කටයුතු තීරණය කිරීමේ අයිතිය ඒ අනුව ජවිපෙට හිමි විය.

පක්ෂ තහනම මධ්‍යයේ වූවද ජවිපෙ වෘත්තීය සමිති මඟින් 1985 සහ 1986 මැයි දින රැලිද කොළඹ නව නගර ශාලාවේදී පවත්වන ලදී. වසර 1986 මැයි දින රැලියේදී ජවිපෙ දෙවන පෙළ නායකයකුව සිටි නීතිඥ විජේදාස ලියනාරච්චි විසින් රෝහණ විජේවීර විසින් ජාතික ගැටලුව සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශිත ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ මැයින් රහසිගතව මුද්‍රණයකර තිබූ කෘතිය මුල්වරට එළිදැක්විණි. විජේවීර ගේ එම කෘතිය තුළින් අධිරාජ්‍යවාදී උපාය අරමුණ මෙන්ම කලාපය තුළ ඉන්දීය උපක්‍රමික අරමුණුද ඒ තුළ ලංකාවේ ජාතික ගැටලුව ස්ථාන ගතකොට ඇති අයුරුද එකී අර්බුදයට වමේ විසඳුමත් එක්කරමින් සම්පාදනය කර තිබිණි.

වසර 1986 වන විට සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් තනතුරට ගාමිණී ගුණසේකර පත්වූ අතර සමස්ත ලංකා සංස්ථා සේවක සංගමයේ ප්‍රධාන ලේකම් තනතුරට ජී. ඩබ්ලිව් ගාමිණි ජයලත් පත්ව තිබිණි. කැලණි සරසවියේ උපාධිධාරියකු වූ ගාමිණී ගුණසේකර දැඩි කැපවීමකින් වෘත්තීය සමිතිය ගොඩනැගූ අතර කලක් කුඩා කර්මාන්ත, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කළ ඔහු අසූව ජූලි වර්ජනයෙන් රැකියාව අහිමි වූවකි. සම්මේලනය මඟින් මාලිමා නමින් වූ පුවත්පතක්ද ප්‍රකාශයට පත්කරන ලදී. පසුව ගාමිණී ගුණසේකර ජවිපෙ 2වැනි කැරැල්ලේ නායකයෙකුව සිටියදී 1990 ජනවාරි 1 හබරාදුවේදී අත්අඩංගුවට ගෙන 1990 මැයි මස ඝාතනයට ලක්විය.

සමස්ත ලංකා සංස්ථා සේවක සංගමයේ ලේකම් වූ ගාමිණී ජයලත් කොළඹ සංවර්ධන සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් කලක් කටයුතු කළ අතර පසුව දෙවැනි කැරැල්ලේ නායකයකු වශයෙන් කටයුතු කිරීමේදී 1989 අවසාන භාගයේ අත්අඩංගුවට පත්ව පසුව ඝාතනයට ලක්විය. ඔහු කලක් රත්නපුර දිසා ලේකම් වශයෙන්ද කටයුතු කළ අතර දක්ෂ සංවිධායකයෙකි.

වාමාංශික පක්ෂ මඟින් මෙහෙයවූ වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරි කමිටුවේ වෘත්තීය සංගම් 22ක ජාතික සමුළුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී 1986 මාර්තු 25 පැවති අතර එයට සහභාගි වූ පිරිසක් විසින් එහි කැඳවුම්කරු ලෙස කටයුතු කළ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් එල්. ඩබ්ලිව්. පණ්ඩිතට ශාරීරික ප්‍රහාරයක් එල්ලකර රැස්වීම කඩාකප්පල් කරන ලදී. එයට ජවිපෙ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් ලෙසින් සහභාගි වී ප්‍රහාර එල්ලකරන ලද්දේ කැලණි සරසවියේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සිසුන් කණ්ඩායමක් විසිනි.

සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ සහ වෘත්තීය සමිතිවලට විකල්පයක් වශයෙන් ජවිපෙ වෘත්තීය සමිති විසින් ජනතා සටන් පෙරමුණ නමින් ඒකාබද්ධ සම්මේලනයක්ද 1986 අගෝස්තු මස 8 නාරාහේන්පිට අභයාරාමයේදී ස්ථාපිත කරන ලදී. එහි ප්‍රධාන වෘත්තීය සමිති සාමාජික සංවිධාන වූයේ රාජ්‍ය සේවා එක්සත් හෙදි සංගමය, සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය සහ සමස්ථ ලංකා සංස්ථා සේවක සංගමයයි. කැඳවුම්කරු වූයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය. පළාත් සභා යෝජනා පැරදවීමට කම්කරු පන්තිය ගොනු කිරීම එහි අරමුණ විය.

ජනතා සටන් පෙරමුණේ මංගල රැලිය 1986 ඔක්තෝබර් 10 දෙමටගොඩ වෙළෙඳපොළ සංකීර්ණය ඉදිරිපිට පැවැත්විණි. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පෙරියසාමි තංගරාජා, ගාමිණී ජයලත්, ගාමිණී ගුණසේකර, ඇතුළු කිහිපදෙනෙක් රැස්වීම ඇමතීය. මව්බිම සුරකීමේ ව්‍යාපාරය ආරම්භයත් සමඟ ජනතා සටන් පෙරමුණ ක්ෂයවී ගියේය.

