විස්සට සහාය දුන් විපක්ෂයේ අටේ පැටිකිරිය | Page 4 | සිළුමිණ

විස්සට සහාය දුන් විපක්ෂයේ අටේ පැටිකිරිය

සුගියදා පාර්ලිමේන්තුව උණුසුම් කරමින් පැවැති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් දේශපාලන කරලියේ බොහෝ දෙනෙක් නොසිතූ දේශපාලන පරිවර්තන රැසක් සිදු විය. 20 ගැන කතා කරද්දී මේ 8 දෙනා ගැන කතා නොකරම බැරි වූයේ 20 ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමේදි මේ 8 දෙනා සියලු පාට පක්ෂ භේද අතහැර නොසැළී ඊට ඡන්දය ප්‍රකාශ කළ නිසාය. ඒ විපක්ෂයේ ප්‍රබල පක්ෂද නියෝජනය කරමිනි. මේ හේතුවෙන් මේ 8 දෙනාට පක්ෂය තුළින්ම විවිධ ගැටලු මතුවූ අතර 20 ට සහය දැක්වීමෙන් ඔවුන්ට පක්ෂයේ විනය පරීක්ෂණ වලටද මුහුණ දෙන්නට සිදු විය.

කවුද මේ 8 දෙනා ? බොහෝ දෙනෙකු ඔවුන්ගේ වගතුග දන්නේ නැත. එක් කාන්තාවක් නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් හා වරියක් මේ 8 දෙනා අතරට එක් වෙයි. සමගි ජන බලවේගයේ ඩයනා ගමගේ, කදුරට ජනතා පෙරමුණෙ ඒ. අරවින්ද් කුමාර් ,ඉෂාක් රහුමාන් මෙන්ම , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසිර් අහමඩ්, ෆයිසාල් කාසීම්, එච්.එම්.එම් හාරිස් සහ එම්.එස් තව්ෆික්, හා මුස්ලිම් ජාතික සන්ධානයේ මොහොමඩ් අලි සබ්රි යන මන්ත්‍රීවරුන් මෙලෙස 20 ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක් විය.

මගේ ගමන මම ඉදිරියටම යනවා
- ඩයනා ගමගේ

20 වැනි ව්‍යවස්ථාවට නොබියව සිය ඡන්දය ප්‍රකාශ කරමින් විපක්ෂයේ නැඟී සිටි එකම කාන්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේය. ඇය සමගි ජන බලවේගය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට පැමිණියේ ජාතික ලැයිස්තුවෙනි. මාතර කැකුණදුර ගමේ උපත ලද ඇය බෞද්ධ පරම්පරාවකට හිමිකම් කියන්නියකි.

ඇයගේ පියා මියගොස් ඇති අතර බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වූ ඇයගේ මව මේ වන විට ඇයගේ දරුවන්ද සමඟින් බ්‍රිතාන්‍යයේ ජීවත් වන්නීය. සමුද්‍රදේවි බාලිකාවේ අධ්‍යාපනය ලද ඇය උසස් අධ්‍යාපනය ලැබූවේ එංගලන්තයෙනි. එංගලන්තයේ සිටම කලා කටයුතු වලට ලැදි ඇය අවස්ථා කිහිපයකදීම සිංහල චිත්‍රපට කලාවේ උන්නතිය වෙනුවෙන් විනෝදාංශයට රඟපෑමේ යෙදුණි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැළි සිය ස්වාමියා තිරය පිටුපස සිට දේශපාලනය කළ අතර ඇයගේ ගමන් මඟටද ශක්තික් දෙන්නට විය. 2001 වසරේදි සිරිකොතේ වෘත්තියවේදීන්ගේ සංගමය හරහා දේශපාලනයට පිවිසි ඇය අවස්ථා ගණනාවකදීම සමාජ සේවය කරමින් විශාල කාර්යභාරයක් ඉටු කෙරීය.

