
සුව කළ නොහැකියැයි කී රෝග වලින් පීඩා විදී රෝගීන් සිය දහස් ගණනකට වෙදකම් කළ ඇය පිළිබඳ අදත් එතරම් ප්‍රසිද්ධියක් නැත. පාරම්පරික එරුන්දෙනිය වෙද පරපුරේ වත්මන් ආයුර්වේද වෛද්‍යවරිය එච්. ඩී. ප්‍රනීමා දර්ශනි වෙදහාමිනේය.
“මගේ තාත්තා වෙද මහත්තයෙක්. එයා මේ වෙද පරපුරේ පස්වැනියා. තාත්තාගෙන් පස්සේ මම. මගේ තාත්තාගේ නම පුංචිලියස්. කවුරුත් කීවේ පොඩි වෙදමහත්තයා කියලයි. මම පාසල් ගියේ බටුවිට මහා විද්‍යාලයට. තාත්තා ගෙදර නැති වෙලාවට මට බෙහෙත් කරන්න සිද්ධ වුණා. පොඩි කාලේ මගේ අරමුණ තිබුණේ වෛද්‍යවරියක්වීමට. මුල් කාලයේ ඉඳලාම මම දැක්කේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම. උසස් පෙළ හැදෑරුවෙත් විද්‍යා විෂයයන්. ඒත් දේශීය වෛද්‍යවරියක් විදියට පාරම්පරික වෙදකම ඉදිරියට ගෙනයාමටයි මට සිදුවුණේ. ඒ ගැන මට සතුටුයි.
මම රාජගිරිය වෛද්‍ය බලමණ්ඩලයෙන් සර්වාංග වෛද්‍යවරියක ලෙස සුදුසකම් ලබාගත්තා. මීමැස්මොර, සර්පවේදය, කැඩුම් බිඳුම්, ඇස් වෙදකම, සර්වාංග වෙදකමේ තාත්තා නියැළුණා. ඊට අමතරව මම අපේ පරම්පරාවෙන් පැවත එන පිළිකා, අක්මා රෝග, ගැස්ට්‍රයිටීස්, වකුගඩු රෝග, හෘද රෝග, පොතුකබර, පාකින්සන්, මුත්‍රා රෝග, මානසික රෝග, ස්ත්‍රී රෝග, ළමා රෝග වැනි ඕනෑම රෝගයක් සඳහා ප්‍රතිකාර කරනවා.මේ සියල්ලක්ම සිදුකරන්නේ නාඩි ශාස්ත්‍රයෙන්. පංච කර්මය හා රස ශාස්ත්‍රයත් මම හදාරා තිබෙනවා.‘‘
ඇය ප්‍රචාරයට අකමැතිය. ඇගෙන් ප්‍රතිකාර ලබාගෙන සුවවූ අයගේ විස්තර අසාගෙන තවත් රෝගීහු ඇය වෙත එති. තම නිවසේම ප්‍රතිකාර කරන ඇය වෙත දිනකට රෝගීහු අසූවක් සියයක් පමණ පැමිණෙති. ඇයගේ වෙදමැදුර වෙත වැඩම කරන ගිලන්වූ සංඝයා වහන්සේට දාන මාන බෙහෙත් සියල්ලක්ම එහිදී නොමිලයේ සැපයීමද විශේෂත්වයකි.
‘‘මම දැනට අවුරුදු තිස් ගණනක් රෝගීන් දහස් ගණනකට ප්‍රතිකාර කරලා තිබෙනවා. මම පළමුවෙන්ම ප්‍රතිකාර කළේ ඇසේ කෝටුවක් ඇනිලා ලේ පෙරාගෙන ආ රෝගියෙක්ට. එදා තාත්තා ගෙදර හිටියේ නැහැ. ලෙඩාගේ ඇසට ස්ථීර සුවය ලැබුණා. එය මට දැඩි ආත්ම ශක්තියක් ඇති කළා. දේශීය වෙදකම අපේ ඇඟේ තිබෙන බව දැනිලයි මම වෙනස් වුණේ. පිළිකාවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව නොවූ රෝගීන් මගේ ළඟට ගෙනැවිත් සුවය ලබා තිබෙනවා.
