රාජ්‍ය සේවයේ ප්‍රති­සං­වි­ධා­න­යට පෙර­ව­ද­නක් | Page 2 | සිළුමිණ

රාජ්‍ය සේවයේ ප්‍රති­සං­වි­ධා­න­යට පෙර­ව­ද­නක්

රාජ්‍ය යාන්ත්‍ර­ණය ප්‍රති­සං­වි­ධා­නය කිරීම සම්බන්ධ මාතෘ­කාව සමාජ කති­කා­වක් බවට පත් කිරීම අති­ශය කාලෝ­චි­තය. මේ අව­ස්ථාව මඟ­නො­හැර නියමාකාර­යෙන් ඒ සම්බ­න්ධ­යෙන් කති­කා­වක් ගොඩ­නඟා ගත­හොත් අප අපේ­ක්ෂිත ලංකාව නැවත ගොඩ­නඟා ගැනී­මට සහ එතැ­නින් ඊළග පිය­ව­රට යෑමේ ක්‍රියා­දාය ඒ හරහා ඉටු­ක­ර­ගත හැකි වනු ඇත. බව අපේ අපේ­ක්ෂා­වයි. නව රජය යටතේ රාජ්‍ය යාන්ත්‍ර­ණය ප්‍රති­සං­වි­ධා­නය කිරීම සම්බ­න්ධ­යෙන් ප්‍රවි­ෂ්ඨ­යක් ගෙන ඇත. ඇමැති මණ්ඩ­ලය පත්කි­රී­මේදී නිශ්චිත කාර්ය භාර­යක් සහි­තව ඇමැ­ති­ව­රුන් සහ රාජ්‍ය ඇමැ­ති­ව­රුන් පත් කර ඇති ආකා­රය අති­ශ­යින්ම කාලෝ­චි­තය. ආණ්ඩුව එයින් පෙන්නුම් කරනු ලබන ප්‍රධාන කාර­ණාව නම් අදාළ විෂය භාර ඇමැ­ති­ව­රුන්ට සහ අදාළ නිල­ධා­රීන්ට නිශ්චිත ඉලක්ක ගත සැල­සු­ම­කට යා යුතුයි යන අභි­ලා­ෂය එහි අන්ත­ර්ගත වී ඇති බවයි.

මේ අව­ස්ථා­වේදී රටක් ලෙස සියලු දෙනා ග්‍රහ­ණය කර­ගත යුතු කාර­ණා­වද මෙයයි. සියලු ක්ෂේත්‍ර වෙන් වශ­යෙන් වෙන් කොට ලබා­දීම හෑල්ලු­වට ලක් කළ­යුතු කාර­ණා­වක් හෝ සමාජ ජාලා වෙබ් අඩවි හරහා අප­හා­ස­යට ලක්ක­ර­මින් කතා කළ යුතු කාර­ණා­වක් නොවේ. ඇමැ­ති­ව­රුන්ට නිශ්චිත කාර්ය­භා­ර­යක් පැව­රීම මීට දශක ගන­නා­ව­කට පෙර සිදු කර තිබුණේ නම් මේ රට අද ඊළග පිය­ව­රට ගොස් ඇති බව නියත කාර­ණා­වකි. මෙම ඇමැතිධූර පැවරී ඇති තත්ත්වය අනුව කිසි­ව­කුට තම කාර්යය මග­හැර සිටී­මට නොහැ­කිය. රාජ්‍ය යාන්ත්‍ර­ණය ප්‍රති­සං­වි­ධා­නය කිරි­මට අපි පාවිච්චි කළ යුතු හොඳම මෙව­ලම මෙයයි.

