සිනමා කැම­රාව පවා ආද­රය කළ සුපිරි නළුවා විජය | Page 2 | සිළුමිණ

සිනමා කැම­රාව පවා ආද­රය කළ සුපිරි නළුවා විජය

විජය කුමාරතුංග යනු සිංහල සිනමාවේ දිදුලන තරුවකි. ඔහු අද ජීවතුන් අතර නැත. විජය කුමාරතුංගයන් අද ජීවතුන් අරත සිටියා නම් ලබන පෙබරවාරි 09 වැනි අඟහරුවාදාට වසර 76 කි. ශ්‍රී ලංකාවේ ප්‍රථම සුපිරි නළුවා වූ ගාමිණී ෆොන්සේකාගෙන් පසු ජනප්‍රිය සම්මාන උරුමක්කාරයා වූයේ විජය යි. 1967 සිට 1981 තෙක් සරසවිය සම්මාන උලෙළවල ජනප්‍රිය නළුවා ලෙස අති විශාල පාඨක ඡන්ද මලු ගණනින් කූපන් ලැබූ නළුවා ලෙස මිය යනතෙක්ම ජනප්‍රිය කිරුළට හිමිකම් කීවේ විජය යි. තමා වෙනුවෙන් තමා විසින්ම ජනප්‍රිය නළුවා සඳහා කූපනයක්වත් නොයැවූ අය අතර මා දැන සිටියේ ගාමිණී හා විජය පමණී.

“මේ පාර දැනට ජනප්‍රිය කූපන් වැඩි එන්නේ විජයට. “වරක් 1982 වසරේ සරසවිය සම්මාන උලෙළට කිට්ටු දිනක මට හමු වූ ගාමිණී අයියාට මම කීවෙමි.

“මම පත්තරයෙන් දැක්කා. විජයට ජනප්‍රිය සම්මානය ලැබෙන්න තිබුණේ මීට ඉස්සෙල්ලා.“ ගාමිණී අයියා කීවේය.

1982 සිට 1987 දක්වා ජනප්‍රිය නළුවාට හිමි සරසවි සම්මාන දිනූ විජය එදා මෙදා තුර දේශීය සිනමාව බිහි කළ ජනප්‍රියතම සුපිරි තරුව (The Most Famous Srilankan Mega star) වූයේය.

“මම නළුවෙක් වූයේ ගාමිණී නිසා බව විජය කීවේ මේ ලියුම්කරු 1986 වසරේ ලියූ “ගාමිණී : හෙළ සිනමාවේ සක්විති“ කෘතිය සඳහා ඔහුගේ මතකය ගැන විමසූ විටය.

“සීදූවේ එක්තරා සංගීත සංදර්ශනයක ප්‍රධාන අමුත්තා ලෙස 1966 වසරේ ගාමිණී පැමිණි අවස්ථාව මම ඈත සිට බලා හිටියා. එදා ගාමිණී වේදිකාවට නැඟ එහි රැස්ව සිටි දහස් දෙනාට ආචාර කළාම නැඟුණු අත්පොළසන් හඬ තවමත් මගේ හිතේ රැව් දෙනවා. ඒ කාලයේ පොලීසියට බැඳීමට සිටි මට “අනේ මටත් ගාමිණී වගේ නළුවෙක් වෙන්න ඇත්නම්“ කියලා සිතුණා. ගාමිණී ආපසු තම රථය වෙත යනකොට සින්දු ඇහිල්ල පැත්තක තියල සෙනඟ ඔහු වට කරගෙන ගියා. දෛවය කියන්නේ මා සිනමා නළුවෙක් වී ගාමිණී සමඟ එකට රඟපෑවේ “හතර දෙනාම සූරයෝ“ චිත්‍රපටයේ.

