ශ්‍රී ලංකාව එකම නීතියක් යට­තට ගේනවා | Page 4 | සිළුමිණ

ශ්‍රී ලංකාව එකම නීතියක් යට­තට ගේනවා

මෙරටින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට නාවික හමුදා නිලධාරියකු ලෙසින් මහඟු මෙහෙයක් සිදු කළ එමෙන්ම නාවික හමුදා සේවයෙන් පසුව රට රැක ගැන්ම වෙනුවෙන් ක්‍රියාකාරී දේශපාලනයට ආ ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකරයන් අද සිළුමිණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වන්නේ වර්තමානයේ පොලිසියේ ක්‍රියාකාරීත්වය හා ‘එකම රටක් - එකම නීතියක්‘ යටතේ මහජන සාමය ආරක්ෂා කර දෙන්නේ කෙසේද යන්න ගැන විවරණය කිරීමටය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නා ලද අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී එයට එරෙහි වූ එකම මන්ත්‍රීවරයා වන්නේද ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකරයන්ය.

මහජන සාමය ඇති කිරීම වෙනුවෙන් ඔබ අමාත්‍යාංශය අලුතින් ගෙන ඇති පියවර ගැන සඳහන් කළොත්.....

මගේ අමාත්‍යාංශයේ වගකීම තමයි ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරන එක.

ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට නම් ඒ සමාජයේ පාතාල ක්‍රියාකාරකම් තියෙන්න බැහැ. මංකොල්ලකෑම් වැනි අපරාධ තියෙන්න බැහැ, ස්ත්‍රී දූෂණ සොරකම් තියෙන්න බැහැ, ඒ වගේම මත් ‍උවදුරු තියෙන්න බැහැ.

ඒ බාරදූර කාර්යය ඉටු කිරීම උදෙසා ශ්‍රී ලංකා පොලිසිය‍, සිවිල් ආරක්ෂක බළකාය හා බහුකාර්ය දෙපාර්තමේන්තුව මා වෙත බාර දී තිබෙනවා. ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් ඉන්නෙ.

ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීමටත් අප දැන් කටයුතු කරමින් ඉන්නෙ.

මේ කාර්යයේදී සිදු කරන නීති සංශෝධනය ගැන පැහැදිලි කිරීමක් කළොත්........

අපේ රටේ අපරාධයක් වුණහම අපරාධකරුවන් නීතියට හසු කර ගැනීමේ හොඳ යාන්ත්‍රණයක් තියෙනවා. සමහර විට සිදුවීමෙන් සුළු කාලයක් ඇතුළත නැත්නම් දින කිහිපයක් ගිහිල්ල හෝ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නවා. පසුගිය කාලයේදී පාතාල කල්ලි විසින් සිදු කළ අපරාධයන්ට අදාළ පුද්ගලයන් ඉතා ඉක්මනින් හසු කර ගැනීමම හොඳ උදාහරණයක්.

නමුත් අපට අවශ්‍ය වන්නේ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට වඩා අපරාධ අඩු කිරීමයි.

බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළ ආකාරයට ‘හිරි‘ සහ ‘ඔතප්‘ යන ධර්මතා මේ අයට ගොඩනැංවිය යුතුයි. ඒ කියන්නේ අපරාධයක් කිරීමට ඇති බිය හා ලැජ්ජාව ඇති කළ යුතු වෙනවා.

බිය ඇති කළ හැක්කේ අපරාධයක් සිදු කර කෙටි කාලයක් ඇතුළත අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන කඩිනමින් නඩු පවරලා අදාළ නඩු මාස කිහිපයක් තුළ විසඳීමෙන් හා අදාළ වරදකරුවන්ට දඬුවම් ලබා දීමෙන් පමණයි. අපරාධවලට අදාළ නඩු එලෙස කඩිනමින් විසඳීමේ ක්‍රියාවලියක් ගෙන ඒම ගැන අපි දැනටමත් කටයුතු කරමින් ඉන්නෙ.

