
ලෝකයේ ජීවත්වන සෑම කාන්තාවන් තුන් දෙනෙක් අතරින් එක් අයෙක් ජීවිතයේ එක් වතාවක් හෝ තම සහකරුගෙන් හිංසනයට ලක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ශ්‍රී ලංකාවේ සිදුකරන ලද ප්‍රජා සෞඛ්‍ය සමීක්ෂණයෙන් නිගමනය වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ කාන්තාවන් 17% පමණ තම සහකරුගෙන් පීඩනයට පත්ව ඇති බවයි. ගෘහස්ථ හිංසනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්ව පිරිමින් නිසා කාන්තාවන් විශාල ප්‍රතිශතයක් මෙලෙස හිංසාවට පත්වන අතර කාන්තාවන් නිසා පිරිමින් 5% පමණ කායික හා මානසික පීඩාවට පත්වෙති.
මේ අයුරින් හිංසනය නිසා ළතැවුලෙන් සිටින ඔබගේ සහනයට රජයේ රෝහලේ පිහිටුවා ඇති තෝතැන්න මිතුරු පියසයි. ‘මිතුරු පියස’ යනු තවත් එක් සායනයක් පමණක් නොවේ. ස්ත්‍රී, පුරුෂ හෝ වයස් භේදයකින් තොරව සෑම දෙනාටම නොමිලයේ සහන ලබාදෙන, ගැටලුව සාකච්ඡා කළ හැකි නිදහස් සාමකාමී පරිසරයකින් යුත්, ඔබට ඇහුම්කන් දීමට කුසලතා පූර්ණ මිත්‍රශීලී හෙද/ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සිටින ඔබගේ පෞද්ගලිකත්වය මෙන් ම තොරතුරුවල සම්පූර්ණ රහස්‍යභාවය ද සපුරා සුරකින ගැටලු සඳහා මුහුණදීමට ඔබ සතු සියලු මංපෙත් විවර කරදෙන ඔබට ලයාන්විත ළෙන්ගතු ස්ථානයකි.
‘මිතුරු පියස’ කාර්ය මණ්ඩලය ඔබගේ ගැටලුවලට හොඳින් සවන්දී ඔබට මානසික සහනයක් ලබාගැනීමට උපකාරී වනු ඇත. ඊට අමතරව ඔබට තවත් සේවාවන් අවශ්‍ය නම්, ඒ සඳහා මඟපෙන්වීම හා අවශ්‍ය සේවා සඳහා යොමු කිරීම ද මිතුරු පියස විසින් සිදු කරනු ඇත. මිතුරු පියස මඟින් රෝහල තුළදී වෛද්‍යමය, අධිකරණ වෛද්‍යමය, ශල්‍යමය, නාරි සේවා වැනි සේවා රැසක් ඉටුකරන අතර රෝහලෙන් පිටත නීති, උපදේශන පුනරුත්ථාපන වැනි සේවා ඉටු කරයි.
මෙහි පහත සඳහන් කියමන් ඔබ සමාජයේදී ඕනෑ තරම් අසා ඇතිවා වන්නට පුළුවන්. “මට තර්ජනය කරනවා”, මට ගෙදරින් එළියට බහින්න තහනම්’, ගෙදර අසමගිය නිසා මා දැන් ළැතැවුලෙන්’, ‘මට ගෙදර යන්න බය හිතෙනවා’, ‘සැමියා/ බිරිය අසාමාන්‍ය ලෙස මාව සැක කරනවා’, ‘සැමියා මට පහර දෙනවා’, ‘ලිංගික හිංසන නිසා මම සේවා ස්ථානය තුළ අපහසුවෙන්’, ‘සැමියාගේ බීමත්කම නිසා මම අපහසුතාවයෙන්’, ‘මට තර්ජනය කරනවා’.
මෙය ඔබගේ පවුලේ කෙනෙකුගේ, ඥාතියකුගේ හෝ ඔබ දන්නා හඳුනන කිසිවකුගේ ගැටලුවක් විය හැකිය. පීඩාවට පත් ඔබට සහනයක් වීමට ඔබගේ ‘මිතුරු පියස’ නිරතුරුවම සූදානම්ය. මේ සම්බන්ධයෙන් ඔබව දැනුම්වත් කිරීමට, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා කාන්තා සෞඛ්‍ය පිළිබඳ ජාතික වැඩසටහන් කළමනාකාරිනී ප්‍රජා වෛද්‍ය විශේෂඥ නෙත්තාංජලී මාපිටිගම හමුවූ අතර ඒ පිළිබඳව ඇය මෙසේ පැහැදිලි කළාය.