 

විජය සිය බිරිය චන්ද්‍රිකා කුමාරතුංග, දුව යශෝධරා සහ පුතු විමුක්ති දරුවන් සමඟින් සිනමා සම්මාන උළෙලකට සහභාගිවීමට පැමිණෙමින්

 

විජය ගැන නොයෙක් දේ ඔබ අසා ඇති. විජේගේ ජීවිතයේ තොරතුරු මේ ලියුම්කරු “සරසවිය“ පත්‍රයට ලිපි සියයකට කිට්ටු විශේෂාංග ලියා ඇත. විජය මිය ගිය පසු වරෙක විජයගේ සොහොයුරියක් වූ රූපා කුමාරතුංග (හිටපු පළාත් සභා මන්ත්‍රීනි) අපට කී කතාවක් මේ මොහොතේ මතක් වෙයි.

“අපේ තාත්තා මිය යන විට මට අවුරුදු 07 යි. මට වැඩිමල් අක්කා විවියන්ට අවුරුදු 08 යි. විජයට අවුරුදු දෙකයි. පවුලේ වැඩිමලා වූ සිඩ්නි අයියට (ජනප්‍රිය සිනමා රංගන ශිල්පී ජීවන් කුමාරතුංග ගේ පියා) අවුරුදු 10ක් විතර ඇති. මට මේ වෙලාවේ එක්තරා මිහිරි නත්තලක් මතක් වෙනවා. සෑම අවුරුද්දකම දෙසැම්බර් 24 වෙනිදා ඉතාමත් සතුටු දවසක්. කොළඹ රැකියාව කළ සිඩ්නි අයියා එදාට එන්නේ අපිට සෙල්ලම් බඩු අරගෙන. එදා අයියා එන්න රෑ වුණා. අයියා එනකල් ඇඳට වෙලා විජය මල්ලිත්, මමත් නොනිදා හිටියා. ඔන්න අයියා එන අඩි ශබ්දය එනවා. අපි දෙන්නා ඇස් පියාගෙන නිදාගෙන නිදි වගෙ ඉන්නවා. අයියා අපි ගාවට එනවා.

“අනේ අපේ පුංචි කොල්ලයි, කෙල්ලයි හොඳටම නිදි. අපි මේ ගෙනාපු සෙල්ලම් බඩු දුප්පත් ළමයින්ට දෙමු.“ අයියා අපිට ඇහෙන්න තනිවම තොල් මතුරනවා.

අපි එක පාරටම ‘අපි නිදි නැතෝ‘ එකවර කෑගසාගෙන නැගිටිනවා. අයියා අපිව බදාගෙන තුරුළු කරගෙන, “ඔන්න අපේ පුංචි පැටියට ගෙනාව ලස්සන කාර් එකක්. ආ.... මෙන්න පුංචි නංගිට ගෙනාව ඉබ්බෙක්. ඔයා ඉබ්බි වගේ නේ.“ අපි රෑ දොළහට පල්ලියට ගියා. ගෙදර ඇවිත් තෑගි පාර්සල් කඩා බැලුවා. මට ලැබුණ ඉබ්බා වයින් කළාම ඌ ගේ පුරාම යනවා.

“මටත් ඕනෑ ඉබ්බෙක්. මට කාර් එක එපා.“ විජය ගෙදර වහලේ උළු ගැලවෙනකන් ඇඬුවා. “ඉන්න මම හෙට වැඩට ගිහින් එන කොට ඉබ්බෙක් ගෙනත් දෙන්නං“ අයියා විජයගෙ හිස අතගාලා කිව්වා. එදා විජය කුතුහලයෙන් බලන් හිටියේ අයියා එනකම්. කිව්වා වගේම අයියා ලස්සන ඉබ්බෙක් විජයට දුන්නා. හරි ආඩම්බරයෙන් එය තුරුලු කරගෙන කාමරයට ගියා. අපි දෙන්නාව කොළඹ එක්ක ගිය දවසක කොටුවේ ඔර්ලෝසු කණුව ළඟ තිබුණ සෙනෙවිරත්න සෙල්ලම් බඩු කඩෙන් මොනව හරි අරන් දීලා, මරදානේ බුහාරි හෝටලයට එක්ක ගිහිං බිරියානියි, වටලප්පනුයි කන්න දෙනවා.“

