ඩබ්ල්යු. ඒ. සිල්වාගේ අාභාසයෙන් නවකතා ලියූ ලේඛක-සංගීතඥයා කේ. ලයනල් පෙරේරා | Page 2 | සිළුමිණ

ඩබ්ල්යු. ඒ. සිල්වාගේ අාභාසයෙන් නවකතා ලියූ ලේඛක-සංගීතඥයා කේ. ලයනල් පෙරේරා

සාහිත්‍යකීර්ති ඩබ්ල්යු. ඒ. සිල්වා ශූරින්ගේ ගෝලයන් අතර කේ. ලයනල් පෙරේරා හා දීගොඩ පියදාස යන මහතුන්ගේ නම් විශේෂ බව පැවසේ. සිල්වා ශූරින් ලියූ ඓතිහාසික නවකතාවල ශෝධ්‍ය පත්‍ර කියවා එහි භාෂාව ශෛලිය අතැඹුලක් සේ දැන සිටි ලයනල් පෙ‍රේරා එයින් තම නවකතාව වූ “යමුනා” ලිවීමට ආභාසය ලබන්න ඇතැයි සිතිය හැකිය. ලයනල් පෙරේරා යනු කෙටිකතාකරුවකු, නවකතාකරු‍වකු, විද්‍යා ප්‍රබන්ධ, මාරක කතා, අත්භූත කතා, ප්‍රේම කතා, උපදේශ කතා ලිවීමේ ප්‍රවීණයකි. ඔහු දක්ෂ කෙටිකතාකාරයකු ලෙස තම ප්‍රතිභාව පෙන්වා ඇත්තේ “සිළුමිණ” පත්‍රයට ලියූ කෙටිකතා අති විශාල ප්‍රමාණයෙනි. පණහ දශකයේ සිළුමිණට කෙටිකතා ලියූ ටී.ජී. ඩබ්ලිව් ද සිල්වා, මර්වින් ද අල්විස්, ඩී.ඇම්. කොළඹගේ, අශෝක පීරිස්, ධර්මදාස කල්දේරා අතර කේ. ලයනල් පෙරේරා ද පෙරමුණේ සිටියේය.

පුවත්පත් කලාවේදියකු, වේදිකා නාට්‍ය නළුවකු, සංගීතඥයකු, සංගීත අධ්‍යක්ෂවරයකු, සංගීත ගුරුවරයකු වශයෙන් ද කළ භූමිකා කිහිපයකි. එමෙන් ම ඔහු කුතුහලය දනවන කතා රචනයේ සූරයෙකි. 1958 වසරේ ඔහු ලියූ “සිල්වියා රන්දෙණි” නවකථාවේ දැන්වීමක් මට හමු විය. එය මෙසේය.

මෙන්න දෙවරක් මැරුණු මිනිහා!

තුන්වැනි ශික්ෂාපදය කැඩූ ඔහු ඒ වරදට දෙවරක් මැරුම් කෑවේය. කියවන්න ශාපය, දමනය, අඳුරුගෙදර, මයුරාසනය ආදි කළ ලයනල් පෙ‍රේරා ලියූ රසවත්ම කතාව - සිල්වියා රන්දෙණි.

ඔබ කවදාවත් මෙතරම් ශෝකාත්මක කතාවක් කියවා නැතිව ඇති. එය ඔබ එක හුස්මට කියවාවි. එතරම් රසවත් ය. රූමත් ගැහැනියකට වාල් වුණු ඔහු තමා සතු සියල්ල ඇයට පුදා අන්තිමේදී ජීවිතය ද පිදූ හැටි! මිල රු. 1.50 යි.

කන්කානම්ගේ ලයනල් පෙරේරා 1916 දෙසැම්බර් 05 වෙනිදා ගංගොඩවිල උපත ලැබූවෙකි. එහෙත් ඔහු හැදී වැඩුණේ දෙමටගොඩ ය. ඉගෙනුම ලැබුවේ දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයෙනි. දෙමටගොඩ ධර්මාරාම පාරේ දහම් පාසලක ගායනා තරගයෙන් ජය ලබා ගත් කුඩා ලයනල් පෙරේරාට අනගාරික ධර්මපාලතුමාගෙන් තෑග්ගක් ලැබිණ. එපමණක් නොව ඔහුට මරදානේ මහබෝධි විද්‍යාලයේ ඉගෙනීමට ධර්මපාලතුමාගෙන් ශිෂ්‍යත්වයක් ලැබිණ. ඒ 1929 වසරේදී ය.

