හරි වහර | Page 2 | සිළුමිණ

හරි වහර

‘උලෙළ’ යන්න ගැන ලියැවුණු ‘හරි වහර’ කියැවූ කෙනෙක් පැනයක් විමසති. එනම් උලෙළ/ උළෙල යන දෙක ම විකල්පයෙන් යෙදෙන නිවැරැදි රූප ලෙස සැලැකිය නොහැකි ද යනුයි.

භාෂා සම්ප්‍රදායය අනුව බලතොත් එ බඳු විකල්ප රූප සඳහා ඉඩ ලැබෙන සේ නො පෙනේ. ඓතිහාසික විකාශනය අනුව බැලුව ද සම්භාව්‍ය ව්‍යවහාරය අනුව බැලුව ද උළෙල යන්න යෙදිය නොහැකි ය. පද සාධන විධි අනුව බලන කල්හි ද පෙනෙනුයේ ‘උළෙල්’ යනුවෙන් ප්‍රකෘතියක් හෝ බහු වචන රූපයක් හෝ නැතියෙන් උලෙළ යනු සාවද්‍ය රූපයක් වන බව යි.

ළ/ ල වරදවා යොදනු ලබන වදන් කිහිපයක් දැන් විමැසුමට ලක් කරමු. මෙයින් ඇතැම් වදන්හි සාවද්‍ය අක්ෂර වින්‍යාසය වහරට කොතෙක් කාවැදී ඇත් දැයි කිවහොත් බොහෝ දෙනෙකු සිතනුයේ වැරැදි වදන නිවැරැදි බවත් නිවැරැදි වදන වැරැදි බවත් ය. පාසල් පෙළ පොත්වල පවා මෙබඳු වැරැදි වදන් ඇතැම් විට යෙදෙනු දැකිය හැකි ය. එ‍ හෙයින් වදනෙහි නිවැරැදි රුව දැක්වීමෙන් නො නැවැතී එය සෑදී ඇත්තේ කෙසේ ද යනු නිරුක්ති සහිත ව මෙහිදී දක්වන්නට සිදුවේ.

පොළඹවනවා යනු වහරෙහි කාවැදී ඇති එ බඳු සාවද්‍ය රූපයෙකි. බස පිළිබඳ ව දැනුමක් ඇත්‍තන් පවා බොහෝ විට මෙ සේ යොදනුයේ මෙහි (මූර්ධජ) ‘ළ’ යෙදීම නිවැරැදි යැයි ඔවුන් අවංක වැ සිතන බැවිනි‍. මෙහි (මූර්ධජ) ‘ළ’ යෙදීම ඉඳුරා වැරැදි වේ. යෙදිය යුත්තේ (දන්තජ) ‘ල’ ම ය. එ හෙයින් නිරවද්‍ය රූපය නම් පොලොඹවනවා/ පොලඹනවා යනු යි. මෙහි යෙදෙන ‘ල’ යනු ‘ලො’ වනුයේ පූර්ව ස්වර සාමයෙනි. එනම් ‘පො’ යන්නෙහි ඇති ‘ඔ’ ස්වරය හා සමාන බවට පත් වීමෙනි. මේ ක්‍රියා රූපයෙහි මූලය හෙවත් ධාතුව නම් ‘පොලඹ/ පොලොඹ’ යනුයි. පොලඹා/ පොලොඹා (පොලඹයි/ පොලොඹයි) - පොලඹති/ පොලොඹති - පෙලැඹී/ පෙලෙඹී - පෙලැඹූ/ පෙලෙඹූ ආදී වශයෙන් වර නැ‍ඟේ.

මේ ‍’පොලඹ’ යන්න හා අනුරූප වැ සංස්කෘත භාෂාවෙහි යෙදෙනුයේ ‘ප්‍රලෝභ’ යනු යි. සංස්කෘතයෙන් ‘ලුභ්’ යන ධාතුවට (ක්‍රියා මූලයට) ‘ප්‍ර’ යන උපසර්ගය ද ‘අ’ ප්‍රත්‍යයය ද එක් වීමෙන් එය නිපැදේ. මෙහි යෙදෙනුයේ (දන්තජ) ‘ල’ ම ය. (සංස්කෘතයෙහි මූර්ධජ ‘ළ’ නොයෙදේ) පාලියෙහි ද එනුයේ ‘පලෝභ’ යන්නයි. එහි දු (මූර්ධජ) ‘ළ’ නො ව (දන්තජ) ‘ල’ ම යෙදේ.

මේ සියලු ‍කරුණු අනුව ‘පොලඹ/ පොලොඹ’ යනු ම නිවැරැදි බව දැක්විය හැකි ය.