තාක්ෂණයෙන් ඉහළම මට්ටමින් කොවිඩ් සඳහාත් මම බෙහෙතක් හැදුවා. දුමායනයට හා ප්‍රතිශක්තිකරණය වර්ධනය වන ආකාරයටයි එම බෙහෙත හැදුවේ. යුධ හමුදාවට එම බෙහෙත් ලබාදුන්නා. නිරෝධායනය වන අයටත්, ස්වාමින් වහන්සේලාටත් බෙදාදුන්නා. මේ අවුරුද්දේ පෙබරවාරි 24 වැනිදා මගේ බෙහෙතට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණා. එම බෙහෙත් අගමැතිතුමාටත් ලබාදෙන්න මට අවස්ථාව ලැබුණා. මගේ බෙහෙත සම්බන්ධයෙන් යුධ හමුදාවෙන් ප්‍රශංසා සහතිකයක් නිවසටම ගෙනැවිත් දුන්නා.‘‘
ආයුර්වේද වෛද්‍යවරුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව අවශ්‍ය ඖෂධ වර්ග සපයා ගැනීම බව ඔවුහු නිතර පවසති. බෙහෙත් බඩු කඩවල බොහෝවිට ඇත්තේද නියම ඖෂධ වර්ග නොවේ. මෙය ආයුර්වේද වෛද්‍යවරුන් පමණක් නොව රෝගීහුද අපහසුතාවයට පත්කරන්නකි.
“ආයුර්වේද බෙහෙත් ද්‍රව්‍යවල මිල අද වනවිට ඉතා ඉහළයි. බේත් සීට්ටුවක බෙහෙත් මිලදී ගන්න රුපියල් හාරදහසක් පන්දහසක් වැයවෙනවා. දියවැඩියා රෝගියෙකුට බිංකොහොඹ නැතිව බැහැ. අද කහ කෑල්ලක, ඉඟුරු කෑල්ලක මිල කීයද? බොහෝ බෙහෙත් කඩවල බෙහෙත් කිරණ ක්‍රමයත් වැරදියි. බෙහෙත් බඩු කිරන කෙනා ලියාපදිංචි සුදුසුකම්ලත් අයෙක් වෙන්න ඕනෑ. එයා බෙහෙත් ගැන දැනගන්න ඕනෑ. ඖෂධ පිළිබඳ දැනුමක් තියෙන්න ඕනෑ. අද අනුමත නොවුණු අය බෙහෙත් බඩු කඩවල සේවය කරනවා. දේශීය හෙළ වෙදකම රැකගැනීමට ක්‍රමයක් අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිතුමා සමඟ විද්වත් කතිකාවතක් ආරම්භ කළා දිස්ත්‍රික් මට්ටමින් ආයුර්වේද සංරක්ෂණ සභා හරහා මෙම ක්‍රමය ව්‍යාප්ත විය යුතුයි.
රටපුරා ‘‘ස්පා‘‘ නමින් සම්බාහන මධ්‍යස්ථාන විවෘත වෙමින් තිබෙනු ගමින් ගමට, නගරයෙන් නගරයට දැකිය හැකි සුලබ දසුනකි. මෙම “ස්පා“ සම්බන්ධයෙන් වෛද්‍යාචාරිණී දර්ශනී මහත්මිය තුළ ඇත්තේ තදබල විරෝධයකි.
