සුදු පරවියන්ගේ පුනරාගමනය | Page 4 | සිළුමිණ

සුදු පරවියන්ගේ පුනරාගමනය

පිත්තල හන්දියේ බෝම්බ ප්‍රහාරයට හසුවී බේරීමෙන් පසු අරලිය ගහ මන්දිරයට ගිය එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂයන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂයන් විසින් දැඩි සෙනෙහසින් වැළඳගත්තේ මෙසේය.

“ඔය යහපාලනයේ කට්ටිය හදන්නේ ගෝඨාභය කොහොමහරි ඇතුළට දාන්නයි. ඒකයි ඔච්චර ගෝඨාභයගේ පස්සෙන් එළවන්නේ. හෙට අනිද්දට ඔය ප්‍රහාර වැඩිවෙන්න පුළුවන්. මටනම් ඕවා හොඳට පුරුදුයි. ඒක නිසා මගෙන් පළිගන්න මගේ ළමයි හිරේ දැම්මා. මගේ සහෝදරයින්ව කොටු කරන්න හදනවා.”යනුවෙන් මහින්ද රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ 2016 වසරේදී එක් දිනක නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීය. පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නයේ කිහිපනමක් සහ තම හිතවතුන් පිරිසක් සමඟ කතාබහ කරමින් සිටියදී මහින්ද මේ කතාව කීවේය. 

2015 ජනවාරි 08 වැනිදා දේශාපාලන වෙනස සිදුවන විට මහින්ද රාජපක්ෂ සමඟ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය අවසන් බව සිතූ යහපාලකයින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවේ රාජපක්ෂවරුන් සියල්ලම මෙරට දේශපාලනයෙන් අතුගා දැමීමටය. මේ බව හොඳින්ම දැන සිටියේ මහින්ද රාජපක්ෂය. වසර 50කට වැඩි ක්‍රියකාරී දේශපාලනය තුළ හොඳින් තෙම්පරාදු වී සිටින මහින්ද යහපාලකයන් ගැන හොඳ හැටි දැන සිටියේය.

තමන්ගේ දරුවන් සිරගත කිරීමෙන් අනතුරුව තමන්ගේ සහෝදරවරුන් ද සිරගත කරමින් සිටින විට දැඩි ඉවසිලිවන්තව මහින්ද හැම දෙයක්ම විඳ දරාගත්තේ මහ පොළොව මෙනි.

රාජපක්ෂ පවුලම හිරේ දාන්න උත්සාහයක්

නාමල්, යෝෂිත තම පුතුන් එක් පැත්තකින් සිරගත කර තම බාල සොහොයුරු බැසිල් එක් පැත්තකින් සිරගත කරමින් ගෝඨාභය සිරගත කිරීමට කුරුමානම් අල්ලමින් යහපාලකයන් සිටින විට මහින්ද ඉතා ඉවසිලිවන්තව තම දේශපාලන කඳවුර ශක්තිමත් කළ නිසා නැවත රට යහමඟට ගැනීමේ කටයුත්තට 2019 වසරේ නොවැම්බර් 16 වැනිදා මුල පිරීමට හැකිවිය.

එසේ යළි රට යහමඟට ගැනීමේ සටනට මේ මස 16 වැනිදාට වසරක් සපිරේ. ගෝඨාභය රාජපක්ෂ නොවැම්බර් 16 වැනි ජනාධිපතිවරණයෙන් ජය ලබාගෙන නොවැම්බර් 18 වැනිදා අනුරාධපුර රුවන්වැලි සෑය අබියස දිවුරුම් දුන්නේ මේ රටේ 07 වැනි විධායක ජනාධිපතිවරයා හැටියටය. අපූර්වතම සිදුවීම වන්නේ ගෝඨාභය රාජපක්ෂ 7 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ මහින්ද රාජපක්ෂගේ උපන් දිනය යෙදී තිබුණු දිනයේ වීම වන අතර ගෝඨාභයගේ පදවි ප්‍රාප්තියේ පළවැනි සංවත්සරය යෙදී තිබෙන්නේ නොවැම්බර් 18 වීම තවත් විශේෂත්වයකි.

