විය­පත් නොවන පුංචි තිය­ටර් පෙම් යුවළ නාමෙල්-මාලිනී | සිළුමිණ

විය­පත් නොවන පුංචි තිය­ටර් පෙම් යුවළ නාමෙල්-මාලිනී

බොරැල්ල පුංචි තියටර් ඉදිරිපස පෙනුම

බොරැල්ල පාර අද්දර පිහිටි විශාල ගල්බංගලාවක් ළඟ නතරවීමි. නැහැයට දැනුණේ ඇට්ටේරියා මල් සුවඳකි. නෙක වර්ණ මල් ගොමු, තුරුලතාවලින් වෙළීගත් මේ මාලිගය ඉදිරියේ “නාමෙල් මාලනී පුංචි තියටර්” දර ඉපල්වැනි අමුතු ගේට්ටුවේ සටහන් කර තිබුණි. අඳුර වෙළාගත් ඒ අපූරු මාලිඟා රඟහලට ඇතුළු වුයේ වේදිකා නාට්‍යයක රස විඳින්නට නම් නොවේ.

තෙවෙනි මහලට පියමං කළ මා වසා තිබූ දොරට තට්ටු කළෙමි. සොයා ගිය නාට්‍යවේදියා, අධිනීතිඥවරයා, දිරිමත් මිනිසා, ආචාර්ය නාමෙල් වීරමුණි නම් විද්වතා, ඔහු ප්‍රිය බිරිඳ මාලනී වීරමුණි මා ඉදිරියේය.

මුලින් ගුරු යුවළක් වූ නාමෙල් - මාලනී දෙපළට, පාසලකින් පාසලකට, නිවහනකින් නිවහනකට, රටකින් රටකට යාමට සිදුවූ අතර මේ වන විට දිවි ගෙවූ නිවාස ගණන හතළිහද ඉක්මවයි.

අපි මුලින්ම කතා කළේ පුංචි තියටර් රඟහල ගැන.

“පුංචි තියටර් එකත් එක්ක මේ නිවසේ සියලු නිර්මාණ මාලනීගෙයි මගෙයි. ඉස්සර නෙළුම් පොකුණ ළඟ තිබුණු ගල්අල්ලපු coffee house එක නිසා සංකල්ප බීජයක් ජනිත වුණත් මේක අලුත්ම නිර්මාණයක්. ගෘහ නිර්මාණ ශිල්පියා ඒක යථාර්ථයක් කළා. සිමෙන්තියට මිශ්‍ර කරලා ති‍යන මැටි ගෙනාවෙ හොරණින්. දවසක් රඟහලට ආපු අවු 8ක විතර පුංචි ළමයෙක් ලොකු හුඹහක් කියලා මේක පෙන්නුවා. අපි ඊජිප්තුවේ පිරමිඩ දැකලා තියනවා පියවි ඇසින්. ගස් කොළන්, පිරමිඩ වගේම මේ විදිහට තද කහ, දුඹුරු, අළු ස්වභාවික විදිහට බිත්ති නිර්මාණය කරන්න අපිට වුවමනා වුණා. විවිධ වර්ණවලින් පිරමිඩ සඳළුතලයට එකතු වුණාම ලොකු ගැම්මක් ඇතිවුණා. බොරැල්ල වගේ ජනාකීර්ණ පරිසරයක ශ්‍රී ලාංකික අනන්‍යතාව තවත් ඔප් නංවන්න තමයි මේ වගේ ගස්, වැල් වැව්වේ. සුදු අරලියා හරි සුවඳයි. මේ සුදුමල් වැල මට තෑගි දුන්නේ චිත්‍රා ද සිල්වා. හරි අමාරුවෙන් හදා ගත්තේ. කලාකරුවෝ වන අපි හරි සංවේදී මිනිස්සු. හැමෝම එකට වෙළිලා ජීවත් වෙනවා වගේ හැඟීමක් අර්ථවත් වෙන්නේ. අපේ ජීවිත හා මේ පරිසරයත් සමගාමියි. එකට බද්ධ වෙනවා. .“ මාලනී පුංචි තියටර් ගැන එසේ පැවැසුවාය.

