
බලි බැලිල්ල කෙසේ වෙතත් අපට අලි බැලිල්ල නම් එපා වන්නේ නැත. මහ මඟ යන විට අහම්බෙන් හෝ අලියෙක් දුටුවොත් කවුරුන් වුණත් ඒ දෙස උනන්දුවෙන් බලනු දැකිය හැකිය. අලියාත් මිනිසාත් අතර ඇත්තේ අපූරු බැඳීමකි. නගරයේ අපට නම් අලියෙක් ඇතෙක් ඇතින්නක් දැකිය හැක්කේ පෙරහැරකදීය. එහෙමත් නැති නම් අපි අලි බලන්නට සත්ව උද්‍යානයකට යායුතුය.
එහෙමත් නැත්නම් කොළඹින් බැහැර උඩවලවේ, යාල, මාදුරු ඔය ආදි වූ අලි ඇත්තු වෙසෙන නිජබිමකට යායුතුය. ඒ ගමන් කෙසේ වෙතත් අලිත් සමඟ ජීවත්වන උන්ගෙන් වන ගැහැට විඳිමින් ජීවිතය ගෙන යන අපේම මිනිසුන් ඈත. ගම්වල ජීවත් වේ. වගා හානි ජීවිත හානි කොතරම් සිදුකළද අරුමය වන්නේ, මේ අලියකුට කරදරයක් වූ විට ගම්මුන් ඌට උදවු කරන්නට ඉදිරියට ඒමය. එවැනි කතා සිද්ධි අප කොතෙකුත් අසා ඇත. දැක ඇත. දවසින් දවස අපේ අලි ගහනය අඩුවෙමින් ද තිබේ. එමෙන්ම අලින්ට සිදුවන ගැහැට ද නිමක් නැත. අලි මිනිස් ගැටුම් කොතෙක් වුවත් අලින්ට ආදරය කරන්නෝ බොහෝය. එයට වයස් භේදයක් නැත.
ගම්බිම් පාළු කරන, මිනිසුන්ට පීඩාගෙන එන ඒ අලි ඇත්තු කුලයේම සාමාජිකයෝ පෙරහැරේ ගරු ගාම්භීරව ගමන් කිරීම ද අරුමයකි. ‘මිනිසුන්ට වඩා සත්තුන්ට ගුණේ තියෙනවා.’ ඒ මිනිස්සු කියන කතාවකි.
මේ සියලු කතා මැද්දේ කියන්නට තවත් කතා ඇත. අලි ඇත්තු වෙනුවෙන් ලියැවුණ ගීත ද අපේ ගීත සාහිත්‍යයේ ඇත. එයින් පෙරමුණ ගත් එක් ගීතයක් වන්නේ “පනාමුරේ ඇත්රාජා” ගීතයයි. ඒ යුගය පසුකර ඉදිරියට එනවිට අද අපට තවත් බොහෝ ගීත හමුවේ. ඒ අතරින් අමුතුම ආරක් ගත් මේ ගීතය විශේෂය. ගීතය ලියන්නේ නව පරපුරේ ගී පද රචකයකු වන ඉසුරු සමරසිංහය. ගීතය ගයන්නේ ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ, විශාරද ජනනාත් වරකාගොඩ, ජිනේන්ද්‍ර විද්‍යාපති හා තුසිත් සිම්ප්සන් ය. සංගීතය විශාරද හර්ෂණ නිශ්ශංක ගෙනි. අලි ඇතුන්ට ආදරයෙන්, ඇතුන්ට සෙත්පතා ලියැවුණ ගීත පිළිබඳ පද රචක ඉසුරු සමරසිංහ කියන්නේ මෙවැනි කතාවකි.
“මම මීට කලකට පෙර නැදුන් ගමුවේ රාජා වෙනුවෙන් ගීතයක් ලිව්වා. ඇත්තුන්ට ආදරය කරන ගොඩාක් අය මට කතා කළා. ඔවුන් මගේ ගීතය ගැන අගේ කළා. ඉන් පස්සේ එක් එක් අය මට අලි ඇත්තු ගැන ලියන්න කියලා ආරාධනා කළා. මමත් අලි ඇත්තුන්ට හරි ආදරෙයි. ඒ නිසාම මට හිතුණා එක් අලියෙක්, ඇතෙක් ගැන පමණක් නොවෙයි අපේ රටේ සමස්ත අලි ඇත්තු, ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතාගේ සිට සියලු අලි ඇත්තු නියෝජනය වන පරිදි ගීතයක් ලියන්න ඕන කියලා. ඒ සිතුවිල්ලේ ඉන්න විට තමයි මට මේ ගීතය ලියැවුණේ. ගීතයේ සංගීත නිර්මාණය කරන්න දුන්නේ හර්ෂණ නිශ්ශංක සොයුරාට. ඔහුත් මමත් මේ ගැන කතා වුණා.
මට අවශ්‍ය වුණා මේ ගීතය අවසන් වන තුරු පසුබිමින් පෙරහැර හඬ මතු කරන්න. ඒ නිසා තමයි දවුල, ගැටබෙරය, උඩැක්කිය, තම්මැට්ටම, යක් බෙරය භාවිත කෙරුණේ.
යාගය කියන්න අප තෝරා ගත්තේ ගායන ශිල්පියෙක් නොවෙයි. ඒ යාගය හරියටම යාදින්නක් ලෙසින්ම කියන්න පුළුවන් කපු මහතෙක්ව අපි තෝරා ගත්තා. එය සාර්ථක තේරීමක් කියලා අපට හිතෙනවා. ඒ යාගය කියන්නේ ගංගාතිලක විහාරයේ ප්‍රධාන කපු මහතා. රෝහණ බැද්දගේ ශූරින්, ජනනාත් වරකාගොඩ වගේම ජිතේන්ද්‍ර විද්‍යාපති මේ ගීතය ගයන්න තෝරා ගත්තා.”
අලි ඇත්තු මුල් කර ගනිමින් ලියැවුණ බොහෝ ගී අතර ඇති මේ ගීතයේ ඇත්තේ අපූරු බවකි.