2005 නොවැම්බර් 17 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මේ රටේ පස්වැනි විධායක ජනාධිපති වන විට මහින්දගේ 60 වැනි ජන්ම දිනය වෙනුවෙන් රටේ ජනතාව විසින් මතක සිටින ම උපන්දින ත්‍යාගය ඔහුට ලබාදී තිබුණේ ඔහු මේ රටේ විධායක ජනාධිපති ධුරයට පත්කරමිනි. මහින්ද මේ මස 18 වැනිදා සිය 75 වැනි උපන් දිනය සමරන විට ගෝඨාභයගේ පළමු ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය සැමරීම හරිම අපූරුවට ගැළපේ.

මේවා සැලසුම් කළ දේවල් නොවේ. මොකද මැතිවරණවලට දින නියම කරනු ලබන්නේ මැතිවරණ කොමසාරිස් හෝ ස්වාධීන මැතිවරණ කොමිසමයි. නමුත් මේ ආකාරයෙන් දින වකවානු ගැළපීමනම් දේශපාලන ක්ෂේත්‍රයේ හරි අපූරු සිදුවීමයි.

2015 ජනවාරි 8 වැනිදා ඇතිවූ දේශපාලන පෙරළියෙන් අප රට ආපස්සට ගිය බව නොරහසකි. ඉන් පසුව රට බේරාගැනීමේ අභියෝගයට මුහුණ දීමට මහින්දගේ නායකත්වයෙන් රාජපක්ෂවරුන් තීරණය කළේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්ගේ සහ මේ රටේ පොදු මහජනතාවගෙන් රට යළි බේරාගන්නා ලෙසට දැඩි ඉල්ලීම් ඉදිරිපත් වූ නිසාය.

දරුවන්, සහෝදරයන් සිරගත කරද්දී රට වෙනුවෙන් මහින්ද දිගටම දේශපාලනයේ රැඳී සිටියේ අවශ්‍ය වේලාවට ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරළියට ගෙන ඒමටය. ඒ වන විටත් ගෝඨාභය “වියත් මග”,“එළිය” වැනි සංවිධාන මඟින් රටපුරා යමින් රට ගොඩනැංවීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි. මේ රටේ ජනාධිපති අපේක්ෂකයෙකුට සිදු වූ බාධා කිරීම් අතුරින් වැඩියෙන් ම බාධා එල්ල වූයේ ගෝඨාභය රාජපක්ෂට බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එක්සත් ජාතික පක්ෂය ඇතුළු සමඟි ජනබලවේගයට අවශ්‍ය වුයේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිධූරයට ඉදිරිපත් නොවීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමටය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය නවතා දැමීමටය. මහින්දට, ගෝඨාභයට, බැසිල්ට, නාමල්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වන ලෙසට සංශෝධන ඉදිරිපත් කිරීමට මුල් වුයේ බෙදුම්වාදී සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විසිනි. එම්. ඒ. සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න ඇතුළු පිරිසකට අවශ්‍ය වුයේ කෙසේ හෝ රාජපක්ෂවරුන් කොටු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමටය.

ගෝඨාභය කෙසේ හෝ කොටු කිරීමට සැලසුම් කළයාන්ත්‍රණය 2019 නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වුණු දිනය දක්වා ම ක්‍රියාත්මක වුණි. නොවැම්බර් 14 වැනිදා සජිත් ප්‍රේමදාසගේ උපදෙස් අනුව අජිත් පී. පෙරේරා මැතිවරණ මහලේකම් කාර්යාලයට ගොස් මාධ්‍ය සංදර්ශනයක් සජීවී ලෙස දැම්මේ අවසන් මොහොතේ හෝ ගෝඨාභයට තිබෙන ජනරැල්ල වෙනතකට යොමු කිරීමේ අරමුණෙනි.

“ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්වෙලා කියලා කිසිම ලියවිල්ලක් බාරදීලා නැහැ කියලා මැතිවරණ කොමසාරිස්තුමා කිව්වා.”යනුවෙන් අජිත් පී. පෙරේරා මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ මාධ්‍යට ප්‍රකාශ කරන විට රාජපක්ෂලාට එරෙහිව දිගටම ක්‍රියාත්මක වන එක්තරා මාධ්‍ය ජාලයක් මෙම සිදුවීම රටටම සජීවී ලෙස ඉදිරිපත් කළේය.

