සාම්ප්‍රදායික ලෙස ආගමක් අදහන්නකුට තමාගේම ශාස්තෘවරයා වුව ඇති සැටියෙන් දැනහඳුනා ගැනීමට ඉඩසැලසෙන්නේ නැත. ශුද්ධ ග්‍රන්ථ, දහම් පොත්වලින් පමණක් ශාස්තෘවරයකුගේ දහම හෝ ආධ්‍යාශයන් නිවැරදිව දැකගත හැකි නොවන හෙයිනි. ක්‍රිස්තියානි ආගම හා ජේසුස් වහන්සේ පිළිබඳව බෞද්ධයන් බහුතරයක් සතුව පවතින්නේ ද ඡායාමාත්‍ර දැනුමකි. කිතුදහම හා බයිබලීය විශ්වාසයේ හරය විමසමින් ලියැවුණු පොත්පත් ද වෙතත් ඒවා බොහෝ සෙයින් පරිශීලනය කරන්නේ කිතුනුවෝ ම ය. මේ හේතුව නිසාම ශාස්තෘවරුන් දෙදෙනකු හෝ කිහිපදෙනකු අතර වන සමානත්වය හඳුනාගැනීමට බොහෝවිට වැට බැඳෙයි. බුදුන් වහන්සේ සහ ජේසුස් වහන්සේ සපුරා වෙනස් මගක ගමන් ගත් පරස්පර විරෝධී චරිත ලෙස ඇතැමුන් සිතා සිටින්නේ ද ඒ අනුව ය.
ජේසුස් වහන්සේ මෙන් ම බුදුන් වහන්සේ ද අතීතයට, අතීත සම්ප්‍රදායට විරුද්ධව කැරලි ගැසූවෝ වෙති. මිනිසාට මානවීයත්වය බැබළවීම සඳහා මේ කැරැල්ල අත්‍යවශ්‍ය ය. එහෙත් දෙමවුපියන්ට අවශ්‍ය වන්නේ කීකරු දරුවන් ය. ඔවුන් දරුවන් තත්ත්වගත කරන්නේ ඒ නිසා ය. කිසිම දරුවකු පවතින තත්ත්වයට එරෙහිව කැරලි ගැසීම කෙසේ වෙතත් සම්ප්‍රදාය ප්‍රශ්න කරනවාට හෝ මවුපියෝ කැමති නොවෙති. එක ආගමක රැහැනින් බැඳී සිටින විට අනෙක් ආගම් දෙස හෝ වෙනත් ශාස්තෘවරුන් දෙස නෙත් කොන් බැල්මක් හෙළීමට හෝ අවකාශයක් විවර වන්නේ වත් වැඩිහිටියන් ඒ සඳහා අවකාශයක් සලසා දෙන්නේ වත් නැත.
බෞද්ධයකු වශයෙන් බයිබලය (නව තෙස්තමේන්තුව) කියැවීමේදී බුදුන් වහන්සේ සහ ජේසුස් වහන්සේ අතර වන විස්මය දනවන ආකාරයේ සමානතා (විශේෂයෙන් කන්ද උඩ දේශනාව) මම දුටුවෙමි. ඒ අතර මා තුළ මතුවූ කිසියම් ප්‍රශ්නයකට පැහැදිලි පිළිතුරක් සැපයූ පොතක් කියවන්නට අහඹු අවස්ථාවක් උදා වුණේ ඉතා මෑත දිනයකදී ය. මහින්ද නාමල් ලියූ ‘සොබාදහමේ දෙව් දහම’ නම් වූ ඒ කෘතිය දීර්ඝ කාලයක් මුළුල්ලේ මා තුළ කැකෑරෙමින් පැවැති පරිසරය, ගහකොළ හා සතා සිවුපාවුන් පිළිබඳ සියුම් වේදනාවකට ගැල්වූ මහඟු ඔසුවක් බඳු වූවේ ය.
මිනිසා හැරුණු විට පරිසරයෙහි පවත්නා මූලික සාධක තුන හැඳින්වෙන්නේ සත්ත්ව ලෝකය, ජල ලෝකය හා ශාක ලෝකය ලෙස ය. බුදුදහම මේ සාධක තුන දෙසම අවදියෙන් බැලීමට මිනිසා යොමු කරන බව පැහැදිලි ය. කිතු දහම මේ අදහස එතරම්ම පැහැදිලිව හා සියුම්ව වේදිකාගත නොකළේ කුමක් නිසා දැයි විටෙක මට සිතුණ ද හිතෝපදේශයේ ඇතැම් අවධාරණ කියවූ විට ඒ හැඟීම තුනීව ගියේ ය.