එසේ නැතිව වසර ගණන් මේ නඩු ඇදී යාමෙන් අපරාධ අඩු කිරීම කළ හැකියැයි සිතන්න බැහැ.

අපරාධ පමණක් නෙමෙයි අනෙක් ක්‍රියාකාරකම් වලට අදාළ නීතිත් සංශෝධනය විය යුතුයි නේද?

අනිවාර්යෙන්ම, මා කිව්වේ එක් උදාහරණයක් පමණයි. අපරාධවලට අමතරව මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට ඔවුන් වරදකරුවන් වු සැණින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටත් ඉදිරියේදී නීති සංශෝධනය කෙරේවි.

ඒ වගේම රටේ ඒකීය භාවයට අදාළව දිවුරුම් දීලා රට බෙදන්න කතා කිරීම වැනි රටේ ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරන අයටත් නඩු පැවරිය හැකි ලෙසින් නීති සංශෝධනය කරන්න අප කටයුතු කරනවා.

එමෙන්ම මත්කුඩු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සඳහා ඉතා සුළු ප්‍රමාණයක් තබා ගෙන ඉතිරි සියලු මත්කුඩු තොග මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ විනාශ කිරීමටත් පියවර ගැනෙනවා.

එසේම අන්තවාදය හා ත්‍රස්තවාදය පතුරුවන්නන්ට එරෙහිව හා ඒවා වැළැක්වීම උදෙසා කටයුතු කිරීම උදෙසාත් නීතිය සංශෝධනය කෙරෙනවා.

අපේ රටේ නිතරම පොලිසියට එරෙහිව කියවෙන්නක් තමයි පොලිසිය නීතිය නවන බව, එමෙන්ම ගොරකා දඩමස් කරනවා කියලා, ඔබ යටතේ මේ අමාත්‍යාංශයේ පොලිසියේ වෙනසක් වෙයිද?

නීතිය නවන්න කිසිවකුට බැහැ, නීති රීති හදල තියෙන්නෙ මහජන සුබසිද්ධිය තකා, නීතිය කියන්නෙ ජනතාව තලා පෙලා දමන ආයුධයක් නෙමෙයි, යම් යම් අවස්ථාවලදී නම්‍යශීලී වෙන්න පොලිසිය කටයුතු කරනවා වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට තමන්නේ දරුවකුට නැත්නම් භාර්යාවට යම් අසනීපයක්, හදිසියක් වෙලා ඉක්මනින් යන තැනැත්තෙක් අතින් අත්වරදක් වුණොත් පොලිසිය නම්‍යශීලීව කටයුතු කරන අවස්ථා අප දැක තිබෙනවා. එහි වරදක් මා දකින්නේ නැහැ. පොලිසිය කෙරෙහි ජනතා ප්‍රසාදයක් ඇති වන්නේ ඔවුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නන් බවට ජනතාව තේරුම් ගත්තොත් පමණයි.

නමුත් නීති කඩන අයට එරෙහිව නම් අනිවාර්යෙන්ම කටයුතු කරන්න කියලා මම උපදෙස් ලබා දී තියෙනවා. පසුගිය දෙසැම්බර් මාසෙ ඉදල ජනවාරි මුල වෙනකොට මාර්ග අනතුරුවලින් පමණක් ජීවිත 120ක් අහිමි වෙලා තිවෙයනවා. ඒ වගේ අයට අනිවාර්යෙන්ම නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු වෙනවා.

එසේ නීතිය නොතැකීමට හේතුව ඔවුන්ට නිසි පුහුණුවක් නැත්නම් හැඟීමක් නැතිකම බව ඔබ පිළි ගන්නවාද?