මෙම සිදුවීම පමණක් නොව ගෝඨාභය කොටුකර ගැනීමට මෙහෙයුම් රැසක් සිදු වූ අතර ඒ සෑම උපක්‍රමයකින්ම ගෝඨාභයට බේරීමට හැකිවූයේ මේ රටේ වාසනාවට බව අමුතුවෙන් කිවයුතු නොවේ. රටේ වාසනාවට එම කාරණා සිදු වූවත් ඒ සෑම කටයුත්තක දීම ගෝඨාභය ආරක්ෂා කළේ මහින්ද රාජපක්ෂ සතු දුරදක්නා දේශාපලන නුවණිනි. ගෝඨාභය රාජපක්ෂ සිරගත කිරීම සඳහා යහපාලකයින් බොරු නඩු එක පිට එක පැටවූ බව දැන් දැන් හෙළිදරව් වෙවින් පවතී. ඒ වෙනුවෙන් ම ගොඩනැගූ නිතී විරෝධි ආයතනයක් වන මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) වෙත ගෝඨාභය දිනපතා පැමිණියේය.

ජනාධිපති කොමිසම

ජනාධිපති කොමිසමෙනුත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනුත් ගෝඨාභයට දිගින් දිගටම කැඳවීම් ලැබුණි.

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව, මිග් යානා මිලදී ගැනීමේ නඩුව, සඳහිරු සෑයේ රන් තැන්පත් කිරීමේ නඩුව, සුදු වෑන් සහ කිඹුලන්ගේ නඩුව, තාජුඩීන් නඩුව, කීත් නොයාර්ට පහරදීමේ නඩුව, උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය ඇතුළු සිදුවීම් ගණනාවකට අදාළ නඩු ගොනු කළේ මේ කුමන හෝ නඩුවකින් ගෝඨාභය ඇතුළට දැමීමටය.

“ගෝඨාභයට නඩු දාන්න බැරි එවුන් මෙහේ ඉඳලා වැඩක් නැහැ.” කියමින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ දිල්රුක්ෂි ෆයිල් පොළොවේ ගසා බැණ වැදුණු බව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය දේශාපලන පළිගැනීම් සොයාබලන ජනාධිපති කොමිසමේදී ප්‍රකාශ කළේය.

ඇවන්ගාඩ් විමර්ශනයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව දූෂණය නමැති වරද සිදුකර ඇති බවට සාක්ෂි නොමැති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස්ට දැනුම් දීමෙන් පසුව “ගෝඨාභයටනඩු දාන්න බැරි එවුන් මෙහේ ඉඳලා වැඩක් නැහැ” යනුවෙන් දිල්රුක්ෂි ඩයස් යටිගිරියෙන් කෑගසමින් ෆයිල් පොළොවේ ගැසුවේ ඇයි?

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ එම ක්‍රියාවෙන් ම ගෝඨාභය කොටුකර ගැනීමේ අවශ්‍යතාව යහපාලන ආණ්ඩුවට කෙතරම් තිබුණේද කියා සිතා ගැනීමට අපහසු නොවනු ඇත.

අදාළ විමර්ශනයේදී පුද්ගලයන් 200 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර ගෝඨාභය, මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රබල සාක්ෂි අනාවරණය නොවූ බවද ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය සඳහන් කර තිබුණි.

නීතිපති දෙපාර්තමේන්තුව ද ඒ පිළිබඳව දැනුම් දී තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රකාශයක් සටහන් කරගැනීමට අල්ලස් කොමිසමට කැඳවූ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලිපිටිය ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ස්ථානයේ CCTV කැමරා පද්ධති සවි කරමින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ අල්ලස් කොමිසමේ තවත් උසස් නිලධාරියෙකු වෙනත් ස්ථානයක සිට එය නිරීක්ෂණය කර තිබේ. ඉන් නොනැවතුණු එම නිලධාරීන් ගෝඨාභය රාජපක්ෂගෙන් විමසිය යුතු ප්‍රශ්න ඇතුළත් කඩදාසි කැබලි කිහිපයක් විමර්ශන නිලධාරීන් අතට පත් කිරීමට ද කටයුතු කර තිබුණි.

ගෝඨාභය කොටු කිරීම සඳහා මෙම ප්‍රශ්න සැකසුවේ අරලියගහ මන්දිරයේය. ඒ සඳහා රනිල්, රාජිත, චම්පික, අනුර කුමාර, මංගල ඇතුළු සෙට් එකම පැමිණ සිටි බව ප්‍රකාශ කළේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත්ය.

FCID ප්‍රධානී රවී වෛද්‍යාලංකාර ද ඒ කතාවම සනාථ කළේය. යහපාලකයින් ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරුන් කොටු කිරීම සඳහා නඩු ගොනු කළේ අරලියගහ මන්දිරයේදීය.

