දේශීය කිසිදු දෙයක් විදේ­ශ­යන්ට ලබා දෙන්න අපි සූදා­නම් නෑ | Page 4 | සිළුමිණ

දේශීය කිසිදු දෙයක් විදේ­ශ­යන්ට ලබා දෙන්න අපි සූදා­නම් නෑ

 මේ වනවිට රට අස්ථාවර භාවයට පත්ව ඇති බව විපක්ෂය චෝදනා කරනවා?

ජනතාව පැහැදිලිව දන්නවා මේ රට අස්ථාවර කළේ කවුද කියන එක. මේ රට අස්ථාවර කරපු මේ රට විනාශ කරපු අය අද අපෙන් අහනවා මේ රට අස්ථාවර කරනවාද කියලා. ඇත්තටම සිංහල කියමනක් තිබෙනවා. හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියලා. මේකත් අන්න ඒ වගේ. විපක්ෂය අපිට කරන්න චෝදනා නැති නිසා තමයි මෙවැනි චෝදනා එල්ල කරන්නේ.

යහපාලන රජය තුළින් මේ රට විනාශ කළා. රටේ සම්පත් විකුණමින් ජනතාවට නොයෙක් හිරිහැර කරමින් රටේ ආරක්ෂාව නැති කරමින් මේ රට විනාශ කරලා අස්ථාවර කළේ අද විපක්ෂයේ ඉන්න පුද්ගලයන් විසින්.

රුපියල් බිලියන ගණන් මුදල් සොරකම් කරමින් බැඳුම්කර මංකොල්ලය වැනි දූෂිතම දූෂිත ක්‍රියා සිදු කරමින් මේ රට තුළ කිසිම සංවර්ධන ක්‍රියාවලියක් සිදු නොකර හමුදා බුද්ධි අංශ සිරගෙවල්වල සිර කරමින් අපගේ හඬ සිරගත කරමින් බොරු චෝදනා එල්ල කරමින් එවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගනිමින් සහරාන් වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් ජීවිත සිය ගණනක් බිලි ගන්නකම් රටේ ජනතාවගේ ආරක්ෂාවත් ලබා දෙන්නට හැකියාවක් නොතිබූ පිරිසක් අපිට කියනවා අපි රට අස්ථාවර කරනවා කියලා. මේ ගැන ජනතාව හොඳ හැටි තේරුම් අරගෙන සිටින බව අප පැහැදිලිව දන්නවා.

මේ වනවිට මුළුමහත් ලෝකයම වෙළා ගෙන සිටින කොරෝනා වසංගතයට අප මුහුණ දෙමින් රටේ ආර්ථිකය වැටෙන්නට ඉඩ නොතබමින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන දැවැන්ත ‍සෞඛ්‍ය මෙහෙයුමක් සිදු කරමින් රජයක් හැටියට ජනතාවට මේ අවස්ථාවේ ලබා දෙන්න පුළුවන් උපරිම සහන ලබා දෙමින් මේ රට නැවත ගොඩගන්නා ක්‍රියාවලිය අප සිදු කරමින් සිටිනවා. ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය අප එලෙසම රැකගනිමින් ඔවුන්ට සේවය කරනවා.

කොරෝනා උවදුර රජය නිසි අයුරින් කළමනාකරණය නොකළ බවට චෝදනා එල්ල වෙනවා?

අපිට එක එක චෝදනා එල්ල කරන්න කලින් ඔවුන් ක්‍රියාකර ඇති ආකාරය සිතා බලන්න කියන කාරණය මම මතක් කර දෙන්නට කැමැතියි. සහරාන්ලාගේ ප්‍රහාරය එල්ල වුණු විදිය ජනතාවට මතකයි. ඒ වගේ අපි එදා කොටි ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් අපගේ රණවිරුවන් මේ මාතෘ භූමිය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න අවස්ථාවේ ජාතික වශයෙන් අප සියලු දෙනා සතුටු වෙන්න ඕන අවස්ථාවක ඒ ගැන විවේචන එල්ල කළ පිරිස් අද විපක්ෂයේ සිටිනවා. නමුත් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් අප ත්‍රස්තවාදය පරාජය කළා. එහි ප්‍රතිඵල අද මේ රටේ සියලුම ජන කොට්ඨාස විසින් විඳිනවා. බෝම්බ බියක් නොමැතිව ත්‍රස්තවාදීන්ට බියක් නොමැතිව ජීවත් වුණු සියලු පුද්ගලයන්ට යළි ජීවත්වන පරිසරයක් නිර්මාණය කළේ යහපාලන රජයයි කියන එක ඉකුත් මහ මැතිවරණයේදී මෙන් ම ජනාධිපතිවරණයේදී පැහැදිලිව ජනතාව පෙන්වලා දුන්නා.

