මැදින් පුන් පොහෝදා කූර­ග­ලට එන්න | සිළුමිණ

මැදින් පුන් පොහෝදා කූර­ග­ලට එන්න

කඳු මුඳුනේ ස්ථාපිත බුදු පිළි­ම­යක්

 

 

ශ්‍රී ලාංකේය උරුමය විදහා පානා අතීත පුරා විදුබිම් වනසා ලන්නට අන්තවාදීන් කටයුතු කරන්නේ මීට දශක කිහිපයක සිටය. බළන්ගොඩට නුදුරු කූරගල පුරාවිදු බිමට අත්වූයේද ඒ ඉරණමයි.

 

ඒ අනුව අන්තවාදීන්ගේ ග්‍රහණයෙන් කූරගල පුරාවිදු බිම මුදා ගෙන එය සමස්ත සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ලාංකිකයන්ගේම උරුමය බවට කුරගල පත් කිරීමට නෙල්ලිගල නායක හාමුදුරුවන් හෙවත් වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ කටයුතු කරමින් සිටිති.

ඒ අනුව ‘යළි පිබිදෙන කුරගල‘ නමින් කූරගල පුරාවිදු බිමේ පුරා විද්‍යා භූමීන්ට කිසිදු හානියක් නොවන සේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළ බව නෙල්ලිගල හාමුදුරුවෝ පවසති.

කූරගල පර්වත මුඳුනේ තිබුණු ඉපැරැණි දාගැබ මේ වනවිටත් අන්තවාදීන් විසින් වනසා දමා ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්, වනසා දමන ලද ස්තූප කොටස් එකතු කර දර්ශන අඩ චෛත්‍යයක් පුරාවිද්‍යා ලක්ෂණ මත පර්වත මස්තකයේ ඉදි කර ඇත. එම නිසා ඒ ආසන්නයේ පුරා විද්‍යා භූමිය ආරක්ෂා වන ලෙසින් අඩි 100ක් උස මහ සෑයක් ‘අස දිසි ශාක්‍ය සුගත මහා සෑය‘ නමින් ඉදි කිරීමට අවශ්‍ය කටයුතු යෙදූ බව නෙල්ලිගල හාමුදුරුවෝ පවසති.

එම චෛත්‍යයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය හෙවත් චෛත්‍යය රාජයාණන් වහන්සේට මුල්ගල් තැබීම මේ මස 28 වැනිදාට යෙදෙන මැදින් පුර පසොළොස්වක පුන් පොහෝ දින පස්වරු 4.00ට සිදු කෙරේ. මේ සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනයෙනි.

එමෙන්ම එදින උදෑසන දහසකට අධික උපාසක උපාසිකාවන් පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සීල සමාදානයට සහභාගි වන බවද නෙල්ලිගල හාමුදුරුවෝ පවසති. එම උපාසක උපාසිකාවන්ට සීල සමාදානයට අවශ්‍ය ආවරණ ඉඩකඩ කිසිවක් කූරගල නොමැත. එහෙත් පෙර රජ දවස සිහි ගන්වමින් ගස් ගල් යට සීල සමාදානය පැවැත්වීමට කටයුතු කෙරෙනු ඇත.

උපාසක උපාසිකාවන් වෙනුවෙන් ආවරණ සහිත භූමියක් ඉදි කිරීමටද සැලසුම් කර ඇති බවද උන්වහන්සේ පවසති. එමෙන්ම සහභාගි වන සියලු උපාසක උපාසිකාවන්ට එදින අවශ්‍ය දානමාන සියල්ල සැපයීමට කටයුතු යොදා ඇතැයිද උන්වහන්සේ පවසති. එදින රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා බළන්ගොඩ රාධ හිමියන්ගේ විශේෂ ධර්ම දේශනයක්ද පැවැත්වේ. සිල් සමාදන්වන උපාසක උපාසිකාවන් දහස් ගණනක් එම ධර්ම දේශනයටද සහභාගි වන බව මේ වන විටත් දැනුම් දී ඇති බව උන් වහන්සේ පවසති. අවශ්‍ය තරම් භූමිය ඇති හෙයින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීම අපහසු නොවන බවද උන්වහන්සේ අපට පැවසූහ.