“මගේ තාත්තා මං පුංචි කාලෙම මිය ගියා. මම හැදුණේ සීයයි ආච්චියි ගාව. ආච්චි මාවත් අරගෙන ධර්මපාල තුමා ළඟ එක්ක ගියා. මම ගියේ කමිසයකුයි, කලිසමකුයි ඇඳගෙන.

“හ‍පෝ මේ කොල්ලගෙන් ගන්න දෙයක් නැහැ. මූ ලොකු වුණාම හම්බ කරන දේවල් මදිවෙයි කලිසන්, කෝට්, ටයි ගන්න. උඹ වහාම රෙද්දයි බැනියමයි ඇඳ ගෙන ඉස්කෝලෙට එන්න ඕනෑ. තේරුණා ද?”

“එහෙමයි, තේරුණා.”

ලයනල් පෙරේරා මහතා මට‍ මේ විස්තරේ කීවේ 1978 එතුමාගේ කලා ජීවිතයට වසර 50ක් පිරීම නිමිත්තෙන් ප්‍රචාරයක් ලබා ගැනීමට ලේක්හවුස් ආයතනයට පැමිණි විට ය. එවකට “නවයුගය” පත්‍රයේ ප්‍රධාන කර්තෘ එස්. සුබසිංහ මහතා (ඔහු ඊට කලින් සිළුමිණ කර්තෘ) විසින් ලයනල් මහතා මට හඳුන්වා දී ලිපියක් ලියන්නැයි උපදෙස් දෙන ලදි.

“මේ ලයනල් පෙරේරා මහත්තයා “ජනතා” පත්‍රය 1954 ආරම්භ කරන කාලේ අපට මාරක කතාවක් ලියලා දුන්නා දිනපතා පළ වෙන්න. කතාවේ නම “කළු කුමාරයා”. අපි ඒකෙන් පින්තූර කතාවක් කළා. පින්තූර ගත්තේ නිමල් පෙරේරා අභයවර්ධන මහත්තයා. ප්‍රධාන චරිතය වූ ඉන්ස්පෙක්ටර් හැටියට රඟ ප‍ෑවේ ගාමිණි ෆොන්සේකා. ඔහු ගේ අනාගත බිරිය ටීනා වැලෙන්ටිනාත් (පසුව සුමිත්‍රා ෆොන්සේකා), ඔස්ටින් අබේසේකරත් ප්‍රධාන චරිත රඟපෑවේ. මම පින්තූර කතාවේ සම්බන්ධිකාරක. “කළු කුමාරයා” කතාව නිසා එදා “ජනතා” පත්‍රය 50,000 ක් විකුණුණා.” සුබසිංහ මහතා පැරණි කතාවක් අපට කීවේය.

ලයනල් පෙරේරා මහතා එදා අප හා කළ සංවාදයේ දී තමා මුලින් ම සංගීත අංශයට යොමු වූ හැටි අපූරුවට විස්තර කළේය.

“මරදානේ මහාබෝධියට යන කාලේ මම මාමා කෙනෙකු එක්ක ටවර් රංග ශාලාවට ගියා. එදා එහි දී ලස්සන ගීත ලොකු ග්‍රැමෆොන් වලින් ඇහැව්වට පස්සේ සංගීතය ගැන උනන්දුවක් ඇති වුණේ. ඒ කාලේ දෙමටගොඩ අපේ ගේ ගාවයි මහා චිත්‍ර ශිල්පී ජී.ඇල්. ගෞතමදාස මහත්තයා හිටියෙ. ඒ මහත්තයා අපි පදිංචි වෙලා හිටිය වත්තට නිතර එනවා මිත්‍රයෙක් බලන්න. මේ මිත්‍රයාට හොඳට සර්පිනාව වාදනය කරන්න පුළුවන්. ඔහු සර්පිනා වයනවා ඒ ගෙදර ඉස්සරහ තියෙන ලැටිස් අතරින් බලා ඉන්නවා. කවුදෝ මගෙ පිටට තට්ටු කළා. බැලින්නම් ගෞතමදාස මහත්තයා.