කුඩා කල සිටම පිය සෙනෙහස අහිමි වූ නාමෙල්ට ලොකු සාධු මාමාගෙන් හා ඩැනියෙල් මාමාගෙන් ලද සෙනෙහස මවු සෙනෙහසට පමණක් දෙවෙනි විය. ඔහුගේ රැකියාව දෙවරක්ම අහිමි විය. 1970 දී අධිනීතිඥවරයකු නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහකාර නීති කෙටුම්පත් සම්පාදක ලෙස කටයුතු කළ ඔහු එංගලන්තයේ ඉන්ධන පිරවුම් හල් සේවකයකු ලෙසත් ආපනශාලා සේවකයකු ලෙසත් නුහුරු නුපුරුදු, අඩු පිළිගැනීමේ රැකියා කරමින් රුපියල් සත අරපරිස්සමට ඉතිරි කළේය. පසුකාලීනව වාසනා ගුණය හා දිරිමත් බව නිසාම සුද්දන්ගේ රටේ නීතිඥවරයෙකු ලෙස උසස් පිළිගැනීමේ රැකියාවක් කිරීමට ද වරම් ලැබීය. මේ ඒ අද්විතීය පෞරුෂය ගොඩනැඟුණු අයුරු කීවේ මෙසේය.

“මගේ ජීවිතය කියන්නේ අත්දැකීම් දාමයක්. මගේ ජීවිතයේ අධ්‍යක්ෂවරයා වුණෙත් මමයි. කවුරුත් මට උපදෙස් දෙන්න හිටියේ නෑ. කවුරුත් මාව පාලනය කරන්න හිටියෙත් නෑ. මට ජීවිතේ ගැන හුඟාක් දේවල් තනිවම ඉගෙනගෙන මේ ගමන එන්න සිදුවුණා. ඒත් හුඟාක් වෙලාවට වාසනාව හා අවස්ථාව හැම තිස්සෙම හිටියේ මාත් එක්ක. හාමුදුරු මාමා මට මඟ පෙන්නුවා. මාලනී මගේ ඥාතිවරියක්. පෙර සසරේ හමුවූ කෙනෙක්. මතු උපදින ආත්මවලත් අපි එකට හමුවෙනවා.” එසේ කීවේ බොහෝ විශ්වාසයෙනි.

ජීවිත ගමනේ මෙතෙක් විදි දුක සතුට පිළිබඳ මාලනී සිය හඬ අවදි කළාය.

ආචාර්ය නාමෙල් සහ  මාලිනි වීරමුණි

“නාමෙල්ට රැකියාව අහිමි වුණු දවස්වල අපි හරියට දුක්වින්දා. කුලී ගෙවල්වල හිටියා. දරුවෝ පුංචියිනේ. 1960 නාමෙල් රත්නපුරේ ගුරුවරයෙක් වශයෙන් වැඩ කරන කාලේ 86 පාරක් කොළඹ ආවා රස්සාව ස්ථිර කරගන්න. ඒත් බැරිවුණා. රාජගිරියේ පර්චස් 15ක ඉඩමක් ගත්තා. ගේ හදාගන්න සල්ලි නැතුව පර්චස් 5ක් විකුණුවා. ගේ හදාගෙන ළිඳක් කපාගෙන වත්තේ එළවළු පලතුරු පලා වැව්වා. ගෙදර කෑමට අරන් අනිත්වා විකුණුවා. බතික් වැඩකළා. මගේ ඇඳුම් මම මහගත්තා. කළුයි, සුදුයි, මැජෙන්ටා පාට මිශ්‍රවුණු ඔසරි, රෙදි වලට මම ආසයි. මුදල් අඩුපාඩුකම් තිබුණත් එදත් සතුටින් හිටියා අද වගේම. නාමෙල්ට දෙවෙනි සැරේ ලංකාවෙ රැකියාව අහිමි වුණාම එයා එංගලන්තෙ දුක්වින්දා. මමත් මෙහේ දරුවෝ බලාගෙන රැකියාවක් කළා. නාමෙල්ට එංගලන්තේ ස්ථිර වීසා ලැබුණේ එහෙ එකදිගට අවුරුදු 4ක් හිටියට පස්සෙයි. ඊට පස්සේ දරුවෝ නංගි ළඟ තියලා මමත් එංගලන්තයට ගියා. මාස 06ක් වැඩ කරලා මට work permit එක ලැබුණට පස්සේ තමයි දරුවෝ ගෙන්න ගත්තේ. අපි එංගලන්තේ කුඩා තට්ටු නිවාසෙක තනි කාමරයක තමයි එකට ජීවත් වුණේ.