දැහැමි අය තිරිසන් සතුන්ගේ ප්‍රාණය ගැන සලකති. අදමිටු අය උන්ට ක්‍රෑර ය. (හිතෝපදේශය 12/10)
ශුද්ධ වූ බයිබලයේ එන මහ ජල ගැල්මෙන් (ලෝක විනාශයෙන්) බේරෙන්නට වරම් ලබන්නේ නෝවා සහ පවුලේ සාමාජිකයන් පමණි. නෝවා සාදන නැවට ඇතුළු කළ යුතු යැයි දෙවිඳුන් අණ කරන්නේ දෙපා සතුන් පමණක් නොවේ.
පණ පිටින් රැකගනු පිණිස එක එක වර්ගයේ සියලු සතුන්ගෙන් ගැහැනු පිරිමි සතුන් වශයෙන් දෙදෙනෙකු බැගින් නුඹ සමඟ නැව තුළට රැගෙන යා යුතු ය. නොමැරී බේරාගනු පිණිස සෑම වර්ගයකම පක්ෂින්ගෙන්ද, සිවුපාවුන්ගෙන්ද, උරගයන්ගෙන්ද දෙදෙනා බැගින් නුඹ සමඟ නැවට ඇතුළු විය යුතුය. කෑම පිණිස විවිධ ආහර රැස්කර ගෙන යන්න. ඒවා නුඹටද ඔවුන්ටද ආහර පිණිස විය යුතුය. (උත්පත්ති 6/19-23)
(සොබාදහමේ දෙව් දහම - 87 පිටුව)
බයිබලීය දහම ජෛව විවිධත්වය පිළිබඳව ද මූලික පාඩමක් වූ බවට මෙය එක් නිදසුනකි. පැරණි ගිවිසුමේ බිලිපූජා ගැන සඳහන් වුව ද එය වටහාගත යුතු වන්නේ යුගයට සාපේක්ෂව ය. ඒ වූ කලී එඬේරුන් තමන් සතු ඉහළම දේ දෙවියන්ට පිදීමේ පූජා විධියකි යි පෙන්වා දෙන මහින්ද නාමල්, අවධාරණය කර ඇත්තේ එඬේර යුගයෙන් පසුව එළඹෙන යුගයන් හිදි එවැනි බිලි පූජා පිළිබඳ සඳහනක් නොවන බව ය. විවේකය මිනිසාට මෙන් ම සතුනට ද අවශ්‍ය බව ජේසුතුමන් වටහා ගෙන තිබීම පිළිබඳ උද්ධෘත ගණනාවක් ද එහිදී ඉදිරිපත් කරනු ලැබ තිබේ.
ලෝක පරිසර විනාශයට බලපෑවේ ක්‍රිස්තියානි චින්තනය ද යන ප්‍රශ්නයට අදාළව සැබෑ කිතුනු චින්තනය හා බටහිර දේවධාර්මික චින්තනය කරළියට ගෙන එන මහින්ද නාමල් වැඩිි දෙනකු නොදන්නා ලොකු ඇත්තක් හකු`ඵවා ඇත්තේ මෙසේ ය.
බොහෝ පෙරදිග ලේඛකයන් (ශ්‍රී ලංකාවේද ඇතැම් ලේඛකයන්) මෙන්ම ඇතැම් අපරදිග ලේඛකයන් ද පෘථිවියේ පාරිසරික අර්බුදයට පුරෝපීය රටවල් ප්‍රධාන වශයෙන් වගකිව යුතු බවත්, යුරෝපයට පරිසර හිතකාමී නොවන දැක්මක් සැපයුවේ ජුදෙව් ක්‍රිස්තියානි චින්තනය බවත් පවසනු දැකිය හැක. එම නිසා මේ පිළිබඳව මඳක් විමසා බැලීම ආරම්භයේ දී අවශ්‍යව පවතී.
ලෝක පරිසර විනාශයට බලපෑවේ ක්‍රිස්තියානි චින්තනය යන නිගමනයට ඉහත කී ලේඛකයන් එළඹෙන්නේ පරිසරය පිළිබඳ ක්‍රිස්තියානි චින්තනය මානව කේන්ද්‍රිය වේ යන අදහස නිසාවෙනි.