“මේ ළමයත් සින්දු කියන්න දන්නවද?” 

“ටිකක් පුළුවන්.”

“එන්න ඇතුළට. සින්දුවක් කියමු”

මගේ ගීතයට ගෙදර කවුරුත් කැමති වුණා. කොයිතරම් කැමති වුණාද කිව්වොත් අර මහත්තයා කිව්වා තමා ගෙදර නැති අවස්ථාවල ඇවිත් සර්පිනාව වාදනය කරන්න කියලා. මම ඉස්කෝලේ ගිහින් ඇවිත් අර ගෙදරට ගිහින් සර්පිනාව වාදනය කරන්න කරුණාවන්ත මහතාගේ බිරිය මට අවසර දුන්නා. මට සර්පිනාව වැයීමට උදව් කළේ අර මහත්තයා.”

මහාබෝධියෙන් ඉවත් වූ ලයනල් රත්මලානේ බාප්පා කෙනෙකුගේ ගෙදර නැවතී රත්මලානේ ධර්මාරාම පාසලට ගොස් ඇත. එහි දී සිංහල භාෂාවත්, සාහිත්‍යයත් ඉගැන්වූ මහා කවි ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නිසා කුඩා ලයනල්ගේ සාහිත්‍ය රසය පෝෂණය විය. ඔය අතරේ ටවර් රංග ශාලාවේ වේදිකාගත වූ “ඔතැලෝ” නාට්‍ය මාමා සමඟ නැරඹූ ලයනල්ට රූපසිංහ මාස්ටර් විස්මිත ලෙස සර්පිනාව වාදනය කරනු මුල්වරට දක්නට ලැබිණ.

“මම ඒ කාලේ රූපසිංහ මාස්ටර්ගේ සර්පිනා වාදනය ඇස් පියා ගෙන අහගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි නළු නිළි‍යෝ ගී ගයමින් රඟපාන කොටත් මම ඒ ගී රසවින්දේ ඇස් දෙක වහගෙන. මම බාප්පාට බලකරල කිව්වා කොහොම හරි රූපසිංහ මාස්ටර්ගෙන් සංගීතය ඉගෙන ගන්න යවන්න කියලා. මට එතුමාගෙන් වයලීනයත්, තබ්ලාවත් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මම වයස 19 දි ඉංග්‍රීසි ජුනියර් සමත් වුණා.

“මම පත්‍ර කලාවට සම්බන්ධ වුණේ ඔය කාලේ. මගේ සීයා මරදානේ මහාබෝධි කන්තෝරුවේ තිබුණු “සිංහල බෞද්ධයා” පත්‍රයේ වැඩට දැම්මා. පත්‍රයේ කර්තෘ හේමපාල මුනිදාස මහත්තයා. කේ.බී. සුගතදාස හා සෝමවීර චන්ද්‍රසිරි මහත්තරු උප කර්තෘවරු. අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහත්තයා කර්තෘ මණ්ඩල පරිපාලක හැටියට හිටියෙ. මට ලිපියක් ලියන්න දුන්නා. මගේ භාෂා ශෛලිය ගැන පැහැදුණ කර්තෘතුමා මාසික පඩිය රු. 7යි ශත 50ක් ගෙව්වා. ටික කලකින් උප කර්තෘ කෙනෙකු හැටියට බඳවා ගත්තා.” ලයනල් පෙරේරා මහතා ඒ අතීත කතාව රසබරව විස්තර කළේය.

කේ. ලයනල් පෙරේරාගේ නිර්මාණ සාහිත්‍ය ජීවිතය ආරම්භ වන්නේ “සිළුමිණ” පත්‍රය ලියූ “කොට කතාවක්” (එකල කෙටිකතාවලට කියා ඇත්තේ “කොට කතා” කියාය. ඩී.වී. සෙනෙවිරත්න මහතා ඔහුට හඳුනාගන්න ලැබෙන්නේ මරදානේ ඔලිම්පියා සිනමාහලේ “නිශ්ශබ්ද චිත්‍රපටයක්” නැරඹීමට ගිය අවස්ථාවකදිය. පුවත්පත්කලාවේදි, නවකතාකතුවර සෙනෙවිරත්න මහතා මේ හමුව අපට විස්තර කර ඇත්තේ මෙසේය.