2014 වසරේදි පළාත් සභාවට තරඟ කළද ජය ගගත නොහැකි වූයෙන් පසුව සිය හඬ අවදි කළ ඇය, එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමේදි ඇයගේ සහය සමගි ජන බලවේගයට ලබා දී ඇත. පසුගිය යහපාලන රජය සම්බන්ධයෙන් ඇය තුළ දැඩි කලකිරීමක් පැවැති අතර ඇය පවසන්නේ ඒ රජය හරහා කිසිදු ප්‍රගතිශීලි ගමනක් නොගිය බවය. ඇය සිය ස්වාමියා විසින් සාදනු ලැබූ පක්ෂය සජිත් ප්‍රේමදාසට ලබා දුන් අතර ඇය එහි නියෝජ්‍ය ලේකම් විය. පසුව 2020 මහ මැතිවරණයේදි ඇයට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය හිමි විය. “මම රට ගැන හිතලා තීන්දුවක් ගත්තා. රටේ බලය ජනාධිපතිට ලැබිය යුතුයි. ඒ රටට වැඩ කරන්න ඇවැසි නිසා. ඉදිරියේදී මම ඔවුන් සමඟ රට හදන වැඩ පිළිවෙළට සම්බන්ධ වෙනවා. මම තනතුරු බලාගෙන මේ ගමන ආවා නෙමෙයි. එත් යම් තනතුරක් කරන්නයැයි කියා මට භාර දුන්නහොත් මම සතුටින් ඒ අභියෝගය භාර ගන්නවා. සමගි ජන බලවේගය මොන තිරණයක් මා වෙනුවෙන් ගත්තත් කමක් නැහැ. මගේ ගමන මම ඉදිරියට යනවා...“ ඇය පවසන්නීය.

දින 23 ක දේශපාලන ගමනින් පාර්ලිමේන්තුවට ගියා
- ඉෂාක් රහුමාන්

මන්ත්‍රී ඉෂාක් රහුමාන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සමගි ජන බලවේගයෙනි. 1977 වසරේ උපන් ඉෂාක් රහුමාන්ගේ පියා අබ්දුල් රහිමාන් ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව ප්‍රදේශයේ උපන් ගම වූ ඉෂාක් රහුමාන් මන්ත්‍රීවරයා කලා වැව මධ්‍ය මහා විදුහලෙන් හා මහනුවර මඩවල මදීනා විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇත.

මේ වන විට කලා වැව හා කොළඹ පදිංචි ඔහු විවාහ වී ඇත්තේ ෆකීරා සමඟය.මේ වන විට කොළඹ රාජකීය විදුලේ අධ්‍යාපනය ලබන දරුවන් තිදෙනෙකුගේ පියකු වන ඉෂාක් සිය බාහිර උපාධියෙන් අනතුරුව සිය පියා සතුවූ පාරම්පරික හාල් ව්‍යාපාරයට සම්බන්ධ වන්නේ ව්‍යාපාරිකයකු වශයෙනි. ඉන් අනතුරුව ඔහුගේම ව්‍යාපර හරහා ඉදිරියට යන ඔහු 2015 වන විට ලංකාවේ ඉහළම පෙළ ව්‍යාපාරිකයකු බවට පත්වෙයි.

ඉෂාක් මන්ත්‍රිවරයා දේශපාලනයට පිවිසෙන්නේ 2015 වසරේ මහා මැතිවරණයෙනි. ඒ සමාජ සේවකයකු ලෙස ඒ වන විටත් ඔහු ලබා තිබූ ජනතා ප්‍රසාදය හේතුවෙනි. දින 23 ක ඉතා කෙටි දේශපාලන දිවියේදී 2015 මහා මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් මුස්ලිම් මන්ත්‍රිවරයෙකු ලෙස තේරී පත්වන්නේ තමන්ට කිසිදු ආසනයක් හෝ නැතුවය. ඉන් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයා වශයෙන් පත්වන ඔහු එම වසර 5 කට ආසන්න කාලය තුළ මන්ත්‍රි වැටුප හෝ කිසිදු මන්ත්‍රී දිමනාවක් හෝ ලබා ගත්තේ නැත. 2019 වසරෙදි මහා මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වන ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප 50,000 ක් ලබා ගනිමින් ඉදිරියෙන්ම සිටියි. “ මම මෙවර 20 ට පක්ෂව ඡන්දය දුන්නේ රට ගැන හිතලා. අපි ආණ්ඩු කළ කාලයේ ජනාධිපති හා අගමැති හිටියේ දෙපැත්තක. මේ නිසා සාමය නැතිවුණා. විවිධ ප්‍රශ්වවලට මුහුණ දුන්නා. ලංකාව ලෝකයෙන් කොන්වුණා. වත්මන් ජනාධිපතිතුමාගේ ගමන අපි

හොඳින් දැක්කා. ඒ නිසයි අපි පක්ෂව ඡන්දය දුන්නේ. අපේ පක්ෂයෙන් නෙරපන්න බැහැ. අපි ලබා දුන්නේ සහය පමණයි...“ ඉෂාක් රහුමාන් පවසන්නේය.