බැලූ බැල්මට මෙය ඇත්තක් බව පෙනේ. අප රටේ බොහෝ කිතුනු ප්‍රදේශවල කිතුනු මංගල්‍යයන් පවතින දිනවල මාංස සඳහා සතුන් මැරීම විශාල වශයෙන් සිදු කෙරේ. ඒ පිළිබඳ විමසුවහොත් සාමාන්‍ය කිතුනුවෙක් දෙන පිළිතුර වනුයේ ‘දෙවිඳුන් සියල්ල මවා ඇත්තේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහායි. මිනිසා තමයි මැවිල්ලේ ස්වාමියා’ වැන්නකි.
මෙම සිතීම ප්‍රථමයෙන් කිතුනු යුරෝපය තුළත්, පසුව ඇමෙරිකාව වැනි කිතුනු රටවලටත් පැතිරී ඇති අදහසකි. මේ නිසාම බටහිර යුරෝපය හා අමෙරිකාව මුල් කරගත් සංවර්ධන ක්‍රියාවලියේදී පරිසරය නොසලකා හරිමින්, මිනිසා මුල් කර ගනිමින්, පරිසර සම්පත් සිත්සේ පරිභෝජනය කරමින් ක්‍රියා කළ බව පෙනී යයි.
(සොබාදහමේ දෙව් දහම - 27-28 පිටු)
සොබාදහමේ දෙව්දහමට අනුව අද වනවිට අපට අත්‍යවශ්‍යව ඇත්තේ මානව කේන්ද්‍රිය මනසක් නොවේ. පෘථිවි මනසක් හා විශ්වීය මනසකි. මේ මහා විශ්වය තුළ අප පවතින්නේ සමස්ත විශ්වයේ කොටසක් වශයෙන් පමණක් නොව එහි ඇති අතිශයින් කුඩාම කොටසක් ලෙස බව පෙන්වා දීම සඳහා මෙහිදී අප ඉදිරිපත් කරන්නේ පරිසරවේදියකුගේ අදහසක් නොවේ. කාලෝ රොවෙල්ලි නම් වූ න්‍යායික භෞතික විද්‍යාඥයාගේ සඳහනකි. කාලෝ රොවෙල්ලි Seven brief lessons on physics නම් වූ කෘතියෙන් මෙසේ කියයි. (‘භෞතික විද්‍යාව ගැන කෙටි පාඩම් හතක්’ නමින් මෙය සිංහලට නගා ඇත්තේ විජයානන්ද ජයවීර ය.)
අප පවතින්නේ සත්ත්ව සහ ශාක පවුල් වලින් බැහැර වූ අතිවිශේෂ සත්ත්ව විශේෂයක් වශයෙන් බව කලක් අප විශ්වාස කළා. එහෙත් අවට ඇති සියලු ශාක හා සත්ත්වයන් ම මෙන් ම අප ද පරිණාමය වී ඇත්තේ එකම පූර්වජයෙකුගෙන් බව අප දැන් දන්නවා. සමනලයන් සහ පක්ෂීන්ගේ ආදි මුතුන් මිත්තන් ද අපේ ආදි මුතුන් මිත්තන් ද එකම අයයි.
(භෞතික විද්‍යාව ගැන කෙටි පාඩම් හතක් - 93 පිටුව)
‘උසස් මනසක් ඇති සත්ත්ව කොට්ඨාසය නම් අපිම වෙමු’ යි අප අපම වහසිබස් දොඩමින් සිටින සන්දර්භයක් තුළ ‘මේ වන විට අපි භයානක විනාශයක මුවදොර රැඳී සිටින්නෝ වෙමු’ යි විද්‍යාඥයෝ ද අනතුරු අඟවති. මෙහි උත්ප්‍රාසය වන්නේ ඊනියා බුද්ධියේ සාඩම්බර හිමිකරුවා වන මිනිසා ලෝක විනාශයේ පාර්ශ්වකරුවකු වී සිටින අතර සිතීමේ ශක්තිය අවම යැයි කියන සතාසීපාවන්, සර්පයන් පවා එහි අනෙක් පාර්ශ්වය නියෝජනය කරමින් මහපොළොවේ හා පැවැත්මේ සහජීවනයට කරඋර දෙමින් සිටීම මීට ද නිදසුන් දක්වන කාලෝ රොවෙල්ලිගේ යට සඳහන් ප්‍රකාශය මඳක් විමසමු.