සඳහිරු සෑයටත් බොරු නඩු

මෙම බෙදුම්වාදයට කත් අදින පිරිස් ප්‍රහාර එල්ල කළේ ගෝඨාභයට පමණක් නොවේ. මෙම අසත්‍ය නඩු ගොනු කරමින් මේ රටේ බෞද්ධ සංස්කෘතියට පහර දීමට මෙම පිරිස් කටයුතු කළහ. අනුරාධපුරයේ සඳහිරු සෑයේ තැන්පත් කිරීමට බුද්ධ ප්‍රතිමා සෑදීම එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු අවස්ථාවකදී රේගු දෙපාර්තමේන්තුවෙන් රත්‍රන් ඉල්ලා සිටිය නොමැති බව හිටපු රේගු අධ්‍යක්ෂ ජගත් විජේවීර අනාවරණය කළේය. ප්‍රදීප් එක්නැලිගොඩ සිද්ධියට ගෝඨාභය පැටලීමට යහපාලකයින් නොගත් උත්සාහයක් නැත. එක්නැලිගොඩ අතුරුදන් වීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බව ප්‍රකාශ කරවන්නැයි දැඩි බලපෑම් කළ බව ප්‍රකාශ කළේ හමුදා බුද්ධි බළකායේ විශ්‍රාමික කෝප්‍රල් රවීන්ද්‍ර රූපසිංහය. හමුදා බුද්ධි බළකායේ විශ්‍රාමික කෝප්‍රල් රවීන්ද්‍ර රූපසිංහ ප්‍රකාශ කළේ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ හඬ පටවලින් බොහෝ කරුණු අනාවරණය වූ බවයි.

එම කරුණුවලින් හෙළිවූයේ ගෝඨාභය රාජපක්ෂ කෙසේ හෝ කොටු කරගැනීමට ශානි අබේසේකර උත්සාහ ගනිමින් තිබෙන්නේ රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයාට වඩා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වශයෙන් බවයි.

මෙම කරුණුවලින් අනාවරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂ කොටු කරගැනීම සඳහා යහපාලකයින්ට කෙතරම් වුවමනාවක් තිබුණේ ද යන්නයි. මිග් ගනුදෙනු පරීක්ෂණයට ද ගෝඨාභය කෙසේ හෝ පටලවා ගැනීමට යහපාලකයන්ට අවශ්‍ය වී තිබුණි. මේ නිසාම යහපාලන ආණ්ඩුවේ එවකට සිටි විදේශ අමාත්‍ය මංගල සමරවීර පැය 24 න් යුක්‍රේනයට ගොස් පැමිණියේ ගෝඨාභයට එරෙහිව නඩු දැමීම සඳහා ලියකියවිලි රැගෙන ඒමටය.

මිග් ගනුදෙනු පරීක්ෂණයට අදාළ අත්‍යවශ්‍ය ලියවිල්ලක් ගෙනඒම සඳහා පැය 24කින් යුක්‍රේනයට ගොස් පැමිණි බව පසුව මංගල ද පිළිගන්නේය. ගෝඨාභය රාජපක්ෂ කොටු කරගැනීම සඳහා මෙතරම් නඩු පිට නඩු වෙනත් කිසිදු පුද්ගලයකුට පැවරුවේ නැති තරම්ය. මෙවැනි අභියෝග රැසක් තිබියදී මහින්ද ප්‍රසිද්ධියේම ගෝඨාභය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කළේ ඉදිරියට පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහා ය. එදා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට මහින්ද නායකත්වය ලබාදෙන විට ඊට ආරක්ෂක ලේකම් වශයෙන් නොමඳ සහයක් ලබාදුන් ගෝඨාභය නිහඬ කිරීමට කොටි සංවිධානයද වලි කෑ බව නොරහසකි.

පිත්තල හන්දියේ බෝම්බය

කොළඹ පිත්තල හන්දියේදි ගෝඨාභය ගමන් කළ මෝටර් රථයට මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයක් එල්ල කළේ ඒ නිසාය. රටේ වාසනාවට ගෝඨාභයගේ ජීවිතය බේරුණු අතර එම සිදුවීමෙන් අනතුරුව ගෝඨාභය අරලියගහ මන්දිරයට ගියේ ය .