කොරෝනා වසංගතයට අපි සාර්ථකව මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යනවා. යහපාලන රජය තිබුණා නම් අද මේ රටේ ජනතා‍වට ජීවත්වීම ගැටලුවක් වන්න තිබුණා. ලෝකයේ ප්‍රබල යැයි කියා ගන්නා රටවල් එක එක කඩා වැටෙද්දී රටක් හැටියට අප ඉතා හොඳ මට්ටමක සිටිනවා. කොරෝනා උවදුර දුරු කරන ගමන්ම අපි මේ රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවමින් ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කරමින් සිටිනවා.

කොරෝනා වෛරසය සමාජගත වෙලා කියන කාරණය සමාජය තුළ නිතර ඇසෙන කාරණයක්. එහෙත් රජය කියන්නේ කොරෝනා වෛරසය තවමත් සමාජගත වෙලා නැති බවයි. ඇත්තටම මොකක්ද හරි?

ඇත්තටම අද කොරෝනා මේ තරම් උස්සලා තියෙන්නේ ජනමාධ්‍ය. ජනමාධ්‍ය මේකට අවශ්‍ය නොවන පරිදි ප්‍රචාරණයක් ලබා දෙනවා. මේ වනවිට ඩෙංගු රෝගීන් කී දෙනෙක් ඉන්නවාද? කී දෙනෙක් මිය යනවාද කියන කාරණය පිළිබඳවත් ජනතාව දැනුම්වත් කරන්න කියලා අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.

අනික සමාජගත වෙලා තියනවද නැද්ද කියන ප්‍රකාශ අපිට දෙන්න බැහැ. ඒක කරන්න ඕන වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන්. එක එක අයට ඕන විදියට ප්‍රකාශ නිකුත් කළාට වැඩක් නැහැ. අනික් කාරණය තමයි රට වහලා බැහැ. රට වහන්න කියලා අද සමහර අවස්ථාවාදී දේශපාලනඥයන් කියනවා. රට වහලා කොහොමද මේ රට ගොඩ නඟන්නේ. ආර්ථිකය සංවර්ධනය කරන්නේ. රට වහගෙන හිටියොත් අපි තවත් පස්සට යනවා. ඒ නිසා නොයෙක් ක්‍රම උපයෝගි කරගනිමින් අප මේ සඳහා මුහුණ දිය යුතුයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදෙන්න යනවා කියන චෝදනාව රජයට එල්ල වෙලා තිබෙනවා. ඇත්තටම ජැටිය ඉන්දියාවට ලබාදී තිබෙනවාද?

රජයේ ඇමැතිවරයෙක් මෙන් ම නියෝජිතයකු ලෙස මා පැහැදිලිව කියන්න කැමැතියි. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්නෙත් නැහැ. අලෙවි කරන්නෙත් නැහැ. මේ සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සහ අගමැති මහින්ද රාජපක්ෂයන් වරායේ සේවකයන්ට ප්‍රකාශ කර තිබෙනවා. අනෙක් කාරණය තමයි අපි එක එක රටවල්වලට පුද්ගලයන්ට ඕන විදියට නෙවෙයි කටයුතු කරන්නේ අපි රජයක් හැටියට තමයි තීන්දු තීරණ ගන්නේ. යහපාලන රජය සිදු කළා වගේ මේ රටේ සම්පත් කුණු කොල්ලයට අලෙවි කරන්න දේශීය කිසිදු දෙයක් විදේශයන්ට ලබා දෙන්න සූදානම් නැති බව මේ රටේ ජනතාවට පැහැදිලිවම ප්‍රකාශ කරනවා.