කෝවිලගේ විජය ඇන්තනී 1945 වසරේ පෙබරවාරි 09 වෙනිදා සීදුවේ උපත ලැබුවේය. ඔහුගේ පියා වූ බෙන්ජමින් කුමාරතුංග ගම් හතක් භාර ගම්මුලාදෑනියෙක් විය. මව වූයේ මිනුවන්ගොඩත්, දිවුලපිටියත් අතර පිහිටි මැඩේමුල්ලේ උපන් කාන්තාවකි. විජයට රඟපෑම පිහිටියේ තම පියාගෙන්ද? විනෝදයට රඟ පෑ මේ ගම්මුලාදෑනියා පල්ලියට ආධාර පිණිස ගමේ නාට්‍යවලත්, පසුව ටවර් හෝල් නාට්‍ය කීපයකත් රඟ පෑ ජනප්‍රිය නාට්‍යවල රඟ පෑ බවත්, ඔහු ප්‍රකට ටවර් නිළියක වූ පර්ල් වාසුදේවි සමඟ ගත් පින්තූරයක් තවම මහගෙදර එල්ලා ඇති බව රූපා අපට පැවසුවාය. ගමේ කඩවසම් තරුණයෙක් ලෙස විජය කැපී පෙනී සිටි බව කීම අරුමයක් ද? රූපා අක්කා අපට පැවසුවේ විජය වයස අවුරුදු 14 වන විට ගමේ රූබර යුවතියන්ගේ ආදරය දිනාගෙන සිටි බවය. ගමේ ලස්සන කෙල්ලක් විජයට අසීමිත ලෙස ප්‍රේම කිරීම ගෙදරට ද එක්තරා වධයක් විය.

“විජය එල්ලේ ක්‍රීඩාවට දක්ෂයි. සීදුවේ “සමරැස“ එල්ලේ ක්‍රීඩා සමාජයේ දක්ෂතම ක්‍රීඩකයා වූ විජය ගේ ක්‍රීඩා කෞෂල්‍යය දැක බලා ගැනීමට එක් අවසාන එල්ලේ තරගයක් බැලීමට ධනවත් පවුලක ගැහැනු ළමයෙක් පැමිණියා. ඇයගේ ප්‍රේමය වැඩි දුර නොගියේ විජය ඒ කාලෙම සිනමා රංගනයට පිවිසීම නිසා. විජය කුඩා කාලයේ සිටම මානව හිතවාදී, අනුන්ගේ දුකේදී පිහිට වූ මිතුරන්ට කල්‍යාණ මිතුරකු වූ, අයුක්ති, අසාධාරණයට එරෙහි වූ චරිතයක්. පුංචි කාලේ ඉඳලම විජයට වාමාංශික අදහස් තිබුණා. එයට හේතුව සිඩ්නි අයියා තද සමසමාජ පක්ෂිකයකු වීමයි. මගේ මාමා කාලෝ ෆොන්සේකා (අම්මගේ සහෝදරයෙක්) ගෙදරට ගෙනෙන “සමසමාජය“ කියන පුවත්පත් පාර්සලය ගමේ බෙදා දෙන්නේ විජය. සිඩ්නි අයියා උපතින් පෝලියෝ රෝගියෙක් වූ නිසා බයිසිකලයක නැඟී පත්තර බෙදා දුන්නේ විජය, සීදුව, කටාන, මීගමුව, දිවුලපිටිය දක්වා පත්තර බෙදා හැරලා ගෙදර එන්නේ ඇඳිරි වැටුණට පස්සේ. ඒ කාලේ මීගමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු සමඟ කාලෝ මාමා ගෙදර ඇවිත් සිඩ්නි අයියා එක්ක දේශපාලනය ගැන කතා කරනවා පාසල් යන විජය අහගෙන හිටියා. ඇන්. ඇම්, කොල්වින් කතා කරන රැස්වීම් බලලා විජය ගෙදර ඇවිත් ගස් කොළං වලට ඒ වගෙ කතා කරනවා. විජය එතකොට කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට යන්නේ. එක දවසක් රන් පදක්කමක් අරන් විජය ඇවිත් ප්‍රීතියෙන් සිඩ්නි අයියට පෙන්නුවා.

