චිත්‍ර කතා පත්තරවලට මොකද වුණේ | සිළුමිණ

චිත්‍ර කතා පත්තරවලට මොකද වුණේ

- ලංකාවේ ප්‍රථම චිත්‍රකතාව ජී.එස්. ප්‍රනාන්දුගේ නීලා 
- චිත්‍රකතා පත්තර නැතිවීමට රූපවාහිනිය බලපෑවා

ය 1954 වර්ෂය විය. කොට කලිසමකින් සැරසුණු 18 වියැති කොලු ගැටයකු ලේක්හවුස් ආයතනයේ පියගැට පෙළ නැඟගෙන ආවේ දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ හමුවීමට ය. එදා ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක නිලධාරීන් නොසිටිය ද සරමක් හා කබායක් හැඳ ඉදිරිපසට වී සිටි පුද්ගලයකුට කර්තෘ හමුවීමේ අවශ්‍යතාව පැහැදිලි කළ යුතු විය. “චිත්‍ර කතාවක් ඇඳගෙන ආවේ. ඒක කර්තෘට පෙන්වන්න ඕනෑ.” යනුවෙන් කොලු ගැටයා පැවසුව ද ඔහුට චිත්‍ර කතා ගැන කිසිවක් අවබෝධ වූයේ නැත.

කෙසේ හෝ ඔහුට පියසේන නිශ්ශංක සූරීන් හමුවීමට අවස්ථාව ලැබිණි. ප්‍රධාන කර්තෘ ඔහුව ජයවිලාල් විලේගොඩට යොමු කළේ ය. චිත්‍ර කතාව පිරික්සා බැලූ ජයවිලාල් විලේගොඩ ‘ෂා; මේක නියමයිනේ. පත්තරේ පළ කරමු.” යනුවෙන් තීන්දු කළේය.

දිනමිණ පුවත්පතේ ප්‍රථම චිත්‍රකතාව ලෙස ‘චිත්‍රා’ නමැති මෙම චිත්‍රකතාව 1954 දී පළ කෙරුණේ ඒ ආකාරයටය. එදා 18 හැවිරිදි ශිෂ්‍යයකු ලෙස මෙම චිත්‍ර කතාව රැගෙන ආවේ තලන්ගම ජයසිංහය. ඉන්පසුව 1957 වසරේදී ඔහු ලේක්හවුස් ආයතනයේ චිත්‍ර ශිල්පී තනතුර සඳහා සේවයට බඳවා ගැනිණි. දශක 7 කට ආසන්න කාලයක් චිත්‍ර ශිල්පි‍යකු වශයෙන් කටයුතු කරන ඔහු අදටත් ජාතික පුවත්පතකට චිත්‍ර අඳින ජ්‍යෙෂ්ඨතම චිත්‍ර ශිල්පියෙකි.

“චිත්‍රා“ චිත්‍ර කතාව ඇඳපු කාලේ එක් කොටසකට මට රු. 20.00 ක් ගෙව්වා. මාසෙකට රු. 80.00 ක් ලැබුණා. හේවුඩ් ආයතනයේ ඉගෙන ගත්තු මට ඒ මුදල ලොකු ශක්තියක් වුණා. ඊට පස්සේ මම 1957 දී ස්ථිර සේවයට ආවේ රු. 250.00 වැටුපට. එදා මාව සම්බන්ධ කළේ සිළුමිණට. මම සේවයට ඇවිත් අවුරුද්දකින් මගේ වැටුප රු. 400.00 දක්වා වැඩි කළා. ඒ කාලේ මම ඇඳපු ඇටසැකිල්ල, මිනිස් දඩයම චිත්‍ර කතා ගොඩාක් ජනප්‍රිය වුණා.” යනුවෙන් විස්තර කළේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී තලන්ගම ජයසිංහ ය.

1954 වර්ෂයේදී දිනමිණ පත්‍රයේ ප්‍රථම වතාවට ‘චිත්‍රා’ චිත්‍ර කතාව පළ කෙරුණ ද ලංකාවේ පුවත්පතක පළවූ ප්‍රථම චිත්‍රකතාව එය නොවේ. ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රකතාව පළවූයේ 1951 ඔක්තෝබර් 28 වැනිදාය. ඒ ඉරිදා ලංකාදීප පුවත්පතේ ය. ‘නීලා’ නමැති මෙම චිත්‍රකතාව ඇන්දේ ජී. ඇස්. ප්‍රනාන්දු වන අතර කතාව ධර්ම ශ්‍රී ජයකොඩිගේ විය‍. ටාසන් කතා මාදිලියට අයත් ‘නීලා’ එදා බොහෝ පාඨකයන්ගේ ආදරය දිනාගත් චිත්‍රකතාවක් විය. ‘නීල කුමාර’ යනුවෙන් එහි 2 වැනි කොටසක් ද පළ කෙරුණේ එම නිසාය. ඩී. බී. ධනපාලගේ කර්තෘත්වයෙන් ඇරඹි දිනපතා ලංකාදීප සහ ඉරිදා ලංකාදීප පුවත්පත් ජී. ඇස්. ප්‍රනාන්දුගේත් සුසිල් ප්‍රේමරත්නගේත් චිත්‍රකතාවලින් ජනාදරයට පාත්‍ර වන විට ‘දිනමිණ’ සහ ‘සිළුමිණ’ පුවත්පත්වලට ද චිත්‍රකතාව අත්‍යවශ්‍ය අංගයක් බවට පත් විය.