ඇමැ­ති­ව­රුන්ට නිශ්චිත ඉලක්ක ලබා­දුන් සේම රාජ්‍ය නිල­ධා­රී­න්ටද පහළ තලයේ නිල­ධා­රී­න්ටද එම කාර්ය­ය­භා­රයේ නිශ්චිත වැඩ ලැයි­ස්තු­ගත පිළි­වෙ­ළ­කට ලබා දිය යුතුය. අමා­ත්‍යංශ ලේක­ම්ව­ර­යාගේ සිට සියලු නිල­ධා­රීන්ට ඉලක්ක සේම කාර්ය පටි­පා­ටි­යක් ලබා දිය යුතුයි. නිශ්චිත කාර්යය සට­හ­නක් කාර්ය පටි­පා­ටි­යක් නැති වීම නිසා කාර්ය­භා­ර­යන් මග­හැරී යෑම සාමාන්‍ය තත්ත්ව­යකි. අදාළ නිල­ධා­රීන් තමන්ගේ කාර්ය­භා­රය ලැයි­ස්තු­වක් ලිඛිත සට­හ­නක් නොමැති නම් අමා­ත්‍යං­ශ­ය­කට පැවරී ඇති කාර්ය­භා­රය පිළි­බඳ ජන­තා­ව­ගේද දැනු­වත් වීමක් නැත. ඒ අනුව මේ කාර්ය­භාර ලැයි­ස්තු­වක් ලබා දීම ඉතා වැද­ගත් වන අතර ඒ අනුව රාජ්‍ය සේව­කයා දැනු­වත් වීමක් සිදු­වෙයි. එවැනි ලිඛිත ලැයි­ස්තු­ගත ලිය­වි­ල්ලක් තිබීම තුළ රාජ­කා­රිය මග­හැ­රී­මට රාජ්‍ය සේව­ක­යාට නොහැකි වෙයි. ඉලක්ක ගත සැලැ­සුම් ජය ගැනී­මට අප ඉති­හා­සයේ සිට ම හැකි­යා­වක් තිබූ ජාති­යකි. මෙහිදී ඉල­ක්ක­ගත සැල­සුම් අනුව ලේක­ම්ව­රයා අමා­ත්‍යාං­ශය මෙහෙය විය යුතුය. නිල­ධා­රීන් වෙනත් තැන්ව­ලට ස්ථාන­ගත කිරීම ඵලක් නැත. නිල­ධා­රී­න්ගෙන් කාර්ය­ක්ෂම සේවා­වක් ලබා­ගැ­නී­මට සංකල්ප නිර්මා­ණය කර ඒ ව්‍යාපෘති හඳු­නා­ගෙන ඒවා බාර­දිය යුතුයි. එමෙන්ම ඒ ව්‍යාපෘති සඳහා කාල රාමු­වක් ලබා දිය යුතුයි.

ගම­නා­න්ත­යට නිවැ­ර­දිව යෑමට නම් යන මාර්ගය දැන­ගත යුතුයි. ඉලක්ක සපුරා ගැනී­මට නම් නිශ්චිත ඉලක්ක දැන­සි­ටිය යුතුයි. එසේ නොවන්නේ නම් රාජ්‍ය දේපළ අපතේ යෑමක් සිදුවේ. ඉලක්ක ලබා ගන්න­වාද නැත්ද යන්න පසු­වි­ප­රම් කළ යුතුය. මෙය වර්ත­මාන අමා­ත්‍යාං­ශ­වල සිදු නොවන ක්‍රියා­වකි. එලෙස ප්‍රගති සමා­ලෝ­ච­නය කළ යුතුයි. ප්‍රගති සමා­ලෝ­ච­න­යේදී නිල­ධා­රීන්ට සාර්ථ­ක­ත්වය සහ අසා­ර්ථ­ක­ත්වය පිළි­බඳ ස්වයං තක්සේ­රු­වක් කර­ගැ­නීමේ හැකි­යා­වක් ඇත. ඒ අනුව ඒ අදාළ අමා­ත්‍යාං­ශයේ දෙපා­ර්ත­මේ­න්තුවේ සියලු දෙනාට එම පණි­වු­ඩය සන්නි­වේ­ද­නය වේ. ඒ හරහා නිල­ධා­රි­යාට තම කාර්යය සාධ­කය නිවැ­රදි කර­ගැ­නීම හෝ ප්‍රග­තිය නැවත ප්‍රති­නි­ර්මා­ණය කර­ගැ­නී­මට හැකිය. එවිට තමා එම කාර්ය­යට සුදුසු බව පිළි­ගෙන ඔහුට ප්‍රග­ති­යක් ඇති කර ගැනී­මට හැකි ස්ථාන­ය­කට ස්ථාන­ගත වීමට හැකි­යාව ලැබේ.