‘නැක්සලයිට්’ කුමන්ත්‍රණ චෝදනාවක් මත ආණ්ඩුව විසින් 1982 නොවැම්බර් 19 අත්අඩංගුවට ගත් විජය මැගසින් බන්ධනාගාර රෝහලේ සිටියදී බිරිය චන්ද්‍රිකා සුවදුක් විමසන අයුරු. දෙමසකට පසු විජය මුදා හරින ලදි.

 

“අයියේ මම අද ඉස්කෝලේ කථික තරගයෙන් පළමුවැනියා වුණා. මේ මට ලැබුණු රන් පදක්කම.“

අයියා, විජයගෙ ඔළුව අත ගාලා “මල්ලි ඕක විවියන් අක්කට දෙන්න. එයා පරෙස්සම් කරයි.“ කිව්වා.

“මල්ලි ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. පොත් දෙක තුනක් වුණත් ලියන්න කරුණු තියෙනවා.“ රූපා කීවාය.

විජය ගායකයෙක් හැටියට හැකියාව පෙන්වා ඇත්තේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය පාසල් වේදිකාවෙනි. සී. ටී. ප්‍රනාන්දුගේ ගීත ගයා පාසලේ දක්ෂතම ගායකයා වූයේ විජය බව ඔහුගේ පන්ති සගයකු වූ ප්‍රකට කණ්ඩායම් ගායකයකු වූ මිල්රෝයි ධර්මරත්න අපට කීවේය.

දිනක් ගුරුවරයකුගෙන් ප්‍රමාද වී පාසලට පැමිණීම නිසා බැණුම් ඇසීමෙන් පසු පාසල් වේදිකාවේ විජය දුක්බර විලසින් ගායනා කළේ මිල්ටන් පෙරේරා එකල ගැයූ ජනප්‍රිය ගීතයක්.

“වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ

මොකටද මා දුප්පත් වී ඉපදුණේ“

මේ ගීතය විජය ඉතා දුක්බර ස්වරයකින් ගැයුවාද යත් පාසල් සිසුන්ගේ පමණක් නොව අර බැණ වැදුණු ගුරුවරයාගේ ද සිත් සසල වුණා. කෙසේ වෙතත් අනාගතයේ නළුවකු වන බවට ඉඟි පළ කරමින් විදුහලේ රඟපෑවේ එකම එක නාට්‍යයක පමණයි. “පණ්ඩුකාභය“ නම් වූ මේ නාට්‍යයේ කුමාරයකු ලෙස අගේට ඔහු රඟපෑවා.“

විජයගේ සමකාලීන මෙන්ම පන්ති සඟයන් වූ රොබින් ප්‍රනාන්දු, රවීන්ද්‍ර රන්දෙනිය, සුදේශ් ගුණරත්න ආදීන් ගැන තොරතුරු මීට පෙර සිළුමිණේ මේ ලිපි පෙළෙන් සඳහන් කර තිබුණි.

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන්, කඳානේ ඩී මැසනඩ් විද්‍යාලයේ ඉගෙනීමට ගිය විජය ගැන එහි ගුරුවරයකුව සිටි ලෙස්ලි බොතේජු (චිත්‍රපට විචාරක) වරක් අපට කියා තිබුණි. විජය සිටි පන්තියට ඉගැන්වූ මේ ගුරුවරයාට දඟකාර සිසුන්ගේ උසුළු විසුළු, කොළ කෑලි ගුලි කොට ගැසීම්, කඩදාසි කුරුල්ලන් යැවීම් නිසා ඉගැන්වීමට එපා විය. මේ ශිෂ්‍යයන් අතර කැපී පෙනුණෙ විජයයි. ගුරුවරයා විජය ගුරු මණ්ඩලයේ විවේකාගාරයට කැඳවීය.

“ඔයා පාසල් එන්නේ ඇයි?“

“ඉගෙන ගන්න“

“කාගෙන්ද ඉගෙන ගන්නේ“

“ගුරුවරුන්ගෙන්“

“එහෙනම් අද හවස පන්තියට එන කොට ඔය දැඟලිල්ල නවත්වල එන්න.“

“සර් එන්න. අපි දඟලන්නෙ නෑ.“

ඉන්පසු වූ වෙනස ලෙස්ලි බොතේජු මෙසේ විස්තර කළේය.