28 වැනිදා කූරගල සිදු කෙරෙන මේ මහා පින්කමේ මුද්‍රිත මාධ්‍ය දායකත්වය දරනු ලබන්නේ සිළුමිණ, බුදුසරණ, දිනමිණ ඇතුළු පුවත්පත් මුල් කරගත් ලේක්හවුස් ආයතනය විසිනි. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කර්තෘවරු 28 වැනිදා පැවැත්වෙන උත්සවයට පැමිණෙති. ඒ දායකත්වය සිදු කෙරෙන්නේ ජාතික උරුමයක් රැක ගැනීම වෙනුවෙනි. නෙල්ලිගල හාමුදුරුවන් පවසන්නේ කූරගල ඉතිහාසය මානව සංහතියේ අවුරුදු 8,000ත් 16,000ත් අතර කාලයක් දක්වා දිව යන්නක් බවයි.

වර්තමානයේ කූරගල, බුදුගල, ගල්ටැම්යාය නමින් හඳුන්වන ප්‍රදේශ සියල්ලම පුරාණයේ එකම ආරණ්‍ය සේනාසන සංස්ථාවකට අයත්ව තිබුණු බව දැනගන්නට ඇත.

කූරගල උරුමය රැක ගන්නට ආ නෙල්ලිගල හාමුදුරුවෝ මෙසේ හඬ අවදි කරති.

කූර­ගල පුද­බිමේ ඉහ­ළට ගඩොල් ගෙන යාමට ගිහි පැවිදි පිරිස් ශ්‍රම­දාන පැවැත්වූ ආකා­රය
 

‘‘මේ දාගැබ නිර්මාණය කිරීමේදී ඇති වන සියලු බාධාවන් මැඬ පවත්වාගෙන මම කටයුතු කරනවා. නෙල්ලිගල ජාත්‍යන්තර මධ්‍යස්ථානය හදද්දී සහරාන් හෂීම් අවස්ථා 3කදී පැමිණ මට තර්ජනය කළා. ඒත් මම සැලුණේ නැහැ. ඒ සියල්ල ආශිර්වාදයක් කර ගත්තා.

කූරගල අද මේ තත්ත්වයට පත්වීමට වගකිව යුතු වන්නේ වසර 100කට විතර කලින් දිවි ගෙවපු අපේ ගිහි පැවිදි මුතුන් මිත්තන්. ඒ ගිහි පැවිදි අය නිසි ලෙසින් කූරගල ඉදිරි පරපුරට රැක නොදීම නිසා අද අප අසරණ වෙලා තියෙනවා. අපි මේ වගකීම නිසි පරිදි නොකළොත් ඉදිරි පරපුරත් අපිට අනිවාර්යෙන්ම ඒ වගකීම පැහැර හැර ඇරි බවට දෝෂාරෝපණය කරාවි.

කූරගල ගැන විවිධ මාධ්‍යවලින් හඬ නැගුවා. ඇත්තෙන්ම ඒ හඬ නිසා තමයි කූරගල රැකගත යුතුයි යන්න අවදි වුණේ. එම නිසා හඬ නඟපු සියලුම මාධ්‍යවලටත් සමාජ මාධ්‍ය වල පවා ඒ වෙනුවෙන් සටහනක් පවා තැබූ අයටත් මේ අවස්ථාවේදී ස්තුතිය පළ කර යුතු වෙනවා.

කෙසේ නමුත් මේ ස්ථානයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම ගැන පමණයි අපි කතා කෙළේ. කිසිදු අයුරකින් විනාශ කර ඇති දාගැබ හෝ යළි ඉදිකිරීම ගැන අප කතා කෙළේ නැහැ.

එම නිසයි යළිත් එම දාගැබ ප්‍රති නිර්මාණය කිරීමේ වගකීම මම බාරගත්තේ. ඒ වෙනුවෙන් මෙම ස්ථානයේ රැදී සිටිය යුතු බව මම තරයේ විශ්වාස කරනවා.

මම ඉපදුණේ අධ්‍යාපනය ලැබුවේ වගේම විහාරස්ථානය ලෙසින් මහනුවරයි සිටියේ. මේ පළමු වරටයි එයින් පිටත ස්ථානයක සිට කටයුතු කරන්නේ.

මේ ස්ථානය අස්ගිරි විහාර පාර්ශ්වයට අයත් පුරාවිද්‍යා භූමියක්. එහි වර්තමාන හිමිකාරීත්වය පවතින්නේ දෙල්තොට ධම්මජෝති හිමියන්ටයි එමෙන්ම ආදි කර්තෘ ධුරය දරන වටද්දර ඥාණිස්සර හිමියන්ද මේ කටයුතු සඳහා මට ආශිර්වාද කරමින් ශාසනික සම්ප්‍රදායට අනුව අත පැන් වත්කර මේ කාර්යය මට බාර කළා.

