
ගාල්ලට නැවක් පැමිණෙන්නේ ඉඳහිටය. ඒ එන්නේ ද සිමෙන්ති සමාගමට අවශ්‍ය අමුද්‍රව්‍ය රැගත් නෞකාවක් හෝ වෙනත් කුඩා නැවක් පමණි.
නමුත් ජාත්‍යන්තර මුහුදු මාර්ගයට ඉතා ආසන්නයෙන් පිහිටි ගාල්ල වරාය අසළින් දෛනිකව යාත්‍රා කරන 300කට අධික නැව්වලට නිති පතා අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීම ගාල්ලෙන් සිදු වෙයි.
එසේම ලෝකයේ ෂී මාර්ෂල්වරුන්ට අවශ්‍ය සේවා සපයන කේන්‍ද්‍රස්ථානයක් බවට ගාල්ල වරාය පත්ව ඇත.
එම ආරක්ෂකයන්ගේ අවි ආයුධ ගබඩා කර තබන්නේ ද නාවික හමුදාවේ ද අධීක්ෂණය යටතේ ගාල්ල වරායේය. පසුගිය දා පැවැති කොවිඩ් - 19 වසංගත කාලයේ දී ද ජාත්‍යන්තර නැව් ගමන් සිදුවූ අතර මේ නැව්වලට සේවා සැපයීම අඛණ්ඩව සිදුකිරීමට ගාල්ල වරායට සිදුවිය.
නැව්වලට සේවා සපයන නියෝජිත ආයතන මගින් මේ සේවා සැපයීම සිදුකරන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාවික හමුදාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, රේගුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය යන රාජ්‍ය ආයතනයන්හි පූර්ණ අනුමැතිය හා අධීක්ෂණය සහිතවය. කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානයක් ද ඒ සඳහා යොමුව තිබේ.
ගාල්ල වරායේ සිදුවන මේ නාවික හුවමාරු කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකාවට කොරෝනා වසංගතය රිංගා ගනු ඇතැයි බොහෝ දෙනා බිය පළකරති. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එවැන්නක් කිසිසේත්ම සිදුවිය නොහැකි බවයි.
සෞඛ්‍ය ආමාත්‍යාංශය පවසන්නේ ගාල්ල වරායෙන් නැව් ආරක්ෂකයන්, නැව්වල සේවය කරන විදේශිකයන්, ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඇතැම් විට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය හෝ රෝහල්ගත කිරීමට අවශ්‍ය තත්ත්වයේ සිටින රෝගී වූ නාවිකයන් ද මෙලෙස ගොඩබිමට ගෙන්වා ගන්නා බවයි. එමෙන් ම නැව්වලට එකතුවන කාර්ය මණ්ඩල නැව් නැගීම කරන්නේ ද ගාල්ල වරායෙන් සේවය ලබාගනිමිනි.
මෙම කටයුතු සිදුකරන්නේ රජයේ ලියාපදිංචි නාවික සේවා සපයන නියෝජිත ආයතන මගිනි.
මේ සියල්ල සැපයිය යුතු වන්නේ ගාල්ල වරායේ ස්ථාපිත කර ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයටය.
වෛද්‍ය ශ්‍රියානි ජයසූරිය මෙහි දී සිදුකරන කර්තව්‍යය මෙසේ විස්තර කළාය.