“මා එදා පන්තියට ඇතුළු වූයේ වේවැල අත ඇතිවයි. පන්තියේ කිසි හැල හොල්මනක් නැත. මීයට පිම්බා වගේ නිශ්ශබ්ද ය. පොත් දිග හැරගෙන ළමයි හිටියෙ. ටික වේලාවක් ඒ අයට අවවාද දෙන්න සිදු වුණා. එතැන සිට මට කිසිම අවහිරයක් වුණේ නෑ. මම මේ උදාහරණය ගෙන හැර පෑවේ විජය තුළ එදා ද නායකත්වය සඳහා නිසඟ චරිතයක් වූ බව කියන්නට ය.“

විජය සුපිරි තරුවක් වූ කාලයේ මම මද්දහනේ ගුවන් විදුලි කාර්යාලය දෙසට ගමන් කරමින් සිටියා. මා පසුකර මෝටර් බයිසිකලයක් නතර වුණා. එහි දෙදෙනෙක් සිටියා. එක් අයෙක් විජයයි.

“කොහෙද සර් මේ අව්වේ“

මම කාරණය කීවා.

“මණික්, උඹ ටිකකට බැහැපන්. මම සර්ව ඇරලවල එන්නම්.“

ඒ විජය ය. එසේ බිමට බැස්ස වූයේ චිත්‍රපට අධ්‍යක්ෂ මණික් සන්ද්‍රසාගරය. මා ගුවන් විදුලියට ඇරවලා ඔහු ගියා. විජය කොතරම් නිහතමානී උදාර පුද්ගලයෙක් ද?“ ලෙස්ලි අපට කීවේය.

විජය “හන්තානේ කතාවෙන්“ තම සිනමා රඟපෑම ඇරඹූ අතර ඒ චිත්‍රපටය තිරගත වීමට පෙර ඔහුට චිත්‍රපට 11ක රඟපෑමේ වරම් ලැබුණේය.

ජනප්‍රිය ධාරාවේ “හතර දෙනාම සූරයෝ“, තුෂාරා, සුසී, සංගීතා, නොම්මර 17, මමයි රජා, රජ වැඩකාරයෝ, ඔබටයි ප්‍රියේ ආදරේ, උන්නත් දහයි මළත් දාහයි, නැවත හමුවෙමු චිත්‍රපටවල මෙන්ම අහස් ගව්ව, දියමන්ති, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, මරුවා සමඟ වාසේ, පොඩි මල්ලී, කරුමක්කාරයෝ, පාර දිගේ, කැඩපතක ඡායා, මධුසමය වැනි චිත්‍රපටවලින් විජය තම රංගන ප්‍රතිභාව විදාරණය කළේය. විජය චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස පාර දිගේ, ගඟ අද්දර, ඉන්දුට මල් මිටක්, ආරාධනා, හිමකතර, හිත හොඳ චණ්ඩියා, කවුළුව, අහිංසා, නොම්මර 17, රන්දෙණියේ සිංහයා, දොළොස් මහේ පහන, වරදට දඬුවම, සමාව, සහරාවේ සිහිනය චිත්‍රපට ගී ගැයූ අතර ‘සහරාවේ සිහිනය‘ චිත්‍රපටයේ ‘වළාකුලක් ගෙන‘ ගීතය සඳහා 1991 හොඳම ගායකයා ලෙස ද ‘දොළොස් මහේ පහන‘ චිත්‍රපටයේ ‘පෙමක සුවඳ දැනිලා‘ ගීතය සඳහා 1992 දී ද සරසවිය සම්මාන හිමි විය. ‘කැඩපතක ඡායා‘ චිත්‍රපටයේ නිර්මාණ රංගනය වෙනුවෙන් OCIC සම්මානය ද 1990 වසරේ හොඳම නළුවා ලෙස ස්වර්ණ සංඛ සම්මාන දිනා ගත්තේය. ඒ විජයගේ කලා ජීවිතේ තවත් පැත්තක් ය.