“නූතන ‘‘ස්පා‘‘ ක්‍රමයට අපි කැමැති නැහැ. ඒක දේශීය වෙදකම හානිකරන ක්‍රමයක්. එතැන සිදුවන්නේ වෙනත් වැඩ පිළිවෙළක්. හෙළ වෙදකමට අගෞරවයක් වෙන දෙයක්. වෛද්‍යවරුන් විසින් සිදුකරන පංචකර්මවලට අපගේ විරුද්ධත්වයක් නැහැ. මේවා නිවැරදිව සිදුකරන්නේ නම් අපිට වඩ වඩාත් සංචාරක ආකර්ශණය පවා ලබාගන්න පුළුවන්. දේශීය වෙදකම හරියට හඳුනාගෙන ක්‍රියාකළා නම් මේ කොරෝනා වසංගතයෙන්ම අපේ රටට ගොඩ එන්න තිබුණා. ශ්වසන පද්ධතියේම ආබාධවලට සුව ගෙන දෙන ඔසු අපි නිපදවා තිබෙනවා. විදේශීකයන් ඉලක්ක කරගෙන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් උපයා ගන්න අපට තිබූ අවස්ථාව ගිලිහුණා.‘‘
“මල් ගස් වෙනුවට බෙහෙත් පැලෑටියක් සෑම ගෙවත්තකම ඉඩකඩ තිබෙන තැනක වගා කරන්න අපි පුරුදු වෙන්න ඕනෑ. ඉරමුසු, පොල්පලා, බැබිල ගෙවත්තේ වගාකර දරුවන්ට මේ දේශීය බෙහෙත් හඳුන්වා දිය යුතු වෙනවා. පලා කොල මැල්ලුමකට, කොළ කැඳ ටිකකට අවශ්‍ය පලා වර්ග ඕනෑම ගෙදරක වවාගන්න පුළුවන්. අද දරුවන් පිටි, සීනි, තෙල් වැඩිපුර කන්න පුරුදු වෙලා. ඔවුන්ගේ ආහාර රටා නිසාම විවිධ රෝගාබාධවලට ලක්වෙනවා වැඩියි. ගර්භනී මවුවරුන් දරුවා කුස තුළ සිටියදීත් ක්ෂණික කෑමවලට හුරු වෙලා. එය කුසයේ සිටින දුවාට හොඳ නැහැ.
මගේ මහත්තයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රැකියාව කළේ. එයාත් මේ වනවිට රජයේ සේවයෙන් විශ්‍රාම ලබා ඇවිත් මේ වැඩවලට උදවු කරනවා. මම මගේ් පියා මෙන් රෝගීන්ට ප්‍රතිකාර කරනවා. මා මගේ දරුවන්වත් වෙදකම උගන්වනවා. මෙතැනින් ප්‍රතිකාර ගන්නට එන ස්වාමින් වහන්සේට නේවාසිකව අවුරුද්දක් හරි ඉන්න වුණොත් අප උන්වහන්සේ වෙනුවෙන් දාන මාන සලසන්නේ නොමිලයේමයි. සමහර දායක මහත්වරු අපිටත් පිනක් කරගන්න දෙන්න කියලා බෙහෙත් සීට්ටුවේ ද්‍රව්‍ය අරගෙන එනවා. රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිළිඳු පවුල්වලට සහ පාසල් දරුවන් සඳහා විවිධ ප්‍රජාසත්කාරක සේවා වැඩසටහන් පැවැත්වීමට මම ක්‍රියාකරනවා. ඒ සඳහා මගෙන් ප්‍රතිකාර ලබා සුවය ලැබූ ස්වාමින් වහන්සේ සහ විවිධ පුද්ගලයන්ගේ අනුග්‍රහය නිරන්තරයෙන් මට ලැබෙනවා.
නාරම්මල ගිරිඋල්ල පදිංචි වෘත්තියෙන් ගුරුවරියක වූ මනෝරි විශ්වනාථී මහත්මිය මෙම වෙද මැදුරේ නේවාසික ප්‍රතිකාර ලබන්නියකි. ඇය අප හා කතාබහට එක්වෙමින් මෙසේ පැවසුවාය.
“මට ඉතාම කලාතුරකින් කෙනෙකුට හැදෙන බගන්දරා රෝගය වැළඳී තිබෙනවා. මම බටහිර වෛද්‍යවරු හා සිංහල වෙදමහත්තුරු කීප දෙනෙකුම ළඟට ගියත් මට අවශ්‍ය නිසි ප්‍රතිකාර ඔවුන්ගෙන් ලැබුණේ නැහැ. සිදුවුණේ දිනෙන් දින රෝගය උත්සන්නවීම පමණයි. දැඩි මානසික පීඩනයකින් තමයි මම මෙතුමිය ළඟට ආවේ.2017 අවුරුද්දේදී මෙතුමියගේ ප්‍රතිකාරවලින් මම සුවය ලැබුවා.
