‘බොර්න් එගේන්’ රැල්ල | Page 2 | සිළුමිණ

‘බොර්න් එගේන්’ රැල්ල

 

 

‘බෝර්න් එගේන්’යන වදන, මෙම අවස්ථාවේ කුනාටුවක් සේ විහිද යනු ඇස ගැටෙයි. 1999 දී, අප රටේ සුපිරි පන්තියේ ව්‍යාපාරිකයෙක් තමා හඳුන්වා ගත්තේ, “අයි ඈම් අ බෝර්න් එගේන් ක්‍රිස්ටියන්”යනුවෙනි. ඔවුන්ගේ සභාවේ අමුතු කටයුතුද බලාගන්නට ඉඩ ලැබුණෙන්, මා සාමාජිකත්වය දරන මෙතොදිස්ත සභාවේ එවක මහා නායක, ගෞරවනීය ඩුලිප් ප්‍රනාන්දු දේවගැතිවරයා හමුවී, මේ විස්තරය පවසා, ‘තව අවුරුදු දහයක් පමණ ගතවෙත්දී, ප්‍රධාන ධාරාවේ කිතුනු සභාවනට මෙය අභියෝගයක් වීමටඉඩ තිබෙන බැව්’පැවසීමි. මා පැවසූ වසර දහය ගතවන්නටත් පළමුව, ‘බෝර්න් එගේන්’පිළිලය අප රටේ සෑම කිතුනු සභාවකම ඔඩු දුවන්නට පටන්ගෙන තිබිණි. ඒ අතර, ‘බෝර්න් එගේන්’නම් පිළිලය මතට වෙනත් විධාකාරයේ නම් ඈඳාගත්, කිතුනු යැයි හඳුන්වා ගන්නා කුඩා සභා හතු පිපෙන්නාක් මෙන් බිහිවෙමින් පවතී; මේ එකක්වත්, ප්‍රධාන ධාරාවේ කිතුනු-කතෝලික සභාවන්ගේ ශාඛාවෝ නොවෙති.

ඒ, එදා ය; 2011 වසරේදී පමණ, රෝමානු කතෝලික සභාවේ, කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්, තම සභාවට එල්ලව තිබෙන මෙම ආක්‍රමණය ගැන ජනමාධ්‍යයන්ට හෙළිදරව් කරන ලද්දේය. මෙම රැල්ලට මුල්වූයේ කවුරුන්ද?

ඒ, කැන්සාස්ප්‍රාන්තයේ, ටොපේකාහි, කලෙක මෙතොදිස්ත දේවගැතිවරයකුව සිට ඉන් ඉවත්වූ, චාර්ල්ස් ෆෙක්ස් ෆාර්හැම් නමැත්තාය; 1901 වසරේදී, ‘බෙතෙල්’නම් දේවධර්ම විද්‍යාලයෙහි ඇතිවූ සිද්ධියක් පදනම් කරගෙන, ‘බෝර්න් එගේන්’ වාදය ට මූලික පදනම ඔහු විසින් තනන ලද්දේය. මෙයින් බිහිවූ රැල්ලේ හැරැවුමක්වූ සෞභාග්‍යයේ දේව වේදය, අදත් ඇමෙරිකාවේ සුප්‍රසිද්‍ධය; රූපවාහිනී සුබස්නයනගාමියෝ යැයි හඳුන්වාගත්, කෙනත් හා ග්ලෝරියා කොප්ලන්ඩ් යුවළ විසින් මෙහි ප්‍රචාරාත්මක වැඩපිළිවෙළ දියත්කරන ලද්දේ, 1942 පමණේදීය. මොවුන් පවසා ඇත්තේ, සෞභාග්‍යය උදාකර ගැනීම සඳහා දෙවියන් වහන්සේට අතමිට පුරවා දීම මත, ප්‍රතිලාභද, වෛද්‍යවරුන්ගෙන් හා ඖෂධයන්ගෙන් තොරව සුවයද ලැබෙන බවකි. වෛද්‍යවරුන් හා ඖෂධ දෙවියන්වහන්සේගේ නිර්මාණයක් බව ශුද්‍ධ බයිබලය දක්වතත්, මේ වූ කලී, ශුද්‍ධ බයිබලයේ ඉගැන්වීම් මායාකර්මයකට පෙරැළීමකි. සංවර්තනය කරණ කොටගෙන, පාපී ජීවිතයෙන් විමුක්තිය ලැබීමත්, ධනවත් වීමත් සමඟ, ඒ මත ලැබෙන වෙනත් ප්‍රතිලාභ අතර, ඖෂධ නොමැතිව, දිව්‍යමය සුවය ලබාදීම ද, එහි අංගයන්ය.