අනිවාර්යෙන්ම පුහුණුවක් නැතිකම හා හැඟීමක් නැතිකම තමයි මේ සියල්ලටම හේතුව වී ඇත්තේ. ඒ නිසා තමයි මම කිව්වෙ වයස අවුරුදු 18ට වැඩි අයට හමුදා පුහුණුවක් ලබා දිය යුතුයි කියලා.

අවුරුදු 18ක් නැත්නම් 19 තරුණ වයසේ පසුවන අයට නිසි දැනුමක්, නායකත්ව හැඟීමක් නැහැ. රටේ සම්පත් ගැන හැඟීමක් නැහැ, දැනීමක් නැහැ. ජීවිතවල වටිනාකම ඒ වගේම සම්පත්වල වටිනාකම ගැන අවබෝධය ඉතාම අඩුයි. ඒ නිසා ඒ අවබෝධය හැඟීම ඇති කළ යුතු වෙනවා. අනෙකා පරයා කටයුතු කිරීම නොව හැඟීමෙන් අවබෝධයෙන් දැනුමෙන් යුක්තව කටයුතු කිරීමට ඔවුන් යොමු කළ යුතු වෙනවා. රටේ අනාගතය බාර ගන්නා අයට නිසි පුහුණුවක් තිබිය යුතුම වෙනවා.

ඇතැම් පොලිස් නිලධාරීන් දේශපාලඥයන්ට විරුද්ධ පැමිණිලි, පොලිස් නිලධාරීන්ට, එහෙමත් නැත්නම් සමාජයේ නමක් ඇති ඉහළ පෙළැන්තියේ අයට එරෙහි පැමිණිලි බාර ගන්නේ නැහැ. ඊට විරුද්ධව ජනතාව කළ යුත්තේ කුමක්ද?

එහෙම තත්ත්වයක් ඉස්සර තියෙන්න ඇති. මම මේ අමාත්‍යාංශ්‍ය බාර ගත්තට පසුව පළමුවෙන් කරපු වැඩ අතරින් එකක් තමයි අනිවාර්යෙන්ම ජනතා පැමිණිලි බාර ගත යුතු බවට පොලිසිය දැනුවත් කිරීම. මම හැම තිස්සෙම හරි දේ වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වා දී තියෙනවා.

කිසිම හේතුවක් නිසා පොලිසියට පැමිණිලි බාර නොගෙන ඉන්න බැහැ. යම් හෝ අකටයුත්තක් වුවහොත් මා වෙත දැනුම් දෙන්න පුළුවන්.

නීතිය ආරක්ෂා කරන්න ඉන්න පොලිසිය ඇතුළෙත් දූෂණය තියෙනවා. මේ තත්ත්වය වළක්වන්න ක්‍රමයක් නැත්ද?

රටේ අනෙක් මහජන ආයතන වගේ පොලිසියත් එක් ආයතනයක් විතරයි. එහෙම මහජන ආයතනයක එවැනි දේ තිබීම ගැන පුදුම විය යුතු නැහැ. නමුත් පොලිසිය ඇතුළෙන්ම ඒ සම්බන්ධව කටයුතු සොයා බලනවා.

උදාහරණයක් හැටියට පසුගිය කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සිදු වූ බව කියන දූෂණ සියල්ල සොයා ගත්තේ පොලිසිය විසින්මයි. බාහිරින් කවුරුත් ගිහින් සොයා ගත්ත දෙයක් නෙමෙයි.

ඉදිරියේදී මේ තත්ත්වය තවත් විධිමත් ලෙසින් ක්‍රියාත්මක වේවි.

කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිනියක් දක්වා උසස්වීම් ලැබුවා. එයට පොලිස් නිලධාරීන් විසින් නීතිමය ක්‍රියා මාර්ග ගෙන තියෙනවා. ඒ ගැන ඔබතුමා දරන අදහස.......

