ඔලිම්පික් වෙනුවෙන් නිකුත් වූ මුද්දර | සිළුමිණ

ඔලිම්පික් වෙනුවෙන් නිකුත් වූ මුද්දර

ඔලිම්පික් යනු ලොව අති උත්කර්ෂවත් ක්‍රීඩා සැණකෙළියයි. එය මෙවර 2020 ජූනි 24 සිට අගෝස්තු 9 දක්වා ජපානයේ ටෝකියෝ අගනුවරදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණද, කොරෝනා ගෝලීය වසංගතය හමුවේ මේ අසිරිමත් කටයුත්ත තවත් වසරකට කල් දැමීමට සංවිධායකවරුන්ට සිදුවිය. එනමුදු, සෑම වසරකම ජුනි 23 වන දින ලෝක ඔලිම්පික් දිනය (World Olympic Day) සමරනු ලබන අතර, 'කියවන මුද්දර' මෙවර පිවිසුම ඔලිම්පික් දිනය සහ ඔලිම්පික් ඉතිහාසයේ ලාංකීය සලකුණු මුද්දර මතක අතුරින් කියවීමටය.

සෑම වසරකම ජුනි 23 වැනිදා සමරන 'ලෝක ඔලිම්පික් දිනය' ජගත් ඔලිම්පික් සම්මේලනය සහ ඊට අනුබද්ධිත සාමාජික රටවල ජාතික ඔලිම්පික් කමිටු විසින් ඔලිම්පික් උළෙලේ වටිනාකම පිළිබඳ ගෝලීය ප්‍රජාව දැනුවත් කිරීම සඳහා යොදා ගනු ලැබේ. නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සැමරීම සඳහා 1948 ජුනි 18 වන දින පැරිසියේ සෝර්බෝන්හිදී මෙම දිනය හඳුන්වා දෙනු ලැබීය.

ක්‍රිස්තු පූර්ව 776දී සියුස් දෙවියන් ඇතුළු ඔලිම්පියානු දෙවිවරුන් වෙනුවෙන් පවත්වනු ලබන සැණකෙළියක් ලෙස ආරම්භ වූ ‘ඔලිම්පික් ක්‍රීඩා උළෙල’ ලොව පැරණිම සහ ජනප්‍රියම ක්‍රීඩා උළෙලක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. ඔලිම්පියා නගරය මූලික කර ගත් බැවින්, මෙම ක්‍රීඩා උත්සවය 'ඔලිම්පික්' නමින් හැඳින්වෙන්නට විය.

ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූ පියරේ. ඩී. කුබර්ටන් සාමිවරයා විසින් 1894 වර්ෂයේදී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (International Olympic Council

- IOC) පිහිටවනු ලැබීය. නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹෙනුයේ 1896 අප්‍රේල් 08 වැනිදා ග්‍රීසියේ ඇතෑන්ස් නගරයේදීය. නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිර්මාතෘ වනුයේ පියරේ. ඩී. කුබර්ටන් වංශාධිපතිවරයාය. ඔලිම්පික් ප්‍රඥප්තියෙන් පනවා ඇති ව්‍යුහයට සහ ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කරන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව, එතැන් පටන් අද දක්වාම ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වාගෙන යෑමට කටයුතු කරයි.

ඔලිම්පික් උළෙලේ ප්‍රමුඛ අරමුණ වන්නේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය හෝ මලල ක්‍රීඩා හැකියාව නොසලකා ලොව පුරා ජනතාව ක්‍රීඩාවට සහභාගීවීම ප්‍රවර්ධනය කිරීමයි. මානව සම්බන්ධතා සංවර්ධනය කිරීමෙහිලා අන්තර් සහයෝගීතාවය, අධිෂ්ඨානය, ධෛර්යය, ශක්තිය සහ ලෝක සාමය ගොඩනැංවීම යන අරමුණු පෙරදැරිව පැවැත්වෙන මෙම ක්‍රීඩා මංගල්‍යය සිව් වසරකට වරක් අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරයි.

ඔලිම්පික් සංකේතය කළු, නිල්, කහ, කොළ හා රතු වර්ණයන් ගෙන් යුත් එකිනෙකට සම්බන්ධවූ වළලු 5කි. ලෝකයේ මහාද්වීප පහ වන යුරෝපය, ආසියාව, අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාව මෙමඟින් සංකේතවත් කෙරේ.

ලාංකීය ඉතිහාසයේ ඔලිම්පික් මතක:

1928 වසරේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පැවති ඔලිම්පික් උළෙලට ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයකු සහභාගී වී තිබේ. ඔහු සී. ටී. වැන්ගේයිසල්ය. එනමුත් ඔහු නියෝජනය කළ රට වන්නේ බ්‍රිතාන්‍යයයි.