ජවිපෙ වෘත්තීය සමිති විසින් 1987 මැයි 1 පවත්වන මැයි රැලිය සඳහා කොළඹ නව නගර ශාලාව වෙන්කර ගෙන තිබුණි.

එහෙත් 1987 අප්‍රේල් 21 දෙමළ බෙදුම්වාදීන් විසින් කොටුව බස් නැවතුම්පොළේ කාර් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් පුරවැසියන් 122ක් ඝාතනයට ලක්වූ අතර වීදිබට දහස් සංඛ්‍යාතික පිරිස් ඊට පසුදින ආරක්ෂාව ඉල්ලමින් මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ නායකත්වයෙන් ඇඳිරි නීතියද නොතකා පෙළපාළි ගිය බැවින් රජය මගින් මැයි දින පෙළපාළි සහ රැස්වීම් තහනම් කරන ලදී. එවිට ජවිපෙ විසින් සිදුකළේ මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ මැයි දින රැස්වීමක් 1987 මැයි 1 නාරහේන්පිට අභයාරාමයේදී පැවැත්වීමට එහි නායකයින් එකඟකර ගැනීමය.

ඒ අනුව 1987 මැයි 1 නාරාහේන්පිට අභයාරාමයේ පැවති රැස්වීම 2,000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් මැයි දින තහනම නොතකා පැවැත්විණි. රැස්වීම අවසානයේදී පිරිස සහ පොලිස් භටයන් අතර ඇතිවූ ගැටුමේදී පොලිසිය විසින් වෙඩි තැබීමෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සේවය කළ ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ සහ ජයවර්ධනපුර සරසවියේ සිසු කිත්සිරි මෙවන් රණවක මරුමුවට පත්විය.

මෙහිදී රට පුරාම උද්ඝෝෂණ පැවති අතර උද්ගත වූ තත්ත්වයත් සමඟ රජය විසින් 1987 මැයි 18 ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති 18ක් තහනම් සංවිධාන බවට ගැසට් කරන ලදී.

ජාතික ආරක්ෂාව සහ මහජන සාමය පවත්වා ගැනීම සඳහා 1987 අංක 05 දරණ හදිසි අවස්ථා නියෝග යටතේ මෙම තහනම පැනවූ බව රජය නිවේදනය කළේය.

තහනම් වූ එම සංවිධාන අතර සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය, සමස්ත ලංකා සංස්ථා සේවක සංගමය, සමස්ත ලංකා ප්‍රගති සේවක සංගමය, සමස්ත ලංකා සුව සේවක සංගමය, සමස්ත ලංකා කාර්මික නිලධාරින්ගේ සංගමය, ලංකා තැපැල් සේවක සංගමය, සමස්ත ලංකා සමූපකාර සහ වෙළෙඳ ආයතන සේවක සංගමය, සිසිල්බීම පොදු සේවක සංගමය, සමස්ත ලංකා වතු සේවක සංගමය, රාජ්‍ය සේවා ඒකාබද්ධ ලිපිකරු සේවා සංගමය, සමස්ත ලංකා ධීවර කාර්මිකයින්ගේ සංගමය, සමස්ත ලංකා විදුලි සේවකයන්ගේ සංගමය, ලංකා පළාත් පාලන සේවක සංගමනය, සමස්ත ලංකා උසස් අධ්‍යාපන සේවක සංගමය, ලංකා දුම්රිය ප්‍රවාහන සේවක සංගමය, සමස්ත ලංකා වරාය සේවක සංගමය සහ ජනතා වතු නිලධාරි සංගමය විය.

ජවිපෙ සාමාජිකයකු බවට හඳුන්වා දුන් කේ. සී. සේනානායක සහ ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි අතර ජවිපෙ සහ රජය සමඟ 1988 මැයි 09 අත්සන් කළ මතභේදාත්මක ගිවිසුමෙන් පසු එහි කොන්දේසියක් අනුව ඉහත වෘත්තීය සමිති 18 තහනමද වසරකට පසු එනම් 1988 මැයි 19 ගැසට් මඟින් ඉවත් කරන ලදී. ඒ සමඟම 1983 ජුලි සිට ජවිපෙට පනවා තිබූ තහනමද රජය මඟින් ඉවත් කළේය.

ඒ වන විටත් ජවිපෙට සෘජු සහ වක්‍ර සම්බන්ධව සිටි වෘත්තීය සමිතිවලට අයත් නායකයන් සහ ක්‍රියාකාරින් රැසක් 2වන කැරැල්ලට ක්‍රියාකාරිව එක්වී සිටි අතර එය එක පෙරමුණක් වශයෙන් ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය වශයෙන් දිස්ත්‍රික්ක 19ක ක්‍රියාත්මක විය.

එහි න්‍යෂ්ටිය වූයේත් එය ක්‍රියාත්මක කළේත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කළ ජවිපෙ පූර්ණකාලීන සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසිනි. ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය මුල සිටම ක්‍රියාත්මක වූයේ 2වැනි කැරැල්ලේ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යටතේය.

 

 

Comments