මා විශ්වාස කරන අන්දමට අපේ සත්ත්ව විශේෂය දිගු කලක් පවතින සත්ව විශේෂයක් නොවේ. උදාහරණයක් වශයෙන් ගතහොත් අප සැදී ඇත්තේ අඩු වැඩි වශයෙන් කිසිදු වෙනසකට භාජනය නොවී වසර මිලියන ගණනාවක්, එනම් අපේ සත්ත්ව විශේෂය මිහිපිට බිහි වී සිය වාරයකට වැඩි කාලයක් වාසය කරන කැස්බෑවන් සැදී ඇති ආකාරයට නොවෙයි. අප අයත් වන්නේ කෙටි කාල පරිච්ඡේදයක දී බිහි වී නැතිව යන සත්ත්ව විශේෂයකටයි. අපේ සත්ත්ව ගණයට අයත් අනෙක් සත්ත්ව විශේෂ සියල්ල ම දැනටමත වඳ වී ඇගොස් තිබෙනවා. ඊටත් වඩා සැලකිය යුතු කාරණය අප විනාශකාරීන් බවයි. අප විසින් ම දියත් කළ දරුණු කාලගුණ ව්‍යසන හා පාරිසරික වෙනස්කම් අප ව ඉතිරි කරනු ඇතැයි සිතීම අසීරුයි. මේ තුමුල පෘථිවියට නම් ඒවා නො වැදගත් සුළු සිදුවීම් විය හැකියි. එහෙත් විශේෂයෙන්ම, මහජන හා දේශපාලන මතය අප මුහුණ දෙන අනතුරු නොතකමින් හිස වැලි තුළ ඔබා ගැනීමට වැඩි මනාපයක් දක්වන බැවින්, ඒවායින් අනතුරට ලක් නොවී අපට ගැලවී ගත හැකි වෙතැයි මා හිතන්නේ නැහැ. ඇතැම් විට අපේ ම මරණීය ඉරණම ගැන සවිඥානික ව මහ පොළොවේ ජීවත් වන එකම සත්ත්ව විශේෂය ද අප විය හැකියි.
(භෞතික විද්‍යාව ගැන කෙටි පාඩම් හතක් - 107 පිටුව)
සොබාදහම සියලු දේට පැවරුමක් ලබාදී ඇති බවත් එය ඉටු කළ යුතු ආකාරයත් ජේසුස් වහන්සේ පැහැදිලි කර දෙන්නේ මෙසේ ය.
‘එහෙයින් මම ඔබට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කරදර නොවන්න කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද අගනේ නොවේද?
අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේවත්, කපන්නේවත්, අටුවල රැස්කරන්නේවත් නැත. එහෙත් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේද? කරදර වීමෙන් ඔබේ ආයු ප්‍රමාණය දික් කර ගන්නට ඔබ අතරෙන් කවරෙකුට පුළුවන්ද?
ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමටද?
කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කර බලන්න. ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටින්නේවත් නැත.’
(මතෙව් 6:23-30)
ජේසුස් වහන්සේගේ මේ අවධාරණයට අනුව කෙතේ මානෙල් වැවෙන්නේ දැයි මා තුළ හටගෙන තිබූ එක්තරා ගැටලුවකට පිළිතුරක් සැපයුණේ ප්‍රංශ මහා ලේඛක අන්ද්‍රේ ෂිද් ගේ La symphonie pastrorate කෘතියේ සිංහල පරිවර්තනය වන ‘සාධු සංධ්වනිය’ වෙතිනි. එහි ප්‍රධාන භූමිකා දෙක වන ඉතා යහපත්. දේව භක්තියෙන් යුතු (එහෙත් මනුෂ්‍ය හැඟීම් ඉක්මවා නොගිය) පියතුමා හා ගෙර්තා නම් වූ අන්ධ දැරිය අතර හටගන්නා දේවනීතිය ඉක්ම වූ ප්‍රේමයේ එක් අවස්ථාවකදී ඇල්ප්ස් කඳු වැටිය පේනතෙක් මානයේ රැඳීසිටින දෙදෙනා අතර හුවමාරුවන දෙබසක් මෙහි ලා දැක්විය යුතු යැයි සිතේ. කඳුකර ගවපට්ටිවල එළදෙනුන්ගේ මිණිගෙඩිවල සංගීතය අසමින් එහිදී අන්ධ දැරිය මෙසේ කියයි.
‘උන් ස්වභාව ධර්මය චිත්‍රයට නගනවා.’
අනතුරුව ඇය පියතුමාගෙන් මෙසේ විමසා සිටී.
‘අද හොඳට ඇල්ප්ස් කඳුවැටිය පේනවද?’
‘ඔව්. අද හැබෑ ලස්සනට එහි සෝබාව දර්ශනය වෙනවා.’