හම්බන්තොට වරාය ඇතුළු රටේ ආර්ථික මධ්‍යස්ථාන යහපාලන රජය විසින් විදේශිකයන්ට අලෙවි කරන අවස්ථාවේ අද අපිට බොරු චෝදනා එල්ල කරන වෘත්තීය සමිති කොහේද හිටියේ කියන කාරණය අපි දැනගන්න ආසයි.

ඔබ නියෝජනය කරන රජය මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳව ඔබ මොකද හිතන්නේ?

ඇත්තටම මේ වසංගතයක් පිළිබඳව අපගේ සිත්වල තිබුණේ නැහැ. රජයක් හැටියට අපි දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් සමඟින් තමයි ජනතාව ගෙන් බලය ඉල්ලලා ජයග්‍රහණය කරන්නේ. නීතියක් නැති රටක් අපි භාර ගත්තේ. හිතුණු හිතුණු වේලාවට පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා තැන තැන වෙඩි තබා ගන්නා පාතාල සාමාජිකයන් සිටින අන්තවාදී ත්‍රස්තවාදී ඒ ජනතාවට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරලා රටේ ආරක්ෂාව බින්දුවට තිබුණු කඩා වැටී ගිය ආර්ථිකයක් තිබුණු දේශපාලනික වශයෙන් පිරිහුණු සංස්කෘතික දේශීය වශයෙන් රට පරිහානියට ගමන් කරමින් තිබූ අවස්ථාවක තමයි අපි මේ ර‍ට බාර ගන්නේ. මේ කාරණා සියල්ල එකෙන් එකට විසඳුම් සොයමින් රට යහපත් මාවතකට ගෙන යන අවස්ථාවේ කොරෝනා වසංගතයට අප රට ගොදුරු වෙන්නේ අපි ඒ සඳහාත් හොඳින් සූදානම් වී එයට මුහුණ දෙනවා. ලෝකයේ ප්‍රබල රටවල් ගණනාවක් කොරෝනාවලින් කඩා වැටෙද්දී අපි අපගේ ජනතාව හැකි උපරිම අයුරින් ආරක්ෂා කරගනිමින් නොයෙක් ක්‍රමවේද භාවිත කරමින් රටේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය ඔවුනට ලබා දෙමින් විදේශ ගතව සිට කොරෝනා හේතුවෙන් අන්ත අසරණ වූ මේ රට වැසියන් දහස් ගණනින් ගෙන්වා ගනිමින් ජනතාවට සහන ලබාදෙමින් සුබ සාධන කටයුතු සිදු කරමින් මේ රට නැවත යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා. අපි හැකි ඉක්මනින් ජනතාව මේ උවදුරෙන් මුදා ගන්නවා.

මුතුරාජවෙල, සිංහරාජය, ඒ වගේ කඳුකරයේ වනාන්තර විනාශ කරන බවට රජයට චෝදනා එල්ල කරනවා. එහි විෂය බාර ඇමැතිවරයා හැටියට ඔබ මොකද කියන්නේ?

මේ චෝදනා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා. අනෙක් කාරණය මේ රටේ ඕනෑම තැනක වන විනාශයක් සිදු වෙනවා නම් අපි තරාතිරම නොබලා ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනවා.

අනෙක් කාරණය තමයි රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු නොයෙක් විදේශීය බලවේග අපගේ රටේ සංවර්ධන ව්‍යාපෘති සිදු කරනවාට විරුද්ධව නොයෙක් අයුරින් ක්‍රියාත්මක වෙනවා. සතුන්ට හිමි වනාන්තර හෙළි පෙහෙළි කරලා නිවාස ව්‍යාපෘති ඉදිකරද්දී මේ හඬ නඟන පිරිස් කොහෙද හිටියේ කියලා අපි අහන්න කැමැතියි. අපි මේ මාතෘ භූමියට ආදරෙයි අපගේ දරුවන්ට අපිට හුස්ම පොදක් ගන්න අපි වනාන්තර මෙන් ම වනජීවීන් ආරක්ෂා කර ගතයුතුයි. ඒ සඳහා අපි දායක වෙමින් කැපවෙමින් රජයක් හැටියට ක්‍රියාත්මක වෙනවා.

Comments