මම ඇත්තටම ඒ ගැන කනගාටු වෙනවා. අපි ආඩම්බර විය යුතුයි කාන්තාවක් එවැනි තනතුරක් කරා යාම ගැන. තාක්ෂණික හේතුවක් මුල් කරගෙනයි මේ නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ. මේ වගේ දෙයක් සිදු නොවිය යුතුයි. විශේෂයෙන්ම ඇය කාන්තාවක්. ඇය ලැබූ උසස්වීමට එරෙහිව පිරිමින් විසින් කරන අකුල් හෙළීමක් ඇයට අඩම්තේට්ටක් කිරීමක් වැනි දෙයක් තමයි මෙයින් සමාජ ගත වන්නේ. මෙවැනි ප්‍රශ්න - ගැටලු ඇතුළෙන්ම විසඳා ගැනීමයි වඩාත් වැදගත් වන්නේ.

ප්‍රභූ ආරක්ෂාවට යොදා ඉන්න පොලිස් නිලධාරීන් ඉවත් කරන බවට සමාජයේ මතයක් පැතිරුණා. එහි සත්‍යක් තියෙනවාද?

නැහැ අපි මන්ත්‍රීවරුනට ලබා දෙන ආරක්ෂාවේ කිසිදු අඩුවක් කෙරෙන්නේ නැහැ. නමුත් අධිකරණවල, වෙනත් ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව අඩු කරන්න අපි කටයුතු යොදනවා. උදාහරණයක් හැටියට යම් ස්ථානයක ආරක්ෂාව පිණිස පොලිස් නිලධාරීන් 6 දෙනකු යොදා ඇත්නම් එයින් තුන් දෙනෙක් ඉවත් කර සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් 3 දෙනකු ඒ සඳහා යොදවනවා. පොලිස් නිලධාරීන් විශේෂ පුහුණුවක් ලබා දුන් අය. නඩුවක සාක්ෂි ගොනු කිරීම, කට උත්තර ලබා ගැනීම, සාක්ෂි විමසීම වැනි කාර්යයන් සම්බන්ධව ඔවුන්ට නිපුණතාවක් තිබෙනවා. එවන් පුහුණුව ලත් නිලධාරීන් වෙනත් රාජකාරි කටයුතු වෙනුවෙන් වෙන් කිරීමෙන් පොලිස් රාජකාරි අඩාළ වෙනවා.

කොවිඩ් 19 වසංගතයේ පළමු රැල්ලට කිසිදු පොලිස් නිලධාරියෙක් ගොදුරු වුණේ නැහැ. නමුත් දෙවෙනි රැල්ලට 1,500ක් පමණ නිලධාරීන් ගොදුරු වුණා. මොකක්ද හේතුව නොසැලකිල්ලද?

නොසැලකිල්ල නෙමෙයි, පළමු අවස්ථාවේ මෙන් නෙමෙයි. දෙවන රැල්ලේදී ජනතාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් නිරතුරුවම පාරට බැස ජනතාව සමඟ රාජකාරි කටයුතු කළා. මාර්ග රාජකාරි කටයුතු කළා. දිනපතාම ජනතාව සමඟ සම්බන්ධ වී රාජකාරි කටයුකු කරන පිරිසක් ලෙසින් ඒ තරමින් බේරුණු එක ලොකු දෙයක් කියලයි මම හිතන්නෙ.

ඔබ හිටපු නාවික හමුදා නිලධාරියෙක්. හමුදාවේ විනය අංක 1 ලෙසින් බලාපොරොත්තු වන්නේ. නමුත් පොලිසියේ විනයේ එවන් තත්ත්වයක් නොමැති බවයි ජනතාව පවසන්නේ.

හොඳම අවියක් අතේ තිබුණත් වැඩක් නැහැ එය හසුරවන්නා අතේ තමයි සාර්ථක අසාර්ථක බව රඳා පවතින්නේ. පොලිස් සේවයේ අඩුපාඩු තියෙනවා. පොලිස් නිලධාරීන්ගේ සුබසාධන වැඩකටයුතුවල අඩුපාඩු තියෙනවා. ඔවුන්ට ආහාර දීමනා පවා ලැබෙන්නේ නැහැ. ඒ තත්ත්වයන් පළමුව අප නිසි පරිදි සකස් කළ යුතුයි. ඔවුන්ට තම රාජකාරි කටයුතු නිසි පරිදි සිදු කරන්නට අවශ්‍ය පසුබිම සකස් කළ යුතු වෙනවා.