හෘදය සාක්ෂියට එකඟ වුණා
- එච්.එම්.එම් හාරිස්

මන්ත්‍රී එච්.එම්.එම් හාරිස් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසයෙනි. 1971 වසරේ උපන් හාරිස් මන්ත්‍රීවරයාගේ පියා කල්මුණේ මුස්ලිම් පල්ලි සම්මේලනයේ නායකයකු වූ හබීඩ් මොහොමඩ්ය.

සීනා රෝසන් සිය බිරිඳ වන අතර ඔහුට පාසල් අධ්‍යාපනය ලබන එක් දරුවෙක්ද වෙයි. ඔහුගේ ගම කල්මුණේ වන අතර කල්මුනේ චාමේල් ෆාතිමා විදුහලෙන් පාසල් අධ්‍යාපනය හැදෑරු ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදි උපාධිය හදාරා 2000 වසරේදි නීතිඥයෙකු වන්නේය. මියගිය ඒ.එච්.එම් අෂ්රෝෆ් ගේ ඥාතියෙකු වන ඔහුට දේශපාලනයට පිවිසීමට ඥාතිත්වය ප්‍රධාන හේතුවක් වෙයි. ඔහු 2001 වසරේදි පාර්ලිමේන්තුවට තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්විය. 2006 වසරේදි කල්මුණේ මහ නගර සභාවට තරඟ කළ හාරිස් එහි නගරාධිපති විය. 2010 වසරේදි පාර්ලිමේන්තු මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ ඔහු දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වෙමින් ජයග්‍රහනය කළේය.

2015 මහා මැතිවරණයෙන්ද තරඟ කළ ඔහු එම රජයේ ක්‍රිඩා නියෝජ්‍ය ඇමැති හා පළාත් පාලන රාජ්‍ය ඇමැති විය. 2020 මහා මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් දිස්ත්‍රීක්කයේ පළමුවැනියා වූ අතර ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක විය.

“ 19 ව්‍යවස්ථාවෙන් රටේ සමහර තැන් අඩපණ වුණා. ජනාධිපති බලය අගමැතිතුමාටත් කොමිසම්වලටත් ගියා. රට අස්ථාවර වුණා මුස්ලිම් ප්‍රශ්න ගණනවක් ඇතිවුණා. හෘද සාක්ෂියට අනුව අපි අපේ පක්ෂය සමඟ කතා කර 20 ට කැමැත්ව පල කළා....“ එච්.එම්.එම් හාරිස් පවසන්නේය.

19 අඩුපාඩු තිබුණා
- මොහොමඩ් නසිර් අහමඩ්

මන්ත්‍රී නසිර් අහමඩ් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයෙනි. එසේම ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක වෙයි.

1961 වසරේදි එරාවුර් ප්‍රෙද්ශයේ ඉපදුනු ඔහු දේශපාලනයට අවතීර්ණ වන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රීක්කයෙනි. ත්‍රිකුණාමලයේ උපන් නසීර් අහමද් මන්ත්‍රිවරයාගේ මව ආමිනි උම්මා වන අතර පියා සෙයිනුල් ආබ්ඩීන් ය. එරාවුර් හි අලිජාන් පාසලෙන් හා කොළඹ රාජකිය විදුහලෙන් අධ්‍යාපනයට පිවිසි ඔහු විවාහ වි සිටින්නේ ෆාසියා සමඟය. ඔහු දරු දෙදෙනෙකුගේ පියෙකි. මුස්ලිම් කොන්ග්‍රසයේ හිටපු අශ්රෝෆ් ඇමැතිවරයාට ආධාර කරමින් දේශපාලනට පිවිසි ඔහු 2012 වසරේදි පළාත් සභා මැතිවරණයට තරඟ කරන්නේ එහි ජය අත්පත් කර ගනිමිනි. අවුරුදු දෙකක් පළාත් සභා ඇමැතිවරයෙතු වශයෙන් සිට 2015 වසරේදි ඔහු එහි නැගෙනහිර මහ ඇමැති විය. 2020 මහ මැතිවරණයේදි ඔහු පාර්ලිමේන්තුවට තරඟ කළේ මුල් වතාවටය. ඒ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයෙනි. “ 19 වැනි ව්‍යවස්ථාවේ අඩුපාඩු තිබුණා. ජනාධිපති අගමැති බෙදුණා. මුස්ලිම් ප්‍රශ්න ඇති වුණා. මේ නිසා රටේ අනාගතය වෙනුවෙන් අපි මේ තීරණයට පිවිසියා...“ නසිර් අහමඩ් මන්ත්‍රීවරයා පවසන්නේය.