රාජ්‍ය යාන්ත්‍ර­ණය පිළි­බඳ ඇති වැරදි අව­බෝ­ධය දුරු­ක­ර­ගත යුතුය. තමන්ගේ පහළ නිල­ධා­රීන් සම්බ­න්ධ­යෙන් සුහ­දව කට­යුතු කිරී­මට ඇති හැකි­යාව, සහ­යෝ­ගය සහ සහ­ජි­ව­නය වත්මන් රාජ්‍ය සේවයේ දැක ගත නොහැ­කිය. විශේ­ෂ­යෙන් මහ­ජ­න­තාව සමඟ ගනු­දෙනු කිරී­මේදී පෞද්ග­ලික අංශයේ ඇති සුහ­ද­ශී­ලී­ත්වය රාජ්‍ය අංශයේ නොමැති බවට සමාජ කති­කා­වක් ගොඩ­නැඟී ඇත. එයද රාජ්‍ය සේවයේ ප්‍රති­සං­වි­ධා­නය විය යුතු සුවි­ශේෂි ක්‍රියා පිළි­වෙ­තකි. ඒ දුරස්ථ භාවය ඉතා අහි­ත­කර නිසා එය ඉතා කඩි­න­මින් වෙනස් විය යුතුය. නිල­ධා­රීන් අතර සහ මහ­ජ­න­තාව අතර සුහ­ද­ශීලී සේවා­වක් පවත්වා ගත යුතුය. තමන් පිළි­බඳ අධි තක්සේ­රුව බැහැර කර නිසි අව­බෝ­ධ­යෙන් යුතුව සේවා සප­ය­න්නකු ලෙස මහ­ජ­න­තාව ඉදි­රියේ පෙනී සිටින නිල­ධාරී පැලැ­න්ති­යක් අපි රාජ්‍ය සේවය තුළින් බිහි කර­ගත යුතුය. තන­තුරු ඇත්තේ මහ­ජ­න­යාට සේවා සප­ය­න්නට මිස ප්‍රභු තන්ත්‍රය හෝ පෞද්ග­ලි­ක­ත්වය ප්‍රව­ර්ධ­නය කිරී­මට නොවන බව නිල­ධා­රීන්ට අව­බෝධ කළ යුතුය. මේ සියලු කරුණු හරහා මනාව තම ඉලක්ක සපු­රන නිල­ධා­රීන් හඳුනා ගත හැකිය. එසේ හඳුනා ගන්නා නිල­ධා­රීන් REWARDS කිරීම එනම් ඇගැ­යී­මට ලක් කළ යුතුය.

එම­ගින් අනෙක් රාජ්‍ය නිල­ධා­රින් ප්‍රේර­ණ­යට මෙන්ම උද්යෝ­ග­යට පත්ව­නවා මෙන්ම සියලු සේව­ක­යන්ට ආදර්ශ සැප­යී­මක්ද සිදුවේ. උදා­හ­රණ ලෙස ඇතැම් පළාත් පාලන ආය­ත­න­වල ආය­තන අතර තරග පව­ත්වනු ලබයි. එහිදී වඩා හොඳින් කට­යුතු කරන පළාත් පාලන ආය­තන දකින විට තමුන්ගේ ආය­ත­න­යත් එවැනි හොඳ ස්ථාන­යක ස්ථාන­ගත කිරිමේ උන­න්දු­වක් සෙසු ආය­ත­න­ව­ලට ඇතිවේ. ඒ ආකා­ර­යට ආය­තන හරහා සේවා ඇග­යීම් තර­ග­කා­රී­ත්ව­යක් ඇති කළ යුතුය.