එහේ මම රෝහලක සේවය කළා. ගෙයක් හොයා ගත්තේ කල් ගිහින් සල්ලි ටිකක් හොයාගෙනයි. අපි හරි අරපරිස්සමට ජීවිතේ මුදල් විතරක් නෙමෙයි හැමදෙයක්ම කළමනාකරණය කරගත්තා. මෙතෙක් මා ආපු රංගන ජීවිතයේ මේ දක්වා ආවෙ කට්ටක් කාලා. මගේ මහත්තයා අධ්‍යක්ෂවරයෙක් වුණත් මම ඒ නාට්‍යවල රඟපාන අයට, ටීම් එකට තේ හදනවා. අස්පස් කරනවා. ඇඳුම් නිර්මාණය කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කරපු නාට්‍යයක (1959 - ගොලු බිරිඳ) රඟපාන්න හිටිය නිළියට කකුලේ ආබාධයක් නිසා එන්න බැරිවුණා. එතකොට මට දුව ශලෂ්නා ලැබෙන්න හිටියේ හරි කෙට්ටුයි. තේ හැදුවට මොකද මට දෙබස් පවා කටපාඩම් නාට්‍යයේ. හැමෝම කැමතිවෙලා මාව වේදිකාවට තල්ලු වුණා අහම්බෙන් වගේ. ටෙලිනාට්‍යයක මට මුලින්ම ලැබුණෙ නපුරු චරිතයක් නිසා දිගටම ලැබෙන්නතේ නපුරු චරිතමයි. ඒක මට විතරක් නෙමෙයි හුඟාක් අයට සිදුවන ඉරණමක්. රඟපාන්න මම හරි කෑදරයි. ඒත් චරිත ඉල්ලගෙන යන්නෙ නෑ. මේ පාර නාට්‍යයෙත් මම නෑනෙ කියනවා. ලැබුණ දෙයක් උපරිම කැපවීමෙන් හොඳට කරනවා. චරිතය මැවෙන්නේ අධ්‍යක්ෂවරයාගේ මනසේයි. ඒ නිසා මම කාටවත් බලපෑම් කර‍න්නෙ නෑ.” මාලනී සිය ජිවිතය කියන්නීය.

ඔවුන්ගේ වැඩිමල් හා එකම දියණිය ශලෂ්නා නිර්මාණිකා නවසීලන්තයේ වෛද්‍යවරියක වන අතර විවාහ වී සිටින්නේ නවසීලන්ත ජාතිකයකු සමඟිනි. ඔවුන්ට පුතෙක් හා දියණියකි. හේෂාන් රශ්මි උදාර දෙවෙනි පුතා අැමෙරිකාවේ බොස්ටන්හි සමාගම් අධ්‍යක්ෂවරයෙක් වන අතර විවාහ වී සිටින්නේ ඇමෙරිකන් ජාතික ලින්ඩ්සේ සමඟය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකි. තරිඳු ධාරිත බාල පුතණුවන් නවසීලන්ත රාජකීය හමුදාවේ උසස් නිලධාරියෙකි. ඔහු විවාහ වී සිටින්නේ නවසීලන්ත ජාතික කාන්තාවක් වන රොනල්ඩා සමඟිනි. ඔවුන්ට පුතුන් දෙදෙනෙකි.