'' නැවක නාවිකයන් හුවමාරු කාර්යයක දී හෝ නැවට වෙනත් සේවාවන් සපයන අවස්ථාවල දී අපි නැවට යන්නේ නැහැ. නමුත් නැවේ රෝගියකු සඳහා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් අපේ වෛද්‍යවරුන්ගෙන් කවුරුන් හෝ නැවට ගොඩවී අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන අවස්ථා තිබෙනවා. නාවිකයන් ගොඩබිමට ගෙන එන්නේ ඔවුන් එකිනෙකාගෙන් ඈතව දුරස්ථභාවය තබාගනිමින්. ඒ වගේම අපේ නිලධාරීන් ද ඔවුන්ට ඈත්ව සිටිමින්. මොවුන් ගොඩබිමට පැමිණි වහාම මුලින්ම කරන කාර්යය වන්නේ පීසීආර් පරීක්ෂණයකට යොමු කිරීම. එතැන දී ඔවුන්ගේ ජෛව සාම්පල අරගෙන ඔවුන්ගේ ශරීර උෂ්ණත්වයත් පරීක්ෂා කර බලනවා. ඒ වගේම ඔවුන් රැගෙන ආ සියලු උපකරණත්, ඔවුන් ගොඩබිමට රැගෙන ආ ටග් යාත්‍රාවත් ඉතාමත් ඉක්මණින් නාවික හමුදාව විසින් විෂබීජහරණය කරනවා. ඉන් පසු ඔවුන් යොමු කරන්නේ අපේ වරාය සෞඛ්‍ය කාර්යාලයට. "
ගාල්ල වරායේ ස්ථාපිත කර ඇති සෞඛය වෛද්‍ය කාර්යාලයට ඔවුන් පැමිණි වහාම ඔවුන්ගේ පුද්ගලික සෞඛ්‍ය දත්ත සටහන් කිරීමේ කටයුුතු සිදුවෙයි. ගත වූ දින 14ක කාලයේ දී ඔවුන් යම් රෝග ලක්ෂණයක් පෙන්වා ඇත්ද යන්න විමසා බලන අතර ඔවුන් උණ, හිසරදය හෝ ඇඟපත වේදනාව හෝ වෙනත් ඕනෑම අවස්ථාවක දී පැරසිටමෝල් පානය කර තිබේ ද යන්නත් එම දත්ත ලේඛනයේ සටහන් කළ යුතුය. ඔවුන් තබා ඇති සටහන් අනුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම වෛද්‍යවරු විසින් සිදු කරයි. යම් පුද්ගලයකුට කිසියම් හෝ රෝග ලක්ෂණ ඇත්නම් ඔවුන් කඩිනමින් කරාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කරන අතර එය සිදුකරන්නේ ගිලන්රථයක් මගිනි.
''පසුගිය දිනක නැවක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙක් ගොඩබිමට පැමිණෙන විට ඔහුගේ උගුරේ සෙම් ගෙඩි තත්ත්වයක් තිබුණා. ඒ නිසා අපි ඔහු හැකි ඉක්මණින් කරාපිටිය රෝහලට යොමු කළා. පසුව දැනගත්තා එය සාමාන්‍ය තත්ත්වයක් බව. ඔහු දැන් සුවය ලබා සිටිනවා."
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වරාය සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධයක්ෂ විශේෂඥ වෛද්‍ය රොෂාන් සම්පත් ගාල්ල වරායේ පවතින ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙසේ කීවේය.
''ගාල්ල වරායට පැමිණෙන නාවිකයන් පීසීආර් පරීක්ෂණයට ලක්කිරීමෙන් පසු ඔවුන්ගේ සෞඛ්‍ය දත්ත ලබාගෙන කෙලින්ම යොමු කරන්නේ නිරෝධායන කටයුතු සඳහා. ශ්‍රී ලාංකික නාවිකයන් නම් අපි ඔවුන් බූස්සේ හෝ දික්වැල්ලේ ස්ථාපිත කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරනවා. විදේශිකයන් නාවික හමුදාව මගින් පවත්වාගෙන යන ආරක්ෂිත නිවාස දෙකකට යොමු කරනවා. නමුත් විදේශීය නාවිකයන් තමන්ගේ රටට යාම සඳහා අවශ්‍ය ගුවන් යානා වෙන්කරවාගෙන පැමිණ සිටිනවා නම් ඔවුන් හැකි ඉක්මණින් සියලු ආරක්ෂිත ක්‍රමෝපාය භාවිත කරමින් ඔවුන්ගේ රටට යැවීමට අපි කටයුතු කරනවා. "
විශේෂඥ වෛද්‍ය රොෂාන් සම්පත් පවසන්නේ ඔවුන් ප්‍රවාහනය කරන රථ පවා කොරෝනා වසංගතයෙන් ආරක්ෂා විය හැකි පරිදි සකසා ඇති බවයි. නාවිකයන් අතර දුරස්ථභාවය තබාගනිමින් රියදුරු පවා ඔවුන්ගෙන් වෙන්ව සිටින පරිදි සැකසූ රථ මගින් ඔවුන් අදාළ ස්ථානයන්ට ප්‍රවාහනය කරන බැවින් කිසිවකුට අතරමග දී හෝ ඔවුන් හා සම්බන්ධ වීමෙන් කොරෝනා ආසාදිත අවධානමක් හෝ ඇතිවීමට ඉඩක් නොමැති බව වෛද්‍යවරයා වැඩිදුරටත් කීවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන කටයුතු සම්බන්ධ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආනල්ඩ් මෙසේ කීවේය.
