තෙරක් නොමැති සිතු­විලි සයු­රක් මැද සරණ විටදි රැය ගෙවෙන තුරා­වට | සිළුමිණ

තෙරක් නොමැති සිතු­විලි සයු­රක් මැද සරණ විටදි රැය ගෙවෙන තුරා­වට

සැඳෑ අඳුර ලොව ගලන වෙලා­වට
කවුළු පිය­න්පත් වැසෙන වෙලා­වට
දහ­සක් දොම්නස් සිහින පවුරු මැද
තනි­ වුණ ඔබෙ සුසු­මන් සෙමෙන් විත්
මගෙ සව­නත පාරයි.....
තෙරක් නොමැති සිතු­විලි සයු­රක් මැද
සරණ විටදි රැය ගෙවෙන තුරා­වට
මහද සෙනෙහෙ ඔරුවේ නැඟී ඔබ
එතෙර වන්න නිබඳේ නිදි ලොව වෙත
එතෙර වන්න නිබඳේ....
නිමල පැතුම් සපු­රා­ගෙන හද තුළ
සිහින ලොවින් නෙත හැරෙන වෙලා­වට
අරු­ණලු නැඟෙන පැයේ කුසු­මක් වෙමි
ජීවන මල් ගොමුවේ ඔබේ ආදර
ජීවන මල් ගොමුවේ....
ගාය­නය, පද රච­නය, සංගී­තය -
සෝම­ති­ලක ජය­මහ
 

“මම තනියම ඉන්න කැමැතියි”

අපි විටෙක මහා උජාරුවෙන් කියන්නෙමු. එහෙත් ඒ තනිකමේ ඇති මහා පාළුව, කියාගන්න බැරි වේදනාව හඳුනන්නේ එවන් තත්ත්වයකට මුහුණ දුන් කෙනකු පමණි. විශේෂයෙන්ම හිතට ළෙන්ගතු කෙනකුගේ ආදරණිය ඇමතුමක වටිනා බව දැනෙන්නේ එවන් විටෙකය.

ජීවිතය ජීවත් කරන්නේ බලාපොරොත්තු හා ප්‍රාර්ථනා ය. ජීවිතයේ බලාපොරොත්තු, ප්‍රාර්ථනා, ආදරය, විරහව ආදි දේ ගැන ලියැවුණ ගී බොහෝය. මේ ගී අතරින් දශක ගණනාවක් ගියද අප සිත් හී රැඳි තිබෙන ගී ඇත්තේ අතළොස්සක් පමණි. ඒ අතරින් අදත් අප විදින මේ ගීතය අපූරුය. ගීතයේ පද රචනය, සංගීතය මෙන්ම ගායනය ද එක් නිර්මාණ ශීල්පියෙකුගේ වීම විශේෂය.

“සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට

කවුළු පියන්පත් වැසෙන වෙලාවට....”

ගීතය පිළිබඳ සෝමතිලක ජයමහ නිර්මාණ ශිල්පියා සිහිපත් කරන්නේ මෙසේය.

“මේ ගීතය ලියැවෙන්නේ 1969 අවුරුද්දේ. ඒ සරල ගී වැඩසටහනකට. මේ ගීතය ලියැවෙන්නේ එක් හැන්දෑවක වූ සිදුවීමක් සමඟ. ඒ කාලේ මම බෝඩිමක හිටියේ නුගේගොඩ පැත්තේ. අපේ බෝඩිමේ හත් අට දෙනෙක් හිටියා. මේ අය සිංහල අවුරුද්දට ගමේ ගියා. මමත් යන්න හිටියේ. නමුත් මගේ ගුරුවරයා වූ පී. ඩන්ස්ටන් ද සිල්වා මහතා, ඔහු ගුවන් විදුලියේ වැඩසටහන් කරනවා. ඩන්ස්ටන් ද සිල්වා මහත්තයා මට කිව්වා මේ සැරේ ගෙදර නොගිහින් හිටියොත් හොඳයි කියලා. ඒ නිසා තමයි මම බෝඩිමේ රැඳුණේ. 14 වනදා අවුරුදු දා මම හිටියේ බෝඩිමේ. ඒ හැන්දෑවේ මම මිදුලේ හිටියා. මිදුලේ අඹ පැළයකුත් තිබුණා. වෙලාව සවස හයට විතර ඇති. මිදුලේ මම හිටපු තැන ඉඳලා බැලුවාම පහළ පාරේ වාහන යනවා පෙනෙනවා. ඒ ඉන්න තැන ඉදලා දකුණු පැත්ත බැලුවාම පහළ හරි ලස්සනට පේනවා. එතැන ගෙයක් තිබුණා. ඒ ගෙදර ජනේලයක් එකවර වැහෙනවත් ඒ සමඟම විදුලි පහනක් දැල්වෙනවත් මම දුටුවා.

මගේ හිතට එකවරම ආව පද පේළි දෙක තමයි,

“සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට

කවුළු පියන්පත් වැසෙන වෙලාවට..”

ඉන් පස්සේ තමයි ඉතිරි පද පෙළ කිහිප දවසකට පස්සේ කඩින් කඩ ලියැවුණේ. ඒ කාලේ ගුවන් විදුලියේ සරල ගී වැඩසටහන් තිබෙනවා. මුලින්ම එවැනි සරල ගී වැඩසටහනක තමයි මේ ගීතය ගැයුවේ.”

සෝමතිලක ජයමහ මහතා පවසන්නේ වසර පනස් එකකට පෙර ලියූ ගීතයක් ගැනය. කාලය කොතරම් වේගයෙන් ගෙවී ගිය ද මේ ගී අදත් අප රසවිදි. ඒ යුගයේ ජීවත් වූවෝ පමණක් නොව ඉන් පසුකාලින අයද, නව පරපුර ද කාල භේදයකින්, වයස් භේදයකින් තොරව මේ ගීතය රසවිඳිම අපූරු ය. 

Comments