පොලිස් නිලධාරීන් බහුතරයක් තම රාජකාරි කටයුතු අවංකව කරනවා. ඒ අතරේ කොතනත් ඉන්නව වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ආයතනවලට කළු පැල්ලම් එක්කරන දූෂිත නිලධාරීන්. ඒ අය වෙනුවෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා.

ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව හිර කරන උගුලක් ලෙසයි සමාජ විචාරකයින් පවසන්නේ.

ඇත්තටම එය උගුලක් තමයි. ඇත්තට නිදාගෙන ඉන්න මිනිහ ඇහැරවන්න පුළුවන්. ඒත් බොරුවට නිදාගෙන ඉන්න මිනිහ ඇහැරවන්න බැහැනෙ. දරුස්මාන් වාර්තාව වැනි දේ අනුව තමයි ඒ අය ඔය කතා කියන්නෙ. මිත්‍ර රටවල් සමඟ කතාබහ කරමින් අපේ නිවැරැදිභාවය පෙන්වා දීමයි කළ යුත්තේ.

යහපාලන රජය සම අනුග්‍රාහකත්වය දරමින් 30/1 යෝජනාවට අනුග්‍රහය දැක්වීම මේ අර්බුදය උඩු දුවන්න හේතු වුණා කියලත් සමාජ විචාරකයන් පවසනවා...

ඒ කතාව නිවැරැදියි. ‘අපි වැරැදි කළා තමයි අපි එකතු වෙලා දඬුවම් කරමු‘ වගේ එකඟවීමක්නෙ ඒ සිදු කෙළේ. ඒ නිසා තමයි මේ තත්ත්වය වර්ධනය වී ඇත්තේ.

පාස්කු ප්‍රහාරය ගැන කොමිසම් වාර්තා අවසන් මීළඟ පියවර කුමක් වෙයිද?

දැන් සියලු වාර්තා නීතිපතිට යවා තිබෙනවා. අදාළ පාර්ශ්වයන්ට නඩු පැවරීම උදෙසා. මේ වන විට කැබිනට් මණ්ඩලයටත් වාර්තාව ලබා දී පාර්ලිමේන්තුවටත් ලබා දී අවසන්. අනිවාර්යෙන්ම වරදකරුවන්ට දඬුවම් ලැබේවි.

මිනීමැරුම් චෝදනා එල්ල වන පාර්ශ්වයන් ඉන්නවාද?

මිනීමැරීම් හා ඝාතනයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධව පුද්ගලයන් 32කට හා ඊට සම්බන්ධ 241 දෙනකුට නඩු පවරනවා. මෙහිදී කිසිම කෙනෙකුගේ තරාතිරම බලන්නේ නැහැ.

ඉන්දීය බී.ජේ.පී.ය අපේ රටේ දේශපාලනය කරන්න එනවා කියලා තියෙනවා. එහෙම එයිද?

ඒක ඉන්දියාවේ එක්තරා දේශපාලඥයකු විසින් කරපු ප්‍රකාශයක්නෙ. බීජේපී යේ නිල ප්‍රකාශයක් නෙමෙයිනෙ. ඒක නිසා අපි ඒ ගැන කිසිදු සැලකිල්ලක් දැක්වුවේ නැහැ. ඊට පිළිතුරු දෙන්න ගියෙත් නැහැ. එහෙම කටයුතු කරන්න බැහැ. ඒක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි.