කොටි බෝම්බයෙන් නූලෙන් බේරී පැමිණි තම මල්ලි මහින්ද විසින් ආදරයෙන් වැලඳ ගත්තේ දැඩි සෙනෙහසකිනි. එහිදී මහින්දගේ මෙන්ම ගෝඨාභයගේද දෑස් යාන්තමින් කඳුළින් තෙත් වී තිබුණි. 

මෙම සිදුවීමට අදාළ ඡායාරූප ගැන බොහෝ දෙනෙක් කතා කළහ.

ඉන්පසුව මහින්ද, ගෝඨාභය සිටින තවත් ජායාරූප දෙකක් ගැන සමාජයේ අවධානයට ලක් විය. ගෝඨාභය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස පත් කරන විට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සිටි අතිවිශාල පිරිසක් විනාඩි ගණනක් තිස්සේ අත්පොළසන් දුන්හ.

ඒ අවස්ථාවේදී දෙදෙනාම අත් වනමින් ජනතාවට ආචාර කළ අතර මහින්ද, ගෝඨාභය බදාගෙන තම මල්ලීට සුබ පැතුවේය. මීළඟ ඡායාරූපය මෙරට පමණක් නොව මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් විය. පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජයගෙන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ කැලණිය රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ ය.

මහින්ද අගමැති ලෙස දිවුරුම් දුන්නේ තමාගේ ජනාධිපති මල්ලි ඉදිරියේය. අගමැති අයියා, ජනාධිපති මල්ලි ඉදිරියේ දිවුරුම් දෙන ආකාරය බොහෝ දෙනෙකු බලා සිටි අතර දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති මල්ලි ගොස් අගමැති අයියාට වැඳ නමස්කාර කරන විට බොහෝ දෙනෙකුගේ දෙනෙත්වලට කඳුළු උණන්නට වූහ.

එම ඡායාරූපය ද විශේෂ ඡායාරූපයක් වන අතර එමඟින් බොහෝ පාඩම් කියාපායි. වැඩිහිටියන්ට ගරු කිරීම, කෘතගුණ සැලකීම, සහෝදර ප්‍රේමය, ආගමික සංස්කෘතික හැදියාව, ගැමි සංස්කෘතියේ හැදියාව, පවුලේ සමඟිය ඇතුළු බොහෝ කරුණු එම සුවිශේෂී ඡායාරූපයෙන් කියාපායි. රාජපක්ෂවරුන්ට ජනතාව කැමති වීමට මෙම ගුණාංග බොහෝවිට බලපායි. පවුල් සංස්කෘතියක් සමඟ ජනතාව ක්‍රියා කළ යුත්තේ කෙසේ ද කියන ආදර්ශය රාජපක්ෂවරුන් ලබා දෙයි. පවුලේ සමඟිය තුළින් ගමක්, රටක් නොව ලෝකයම ජයගත හැකි බව එමඟින් කියාපායි.

රනිල්ලා, සජිත්ලා, මංගලලා කට්ටිය එකතු වී බෞද්ධාගමට නිසි තැන ලබා නොදීමට කටයුතු කරන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා නොදී අනෙකුත් ආගම් සමඟ සම තත්ත්වයක තැබීමට උත්සාහ ගන්නා විට සමලිංගික පනත් ගෙන ඒමට උත්සාහ ගන්නා බව කියන විට, මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව ප්‍රකාශ කරන විට රාජපක්ෂවරුන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ම එම යහපාලකයින්ගේ යෝජනා කුඩුපට්ටම් කර දැමීමට කටයුතු කර තිබේ.

ගෝඨාභය ජනාධිපති වනවිට පාර්ලිමේන්තුවේ බලය තිබුණේ යහපාලකයින්ටය. 69 ලක්ෂයක ජන වරම හිමි ජනාධිපතිවරයෙකුට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කරන පාර්ලිමේන්තුවක් නොමැති වූයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පින්සිදුවන්නටය.

2015 භාණ්ඩාගාරය හිස්

ඉන්පසු පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා දින නියම කළ විට කොවිඩ් - 19 හෙවත් කොරෝනා වසංගතය මුළු ලෝකයම වෙළා ගත්තේය. නව ජනාධිපතිවරයෙකුට පැමිණිය හැකි සියලුම අභියෝග ගෝඨාභයට ආරම්භයේ සිටම පැමිණියේය. ඒ අතර ලෝකයටම තවමත් අභියෝගයක් වී තිබෙන කොරෝනා වෛරසය ද තිබීම විශේෂත්වයකි.