හොර හවුල, මහහේනේ රීරියකා, තනිකඩයා, ලන්දේසි හටන, රන් දූපත, බිලි පූජාව වැනි චිත්‍රකතාවලින් ලංකාදීප පුවත්පත් හැඩ වෙද්දී වියරු මුහුද, බේබද්දා, මනුතාපය, මංගලා වැනි චිත්‍රකතාවලින් ලේක්හවුස් පුවත්පත් හැඩ විය. ලංකාවේ ප්‍රථම වෛවර්ණ චිත්‍රකතාව පළ කිරීමේ ගෞරවය හිමි වන්නේ ‘දිනමිණ’ පත්‍රයට ය. ඒ බන්දුල හරිශ්චන්ද්‍රගේ ‘නල දමයන්ති’ චිත්‍ර කතාව වර්ණයෙන් පළ කිරීමත් සමඟිනි.

1962 දී ලේක්හවුස් ආයතනයේ චිත්‍ර ශිල්පියකු ලෙස බැඳුණු බන්දුල හරිශ්චන්ද්‍ර, දිනමිණ පුවත්පතට ජාතක කතා, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය චිත්‍ර කතා වශයෙන් සිතුවමට නැඟීය. එහෙත් ‘සිළුමිණ’ පත්‍රය පෙතිගෝමර, සත්වෙනි දවස, දේවස්මිතා වැනි ඔහ‍ුගේ චිත්‍ර කතාවලින් ද සතුට පත්‍රය තනිතරුව වැනි ඔහුගේ චිත්‍ර කතාවලින් ද විචිත්‍රවත් විය‍.

ලංකාවේ ප්‍රථම චිත්‍ර කතා පත්‍රය වන ‘සතුට’ ඇරඹුණේ 1972 අගෝස්තු 29 වැනිදා ය‍. එහි ගෞරවය ද ලේක්හවුස් ආයතනයට හිමි විය යුතු ය. මෙම වකවානුව වනවිට ළමා, කාන්තා, සිනමා වැනි සෑම මාදිලියේ පුවත්පතකටම චිත්‍ර කතාව අනිවාර්ය අංගයක් විය. මිහිර ළමා පත්‍ර‍යේ එස්.ඒ. දිසානායකගේ ‘ඔන්න බබෝ’, ‘පඬිතුමා’, ‘කපුටුලන්ද’, දරුවන් ආදරයෙන් වැලඳ ගත් චිත්‍ර කතා කීපයකි. දයා රාජපක්ෂගේ ‘හුලවාලි’, ‘සුබෝධා’, ‘තවලම’ යන චිත්‍ර කතා ද ජනක රත්නායකගේ ‘සාරංගා’ චිත්‍ර කතාව ද සරසවිය පත්‍රයේ පළවූ චිත්‍රකතා කීපයකි. උදයකාන්ත වර්ණසූරියගේ ‘එක මලෙක පෙති’ තරුණි කාන්තා පුවත්පතේ පළවූ චිත්‍ර කතාවකි.

විදුසර අධ්‍යාපනික පුවත්පතට ද ජනක රත්නායකගේ ‘වදුළ’ චිත්‍ර කතාව ඇතුළත් වූ අතර එය එවකට පාඨකයන්ගේ නොසන්සුන්තාවට හේතු විය. 60, 70 දශකය වනවිට බන්දුල හරිශ්චන්ද්‍ර, තලන්ගම ජයසිංහ, පී. වික්‍රමනායක, දයා රාජපක්ෂ, අනුර විජේවර්ධන, කැමිලස් පෙරේරා යන අය චිත්‍ර කතා ලෝකයේ පතාක යෝධයෝ වූහ. සිනමා අධ්‍යක්ෂවරුන් වූ උදයකාන්ත වර්ණසූරිය සහ හර්බට් රංජිත් පීරිස් චිත්‍රකතා ශිල්පීහු වෙති. මහාචාර්ය සිරිමල් අබේරත්න ද සරසවි අධ්‍යාපනය ලබන කාලයේ සතුට චිත්‍රමිත්‍ර යන පුවත්පත්වල චිත්‍ර කතා ශිල්පියකු ලෙස කටයුතු කර තිබේ. ප්‍රවීණ කලාකරුවකු වන ජැක්සන් ඇන්තනී ද මල්ටිපැක්ස් ආයතනයේ චිත්‍ර කතා ශිල්පියකු ලෙස කටයුතු කර තිබේ.