ඇතැම් රාජ්‍ය නිල­ධා­රීන්ට තමා ස්ථාන­ගත වී ඇති ස්ථාන­යෙන් ඉදි­රි­යට යෑමේ, ජය­ග්‍ර­හ­ණය කිරීමේ හෝ ඉලක්ක, අභි­යෝග ජය­ගත යුතුයි යන හැඟී­මක් නැත. තමන් කෙසේ රැකි­යාවේ නියුතු වූවත් සියලු වර­ප්‍ර­සාද සහ විශ්‍රාම වැටුප් ලැබෙ­තැයි යන විශ්වා­සය ඇතැම් නිල­ධා­රීන් තුළ වීම ඊට හේතු­වයි. පෞද්ග­ලික අංශයේ මෙන් නිශ්චිත ක්‍රියා­ප­ටි­පා­ටි­යක්, සේවා ඉල­ක්ක­යක් නොමැති වීම එම මාන­සි­ක­ත්වය ඇති වීමට ප්‍රධාන හේතු­වයි. පෞද්ග­ලික අංශයේ නිල­ධා­රීන්ට උස­ස්වීම්, වැටුප් වර්ධන ලැබෙන්නේ ඉලක්ක සපු­රන ප්‍රමා­ණය අනු­වය. රාජ්‍ය සේවා­වේද එවැනි කාර්ය පටි­පා­ටි­යක් සකස් කළ යුතුය. උපා­ධි­ධා­රීන් හැට දහ­සක් සහ අඩු ආදා­ය­ම්ලාභී පවු­ල්ව­ලින් ලක්ෂ­යක් තෝරා ගෙන ඔවුන්ට රැකියා පුහු­ණු­වක් ලබාදී ආර්ථි­ක­යට දායක කර ගන්නා අත­රම රැකියා ලබා­දීමේ වැඩ­පි­ළි­වෙ­ළක් රජය විසින් දැන් ආරම්භ කර තිබේ. එය ඉතා හොඳ වැඩ­පි­ළි­වෙ­ළකි. නමුත් බොහෝ පිරිස් රාජ්‍ය සේව­යට පැමි­ණෙන්නේ පූර්ණ නිග­මන අනු­වය. එයට සරල උදා­හ­ර­ණ­යක් ලෙස ඇතැම් උපා­ධි­ධා­රීන්ට හැත්තෑ­ද­හ­ස­කට අධික වැටු­පක් ලබා ඊ.ටී‍.එෆ් සහ ඊ.පී.එෆ්. කපා ගැනී­මක් සිදුවී ඇත. ඔවුන් හැට හැත්තෑ දහ­සක වැටු­පක් අත­හැර 20000 පුහුණු දීම­නා­ව­කට රාජ්‍ය සේව­යට බැඳීමේ අර­මුණ අප සෙවිය යුතුය. රාජ්‍ය සේව­යට බැඳී සේව­යක් කිරීමේ අර­මු­ණද යන්න ගැන සැල­කි­ලි­මත් විය යුතුය. අවං­ක­වම එසේ නොවන අයගේ ආක­ල්ප­යක් වන්නේ රාජ්‍ය සේව­යට පැමි­ණි­යොත් වැඩ සීමා­ස­හි­තව කිරී­මෙන් වැටුප් ගැනී­මට හැකි වන බවයි. ඒ මාන­සි­ක­ත්වය අප වෙනස් කළ යුතුය.

මේ සම්බ­න්ධ­යෙන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ගේ වැඩ­පි­ළි­වෙ­ළක් ඇති අතර එය ඉතා සාර්ථක සහ ප්‍රායෝ­ගික වැඩ­පි­ළි­වෙ­ළකි. ඒ සඳහා කාර්ය සාධක බළ­කා­යක් ලබාදී ඇති අතර ඒ තුළින් නිසි පුහු­ණු­වක් ලබාදී ඔවුන්ගේ පූර්ව නිග­මන සහ මාන­සි­ක­ත්වය වෙනස් කිරී­ම­කට ලක්වනු ඇත. පුහු­ණුව ලබාදී හැකි­යා­වන් අනුව ඉලක්ක ලබා­දීම ඔවුන් ස්ථාන­ගත කළ යුතුය. මේ රටේ ඉදිරි සංව­ර්ධන මෙහෙ­යු­මට අනි­වාර්ය දාය­ක­ත්ව­යක් ඔවු­න්ගෙන් ලබා­ගත හැක්කේ එවි­ටය. එසේ නොව­න්නට මේ බඳවා ගන්නා එක් ලක්ෂ හැට දහ­සක පිරිස රජයට බරක් වනු ඇත.