'' නාවික හුවමාරු වැඩසටහන සහ නැව්වලට සේවා ලබා දීම සම්බන්ධයෙන් ගාල්ල වරාය ඉතා ප්‍රසිද්ධයි. කොරෝනා වසංගත තත්ත්වය තිබිය දී පවා අපිට මේ සේවා ලබාදීමට සිදුවුණා. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කළා. සියලුම ආරක්ෂිත ක්‍රමෝපාය අනුගමනය කරමින් මින් ඉහත කාලවලදීටත් වඩා නාවිකයන්ගේ ලෙඩ රෝග සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් එය විශේෂ සේවාවක් ලෙස ඉටු කළා. ඉතාමත් හොඳින් මේ කාර්යය සිදුවන නිසා කොරෝනා ආසාදිතයකු මේ නැවක සිටියත් එවැනි කෙනෙකුගෙන් අපේ රටේ වෙනත් පුද්ගලයකුට වයිරසය ආසාදනය වීමේ කිසිදු ඉඩක් නැහැ. ඒ නිසා කවුරුවත් අනවශ්‍ය බයක් තබාගන්න ඕනෑ නැහැ. වරායට පැමිණෙන සියලු දෙනාගේම පීසීආර් පරීක්ෂණ සිදුකරනවා වගේම ඔවුන් අනිවාර්යයෙන් ම නිරෝධායනයටත් යොමු කරනවා. ඉක්මණින් ම තමන්ගේ රටවලට යා හැකි අය හැකි ඉක්මණින් යැවීමටත් අප කටයුතු කරනවා."
ගාල්ල වරාය සෞඛ්‍ය කාර්යාලයේ වෛද්‍ය ශ්‍රියානි ජයසූරිය, වෛද්‍ය හේෂාන් ගුණවීර සහ වෛද්‍ය ලහිරු සඳරුවන් සේවය කරන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ද හෙද නිලධාරිනියක් ද එහි වෙති.
යම් නැවක් වරායට ඇතුළු වන්නේ නම් මේ නැවට නැගී ඒ නැව පරීක්ෂාවට ලක්කිරීම වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරනු ලබන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ද සහයෝගයෙනි. මේ සියලු ආරක්ෂිත ක්‍රමෝපාය හේතුවෙන් ගාල්ල වරායෙන් කොරෝනා වසංගතය රට තුළ පැතිර යාමේ කිසිදු අවධානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගාල්ල වරායට නැව් පැමිණෙන්නේ කලාතුරකින් වුව ද මහ මුහුද මැද සිදුකරන සේවා කටයුතු හේතුවෙන් දිනකට නාවිකයන් 100ක පමණ පිරිසක් ගොඩබිමට පැමිණ එවැනිම පිරිසක් යළි නැව් නගින කාර්ය බහුල වරායක් බවට ගාල්ල වරාය පත්ව තිබේ. ඒ නිසා ම ගාල්ල වරායේ සෞඛ්‍ය කාර්යාලය පැය 24ම සේවය සිය සේවය සැපයීමට සූදානම්ව සිටියි.
ගාල්ල වරාය යනු වර්තමානය වනවිට නාවික සේවාවලින් රටට විශාල විදේශ විනිමයක් ලබාදෙන ස්ථානයක් බවට පත්ව ඇත.