තමන්ගේ සැපපහසුව තකා අධිමානුෂික බලය යොදා ගැනීම, මෙම දර්ශනයේ හරය ලෙස දැක්වෙයි. ශුද්‍ධ බයිබලයේ ඇතැම් පද පමණක් උපුටා දක්වමින් තම අදහස් ඔප්පු කිරීමට යත්න දරන මොවුහු, ශුද්‍ධ බයිබලයේ කේන්ද්‍රීය තේමාව වන, යේසුස් වහන්සේ සමඟ පෞද්ගලික සම්බන්ධතාවක් ඇතිකර ගැනීම අමතක කිරීමට කටයුතු සලස්වා තිබෙයි. මේ සඳහා ‘බෝර්න් එගේන්’කල්ලියේ යෝජනාව වන්නේ, ‘එපිස්ට්‍රොෆේ’යන ග්‍රීක වචනයෙන් අදහස්වන සංවර්තනය හෙවත් හැරීම අත්‍යාවශ්‍ය බවය. සංවර්තනය යනු, වෙනස්වූ හිතක බාහිර ලක්‍ෂණයකි. “ඔබ ගමන්කර තිබෙන්නේ වැරැදි පාරේය; හැරී නැවත මුලට ඇවිත්, නිවැරැදි පාරේ යන්නැ’යනුවෙන් කියැවෙන්න සම්පිණ්ඩනය කරගත්, රෝම හමුදා හේවායන්ට අණ කළ‘මෙටනෝ‍යයා’, ග්‍රීක වචනයකි. එය, යේසුස් වහන්සේ පැමිණි විට, ඔවුන්වහන්සේ හා පෞද්ගලික සම්බන්ධතාව ඇතිකර ගැනුම පිළිබඳව, ස්නාවකයොහන් නැමැත්තා කළ පූර්ව දැනුම් දීමක් විය.කතෝලික හා කිතුනු ප­්‍රජාව, තම පාප ගැන මනඃස්ථාපනය වන්නේ මෙහි අර්ථය අදාළ කරගෙනය. බෞද්‍ධ ප්‍රජාව පන්සිල්හි පිහිටන්නා සේ, කතෝලික හා කිතුනු සැමගේ අභිප්‍රාය විය යුත්තේ, අලුතෙන් ඉපැදුණු කෙනකු මෙන් ජීවත වීමය. එක්වරක් පන්සිල් ගත් විට, ඒ මුළු ජීවිතයට සෑහේය යන්න, ආචාර්‍ය්‍ය ඊ. ඩබ්ලියු. අදිකාරම්ගේ මතය විය. ඒ අනුවම, එක්වරක් මනඃස්ථාපනය වීම, කිතුනු ජීවිතයකට ද ප්‍රමාණවත්ය. එහෙත්, පෘථග්ජනයන් හැමට, ඒ කළ නොහැකිය; හැමදා, වැරැදි පාරේ ගොස්, නැවත හැරී මනඃස්ථාපනය වීම, කිළිටි වන ඇඳුම් ලොන්ඩරියටය වන්නාසේ, යළි යළිත්, ‘බෝර්න් එගේන්’වීමකි.

කරුණු එසේව තිබෙයි. කතෝලිකයෙක් යනු කිතුනුවෙකි; කිතුනුවෙක්නු කතෝලිකයෙකි; සත්‍යයෙන්ම, සෑම කතෝලිකයෙක්ම හෙවත් කිතුනුවෙක්ම, ‘බෝර්න් එගේන්’ ය. මේ අපභ්‍රංශය කුමක්ද? ඉංගිරිසියෙන් ‘බෝර්න් එගේන්’යනු, ‘අලුතෙන් යළි ඉපැදුණු’යනුයි. හුදෙක් මේවදන කිතුනුවන් හා බැඳුණක් වුවද, ‘මෙහි සත්‍යාර්ථය, ඕනෑම ධර්මතාවක් අදහන, ඕනෑම අයෙකු සඳහා පොදුවේ භාවිත කළ හැක්කක්ය’යනුවෙන් කීම සත්‍යයක් නොවෙයි. එසේනම්, මේ පිළිබඳව මධ්‍යස්ථව සිත මෙහෙය වුවහොත්, ‘බෝර්න් එගේන්ක්‍රිස්ටියන්’යනුවෙන් කියන ආකාරයටම, ‘බෝර්න් එගේන්බුඩිස්ට්’යනුවෙන්ද වැහැරිය හැකි බව පෙනී යනු ඇත.

යේසුස් වහන්සේ වෙතට එක් රාත්‍රියක රහසිගතව පැමිණි නිකොදේමුස් ඉශ්‍රායෙල්හි කීර්තිමත් ගුරුවරයෙකි. යේසුස්වහන්සේ ඔහුට පැවසූ අලුතෙන් ඉපැදීම (‘බෝර්න් එගේන්’) ගැන වටහා ගැනුමට අපොහොසත්වූ ඔහු, ප්‍රශ්න කෙළේ, “නැවත උපදින්නට, මහලු මා, යළිත් මව්කුසට ඇතුළු වන්නේ කෙලෙසකද?”යනුවෙනි. නිකොදේමුස්එහි සත්‍යාර්ථය වටහා ගත්තේ පසුවය.