පසුගිය වර්ෂයේදී මට දුර ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලැබුණා. දිනපතා විශාල දුර ප්‍රමාණයක් බස්රථවලින් ගමන් කිරීම නිසා යළිත් මම රෝගී වුණා. නැවතත් මම මෙතුමියගෙන් නේවාසිකව ප්‍රතිකාර ගන්නවා. මට ආයෙමත් සුවය ලැබෙන බව විශ්වාසයි“.
කැලණිය,කිරිබත්ගොඩ නිලානි මධුෂිකා මහත්මියද තම දරුවන්ගේ රෝගී තත්වය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට එරුන්දෙනිය වෙදමැදුරට පැමිණි තැනැත්තියකි. ඇය දර්ශනී වෛද්‍යවරියගේ ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් පවසන්නේ මෙබන්දකි.
“මගේ දුවට වයස අවුරුදු අටේදී විතර ගෙදරදී බිම වැටිලා ක්ලාන්තය හැදුණා. දුවව රෝහල් ගතකර MRI පරීක්ෂණයක් සිදුකළාම ඇයගේ ඔලුවේ ගෙඩියක් තියෙනවා කියලා ඔපරේෂන් එකක් කළා. ඊට පස්සේ එයාව නැවතත් පරීක්ෂා කරලා ගෙඩියේ තව කොටසක් ඉතිරිව තිබෙන බව කියලා නැවතත් ඔපරේෂන් කරන්න ඕනෑ කිවුවා. දැන් දුවගේ රෝගී තත්වය සුව වෙලා. එයාගේ වැඩ එයාට තනියම කරගන්න පුළුවන්.
මහරගම ධර්මායතනවාසී මනෝ විද්‍යා උපදේශක ත්‍රිපිටක ධර්මවේදී දියතලාවේ පියදස්සී හිමියෝද මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන හිමිනමකි. උන්වහන්සේද අප හා කතාබහට එක්වූහ.
“පාරම්පරික වෛද්‍යවරු වර්තමාන සමාජයේ හෑල්ලුවට ලක්වෙලා. බොහෝ දෙනෙක්ට අපේ දේවල් ගැන නුවණක්, අවබෝධයක්, වැටහීමක් නැහැ. පාරම්පරික වෙදකම බටහිර වෛද්‍ය ක්‍රමය ලෝකයට හඳුන්වා දෙන්නත් පෙර පැරැන්නන් ළඟ තිබුණා. මේ එරුන්දෙනිය වෙද පරපුර නාඩි ශාස්ත්‍රය ගැන අතීතයේ සිටම දැනගෙන තිබෙනවා. එදා සිටම මැති ඇමැතිවරු, හාමුදුරුවරු ප්‍රතිකාර ලබාගැනීමට මෙහි සොයාගෙන එන්නේ ඒ නිසයි.පරම්පරාවෙන් පරම්පරාවට වෙදකම පැවත එන බව කීවත් දූත ලක්ෂණ වැනි දේ උගන්වන්න බැහැ.
මම මෙතැනට ප්‍රතිකාර ගන්න පැමිණියේ ස්නායු ප්‍රශ්නයක් නිසයි. මුලින්ම මගේ දකුණු අතයි කකුලයි ගැහෙන්න ගත්තා. මම කළින් ප්‍රතිකාර ගත් තැන්වලදී දිනපතා මම කියන අපහසුකම් අනුව බෙහෙත් තෙල් නිතරම වෙනස් කළා. ව්‍යායාම කරවූවා. නමුත් රෝග මූලයට ප්‍රතිකාර කිරීමට ඔවුන්ට නොහැකි වුණා. මෙතුමිය රෝගයත්, රෝග නිධානයත් නිවැරදිව හඳුනාගත්තා. මෙතුමියගේ ප්‍රතිකාරවලින් දැන් මම සුවය ලබමින් සිටිනවා.