1948 වසරේ ලන්ඩන් නුවර පැවති 14 වැනි ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩන්කන් වයිට් මීටර් 400 කඩුලු පැනීමේ තරගයෙන් රිදී පදක්කම දිනාගනු ලැබීය. මෙය ලාංකීය මලල ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය ලෙස සැලකෙන අතර, ලාංකිකයකු දිනාගත් ප්‍රථම ඔලිම්පික් පදක්කම ලෙසද ඉතිහාසගත විය. මෙම තරඟයේදී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේද ඩන්කන් වයිට්ය. ලංකා කණ්ඩායමක් ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ මුල් අවස්ථාවද මෙය වීමද විශේෂත්වයකි. මෙම විශිෂ්ට ක්‍රීඩකයා සංකේතවත් කළ සමරු මුද්දරයක් ශ්‍රී ලංකා මුද්දර ඉතිහාසයට එක්විය. 1937 අප්‍රේල් 8 වැනිදා බිහිවූ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සවර්ණ ජයන්ති සමරුව (1937-1987) නිමිත්තෙන්, 1987 ඔක්තෝබර් 8 වැනිදා නිකුත් කරන ලද මෙම මුද්දරය දියමන්ති හැඩයෙන් යුක්තය. එය එවන් හැඩයක් ගත් ලංකාවේ ප්‍රථම මුද්දර නිකුතුවයි.

ලංකාවේ දෙවෙනි ඔලිම්පික් සහභාගීත්වය 1952 ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී සිදුවිය. ඒ සඳහා සහභාගී වූයේ එක් ක්‍රීඩකයකු පමණක් වූ අතර, ඔහු යාපනය මාධ්‍ය මහා විදුහලේ පාසල් සිසුවකු නාගලිංගම් එදිරිවීරසිංහම්ය.

1964 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවති ඔලිම්පික් උළෙල ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන ආවේය. එම කීර්තිය ජයග්‍රාහී පදක්කමක් ලැබීමෙන් සිදු නොවූ නමුදු, 'ඔලිම්පික්හි වැදගත්කම, ජයග්‍රහණය නොව සහභාගීත්වයයි' යන ආදර්ශය ලොවටම කියා දෙමින් මීටර් 10,000 ඉසවුවේ අන්තිමයා ලෙසින් තරඟය නිමා කල ආර්. ජේ. කේ. කරුණානන්ද විසින් සිරිලකට ගෙන ආවේය. ඔහුගේ මෙම ධෛර්යවන්ත උත්සාහය පසු කලෙක ජපානයේ පෙළපොත් වල පවා සඳහන් විය.

දකුණු කොරියාවේ සෝල් අගනුවරදී 1988 සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 2 වැනිදා දක්වා පැවති 24 වන ඔලිම්පික් උළෙලට සමගාමීව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඔලිම්පික් තේමා කරගෙන සමරු මුද්දර නිකුත් කිරීම ඇරඹිනි. නව මුද්දර හතරක් මෙහිදී නිකුත් කරන ලදී. මේ සඳහා සහභාගී වූ තිලකා ජිනදාස ක්‍රීඩිකාව, ඔලිම්පික් උළෙල නියෝජනය කළ පළමු ලංකික ක්‍රීඩිකාව ලෙස ඉතිහාස ගතවිය.

25 වන ඔලිම්පික් ක්‍රීඩා උත්සවය පවත්වන ලද්දේ ස්පාඥ්ඥයේ බාසිලෝනා නුවරදීය. 1992 සැප්තැම්බර් 15 වනදා මුද්දර කාර්යංශය විසින් නව සමරු මුද්දර හතරක් මේ වෙනුවෙන් නිකුත් කළේය. ඉක්බිතිව ඇමරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටා නුවර පවත්වනු ලැබූ 26 වන ඔලිම්පික් ක්‍රීඩා උත්සවය නිමිත්තෙන් 1996 ජුනි 22 වන දිනද නව මුද්දර නිකුතු දක්නට ලැබේ.

2000 සැප්තැම්බර් 15 වනදා සිට ඔක්තෝබර් 1 වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පැවති 'නව සහශ්‍රයේ ඔලිම්පික් උළෙල' හෙවත් 27 වන ඔලිම්පික් ක්‍රීඩා උත්සවය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට අතිශය වැදගත්ය. 2000 සැප්තැම්බර් 28 වනදා මෙරට ක්‍රීඩා වංශ කතාවේ තවත් ස්වර්ණමය ජයග්‍රහණයක් සනිටුහන් කරමින් මීටර් 200 තරඟ ඉසව්වෙන් සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව ලෝකඩ පදක්කමක් ලබා ගත්තේ මෙහිදීය. වසර 52කට පසු ලංකාවේ ඔලිම්පික් සිහිනය නැවතත් සැබෑ වූ දිනය එයයි. පසුව එම තරඟයෙන් රන් පදක්කම ජයග්‍රහණය කල ඇමරිකාවේ මේරියන් ජෝන්ස්ට එම පදක්කම අහිමි වීමෙන් පසු, වසර 2010 දී සිදු කරන ලද ප්‍රතිඑල සංශෝධනයෙන් සුසන්තිකා ක්‍රීඩිකාවට රිදී පදක්කම හිමි විය. මෙම ඔලිම්පික් උළෙල වෙනුවෙන් වර්ෂ 2000 සැප්තැම්බර් 07 වනදා නිකුත් වූ මුද්දරද මෙරට මුද්දර ඉතිහාසයේ සුවිශේෂී සටහනකි. එකට බැඳුණු අසමාන මුද්දර හතරක් (se-tenant ) ලෙස මෙය නිකුත් කර තිබේ.