ආණ්ඩු පක්ෂය සමඟ එකතුවීම මගේ අපේක්ෂාවයි
- මොහොමඩ් අලි සබ්රි

මන්ත්‍රී මොහොමඩ් අලි සබ්රි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජාතික මුස්ලිම් සන්ධානයෙනි. ඔහු දේශපාලනයටද පිවිසෙන්නේ සිය අපන් ගම වූ පුත්තලමෙනි. පියා අබ්දුල් රහීම් වන අතර මව වෂීරා උම්මාය. සහෝදරයන් සය දෙනෙකුගෙන් යුත් පවුලේ උපන් ඔහු අධ්‍යාපනය ලබන්නේ පුත්තලම සහීරා විදුහලෙනි.

අලි සබ්රි විවාහ වී සිටින්නේ අබ්දුල් හලීම් රස්මි සමඟ වන අතර ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහුගේ ජීවිතය මෙන්ම ඔහු දේශපාලනයට පිවිසි ගමන් මඟ බොහෝ සෙයින් ආදර්ශමත්ය. ඔහුගේ මුල්ම රැකියාව වන්නේ ඉවත ලන කිරි ටින් එකතු කර විකිණීමය. දෙවනුව ඔහුගේ ව්‍යාපාරය වන්නේ ගමේ දෑ එකතු කර ගමේ පොළවලට ගොස් විකිණීමය. ඉන්පසු උපයාගත් මුදලින් මෝටර් සයිකලයක්ද අනතුරුව ලොරියක්ද ගත් ඔහු ඒ වාහනයේ ක්ලීනර් මෙන්ම රියදුරු ද විය.

ඉන්පසුව සෝයා රයිස්, ලුණු ව්‍යාපාරය ආදි කාලයෙන් කාලයට ව්‍යාපාර මාරු කරමින් ජීවත් වුවද දේශපාලනයට පිවිසිමට ඔහු දැඩි කැමැත්තකින් පසුවිය. 1994 වසරේ සිටම පුත්තලම හරහා දේශපාලන ගමන් මඟට අවතීර්ණ වුවද ඔහු ස්වාධීන කණ්ඩායමක් හරහා දේශපාලනයට පිවිසෙන්නේ 2011 දීය.

2013 පුත්තලම නගර සභා මන්ත්‍රි කෙනකු වූ අතර 2015 වසරේදී ජනාධිපතිරණ ඡන්දයේදි ඔහු දිස්ත්‍රික් සංවිධායක විය.

2020 වසරේදි ජාතික මුස්ලිම් සන්ධානය හරහා මහා මැතිවරණයට පිවිස ඔහු මනාප 33,500 ක් ලබා ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කය ජය ගන්නේය. “අවුරුදු තිස් ගණනකට පසුයි පුත්තලමට මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් පත්වුණේ. ආණ්ඩු පක්ෂයත් සමඟ එකතු වීමේ තීරණය ඇතිවයි මේ තීරණයට පිවිසියේ...“මොහොමඩ් අලි සබ්රි පැවැසුවේය.

වතුකරයේ ජනතාව වෙනුවෙන් තීරණයක් ගත්තා
- ඒ. අරවින්ද් කුමාර්

මන්ත්‍රී ඒ. අරවින්ද් කුමාර් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කදුරට ජනතා පෙරමුණෙනි . ගම්පල ඉපදුණු ඒ. අරවින්ද් කුමාර්ගේ පියා වත්තක ප්‍රධාන ලිපිකරුවෙකි. ගම්පල ශාන්ත ජෝන්ස් හා මහනුවර ශාන්ත ඇන්තෝනි පාසල්වලින් අධ්‍යාපනය ලැබූ ඔහුට බිරිය සිය දේශපාලන ගමන් මඟට ශක්තියක් වන්නේය.