විග්නේෂ්වරන් පේන්නෙ නැද්ද? සිංහල ජනතාවත් එක්ක අවුරුදු 65ක් ඉදලා උතුරට ගිහින් කියනවා සිංහල ජනතාවට එහේ ඉන්න අයිතියක් නැහැ කියලා. ඔය වගේ අය ලෝකෙ හැම රටකම ඉන්නවා. අපි ඒ ගැන කලබල විය යුතු නැහැ.

ජනාධිපතිතුමා කියනවා එකම රටක් එකම නීතියක් කියලා. ඒ වුණාට නැඟෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල සිකුරාදාට බැංකු පවා වහනවා. සමහර රජයේ කාර්යාල පවා සිකුරාදා දවල්ට වැඩ නැහැ. මොකක්ද මේ දෙබිඩි පිළිවෙත් නීතිය.

ඒ සම්බන්ධයෙන් මටත් දැන ගන්නට ලැබිල තියෙනවා. ඒ තත්ත්වයන් වහාම වැළැක්විය යුතුයි. අපි අනිවාර්යෙන්ම රටේ නීතිය සැමට එකක් ලෙසින් තමයි කටයුතු කරන්නේ. රටේ නීතියට අනුගත ලෙස කටයුතු කරන්න කියලා අපි පොලිස් නිලධාරීන්ට පවා දැනුම් දී තියෙනවා.

ඒ නීතියට අනුගත වෙන්න බැරි අය ඉන්නව නම් ඒ නීති ක්‍රියාත්මක කරන රටවල් වලට ඒ අය යන්න ඕන. මෙහිදී රජය අපහසුතාවන්ට පත් කරන්නේ නැතුව මේ නොමනා ක්‍රියාදාමයන් එයාලම වළක්ව ගත්තොත් හොඳයි නැත්නම් අපට ඒක කොහොම හරි වළක්වන්න වෙනවා.සිංහල බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වුවත් කිසිදු අවස්ථාවක බෞද්ධාගම බලෙන් අනෙක් අයට පටවන්න ගිහින් නැහැ. අනෙක් අයත් ඒ විදිහටම කටයුතු කළොත් හොඳයි.

බන්ධනාගාරයෙන් නිදහස් වුණු පිල්ලෙයාන් පිළි ගන්න පාසල් සිසුන් යොදාගෙන උත්සවයක් තිබ්බා. පාසල් නිවාඩු කාලෙ සිසුන් යොදාගෙන නිරෝධායන පනත උල්ලංඝනය කරමින් තමයි මේ කටයුතු සිදු කෙළේ. ඇයි රජය නිහඬ

එවන් කටයුතු ඉදිරියේදී නොවන්න අපි ක්‍රමයෙන් පියවර ගනිමින් ඉන්නෙ. මම අවශ්‍ය උපදෙස් ලබා දී තියෙනවා. නීතියට පුද්ගලයා කවුද යන්න අදාළ වන්නේ නැහැ.

කොවිඩ් මෘතදේහ ආදාහනයද භූමදානයද යන්න රජය එක් මතවාදයක ඉන්නවා. සෞඛ්‍ය අංශ තවත් මතවාදයක ඉන්නවා. මේක ජනතාව ඇන්දවිල්ලක්ද? නැත්නම් දේශපාලන කතාවක්ද?

කොවිඩ් මෘතදේශ ආදාහනයද භූමදානයද යන්න ගැන තීරණය ගත යුත්තේ සෞඛ්‍ය බලධාරීන් විසින්. ලෝකයේ බොහෝ රටවල් භූමදානයට අවසර ලබා දී තිබෙනවා. නමුත් විද්වත් කමිටුවක් විසින් ඒ සම්බන්ධ තීරණය ලබා දිය යුතුයි. රජය ප්‍රතිපත්තියක් ලෙස ආගමික අවශ්‍යතා අනුව මෘතදේහ භුමදානයට අවසර ලබා දෙන්න සූදානම්.

සේයාරූ - දුෂ්මන්ත මායාදුන්නෙ

Comments