මෙ බඳු තැන්හි (මූර්ධජ) ‘ළ’ ලිවීමට පුදුම හේතුවකුදු ඇතැම්හු දක්වති. ඒ, අර්ධ නාසික්‍ය හෙවත් සඤ්ඤක අක්ෂරයකට පෙර යෙදිය යුතු (දන්තජ) ල නොව (මූර්ධජ) ළ ම බවයි. මේ වනාහි කිසිදු භාෂා රීතියකට එකඟ ‍වූවක් නොවේ. කිහිප තැනෙක එසේ (මූර්ධජ) ළ යෙදෙනු දැක එය සාමාන්‍යකරණය කිරීමෙන් නිපදවා ගත්තෙකි.

කළඹනවා යනු ද යට කී අයුරේ ම සාවද්‍ය රූපයෙකි. මෙ ද අතිව්‍යාප්තියෙන් (බොහෝ සේ පැතිරී) යෙදෙන්නක් බව පෙනේ. මෙහි දු (මූර්ධජ) ‘ළ’ නො ව (දන්තජ) ‘ල’ යෙදිය යුතු ය. කලඹනවා යනු නිරවද්‍ය රූපය යි. එහි ක්‍රියා මූලය (ධාතුව) නම් ‘කලඹ’ යනු යි. එය කලඹා (කලඹයි) කලඹති. කැලැඹී - කැලැඹුණු ආදී වශයෙන් වර නැ‍ඟේ. මෙ ද සඤ්ඤකය නිසා වරදවා (මූර්ධජ) ළ යොදන වදනකට මනා නිදසුනෙකි.

ප්‍රයෝජ්‍ය ක්‍රියාවෙහි දී කලඹ යන්නට ‘ව’ එක් වී ‘කලඹව’ යනු යෙදේ. (ප්‍රයෝජ්‍ය ක්‍රියාව නම් අනෙකකු ලා කරවනු ලබන ක්‍රියාව යි.) ඒ ‘කලඹව’ යන්නෙහි ‘ව්’ යන ව්‍යඤ්ජනාක්ෂරය ලොප් වී (අර්ධ නාසික්‍ය) ඹ යනු පූර්ණ නාසික්‍ය (ම්) හා ඝෝෂ (බ්) බවට පත්වීමෙන් ‘කලම්බ’ යන රූපය ඇතිවේ. කලම්බා (කලම්බයි) - කලම්බති - කැලැම්බී - කැලැම්බූ ආදී වශයෙන් වර නැ‍ඟේ.

‘කලඹ’ යන්නට ඉඳුරා අනුරූපී වූ සංස්කෘත හෝ පාලි‍ හෝ ශබ්දයක් ඇති සේ නො පෙනේ. දෙමළ බසෙහි නම් මේ අර්ථයෙහි ම ‘කලප්පු’ යන්න යෙදෙන බව කියැවේ.

‘කලඹ’ යනුවෙන් නාම පදයෙකුදු සිංහලයෙහි යෙදේ. එහි දු යෙදෙනුයේ (මූර්ධජ) ‘ළ’ නො ව (දන්තජ) ‘ල’ ම ය. එහි ප්‍රමුඛ අර්ථය වනුයේ සමූහය හෙවත් කලාපය, මිටිය යනුයි. සංස්කෘතයෙහි ද පාලියෙහි ද ‘කලාප’ යනු මේ හා අනුරූප වැ යෙදෙන වදනයි. සිංහලයෙහි කලප්, කලබ් යන වදන් නාම ප්‍රකෘතිය හා බහු වචන රූපය හා ව‍ශයෙන් යෙදේ. ඒක වචනයෙහි දී ‘අ’ ප්‍රත්‍යයය එක් වීමෙන් ‘කලබ්’ යනු ‘කලබ’ වේ. එහි ‘බ’ ඝෝෂ ව්‍යඤ්ජනය අර්ධ නාසික්‍ය බවට පත් වීමෙන් ‘කලඹ’ යනු නිපැදේ. ‘වෙසක්’ යනු ‘වෙසඟ’ වනුයේ ද මේ අයුරින් ම ය. ඇතැම්හු මෙ බඳු තන්හි අර්ධ නාසික්‍යය යෙදීම වරදකැයි කියා ‘කලබ’ යනු ම ඒක වචන පදය ලෙස යොදති. එ වුව ද ‘කලඹ’ යනු සම්භාව්‍ය ව්‍යවහාරයෙහි ද යෙදී ඇති හෙයින් සාවද්‍ය රූපයක් සේ සැලැකිය හැකි නො වේ.

‘කලඹ’ යනු වැහි වලාව (සං. කාලාභ්‍ර) ඇත් පැටවා (සං. කලභ) වැනි අරුත් කිහිපයෙක ද යෙදේ. කලප්, කලබ්, කලබ යනු මොනර පිල් අරුතෙහි ද යෙදේ.

Comments