‘පවුල් සෞඛ්‍යය කාර්යාංශය යනු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ජාතික මට්ටමෙන් පවුල් සෞඛ්‍ය නංවන්න පිහිටවූ ළමා හා මාතෘ සෞඛ්‍ය කේන්ද්‍රස්ථානයක් පුද්ගලයකුගේ ජීවිතයේ එක් එක් අවදිවල සෞඛ්‍ය නැංවීමට තමයි පිහිටුවා තියෙන්නේ. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, පවුලේ සෞඛ්‍යයට බලපානවා. හිංසනය තමයි නරකම ලෙස බලපාන්නේ. මිල - මුදල්, යාන - වාහන, තිබුණට වැඩක් නෑ. ‘හිංසනය’ ඇත්නම් හිංසනය වළක්වා ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කරන අතරේ, හිංසනයෙන් පීඩා විඳින අයට සහනයක් සැලසීමත් වැදගත්.”
මෙම මිතුරු පියස වැඩසටහන මඟින් එක් අතකින් ගෘහස්ථ හිංසනය වළක්වා ගැනීමේ වැඩසටහනක් සේම අනිත් අතින් හිංසාවෙන් පීඩා විඳින අයට සහනයක් සැලසීමේ වැඩසටහනකි. මෙවැනි වැඩසටහනක වැදගත්කම හඳුනාගත් ලෝක සෞඛ්‍ය සංවිධානය, ගෘහස්ථ හිංසනය අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා ලදී. එනම් මෙවැනි ගෘහස්ථ හිංසනයන් බොහෝ වෙලාවට කෙළවර වන්නේ බරපතළ සෞඛ්‍ය ගැටලුවකින් හෝ මරණයකින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන ඇත.
2007 වසරේදී ලංකාවේ මුල්ම මිතුරු පියස රජයේ රෝහලේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය මඟින් ඊට අනුබද්ධව ආරම්භ කරන ලද අතර මාතර මහ රෝහලේද ශාඛාවක් ඇරඹුණි. දැනට දිවයින පුරා ප්‍රධාන රෝහල්වලට අනුබද්ධිතව බාහිර රෝගී අංශයේ එය පිහිටුවා ඇත. දැනට ලංකාව පුරා රෝහල් 76ක මෙය ක්‍රියාත්මකය. කොළඹ කාසල් රෝහල, සොයිසා රෝහල, මඟින් අගනුවර අයට සේවය සපයයි. පසුගිය 2019 වසර තුළ දී 9,426 සංඛ්‍යාවක් මිතුරු පියසේ පිහිට පතා පැමිණ තිබෙන අතර වැඩි පිරිසක් පැමිණ ඇත්තේ කොළඹ හා මහනුවර මධ්‍යස්ථාන ආශ්‍රිතවය. එහෙත් ආසියානු රටක් වන ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් බොහෝ පිරිසක් තමන්ගේ ජීවිතවල පවතින අවුල් වියවුල් තනිවම විඳ දරාගනිමින් ජීවිත කාලයටම පීඩා විඳින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ මාපිටිගම අවධාරණය කරයි.
“ගෙදර ගිනි පිටතට දෙන්න එපා කියන අපේ සංස්කෘතිය සභ්‍යත්වය තුළ හුඟාක් කාන්තාවෝ විවාහ ජීවිතය විඳිනවට වඩා විඳවමින් තමයි ගෙවන්නේ. දරුවන් වෙනුවෙන් කියලා හැම දෙයක් ම දරාගෙන ඉන්නවා. මහත්තයගෙන් ගුටි කනවා. ඒත් විවාහ ජීවිතය එහෙම තමයි කියලා පැසව පැසව විඳවමින් ඉඳලා අන්තිමට කෝච්චියට බෙල්ල තියනවා. නමුත් සිදුවිය යුත්තේ ඒක නොවෙයි. ජීවිතය හිමකන්දක් නම් ‘මිතුරු පියස’ තමයි මෙහි මුදුන. මෙය සැබෑම මිතුරු පියසක් ම තමයි.”