මෙරට රාජ්‍ය සේවා­වට සාර­ධර්ම, ආචාර ධර්ම පද්ධ­ති­යක් නොති­බීම විශාල අඩු­පා­ඩු­වකි. ඒ ආචාර ධර්ම පද්ධ­තිය තුළ තමන්ගේ කාර්ය භාරය සිදු කළ යුතුයි. ඒ තුළ අපි සැල­කි­ලි­මත් විය යුතු කාර­ණා­වක් ලෙස නවීන ලෝකයේ ඇතිවී ඇති ප්‍රව­ණ­තා­වක් ලෙස ස්ත්‍රී පුරුෂ භාවය සම්බ­න්ධ­යෙන් ඇති කරුණු සම්බ­න්ධ­යෙන් කතා කිරී­මේදී කාන්තා­වක ඉහළ තන­තු­ර­කට පත්වූ අව­ස්ථා­ව­ලදී යම් මානසික හිංසනයන්ට ලක් වීම සිදු වන අවස්ථා වේ. ඔවුන්ට නිද­හසේ කට­යුතු කර­ගැ­නී­මට නොහැකි වන අවස්ථා වේ. ඇතැම් අව­ස්ථා­වල පුරු­ෂ­ය­න්ටද මෙවැනි ගැටලු මතු වේ. ස්ත්‍රී පුරුෂ දෙපා­ර්ශ්ව­ය­න්ටම මෙවැනි හිංසන වන අවස්ථා ඇත. මේ පිළි­බඳ විශේ­ෂ­යෙන් සැලැ­කි­ලි­මත් විය යුතුය. රාජ්‍ය සේවය නිසි­යා­කා­ර­යෙන් ස්ථාන­ගත කර­ගැ­නී­මට නම් රාජ්‍ය සේවය කාර්ය­ක්ෂම කර­ගැ­නී­මට නම් අදාළ නිල­ධා­රීන්ට වැඩ කළ හැකි හොඳ පරි­ස­ර­යක් රාජ්‍ය යාන්ත්‍ර­ණය තුළ ඇති කළ යුතුය. කිසි­ව­කුගේ බල­පෑ­මට ලක් නොවී නිරෝගී මන­ස­කින් වැඩ කළ හැක්කේ එවි­ටයි. ඒ සඳහා පැහැ­දිලි වට­පි­ටා­වක් රාජ්‍ය යාන්ත්‍ර­ණය තුළ ඇති කළ යුතුය.

බට­හිර රට­වල කාන්තා­වන්ට සිදු කරන ලිංගික හිංස­න­යන්ට දැඩි දඬු­වම් පමු­ණු­වයි. ඉතා සුළු වැර­දි­ව­ලට වුවත් විශාල දඬු­වම් පමු­ණු­වයි. සුළු වර­දක් ලෙස නොස­ල­කයි. එවැනි හිංස­න­යන්ට ලක්වන නිල­ධා­රි­නි­ය­න්ගෙන් කාර්ය­ක්ෂ­ම­තාව බිඳ වැටෙයි. විශේ­ෂ­යෙන් මෙවැනි කාර්යා­ලීය හිංස­න­ය­කට ලක්නො­ව­න්නට ආචාර ධර්ම පද්ධ­ති­යක් කාර්යාල තුළ ස්ථිර වශ­යෙන් ඇති කළ යුතුය. ඒවා නියා­ම­නය කළ­හැකි රාජ්‍ය යාන්ත්‍ර­ණ­යක් ක්‍රියා­ත්මක කළ යුතුය.