ඒ පසුගිය පෙබරවාරි 4 වැනිදා.

ඉදි­කි­රීම් ආර­ම්භ­යට දුෂ්කර මාවතේ කූර­ගල තර­ණ­ය කරන නෙල්ලි­ගල හාමු­දු­රුවෝ
 

ඒ අනුව මම මාර්තු 2 වැනිදා මෙම ස්ථානයට වැඩම කළා. වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් අභීත ලෙස හඬ අවදි කළ ඒ දිනය ලක්වාසී අප සැමට විශේෂිත දිනයක්.

මම මේ ස්ථානයට පැමිණෙන්නෙ නිසි සැලසුමක් ඇතිවයි. එහෙම නැතිව මේ කටයුතු කරන්න බැහැ.

එම නිසා කන්ටේනර් දෙකක් ගෙනවිත් මම මෙතනට ආවා. සියලු වැඩ කටයුතු කරන්නෙ සැතපෙන්නෙ පවා ඒ කන්ටේනර් තුළයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදු කරනවා. පුරාවිද්‍යා රක්ෂිතයක් නිසා අපට අවශ්‍ය විදිහට මෙහි ඉඳිකිරීම් කරන්න බැහැ. ඒත් මේ භූමිය සක්‍රිය වුණොත් පමණයි මේ ස්ථානයේ දියුණුව පැවැත්ම රඳා පවතින්නේ. වන්දනාකරුවන් ඇවිත් මලක් පහනක් පූජා කරල, සිල් සමාදන් වෙලා, කප්රුක් පූජාවන් කරල භූමියේ සුවඳ දුම් විහිදෙන විටයි මෙහි අනාගතය රඳා පවතින්නෙ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වයස අවුරුදු 200ක් වත් නැහැ. නමුත් පුරාවිද්‍යා සාක්ෂි අනුවම මේ ස්ථානය අවුරුදු 2,200ක් පැරැණියි. එහෙනම් ඉතිරි අවුරුදු 2000ම මේ භූමීන් රැක ගත්තේ භික්ෂූන් වහන්සේ. උන් වහන්සේ නැතිව මේ කටයුතු කරගෙන යන්න බැහැ.

එම නිසයි භික්ෂූන් වහන්සේ සක්‍රීය ලෙසින් මෙහි වැඩ වාසය කරමින් මේ ස්ථානයේ සක්‍රීය පුදබිමක් කළ යුතු වන්නේ. ඒ අනුව තමයි අඩි 100ක් උස චෛත්‍යයක් සෑදීමට අප කටයුතු කරන්නේ. ඒ සඳහා අපට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබුණා. කාලාන්තරයක් සත්ව බිලි පූජා තැබූ මේ භූමිය ඉදිරියේදී සුවඳ දුමින් පිරී ඉතිරී යාවි. මෙහි ජීවිතය ඉල්ලා සතුන් හැඬුවා. ඒ වෙනුවට ජනතා ආශිර්වාද ගාථාවන් කියැවේවි. මෛත්‍රිය, කරුණාව පතුරුවන පුදබිමක් වේවි. අතීත රජ දවසින් පසුව පළමු වරටයි කූරගල වන්දනාවට පාත්‍ර වන්නේ.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දියුණු කරන්න අතහිත ලබා දුන් බෞද්ධයන් කූරගල දියුණුවට අතහිත දෙන බව මට හොඳටම විශ්වාසයි.

මේ ‘අස දිසි ශාක්‍ය සුගත මහා සෑය‘ වෙනුවෙන් ලක්ෂ 400ක පමණ මුදලක් වැය වෙනවා. එහි වැඩි බරක් දරන්න මේ වන විටත් විෂ් පෞද්ගලික රෝහලේ අධිපති හෙළරුවන් පසන් කුමාර මහතාත් නිරංජලා සරෝජනී මහත්මියත් මුල්වෙලා කටයුතු කරනවා.

ඊට අමතරව මේ ස්ථානයේ ඉදි කිරීමට යෝජිත සංඝාවාසය වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න නාවල කුෂන් වර්ක්ස් අධිපති ආර්. ජී. ප්‍රේමරත්නත් නන්දනි පාදුක්ක හා ලහිරු එරන්ද ගමගේ ඉදිරිපත්ව තිබෙනවා. එමෙන්ම මෙම ස්ථානයේ සම්බුද්ධ ප්‍රතිමා ඇතුළු ආරාමයකට අවශ්‍ය බොහෝ දේ ඉදි කෙරෙනවා. ඒ සියල්ල වෙනුවෙන් ශ්‍රී ලාංකික බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනෙක් උපකාර කරන බව මට හොඳටම විශ්වාසයි.