2004 වසරේ ග්‍රීසියේ ඇතන්ස් නුවර පැවැත්වූ 28 වන ඔලිම්පික් ක්‍රීඩා උත්සවය වෙනුවෙන්ද නව සමරු මුද්දර හතරක් නිකුත් කරන ලද අතර, එහි එක් නිකුතුවක සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවගේ ආදර්ශ රුව සිතුවම් කර තිබුණි. එම උළෙල සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ සුසන්තිකා ක්‍රීඩිකාවය.

ඔලිම්පික් ඉතිහාසයේ අති උත්කර්ශවත්ව පවත්වන ලද ක්‍රීඩා උළෙල ලෙස 29 වන ඔලිම්පික් උළෙල වන 2008 පවත්වන ලද චීනයේ බෙයිජිං නගරයේ පවත්වන ලද ඔලිම්පික් උළෙල වාර්තා වන අතර ඒ සඳහාද නව සමරු මුද්දර හතරක් නිකුත් කරන ලදී. වසර 2012 දී බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවති 30 වන ඔලිම්පික් ක්‍රීඩා උත්සවය වෙනුවෙන්ද නව සමරු හතරක් නිකුත් කර මුද්දර උපහාර පිරිනමා තිබේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සවිකර ඇති බිග් බන් ඔරලෝසු කුළුණ පසුබිම් කරගෙන මෙම මුද්දර සැලසුම් කර ඇත.

2016 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනැයිරෝ නගරයේ පැවති 31 වන ඔලිම්පික් ක්‍රීඩා උත්සවය සඳහාද එරට ප්‍රකට සංකේතයක් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දැවැන්ත ප්‍රතිමාව පසුබිම් කරගෙන නව සමරු මුද්දර හතරක් එළි දක්වා තිබේ. 32 වන ඔලිම්පික් උත්සවය මෙම වසරේ ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබුනද, අනපේක්ෂිත කොරෝනා වසංගත තත්වය හමුවේ උළෙල 2021 දක්වා තවත් වසරකින් කල් දැමීමට සිදුවිය. මේ නිසා ජපන් රජයට ඔලිම්පික් උළෙල සඳහා ඇස්තමේන්තු ගත නිල වියදම වන ඩොලර් බිලියන 12.6ක් මෙන් දෙගුණයක් දැරීමට සිදු වන බව වාර්තා වී තිබේ. මෙම උළෙල මෙතෙක් සංවිධානය කර ඇති වඩාත්ම නව්‍යකරණීයම ක්‍රීඩා උත්සවය බව සංවිධායකයන් පවසයි. ඔබගේ පෞද්ගලික උපරිමය සඳහා උත්සාහ කිරීම, එකිනෙකා පිළිගැනීම (විවිධත්වයේ එකමුතුව), අනාගතය සඳහා උරුමයක් ලබාදීම යන මුලධර්ම මතින් ලෝකය වෙනස් කළ හැකි බව ටෝකියෝ උළෙලේ තේමාව වී තිබේ. මෙම ඔලිම්පික් උළෙල සඳහා තරගකරුවන් 10,000 ක් සහ ජාත්‍යන්තර සංචාරකයන් 500,000 ක් පමණ සහභාගී වනු ඇතැයි පුරෝකථනය කර තිබුණි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල මීට පෙර තුන් වතාවක් 1916, 1940 සහ 1944 වසර වලදී අවලංගු කර තිබුණද වසර 124 ක ඔලිම්පික් ඉතිහාසය තුළ ලෝක යුද වාතාවරණයක් නොමැති සමයක ඔලිම්පික් ක්‍රීඩා උත්සවය කල් දමන ලද ප්‍රථම අවස්ථාව මෙය බව පවසන සංවිධායක කමිටුව ඔලිම්පික් ගිනි සිළුව ජපානයේම රඳවා තැබීමට එකඟ වී තිබේ.

එළැඹෙන ඔලිම්පික් උලෙළ වෙනුවෙන් මුළු ලොවක් බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන සිටියි. එය සැබවින්ම සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පමණක් නොව මෙම කොරෝනා ගෝලීය වසංගතයෙන් ලෝකය බේරා ගැනීමට වෙහෙසුණු ධෛර්යවන්ත මිනිසුන්ගේද ඔලිම්පික් උළෙල වනු ඇත.

Comments