බොරැල්ල පුංචි තියටර් ඉදිරිපස පෙනුම

නාමෙල් - මාලනී දෙපළට මේ දරු මුනුපුරන් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. නාමෙල් මාලනීගේ 50 වන විවාහ සැමරුමට මේ දරු මුනුපුරෝ සියල්ලෝම මීට වසර 8ට පෙර දිනයක පුංචි තියටර් නිවහනට එක්වී සතුටු වූහ.

දශක ගණනාවක් මුළුල්ලේ නාමෙල් වීරමුණි නම් අපූරු කලාකරුවා ශ්‍රී ලාංකීය වේදිකාවට අමරණීය නිර්මාණ රැසක් දායාද කළේය. ගොළු බිරිඳ, මාධ්‍යවේදියකුගේ අසිපත, හතරවෙනි තට්ටුව, සිංහබාහු (ඉංග්‍රීසි පරිවර්තනය), කොළොම්බි (අනුවර්තකය) ඉන් අතළොස්සකි. ඉසිවර අසපුව, රත්තරන්, වෙස්ගත්තෝ ටෙලි හා වේදිකා නාට්‍යවලින් සිය රංගන කෞශල්‍යය පෙන්නුවේය.

“මට 1970 ශිෂ්‍යත්වයක් ලැබිලා කැනඩාවට ගියා. පසුව ඇමෙරිකාවට ගියා. මාස 3යි නිවාඩු ලැබුණේ. U. N එකට යන්න නිවාඩු ඉල්ලා ලංකාවට එවූ ලියුම අස්ථාන ගතවෙලා. මම සේවය අතහැර ගියා කියලා ලියුමක් ගෙදරට යවලා. ඊට පස්සේ මම එංගලන්තෙ නතර වුණා. රැකියා ගණනාවක් අතරේ B.B.C වැඩසටහන්වලටත් ගියා. එංගලන්තේ සොලිසිටර් කෙනෙක් වෙන්න ගණිතය විභාගය වසර 3 ඇතුළත කරලා නීති සමාගමකත් වැඩ කළා. ගෙදරට වියදමට පවුම් ගාණක් එවලා ඉතිරිය ඉතිරි කළා. අපි එංගලන්තයේ නාට්‍ය පෙන්නුවා. විදේශ රටවල් ගණනක අපි ජීවත් වුණා. 2002 ලංකාවෙ ස්ථිර පදිංචියට ආවෙ පිටරට අවුරුදු 30 පමණ ඉඳලා.”

අතීතය සිහි කරන අතරේ ඔහු නාට්‍ය කලාව ගැනද කතා කළේය.

“හැටේ දශකයේ නාට්‍යවල තිබුණු ගැඹුර අද නාට්‍ය වල නැහැ. ඒ නිසා ප්‍රේක්ෂක ජනතාවත් අඩුවෙලා. නාට්‍යකරුවා අද අසරණයි. මම යෝජනාවක් ඉදිරිපත් කළා නාට්‍යකරුවන් වෙනුවෙන් නාට්‍යය අරමුදලක් පිහිටුවන්න කියලා. ‘නාට්‍යය සෙත’ කියල ලොතරැයියක් අරඹන්න කියලා. එහෙමවත් ගොඩගත්තෙ නැත්නම් අනාගතයේ නාට්‍යය කලාව නැතිවෙයි.”

ගතින් වියපත් වුවද කලාකරුවන් සිතින් තරුණ බව මේ යැයි පසක් කරමින් ඉදිරියේදී තවත් වේදිකා නාට්‍යයකට සුදානම් වන්නේය. එය ඉංග්‍රීසි නවකතාවක සිංහල අනුවර්තනයයි.

 

Comments