විජයගේ විවාහය ගැන අසා රූපා අක්කා විමතියට පත් වූවාය. ඇය ඒ වන විට සිටියේ විදේශගතවය. 1977 මහා මැතිවරණයේදී ඒ වන විට කටාන ආසනයට ශ්‍රී.ල.නි. පක්ෂයෙන් තරග කොට එ.ජා. පක්ෂයේ විජයපාල මැන්දිස්ට පරාජය වී සිටියේය. විජයගේ අම්මා රූපා අක්කාට මෙසේ ලියා යැව්වාය.

“විජය මල්ලී බණ්ඩාරනායක පවුලේ චන්ද්‍රිකාව කසාද බඳින්න යනවා.“

“අම්මා අපිට ඒ වගේ පවුලකට සම්බන්ධ වෙන්න පුළුවන්ද?“ රූපා අම්මාට ලියා යැව්වාය.

“පුතාගේ කැමැත්තක්. එයා කැමති ඕන දේකට මම කැමතියි.“

විවාහය සිදුවිය. ඒ 1978 වසරේ පෙබරවාරි 20 වෙනිදාය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා හෙක්ටර් කොබ්බෑකඩුව මහතා සාක්ෂියට අත්සන් තැබුවේය.

විජය නැක්සලියිට් චෝදනාව මත සිරගත වූ කාලය ඔහුගේ අභාග්‍ය සම්පන්නම කාලය විය. විජය අත්අඩංගුවට ගත් බව ගාමිණී ෆොන්සේකාට දැන ගන්න ලැබුණේ ටෝනි රණසිංහගෙනි. ටෝනි ගාමිණීට කීවේ විජය වකුගඩු අසනීපයෙන් පෙළෙන නිසා ඔහුගේ තත්ත්වය අසාධ්‍ය විය හැකි බව ය. ගාමිණී එවකට සිටි රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කළ අතර චන්ද්‍රිකා මහත්මිය ජනාධිපති ජයවර්ධන මහතා හමුවීමට කටයුතු කළේය. දින දෙක තුනකින් ජනාධිපතිතුමා චන්ද්‍රිකා මහත්මිය කැඳවා කරුණු විමසා තේ පැන් සංග්‍රහයක් කර විජය වහාම යුද හමුදා රෝහලට පිටත් කළ බව ගාමිණී අපට කියා ඇත. සිර අඩස්සියේ දුක්ඛිත ජීවිතයක් ගත කළ විජය එයින් එළියට ආවේ මිනිස්කමින් වඩාත් පොහොසත් මිනිසකු ලෙස බව ගාමිණී එදා කීවේය.

විජය තමාට මුල්වරට හමුවීම ගැන චන්ද්‍රිකා මහත්මිය යළි ආවර්ජනය කළේ 2008 වසරේ යෙදී තිබුණ ඔහුගේ 20 වැනි ගුණානුස්මරණ උලෙළ දා තිරගත වන වාර්තා චිත්‍රපටයට අවශ්‍ය පිටපත සකස් කිරීමට හා ඒ සඳහා චිත්‍රපට පින්තූර ලබා ගැනීමට මට කළ ඉල්ලීමට ඇය හමු වූ අවස්ථාවේදීය. එදා චන්ද්‍රිකා මහත්මිය සමඟ කළ පිළිසඳරේ දී මා ඇසූ ප්‍රශ්නයකදී ඇය තම ආදර අන්දරය ගැන මතක් කළාය. මේ කතාව 2008 වසරේ විජේගේ ගුණානුස්මරණය වෙනුවේ මා එකල ජාතික පුවත්පතකට ලිපියක් ලීවෙමි.