“එක් සෙනසුරාදාවක ඔලිම්පියා සිනමාහලෙහි පෙන්වීමට නියමිතව තිබුණේ නිහඬ චිත්‍රපට යුගයේ චිර ප්‍රසිද්ධ ඒ.ඩී. පෝලෝ නම් සටන්කාමි නළුවා රඟ පෑ “බුල්ස් අයි” නම් චිත්‍රපටයයි. ශත 25ක් ගෙවා ගැලරි ප්‍රවේශ පත්‍රයක් ලබා ගත් මම රිදී තිරය අබියස ගැලරියේ බංකුවක වාඩි වී ඒ ත්‍රාසජනක මොහොත එළඹෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියා. සීරියල් චිත්‍රපටය රිදී තිරයේ දිග හැරෙනවාත් සමඟම ඒ.ඩී. පෝල් නම් සිනමා නළුවා බාහු යුග්මයෙන් පමණක් සන්නද්ධව නරඹන්නාගේ අත්පොළසන් හඬ මධ්‍යයේ තිරයෙහි දිස් වුණා. අසාධාරණකම් කරන විරුද්ධවාදීන්ට හෙවත් ත්‍රස්තයන් බිම දාගෙන ඔහු පහර දුන්නා. ළඟින් වාඩිවී සිටි නරඹන්නෙක් එඩී පෝලෝගේ සටන්වලින් කොයිතරම් ප්‍රමෝදයට පත් වීද යත්, එඩී අනුකරණය කරමින් තම දකුණු වැලමිටෙන් මගේ ඇඟට ඇනගෙන ඇනගෙන ගියා. වැලමිටෙන් මට ඇන්නේ එදා මා ළඟින් වාඩි වී සිටි කේ. ලයනල් පෙ‍ෙර්රා නම් පාසල් ශිෂ්‍යයා බව පසුව දැන ගත්තේ. අප දෙදෙනා අතර මිතු දම බැඳුණේ එදා යි.”

ඩී.වී. සෙනෙවිරත්නයන් ගේ මුල්ම නාට්‍යය වූ “සොර දෙටු කුමාරයා” (1932) හි කුමරිගේ කොටස රඟ පෑවේ ලයනල්ය. තරුණියන් කාන්තා චරිත රඟ නොපෑ යුගයකි ඒ. ලයනල් සුකුමල කුමරියගේ චරිතය කොපමණ හොඳින් රඟපෑවාද යත් තෑගි බෝගවලින් සංග්‍රහ ලැබූ බව සෙනෙවිරත්නයන් අපට පැවසීය. ලයනල් පෙරේරා සංගීතඥ ඇම්.ජී. පෙ‍ෙර්රා, රූපසිංහ මාස්ටර් යන මහා සංගීතඥයන්ගේ සංගීත වාදන හා ගායනා හදාරා ස්වෝත්සහයෙන් සංගීතය හදාළ ලයනල් සෙනෙවිරත්යන්ගේ “සිංහල හෘදය” නාට්‍ය ගී පද රචනය කර සංගීතය මෙහෙය විය. මේ නාට්‍යයේ සංගීතය ඇසූ 1932 දී ගුවන් විදුලියේ පළමුවන සිංහල නිවේදක රුබේරු මහතා ලයනල්ගේ සර්පිනා වාදනයක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීමට අවස්ථාව සලසා දී ඇත. සෙනෙවිරත්නයන් විසින් නිෂ්පාදනය කළ “වීදිය බණ්ඩාර හෙවත් කෝට්ටේ වීරයා (1943), අරුණෝදය (1941), කැප්පෙටිපොල (1949), නාට්‍යවලට පැරණි රාගතාලයට පැබඳුණු ගීත නිබන්ධන ඉතා ජනප්‍රිය වූ බව ඔහු පවසා තිබුණි.