70 දශකය වනවිට චිත්‍රකතා කෙරෙහි තිබූ පාඨක ප්‍රතිචාර ඉතා විශිෂ්ට වූ නිසාම සතුට පුවත්පතට පමණක් සීමා වී තිබූ චිත්‍රකතා පත්‍ර තවතවත් පුළුල් විය. 1975 දී ‘සිත්තර’ චිත්‍රකතා පත්‍රය ඇරඹුණේ චින්තන ජයසේනගේ කර්තෘත්වයෙනි. ඕෆ්සෙට් මුද්‍රණයෙන් නිකුත්වූ සිත්තර පත්‍රය පිටපත් 35,000 ක් අලෙවි විය. වසර 5 ක දී දෙලක්ෂ විසිපන්දාහ දක්වා අලෙවිය ඉහළ ගියේය. මල්ටිපැක්ස් ආයතනයෙන් බිහි වූ සිත්තර, සුහද හා ස්වර්ණ ද උපාලි පුවත්පත් සමාගමෙන් ඇරඹූ චිත්‍ර මිත්‍ර ද වෙනත් ආයතනවලින් ආ දසුන, සිනෙත්‍රා සමනල ද පුවත්පත් ලෑල්ලට එකතු වූ චිත්‍රකතා පත්තර කීපයකි‍. මේ අතරේදී ලංකාදීප පුවත්පත් සමාගමෙන් ‘සතුට’ නමේ අයිතිය ලබා ගැනීම නිසා ලේක්හවුස් ආයතනය මුද්‍රණය කළ ‘සතුට’ වෙනුවට ‘මධුර’ නමින් චිත්‍ර කතා පත්‍රයේ නම වෙනස් කිරීමට සිදුවූයේ 1980 දී පමණය. චිත්‍රපට කතා චිත්‍රකතා ලෙස සිතුවමට නැඟූ ‘නළුව’ චිත්‍රකතා පත්‍රය මු. අරුක්ගොඩගේ කර්තෘත්වයෙන් ආරම්භ වූයේ 1978 දීය. සිත්තර පත්‍රයේ චිත්‍ර ශිල්පීන් එයින් ඉවත්වී කැමිලස් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සත්සිරි චිත්‍රකතා පත්‍රය ආරම්භ කළේ චිත්‍ර කතාවලට ඇති පාඨක රුචිය ඉහළ මට්ටමක තිබුණු නිසා ය.

මේ අතරවාරයේදී චිත්‍රකතා ශිල්පීන්ගේ නික්ම යෑම සමඟ අතරමග නැවතෙන චිත්‍රකතා, නැවතෙන්නට ඉඩ නොදී වෙනත් චිත්‍ර ශිල්පීන් විසින් සම්පූර්ණ කළ චිත්‍රකතා ද තිබේ. ප්‍රවීණ චිත්‍ර ශිල්පි බන්දුල හරිශ්චන්ද්‍ර ලේක්හවුස් ආයතනයෙන් මල්ටිපැක්ස් ආයතනය වෙත යනවිට සිළුමිණ පුවත්පතේ පළ වූ ‘සත්වෙනි දවස’ චිත්‍රකතාව පළ වී තිබුණේ කොටස් 13 කි. එතැන් සිට ‘සත්වෙනි දවස’ නිමා වන තෙක් සිතුවම් කළේ තලන්ගම ජයසිංහ ය. මල්ටිපැක්ස් ආයතනයේ සේවය කළ අනුර ශ්‍රීනාත් උපාලි පුවත්පත් ආයතනයේ චිත්‍ර මිත්‍ර පත්‍රයට සම්බන්ධ වන විට අතරමග නැවතුණු කතාව අවසානය කරා චිත්‍රයට නැඟුවේ ජැක්සන් ඇන්තනී ය.

එදා එසේ වුවද අද පත්තර ලෑල්ලේ අලෙවියෙන් උච්ච ස්ථානයක තිබුණු චිත්‍රකතා පත්තර මේ වනවිට අභාවයට ගොස් තිබේ. ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරිශ්චන්ද්‍රගේ අදහස වන්නේ රූපවාහිනියේ ටෙලිනාට්‍ය කලාවත් සමඟ චිත්‍රකතා පාඨකයන්ගෙන් ඈත් වූ බව ය.