ශුද්‍ධ බයිබලය දක්වන පරිදි, වෛද්‍යවරුන් හා ඖෂධ දෙවියන් වහන්සේගේ නිර්මාණයක් වුව ද, තවමත් අවශ්‍ය ඖෂධ පිළිබඳව අනාවරණය නොකර ගත් රෝග ගණනාවක් තිබෙයි; එවැනි රෝග, දෙවියන් වහන්සේ සුව කරන බව, ගෞරවනීය දේවගැති තියඩෝර් එච්. පෙරේරා පවසා තිබෙයි. ශ්‍රී ලංකාවේ සුව කිරීමේ කිතුනු නිවාසයන්හි ආරම්භකයා වූ මෙතුමා, එක්දහස් නමසිය හතළිස් ගණන් වල අගභාගයේ, ඌරුබොක්ක ග්‍රාමීය රෝහල භාරව සිටි, කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් සමත්වූ ඇපොතිකරි වෛද්‍යවරයා විය. රෝහලට ගෙන ආ, අධික ලෙස රුධිරය වහනය ඇති කාන්තාවකට, කොතෙක් ප්‍රතිකාර කළද, ඒ නොනැවතී ඇය මියැදෙමින් සිටින බව මොහුට පසක්වූයෙන්, දෙන්නට වෙනත් බෙහෙතක් නැති තැන, ඔහු ලෙඩ ඇඳ ළඟ දණින් වැටී, ඇයට සුවය ඉල්ලා යාච්ඤා කරන විට, ඒ රෝගී කාන්තාව සුවපත් වූවාය. මේ අත්දැකීම ඔහුගේ චිත්තාභ්‍යන්තරය සසල කෙළෙන්, තම ඇපොතිකරි වෛද්‍ය ධුරයෙන් සමුගෙන, මෙතොදිස්ත සභාවේ දේවගැතිවරයකු බවට පත්ව, දිව්‍ය සුවය ලැබ ගැනුම පිළිබඳව කටයුතු ආරම්භ කෙළේය. එහිදී එතුමාණන්ගේ ආස්ථානය වූයේ, යට පැවසූ ඊනියා ‘බෝර්න් එගේන්’කල්ලිය, යේසුස් වහන්සේ හා සමඟ පෞද්ගලික සම්බන්ධතාවක් ඇතිකර ගැනීම අමතක කරවීම වෙනුවට, ශුද්‍ධ බයිබලය දක්වන අදහස හා සබැඳි, යේසුස් වහන්සේ සොයමින් ඔවුන් වහන්සේ හා සමඟ පෞද්ගලික සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම මත දිව්‍ය සුවය අත්විඳිය හැකි බව ය. ඇතැම්‘බොර්න් එගේන්’කල්ලි, තමන්ගේ යාච්ඤා පම්පෝරි අන්තර්ජාලයේ මුදා හරිත්දී, එතුමාණන් මොරටුවේ, ගල්පිටහබඩ ඇරැඹි දෙව්සුව සේවාව නම්වූ, කිතුනු සභාවක් නොවන සුවකිරීමේ නිවාසය, වසර පනසක් තුළ, නිහඬවම තම මෙහෙවරේ යෙදෙයි.

ඖෂධයෙන් සුවනොවූ තැන, තැනැ තැනැ යමින්, කොහෙන් හෝ සුවය ලැබ ගැනුමේ බර ඇත්තේ, රෝගයෙන් පෙළෙන්නාටය. අත ඇති දේ වියදම් කර හමාර වුවද, ණයට ගෙන හෝ එක් එක් අය කියන කියන තැනට යන්නේ, අන්තිමේදී දියේ ගිලෙන්නට යන්නේ, තමා බැවින්, පිදුරු ගසේ එල්ලී හෝ තම ජීවිතය බේරා ගැනුම ඔහුගේ හෝ ඇයගේ එකම අභිප්‍රාය කරගෙනය.

සුව කළ නොහැකි රෝගයකට තමන් ගොදුරු වුවහොත්, අන්‍යයන් විසින් තමා ගැන නිර්දය අන්දමට මුද්‍රිත මාධ්‍යයන්හිත්, අන්තර්ජාල අඩවිවලත් සටහන් තබමින්, තමා අධෛර්‍ය්‍යයට පත්කරනු ලැබුවහොත් කුමක් කරන්නේද?

(මෙම ලේඛකයා ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාවේ ගිහි දේශක හා සන්නිවේදන සම්බන්ධීකාරකයකු වශයෙන් ද, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ, ජාතික රූපවාහිනීයේ සහ ස්වාධීන රූපවාහිනීයේ කිතුනු උපදේශක මණ්ඩල

සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කළේය)

Comments