“1977 වන විට මම විජය රඟපෑ චිත්‍රපට දෙක තුනකට වඩා දැක තිබුණේ නෑ. මගේ නැන්දණියක් වන සීවලී රත්වත්ත මැතිනිය නිෂ්පාදනය කළ ‘පෙම්බර මධූ‘ මම නැරඹූ විජයගේ මුල්ම චිත්‍රපටය. විජය මා ජීවමානව දැක ගත්තේ 1977 ජූලි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවට පස්සේ. මේ මැතිවරණයට නාම යෝජනා ලැබූ සංවිධායකයන් අම්මා අතින්ම පත්වීම් ලියුම් බාර දීමේ උත්සවයක් ශ්‍රී.ල.නි.ප. යෙන් පැවැත්තුවා. කටාන ආසනයට ශ්‍රී.ල.නි.පයෙන් තරග කරන විජය මා දුටුවේ නෑ. අපි දවල් කෑමට මගේ බත් පාර්සලය ගන්න ශාලාවට ගිය වෙලාවේ මම දැක්කා අනුර එක්ක විජය කතා කරමින් සිටිනවා. අනුර මට කතා කළා.

“චන්ද්‍රිකා මෙහෙ එන්න. ඔයා විජය හම්බවෙලා නැහැ නේද?“ කියලා හඳුන්වල දුන්නා.

එදා හවස තිබුණ රැස්වීමේදි විජය මා දෙස උනන්දුවෙන් බලා සිටියා. ඊට පස්සේ බොරු හේතු හදාගෙන මාව හොයා ගෙන අත්තනගල්ලට ආවා. මම රැස්වීම්වල කතා කරලා ගෙදර එන්නෙ රෑ වෙලා. විජය කිහිපවතාවක්ම මාව හමුවෙන්න ඇවිත් රස්තියාදු වෙලා මහ රෑ ගිය බව ආරංචි වුණා. එක දවසක් මම එනකොට විජය, සුනේත්‍රා අක්කා එක්ක කතා කර කර හිටියා.

“මෙයා ඔයාව කටානේ රැස්වීම්වලට ගෙනියන්න බලන් ඉන්නේ.“ අක්කා කිව්වා.

විජයගේ ආරාධනයෙන් මම කටානේ රැස්වීම් කිහිපයක කතා කළා. විජය මාව බලන්න අත්තනගල්ලට ආව බව මට වැටහුණා. අපි දෙන්නා අතර ආදර සම්බන්ධයක් ඇතිවුණේ ඔය ආකාරයට.“

විජය අද අප අතර නැත. කලාකරුවන්ගේ හිතවතකු වූ, මගේ මාධ්‍ය ජීවිතයේ දිගු කාලයක මාධ්‍ය මිතුරකු වූ සිරි කහවල සෑම කලාකරුවකුගේම උපන් දින දැන සිටියේය. ඔහු ඒ හැම කලාකරුවකුටම හිමිදිරි පාන්දර දුරකථනයෙන් සුබ පතයි. විජය ගේ සමීපතම මිතුරා, සහෝදර හිතවතා, දේශපාලන සගයන් අතර ළඟම සිටියේ සිරි ය. විජයගේ උපන්දිනය යෙදී ඇති පෙබරවාරි 09 දින උපන් සිරි කිසිදා එය සැමරුවේ නැත. තම හද බැඳි මිතුරා වෙනුවෙන් එදිනට සිරි සොවින් අතීත සැමරුම් අතර සිටීමට හිත හදාගෙන ඇත.

සුපිරි තරුවක් වන්නේ කෙසේ ද? සුප්‍රකට ඇමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ හොවාඩ් හෝකස් මෙසේ කියා ඇත.

“කැමරාව සමහර විට පුද්ගලයන්ට කැමැත්ත දක්වයි. කැමරාව එසේ කැමැත්ත දක්වන පුද්ගලයන්ට වැරදි ද කළ නොහැකිය. කැමරාව ප්‍රිය මනාප රූප සතු පුද්ගලයන් සිය ග්‍රහණයට ගනී.“

විජයට ඒ වාසනාව තිබූ බවත්, කැමරා කෝණය කොතනක පිහිටනු ලැබූවත්, විජය ප්‍රියමනාප පුද්ගලයකු බවට පත් කරන බව විජයගේ පාසල් ගුරුවරයකු වූ චිත්‍රපට විචාරක ලෙස්ලි බොතේජු කියා තිබුණි.

Comments