කදුරට ජනතා පෙරමුණේ ටී චන්ද්‍රෙස්කරන් ගේ සමිප සම්බන්ධතාවය මත ඔහුත් සමඟ සම්බන්ධ වි දේශපාලන කටයුතු කළද, සෘජුව දේශපාලනයට අවතීර්ණ වීමේ අදහසක් නොතිබුණි. 1995 වසරේදි චන්ද්‍රෙස්කරන් නියෝජ්‍ය ඇමැතිගේ පෞද්ගලික ලේකම් වූ අතර විවිධ අමාත්‍යාංශවල විවිධ තනතුරු දරමින් අවුරුදු 10 ක් සේවය කළේය. ඔහු අහම්බෙන් වූ සිදුවීමක් හරහා බදුල්ල ප්‍රදේශයට පළාත් සබාවෙන් තරඟ කරන්නට සිදුවූයේ චන්ද්‍රෙස්කරන් ඇමැතිගේ බලවත් ඉල්ලීම මතය. විවිධ අභියෝග මැද නුපුරුදු බදුල්ලට ඔහු තරඟ කළද අවසානයේ පළාත් සභාවටද පත්විය. ඉන්පසු 2105 මහ

මැතිවරණයෙන් එක්සත් ජාතික ක්ෂයෙන් බදුල්ලට නැවතත් තරඟ කර මනාප 55,000 ක් ලැබ පාර්ලිමේන්තුවට පිවිසියේය. 2019 මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය හරහා පාර්ලිමේන්තුව ජය ගත්තේ මනාප 45,500 ක් ලබා ගනිමිනි.

“බදුල්ලේ වතුකර ජනතාව මා කෙරෙහි විශ්වාසයෙන් ඉන්නවා. අපිට 2020 දි ආණ්ඩු පිහිටුවන්න බැරිවුණත් නව රජය ප්‍රබල රජයක් පිහිටුවා ගත්තා. ජනතතාව වෙනුවෙන් විපක්ෂයේ ඉන්න බැහැ. ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇමැතිතුමාත් මගෙන් ඒ ඉල්ලීම කලා. ඒ සියල්ලම

සලකා තමයි මම 20 ට පක්ෂව ඡන්දය දුන්නේ...“ඒ. අරවින්ද් කුමාර් පවසයි.

වසර 20 ක දේශපාලන ගමනක්
- එම්.එස් තව්ෆික්

මන්ත්‍රී එම්.එස් තව්ෆික් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයෙනි. 1971 වසරේදී ඔහුගේ උපන් ගම කින්නියා වන අතර දේශපාලනයට තරඟ කරන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රීක්කයෙනි. ෂෙරීෆ් ඔහු පියාය.

තවුෆික් මනත්‍රීවරයා කින්නියා මධ්‍ය මහා විදුහලේ අධ්‍යාපනය ලැබු අතර පසුව ඔහු කින්නියා ජාතික පාසලේ ගුරුවරයෙකු වශයෙන්ද සේවය කළේය.

සිය වසර 20 ක දේශපාලන ගමන් මග ආරම්භ වන්නේ 2000 වසරේදිය. ඒ පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙනි.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඔහු සහය දක්වන්නේ ජාතික සමගි බලවේගයෙන් වන අතර ඔහු පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් පිවිසෙන්නේ ජාතික ලැයිස්තුවෙනි.

පසුගිය රජයේ ඔහු වාරිමාර්ග කටයුතු ඇතුළු අමාත්‍යාංශ ගණනාවක නියෝජ්‍ය ඇමැති තනතුරු දරා ඇත.

මෙය අපේ වගකීමක් සහ යුතුකමක්
- ෆයිසාල් කාසීම්

මන්ත්‍රී ෆයිසාල් කාසීම් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයෙනි. 1957 වසරේදි උපන් ෆයිසාල්ගේ උපන් ගම වන්නේ අම්පාර නින්දවූර්ය.

ඔහුගේ පියා කාසීම් වන අතර නින්දවූර් හි අල් අශ්රක් පාසලෙන් අධ්‍යාපනයට පිවිසි ෆයිසල් කාසිම් මන්ත්‍රීවරයා වසර 20 ක් අම්පාර දිගාමඩුල්ල නියෝජනය කරමින් පත්වූ මන්ත්‍රීවරයකු වන්නේය. පසුගිය රජයේ සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිවරයා වු ඔහු ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළේය.

එපමණක් නොව ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය ජාතික සංවිධායකද වන්නේය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, කෘෂිකර්මය සහ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, විදේශගත ශ්‍රී ලාංකිකයන් හට ඉදිරි මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කිරීමට ඇති ඉඩකඩ සලසා දීමේ සහ ඊට අනුෂංගික කරුණු විමර්ශනය කර පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඇතුළු කාරක සභා රැසක සාමාජිකත්වය දරා ඇත.

Comments