දිවයින පුරා ක්‍රියාත්මක ‘මිතුරු පියස’ සම්පූර්ණයෙන් නොමිලේ සපයන සේවාවක් වන අතර පූර්ණ රහස්‍යභාවය සුරකී. රෝහල තුළ පිහිටුවා තිබුණ ද මිතුරු පියසේ පිළිවෙත මුළුමනින්ම මිත්‍රශීලී සහනදායි වූවකි. ලියාපදිංචියෙන් පසු හුදෙකලා කාමරයක තමන්ගේ සිතේ සියලු දුක් සෝ ළතැවුල් අසා සිටීමට මිතුරියකි. ඇතැම් විට තමන්ගේ ගැටලුවට විසඳුම් පැමිණෙන පිරිස තුළම ඇති අතර ඇත්තේ කළමනාකරණ ගැටලුවකි. මිතුරු සෙවණට පැමිණෙන අයවලුන් ගේ සහකරු, සහකාරිය නොපැමිණෙන්නේ වී නම් ගෙන්වා ගන්නේ සම්‍යක් ප්‍රයෝග යෙදීමෙනි. වැඩිපුරම මිතුරු පියසින් පිහිට ලබා ඇත්තේ වයස අවු. 20 – 50 අතර ප්‍රජනන වයස් සීමාවේ අයයි. පෞද්ගලික මට්ටමින් ඕනෑම අයෙකුට ‘මිතුරු පියස’ හා සම්බන්ධ විය හැකි අතර, අධිකරණය හා පවුල් සෞඛ්‍ය නිලධාරීන් මඟින් ද මීට යොමු කෙරේ.
‘මිතුරු පියස’ට පැමිණෙන අයට නීතිමය සහාය ඇවැසි නම් නීති ආධාර කොමිසම හා අනෙකුත් ආයතනවලට ද යොමු කරයි. පියාගේ අනියම් සබඳකමක් හේතුවෙන් වෙන්වුණු පවුලක් මිතුරු පියසින් එක්වූ අපූරු කථාවක් ද ප්‍රජා වෛද්‍ය විශේෂඥ මාපිටිගම අනාවරණය කළාය.
“දරුවන් කීප දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. අනියම් සබඳකමක් හින්දා දරුවන්ටයි බිරියටයි නොසලකා හැරියා. ගැහැනු දරුවා නීතිඥවරියක් වෙන්න ඉගෙන ගන්නවා. මිතුරු පියසට අම්මා යොමුවෙලා පසුව පියා නැවත දරුවන් හා බිරිය සමඟ එක් වුණා. හුඟක් අය ලජ්ජාව නිසා පවුල් ප්‍රශ්න හංගගෙන ඉන්නවා. මේ හිංසනය කාන්තාවන්ට විතරක් නෙමෙයි පිරිමින්ටත් තියනවා. “නෝන්ජල් මිනිහෙක්”, “ගෑනියෙක් වගේ පිරිමියෙක්” කියලා සමාජයේ සමහර පිරිමින්වත් කොන් කරනවා. ඒත් කාන්තාව විසින් පුරුෂයාවවත් පුරුෂයා විසින් කාන්තාවවත් පාලනය කළ යුතු නැහැ.”
විවාහක පවුල් පමණක් නොව, පෙම්වතුන් හා පෙම්වතියන් අතර පවතින ආරවුල් සඳහා ද ‘මිතුරු පියස’ මැදිහත් වේ. එසේ රජයේ හා පෞද්ගලික ආයතන තුළදී කාන්තාවන්ට හා පිරිමින්ට සිදුවන ලිංගික අඩත්තේට්ටම් සඳහා ද ‘මිතුරු පියස’ මැදිහත් වේ.
එමෙන් ම මානසික ආතතියෙන් පෙළෙන අය එම සායනවලට ද යොමු කෙරේ. මේ අයුරින් කායික මානසික අගතියට පත් අයවලුන් වෙනුවෙන් පෙනී සිටින ‘කාන්තා පිහිට’, සුමිත්‍රයෝ’ Win වැනි ආයතන ද ලංකාවේ ව්‍යාප්තව විශාල සමාජ වගකීමක්. කාර්ය භාරයක් ඉටු කරන අතර ‘මිතුරු පියස’ පූර්ණ රජයේ ආයතනයකි.
‘මිතුරු පියස’, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, 231, ද සේරම් පෙදෙස, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ 10.
දුරකතන අංකය - 0714432361