‘ක්ෂීර සාග­රය කැල­ඹිණ’ සින­මා­වට නැඟෙයි | සිළුමිණ

‘ක්ෂීර සාග­රය කැල­ඹිණ’ සින­මා­වට නැඟෙයි

සයිමන් නවගත්තේගම ගේ 'ක්ෂීර සාගරය කැලඹිණ' නවකතාව සිනමාවට නැඟීමට සැලසුම් වී ඇත. නිර්මාණය සමාරම්භය සනිටුහන් කරන මුහුරත් උලෙළ පසුගිය දා පැවැත්විණි. එම අභියෝගාත්මක නිර්මාණ කර්තව්‍යයට එළැඹෙන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. එතුමෝ එම නිර්මාණය අධ්‍යක්ෂණයකර සහාය නිෂ්පාදනයට එක්වෙති. මේ ඔහුගේ සිනමා දිවි සැරියේ විසිපස්වන සිනමා පටයය. කෘතිය නිශ්පාදනය කරන්නේ එච්. ඩී. ප්‍රේමසිරිය.

 

මුහුරත් උලෙළේදී උත්සව සභාව ඇමතූ සම්මානිත මහාචාර්ය ආරියරත්නයන් කියා සිටියේ මෙම කෘතිය ආනන්ද අබේනායකයන් සිනමාවට නැඟීමේ අරමුණැතිව සයිමන් නවගත්තේගමයන් ජීවමාන සමයේදීම අවසර ගෙන තිබුණ ද කිසියම් හේතුවක් නිසා මෙය ඔහු අතින් සිනමාවට නොනැඟුණු බවයි. සයිමන් නවගත්තේගමයන්ට දක්වන උපහාරයක් ලෙස මෙම කෘතිය සිනමාවට නඟන බව හෙතෙම කියා සිටියි.

උත්සව සභාව ඇමතූ ප්‍රවීණ සිනමා නළු ජැක්සන් ඇන්තනී කීවේ මින් පෙර මෙම කෘතිය සිනමාවට නැඟීමේදී ආනන්ද අබේනායකයන් මෙහි අධිරාජ්‍යයා ලෙස අග්‍රගණ්‍ය සිනමා නළු ගමිණි ෆොන්සේකාවත්, කැරලි නායකයා ලෙස තමාවත් තෝරාගෙන සිටි බවය. ඒ අවධියේම තමන් නවගත්තේගමයන් හමුවී මේ චරිතය සම්බන්ධව කතා කළ බව ඔහු කීවේය. තන්ත්‍රයානය මහායානය ථේරවාදය ආදී වූ ගැඹුරු දහම් කාරණා ඔස්සේ සයිමන් නවගත්තේගම නමැති දාර්ශනිකයා කියවා ගෙන ඒ අනුව යමින් මෙහි තිරකතාව හා සංවාද රචනා කළ අයුරු හෙතෙම පැහැදිලි කළේය.

මෙහි දී ඒ. ඩී. රංජිත් කුමාර සයිමන් නවගත්තේගම පිළිබඳ මතකාවර්ජනයක් කළේය.

සිනමා කෘතියේ කැමරා අධ්‍යක්ෂණය ප්‍රවීණ කැමරා ශිලීපී චන්න දේශප්‍රියගෙනි. රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන්ද නන්දා මාලනිය ගායනයෙන් ද එක් වේ.

වස්ත්‍රාභරණ නිර්මාණය වෙනුක වික්‍රමආරච්චි, කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්ත සංස්කරණය රජත් රාමනායක, ශබ්ද සැලසුම්කරණය රසික රුවන් මාරසිංහ, අංග රචනය ප්‍රියන්ත දිසානායක, තිර රචනය සහ සංවාද රචනය ජැක්සන් ඇන්තනී, සටන් අධ්‍යක්ෂණය ඔසඳ සමන් බණ්ඩාර, නර්තන අධ්‍යක්ෂණය කපිල පලිහවඩන සහාය අධ්‍යක්ෂණය විමල්දේශප්‍රිය නිෂ්පාදන කළමනාකරණය, නිමල් විජේසිරි සේනාධීර, නිෂ්පාදන අධීක්ෂණය ඒ ඩී රංජිත් කුමාර විසින් සිදු කරයි.

‘ක්ෂීර සාගරය කැලඹිණි‘ සිනමා සිත්තමේ අධිරාජ්‍යයා ලෙස ජැක්සන් ඇන්තනීත්, කැරලි නායකයා ලෙස හේමාල් රණසිංහත්, පුරම්භිකාව ලෙස උදාරි වර්ණකුලසූරියත්, හිරිමලා ලෙස රවීන් කනිෂ්කත් ප්‍රධාන චරිත නිරූපනය කරන අතර, ලූෂන් බුලත්සිංහල, සරත් කොතලාවල, ගිහාන් ප්‍රනාන්දු, කළණ ගුණසේකර, ප්‍රියංකා සමරවීර, හරිනි කාව්‍යංජනී, රුවන් පෙරේරා ආදී නළුනිළියෝ සෙසු චරිත රූපණය කරති. මෙමවසර ඇතුළත මෙහි සියලු රූගතකිරීම් හමාර කිරීමට නිෂ්පාදන කණ්ඩාය අපේක්ෂා කරයි.

 

 

 

 

 

 

Comments