කේ. ලයනල් පෙ‍ෙර්රා විසින් ලියන ලද ප්‍රථම කෙටිකතාව වූ “මුත්තා” සිළුමිණේ ප්‍රධාන කර්තෘ පියසේන නිශ්ශංක මහතාට යොමු කොට එය පළ කරදීමට අනුබල දුන්නේ ද ඩී.වී. සෙනෙවිරත්න මහතාම ය. සිළුමිණ ලයනල්ගේ සාහිත්‍ය ජීවිතයට දොර විවෘත විය.

“සුප්‍රකට නවකතා කතුවර ඩබ්ල්යු. ඒ. සිල්වා මහතා සංස්කරණය කළ “ලංකා සමය” පුවත්පතේ උප කතුවරයකු ලෙස කටයුතු කාලය මගේ හොඳම යුගයයි. සිල්වා මහතා විනෝදකාමියෙක්. නිතර විහිළු තහළු කළ සංග්‍රහශීලී පුද්ගලයෙක්. මගේ සිත ලේඛන කලාවට යොමු වුණේ එතුමා නිසා. විශේෂයෙන් කෙටිකතා ලිවීමෙදී ඉතා සුළු සිද්ධියකින් කුතුහලය දනවන ලෙස කතාවක් විකාශනය කිරීම මම ඉගෙන ගත්තේ එතුමාගෙන්. මේ කෙටිකතා පසු කාලයක “මයුරාසනය” නමින් නිකුත් කළා. මා “යමුනා” ඓතිහාසික නවකතා ලිව්වේ එතුමා ලියූ “විජයබා කොල්ලය” හා විශේෂයෙන් “සුනේත්‍රා” නවකතාවෙන් ලැබූ ආභාසයෙන්. භාෂාව සකස් කර ගත්තෙත් ඒ ඇසුරෙන්.” ලයනල් පෙරේරා මහතා කීවේය.

1935 ඔහු තමාගේ ම සංගීත විද්‍යාලයක් ‘සංගීතෝදය’ නමින් මරදානේ මහබෝධි විද්‍යාලය ළඟ පටන් ගත්තේය. ඔහු මා හමුවන විටත් මේ විද්‍යාලය මරදානේ පංචිකාවත්ත පාරේ ටවර් රඟහලට යාබද පවත්වා ගෙන ආවේය. එහි මුල් ම ශිෂ්‍යයා පසුව කීර්තිමත් ලේඛකයකු වූ කේ.බී. සුගතදාසය. පසුව ලංකාවේ ජනප්‍රියම චිත්‍රපට පසුබිම් ගායකයකු වූ ධර්මදාස වල්පොළ හා ප්‍රකට ලේඛකයකු හා ගුරුවරයකු, පාසල් නාට්‍ය නිෂ්පාදකයකු වූ ඒ.එච්. පියසේන මහතා ලයනල් මහතා වෙතින් සංගීතය හැදෑරූ ශිෂ්‍යයෝ ය. රට පුරා තමාට ගෝලයන් 4000 ක් පමණ සිටින බව ඔහු මා හමුවීමට පැමිණි දා කීවේය. ඔහු තැපෑලෙන් සංගීතය ඉගැන්වීමට සූරයකුව සිටියේය. ශාපය - 7 - 1 - 90 - ප්‍රේම පූජා - ගිනි දළුව - එව්ලින්- සීමා - අවිගත් මළකඳ - පාර්වතී - සිනා ගංගා - දෙකඩ වූ මිනිහා - අතට ආ ඒ රං කිරිල්ලී - දමනය - අඩි දහ තුනේ මිනිහා - යකාගේ යතුර - මම ඔහුටත් පෙම් කළෙමි - මයුරාසනය - ආදරේ වේදනා - සිල්වියා රන්දෙණි - අත් දෙක - මැණික් හිනාව - කලු කුමාරයා - අංජලී - චන්ද්‍රලතා වැනි නවකතා ද, වලිසිංහ හරිශ්චන්ද්‍ර චරිතාපදානය මෙන්ම ප්‍රස්ථාර මකරන්ද - ප්‍රස්තාර රත්න - ප්‍රස්තාර රත්නාකාර, ප්‍රස්ථාර මංජරී - ප්‍රස්තාර අලංකාර - ස්වරාග - සර්පිනා - වයලීන - සංගීතඥයෙක් වන්නේ කෙසේ ද? - සංගීත මාලා අතිරේක ප්‍රස්තාර, සංගීත විද්‍යා, කුමර සංගීත, සංගීත සන්දේශ - සංගීතොදය (සඟරාව) කේ. ලයනල් පෙරේරා ලියූ සංගීත කෘතීන් ය.