‘ඔබ මට කියල තියෙන්නේ දවසින් දවස කඳුවැටියේ සෝබාව වෙනස් වෙනව කියල. අනේ කියන්නකෝ, තණබිමේ ගොඩමානෙල් පිපිල තියනවද?’
‘නෑ ගෙර්තා ගොඩ මානෙල් මෙතරම් ඉහළ බිම්වල වැවෙන්නේ නෑ.’
...
‘කෙත් මානෙල් කියන්නේ ඒවා නෙවෙයිද? ’
‘කුඹුරුවල මානෙල් වැවෙන්නේ නෑ.’
‘එහෙම නං ඇයි ස්වාමිදරුවෝ අපට කියන්නේ කුඹුරුවල පිපී තිබෙන මානෙල් දිහා බලන්න කියල?’
‘උන්වහන්සේ එහෙම කියන්නේ නිසැකවම ඒ යුගයේ කුඹුරුවල මානෙල් පිපිල තියෙන්න ඇති. ඒත් කෘෂිකර්මය නිසා අද ඒවා අතුරුදහන් වෙලා.’
(සාධු සංධ්වනිය 83-84 පිටු - පරිවර්තනය: මණ්ඩාවල පඤ්ඤාවංස හිමි)
‘සාධු සංධ්වනිය’ ඉදිරියට ගලා යන්නේ පියතුමා අතින් ලියැවෙන දින සටහන් කිහිපයක් ඔස්සේ ය. මැයි 21 දාතමින් යුතුව ලියවෙන ඒ දින සටහන් තීරුවක මෙවැනි සඳහනක් ද තිබේ.
දෙවියනි! ප්‍රේමයේ සීමාකරණය නුඹ වහන්සේ වෙතින් සිදුවිය හැක්කක් හෝ සිදුවිය යුත්තක් නොවේ. එය මිනිසුන් වෙතින් පමණක් සිදුවන්නකි.
මැයි 5 දාතමින් යුතු තවත් දින සටහනක පියතුමා අතින් ලියැවෙන්නේ මෙවැන්නකි.
මම ශුද්ධ ග්‍රන්ථය පරිශීලනය කරමි. එහි පනත් තහංචි තර්ජන තිබේදැයි බලමි. එවැනි සියල්ලම සාන්ත පෝල් විසින් පනවන ලද ඒවා ය. ක්‍රිස්තුන් වහන්සේගේ දේශනා තුළ එවැනි දෑ නිශ්චිත ලෙසින් දක්නට නොලැබීම ජාක්ගේ (පුතණුවන්ගේ) සතුටට හේතු නොවන්නේය.
මෙම දිනසටහනේම ඔහු මෙසේ ද ලියා තබයි.
වඩා ආස්වාදජනක ජීවිතයක් කරා පැමිණීම උදෙසා ක්‍රමයක් සෙවීම ජේසුතුමන්ට ද්‍රෝහි වීමක් වන්නේ ද? දේවවාක්‍ය හෑල්ලුවට පත් කිරීමක් වන්නේ ද? ක්‍රිස්තියානි කාරයන්ගේ හදවත් අරක්ගෙන සිටින දැඩි ස්වභාව හා විචිකිච්ඡාව ඔවුන්ගේ ආනන්දයට බාධා කරන්නේය. එහෙත් ආනන්දය කිතුනුවකුට අත්‍යාවශ්‍ය වන්නේය.
කිතුනුවකුට මෙන් ම ඕනෑම මනුෂ්‍යයකුට ආනන්දය අත්‍යවශ්‍ය ය. බුදුන් වහන්සේ ‘සතුට’ හැඳින්වූයේ පරම ධනය ලෙස ය. (එහෙත් කවර ආකාරයකින් වුව ආනන්දයට පත්වීම නිවැරදි යයි අපට සිතෙන්නේ එය අනෙකකුගේ ආනන්දයට බාධා නොකරන තාක් ය.)
ජේසුස් වහන්සේ හමුවීම සඳහා මා වෙත අවකාශයක් විවර කළ තවත් අභිරමණීය අවස්ථාවක් ලෙස මා දකින්නේ ‘සාධු සංධ්වනිය’ නම් වූ මේ අපූරු කෘතියයි. මහාලේඛක අන්ද්‍රේ ෂිද් ලියූ මේ කෘතිය සිංහලට පරිවර්තනය කරනු ලැබුවේ බෞද්ධ භික්ෂුවක් වීම එහි අනෙක් අසිරියයි.