මෙම ප්‍රති­සං­ස්ක­රණ රාජ්‍ය සේව­යට ස්ථාන ගත කර­ගැ­නීම් සිදු­ක­රනු ලබන නව නිල­ධා­රීන් සහ මේ වන විට සේවය කරන නිල­ධා­රීන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවය තුළම ස්ථාපිත කළ යුතුය. මෙහි පළමු පිය­වර ලෙස නාය­කත්ව පුහුණු වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළ යුතුයි. නාය­ක­ත්වය මෙහිදී ඉතා වැද­ගත් වන්නේ තමන් යටතේ සිටින පිරිස තමන්ගේ අර­මුණ කරා ගෙන යෑමට කාර්ය­ක්ෂම නාය­ක­ත්ව­යක් නිර්මා­ණය කිරී­මට නම් ආද­ර්ශ­වත් නිල­ධා­රීන් අවශ්‍ය වෙයි. ඒ සඳහා තාක්ෂ­ණ­යද අත්‍ය­වශ්‍ය සාධ­ක­යක් වෙයි. කෝවිඩ් 19 හරහා අපි එය හොඳින් අත්වි­න්දෙමු. තාක්ෂ­ණය මගින් රාජ්‍ය සේවයේ සහ වෙනත් සේවා නිසි කාර්ය­ක්ෂ­ම­තා­ව­කින් ඉටු කළ ආකා­රය අපි දුටු­වෙමු. රට වසා දැමූ කාල­ව­ක­වා­නු­වේදී එය සාර්ථක විය. කෝවිඩ් 19 හරහා රටම අක්‍රීය මොහො­තක මාර්ග­ගත (online) ක්‍රම­වේද අනු­ග­ම­නය කර­මින් අව­ශ්‍යතා සපුරා ගත­හැකි ක්‍රම­වේදය අපි දුටු­වෙමු. එය සාර්ථක විය.

විශේ­ෂ­යෙන් පෙර පැවති ආණ්ඩු­කා­ල­ව­ලදී රාජ්‍ය සේව­ය­ක­යන් මාන­සික, කායික පීඩා­වන්ට පත් කළ තව කරු­ණක් වෙයි. එනම් වෙනත් දේශ­පා­ල­නික මත­වාද දරන නිල­ධා­රීන්ට නඩු පව­ර­මින් ඔවුන්ව හිංස­න­යට ලක් කිරීම සිදුවිය. ඔවුන්ගේ අභි­මා­නය නැති කර රාජ්‍ය සේවය ඉතා­මත් පහ­තට ඇද දමා චරිත විනාශ කළ ආකා­රය අපි දුටු­වෙමු. එවැනි ආණ්ඩු­ව­ලට පැවැ­ත්මක් නොති­බුණි. එසේම රටේ සංව­ර්ධ­නය අඩාළ වූයේ දේශ­පා­ල­නික බල අධි­කා­රිය විසින් නිල­ධා­රී­න්ගෙන් එවැනි පලි­ගැ­නීම් සිදු කර ඔවුන් අක­ර්මණ්‍ය කිරීම නිසා­වෙනි. ඒ අනුව ඉහළ නිල­ධා­රීන් තමන්ගේ පහළ නිල­ධා­රීන්ට වැඩ පැවැ­රීම් සම්බ­න්ධ­යෙන් තීරණ ගැනී­මට බිය­වීම නිසා ඒ හරහා රාජ්‍ය සේවය අක­ර්මණ්‍ය විය. මේ නිසා රාජ්‍ය සේව­කයා අඩ­පණ විය. වැඩ කිරීමේ මානසික තත්ත්ව­යෙන් බැහැර විය. මේ තත්ත්වය වෙනස් කර නැවත රාජ්‍ය සේව­ක­යාට මාන­සික නිද­හස දිය යුතුය. එහිදී ඉලක්ක කරා යෑමට ඉඩ දිය යුතුය. ඒ සඳහා මාන­සික වට­පි­ටාව මෙන්ම සේව­ක­යාට ගරු­ත්වය සහ නවීන තාක්ෂ­ණික මෙව­ලම් භාවි­තය ඉතා වැද­ගත් වෙයි. ආය­ත­න­ව­ලට යටි­තල පහ­සු­කම් ලබා­දිය යුතුය. එතැ­නින් අපි මේ අලුත් ගමන ආරම්භ කර මේ මුලික පිය­වර රාජ්‍ය සේවය වෙනු­වෙන් ගනු ලැබූ විට රාජ්‍ය සේවය නිතැ­තින්ම කාර්ය­ක්ෂම වේ.

Comments