මේ පූජා භූමිය එක් පිරිසක් වෙනුවෙන් කරන වැඩක් නෙමෙයි රටේ සියලු ජනතාව වෙනුවෙන් ශ්‍රී ලාංකික උරුමය රැකදීමක් ඒ නිසා මාධ්‍යවේදීන්, දේශපාලඥයන්, රජයේ නිලධාරීන් ඇතුළු සියලු ලාංකිකයන්ට තමන්ට හැකි අයුරින් මේ සඳහා දායකත්වය ලබා දිය හැකියි. මාධ්‍යවේදීන්ට පෑන මෙහෙයවමින්, නිලධාරීන්ට නිසි තීරණ ගැනීමෙන්, ඇති හැකි අය පරිත්‍යාග කිරීමෙන්, පරිත්‍යාග කරන්න අපහසු අයට ශ්‍රම දායකත්වයෙන් වැනි ඕනෑම ආකාරයකට මේ සඳහා දායකත්වය ලබා දෙන්න පුළුවන්.‘‘

නෙල්ලි­ගල හාමු­දු­රුවන් වැඩ සිටින ස්ථානය

නෙල්ලිගල හිමියන් දරන මේ වෑයම සුළුවෙන් තැකිය හැක්කක් නොවේ. උන් වහන්සේ පවසන්නේ කිසිදු විටක ජනතා සුබසෙතට යොදවනු ලබන මුදල් මේ සඳහා ලබා ගැනීමට කටයුතු නොකරන බවයි. පාසල් අධ්‍යාපනයට හෝ අසරණ රෝගීන් වෙනුවෙන් සෞඛ්‍යට වැය කරන්නට ඇති මුදල් වැනි කිසිදු මුදලක් මේ සඳහා යොදා නොගන්නා බව උන් වහන්සේ පෙන්වා දෙති.

චෛත්‍යය ඉදිකිරීම සඳහා වන ශ්‍රම දායකත්වය ලබා දෙන්නට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු යොදා ඇත. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා තිබේ. එමෙන්ම අනෙක් අවශ්‍යතා සඳහා සිවිල් ආරක්ෂක බළකාය යොදවීමටද පියවර ගැනෙනු ඇත. මේ වන විටත් කන්ද මුඳුනේ ඉදිකිරීම් වෙනුවෙන් අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ඉහළට ගෙන යාම පිණිස ස්වාමීන් වහන්සේ ඇතුළු බොහෝ ගිහි පිරිස් පැමිණ දායකත්වය දක්වති. මෙය තවත් එක් විහාරස්ථානයක් ඉදි කිරීමක් නොවන බවත් ලාංකීය උරුමයක් රැක දීමක් බව උන් වහන්සේ පෙන්වා දෙති.

 

 කූර­ගල කඳු මුඳුන කරා.....   

කූරගල අසදිසි ශාක්‍ය සුගත මහා සෑය ලබන වසරේ පෙබරවාරි මස 4 වැනිදාට යෙදෙන නිදහස් දිනයේ විවෘත කිරීමට පවා දින යොදා ගෙන තිබේ. නෙල්ලිගල හාමුදුරුවන්ගේ නිසි සැලැස්ම එයින් මනාව පැහැදිලිය.

කූරගල පුදබිම සම්බන්ධයෙන් කළ හැකි උපකාර හෝ ශ්‍රම දායකත්වය ගැන යම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් දුරකතන අංක 0117373731 / 0117373730, හෝ 0761737373 (අමිල) මඟින් විමසීම් කළ හැකිය.

ඉදි කිරීම් සඳහා අවශ්‍ය ගල්, වැලි, සිමෙන්ති ඇතුළු ඕනෑම භාණ්ඩයක් ඒ සඳහා පරිත්‍යාග කළ හැකිය. එමෙන්ම මූල්‍ය ආධාර පවා ලබා දිය හැකිය. සියලු මූල්‍ය ආධාර කූරගල රජමහා විහාරය නමින් බළන්ගොඩ සම්පත් බැංකුවේ ඇති ගිණුම් අංක 009760006000 වෙත යොමු කළ හැකිය.

සේයාරූ - චේනක වික්‍රමාරච්චි

 

Comments