ගෝඨාභය ජනාධිපති ධූරයට පත් වන විට යන යකා කොරහත් බිඳගෙන යන කතාව සිහිගන්වමින් යහපාලන ආණ්ඩුව මුළු භාණ්ඩාගාරයම හිස්කර පරිපූරක ඇස්තමේන්තුවලින්ද නිසි පරිදි මුදල් වෙන් නොකරම කොට්ට පැදුරු කුදලාගෙන ගොස් තිබුණි.

පොහොර සමාගම්වලට, ඖෂධ සමාගම්වලට, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට පොලු පිට පොලු තබා තිබුණේ රුපියල් බිලියන ගණනක හිඟ බිල්පත් ද ගෙවීමට කටයුතු නොකරමිනි. මේ අනුව ඒවායේ පමණක් හිඟ බිල්පත් ලෙස රුපියල් බිලියන 242 ක් ගෙවීමට වර්තමාන ආණ්ඩුවට සිදුවිය.

එම අදාළ බිල්පත් නොගෙවීම නිසා එම ක්ෂේත්‍රවල අර්බුද පැමිණෙන විට එමඟින් වාසි ලබා ගැනීමට විපක්ෂය කටයුතු කර තිබුණි. ඔවුන් යහපාලන ආණ්ඩුවේ අවසාන කාලයේ දී මෙසේ බිල් ගෙවන්නේ නැතිව පොලු තිබ්බේම නව ආණ්ඩුව යම් අපහසුතාවකට පත්කිරීමේ අරමුණින් බව දැන් ඉතා පැහැදිලිය. කොවිඩ් - 19 අභියෝගය ජයගැනීමට නොහැකිව ඇමරිකාව, ප්‍රංශය, ජර්මනිය ඇතුළු රටවල් රැසක් බරපතළ අර්බුදයකට මුහුණදී සිටියදී එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාව සාර්ථකව කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් මේ රටේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු ආණ්ඩුව කටයුතු කරන නිසාය.

දියුණු යැයි කියාගන්නා බොහෝ රටවල් සෑම අතින්ම අන්ත අසරණව සිටියදී ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය පළමු අවස්ථාවේදීම පාලනය කිරීමට කටයුතු කිරීම ගැන චීනය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක නියෝජිතයෝ ද ගෝඨාභයට සුබ පැතූහ. යළි කොරෝනා දෙවැනි රැල්ල පාලනය කිරීමේ අභියෝගයටද මේ වන විට සාර්ථකව මුහුණ දී සිටී.

කොරොනා රෝගීන් හඳුනා ගැනීම, නිරෝධායන නියමු පරීක්ෂණ හා ආශ්‍රිත සුබ සාධන කටයුතු සඳහා පමණක් මේ වන විට වැය කර ඇති මුදල රුපියල් මිලියන 70,000 කි. PCR පරීක්ෂණ වැඩි කරමින්, රෝහල් හා ඇඳන් සංඛ්‍යාව වැඩි කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේද කෙටි කාලයක් තුළ ඉදිරි පියවරයන් රැසක් සිදු කර තිබේ. කොරෝනා වෛරසය මැඬ පැවැත්වීම සහ සුබ සාධන අංශයන් වෙනත් දියුණු රටවලට ද සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමකින් ශ්‍රී ලංකාව තුළ පවතින බව රහසක් නොවේ.

නමුත් මෙම යථාර්ථය තේරුම් ගෙන තිබුණ ද පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එය පිළිගැනීමට නොහැකි දේශපාලන විරුද්ධවාදීන් “ගෝඨා ෆේල්, ගෝඨා ෆේල්”යනුවෙන් කෑගසයි. ත්‍රස්තවාදය සහ වෛරසය අතර තිබෙන වෙනස හඳුන්වන්නේ නැති පිරිස් කියන කතා තේරුම් ගැනීමට කාලය යොමු කිරීම ද නාස්තියකි.

ගෝඨා ෆේල් යනුවෙන් මේ පිරිස් අපහාස සිදු කරන්නේ ගෝඨාභයට නොව මේ රටේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වලටයි. මහින්ද - ගෝඨාභය සුසංයෝගය නිසා රටක් ඉතිරි වී ඇති අතර ෆේල්, ෆේල් යනුවෙන් අට පාස්වත් නොමැති සුළු පිරිසක් තවමත් කෑගසන්නේ ජීවත්වීම සඳහා රටක් ඉතිරි වී තිබෙන නිසාය.

Comments