“චිත්‍ර කතා පත්තර පාඨකයන්ගෙන් ඈත් වුණේ පත්තර අයිතිකරුවන්ගේ වරදින්. චිත්‍ර කතා පත්තර ව්‍යාපාරයක් වුණාම අයිතිකරුවන් බලපෑම් කරන්න පටන් ගත්තා කාමය, සංත්‍රාසය දනවන විදිහට චිත්‍රකතා අඳින්න කියලා. එක කතාවක් ජනප්‍රිය වුණාම දිගටම ඒ තේ‍මාවෙන් අඳින්න කියලා කිව්වා. ඒත් එය ඒකාකාරියි කියලා ඒ අය තේරුම් ගත්තෙ නැහැ. කුණුහරුප පත්තර ගෙදරට ගන්නෙ නැහැ කියන එක ඒ අයට අමතක වුණා. පවුලෙ හැමෝම ‍එකතුවෙලා පත්තරේ පිටු කඩාගෙන බලපු චිත්‍ර කතා පත්තරේ ගෙදරට ගෙනෙන එක නැවැත්තුවේ ඒ හින්දා.” යනුවෙන් සඳහන් කළේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී අනුර ශ්‍රීනාත් ය.

රූපවාහිනි තිරයේ දිස්වන පින්තූර තිරයෙන් මැකී ගියත් පත්තර පිටු අතර මුද්‍රණය වී තිබෙන චිත්‍රකතාවල පින්තූර මැකී නොයන නිසා චිත්‍ර කතා නැවත නැවතත් පෙරළා බැලීමට කැමැති පාඨක පිරිසක් තවමත් සිටින බව ප්‍රවීණ චිත්‍රකතා ශිල්පී ජනක රත්නායක පැවසීය.

“අද චිත්‍ර කතා පාඨකයන්ගෙන් ඈත්වීමට චිත්‍රකතා ශිල්පීනුත් වග කියන්න ඕනෑ‍. චිත්‍රකතාවකට උචිත විදිහට කොටු වෙන්කර ගැනීම, රූපයට ලොකු චිත්‍ර සහ පොඩි චිත්‍ර යොදා ගැනීම, සමීප රූප ඇඳිය යුතු අවස්ථාව ගැන චිත්‍ර ශිල්පියාට අවබෝධයක් තිබෙන්න ඕනෑ. එහෙම නැතිව චිත්‍ර අඳින්න පුළුවන් වූ පමණින් චිත්‍රකතා ශිල්පියෙකු වෙන්න බැහැ. හොඳ චිත්‍ර කතාවක් ඇන්දොත් පාඨකයන් බලයි. අද වෙනකොට පුවත්පත් කර්තෘවරුන්ටත් චිත්‍ර කතා ගැන ඒ තරම් තැකීමක් නැහැ. පත්තරේ හොඳ චිත්‍රකතාවකට ඉඩක් දෙන්නෙ නැහැ.” යනුවෙන් පැහැදිලි කළේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජනක රත්නායකය.

එහෙත් බදාදා ලංකාදීප පුවත්පත සමඟ ‘සතුට’ චිත්‍රකතා පත්‍රය නොමිලේ බෙදා හැරීම මීට වසර 3 කට පමණ පෙර ආරම්භ කළේ චිත්‍රකතා පාඨකයන්ට සමීප කිරීමේ අරමුණෙනි. එසේ ඇරඹූ ‘සතුට’ පත්‍රයේ කර්තෘත්වය දැරුවේ චිත්‍ර ශිල්පී ජූඩ් ශ්‍රීමාල් ය. මේ වනවිට බදාදා ලංකාදීප පුවත්පත සමඟ සතුට චිත්‍රකතා පත්‍රය බෙදා හරින්නේ ද නැත. ඒ පිළිබඳව කළ විමසීමේදී සතුට පත්‍රය බාරව කටයුතු කළ චිත්‍ර ශිල්පී ජූඩ් ශ්‍රීමාල් පළ කළේ මෙවැනි අදහසකි. “සතුට පත්තරය නිසා ඒ දවස්වල බදාදා ලංකාදීප පත්තරේ ඉහළ ගියා. ඒ අත‍ෙර්දී කොවිඩ් වසංගතය නිසා සමස්තයක් හැටියට පත්තර අලෙවිය පහත වැටුණා. එවැනි හේතූන් නිසයි සතුට පත්තරේ නැවතුණේ. එහෙම නැතිව චිත්‍රකතා පාඨකයන්ගෙන් ගිලිහිලා නැහැ. ඉස්සර තරම් නොවුණත් අදටත් චිත්‍රකතා පත්තරවලට ඉඩක් තියෙනවා.” එහෙත් ජූඩ් ශ්‍රීමාල් සහ අනුර ශ්‍රීනාත් සුසංයෝගයෙන් උපාලි පුවත්පත් සමාගමෙන් මෑතකදී පළ කළ ‘සිත්තරු’ චිත්‍රකතා පත්‍රයට ද ආයුෂ තිබුණේ වසර 3 ක් වැනි කෙටි කාලයක් පමණි.

Comments