ටවර් රඟහලේ වසර 30ක් පමණ ප්‍රධාන සංගීතඥ ලෙස කටයුතු කළ ඔහුට 1930 ගණන්වල උපදෙස් දුන් නීතිඥ චාල්ස් ඩයස් මහතා ගැන අපූරු අත්දැකීමක් ඇත.

“ඒ කාලේ “සිංහල බෞද්ධයා” පත්‍රයේ චාල්ස් ඩයස් මහතාගේ බුද්ධස්තොත්‍රයක් පළ වුණා ස්වර ලිපි සහිතව. හේමපාල මුනිදාස මහතා මෙහි ශෝධ්‍ය පත්‍රය ඩයස් මහතා ළඟට ගෙන යන්නැයි මට කිව්වා. මම පෲප් එක හොඳට බලලා එහි පිරිසිදු පිටපතක් ඩයස් මහතා ළඟට ගෙන ගියා. ඒ මහතා පරෙස්සමෙන් ශෝධ්‍ය පත්‍රය බැලුවා.

“හොඳයි. කිසිම වැරැද්දක් නැහැ. කවුද පෲප් කියෙව්වේ”

“මම සර්”

“මේ ළමයට සංගීතය පුළුවන් ද?”

“ටිකක් පුළුවන් සර්”

“ඊයේ රෑ ෆ්‍රැන්සිස්ගේ කොන්සට් එකේ සෙල්ලම් කළේ මේ ළමය ද?”

“ඔව් සර්.”

“බොහොම හොඳයි. මේ ළමයට ගුවන් විදුලියේ වැඩ සටහන්වලට එන්න පුළුවන්ද?”

“පුළුවන් සර්.”

ඔය විදිහට 1936 ඉඳල ගුවන් විදුලියේ මට සංගීත වැඩසටහන් කරන්න අවස්ථාව ලැබුණා. පස්සේ රතන්ජංකර් පඬිතුමා ලංකාවට ඇවිත් පැවැත් වූ නිපුන පරීක්ෂණයටත් පෙනී ඉඳලා සමත් වුණා.” කේ. ලයනල් පෙරේරා මහතා 2007 වසරේ ජනවාරි 06 වෙනිදා මිය ගියේ වසර 94 ක් ආයු වළදා ය. ඔහු ලියූ පොත් සුරැකිව තමා ගෙන යළිත් ඒ කෘති මුද්‍රණය කිරීමට පුරෝගාමි වන්නී දියණි නෙලුම් පෙරේරා ය. ඇය පවුලේ පස්වැන්නී ය. ඇයට මානෙල්, අසෝකා, චන්ද්‍රිකා, පද්මා යන අක්කලා හතර දෙනෙක් ද සේපාලි නම් නැගණියක් ද සිටින්නේය. ටෙලිනාට්‍ය හා වේදිකා නිළියක වන ඇය ගල්කිස්සේ ටෙම්ප්ලර් පාරේ කලාපුරේ පදිංචිව සිටින්නීය.

“මගේ තාත්තා හරියට වේලාවට වැඩ කළ කෙනෙක්. මගේ අම්මා මිය ගියේ 1971. ඒ වන විට මගේ නංගී හැර සෙසු සොහොයුරියන් හා මම විවාහ වෙලා. මගේ නංගි සේපාලිකා විවාහ වුණේ සම්මාන ලාභි චිත්‍රපට සංස්කරණ ශිල්පි සිරි කේ. විතාරණ සමඟ. මගේ සැමියා මෙයට වසර 5කට පෙර මිය ගියා. දරුවන් දීගතල දීලා මම සුනඛයන්ට සාත්තු කරමින් කාලය ගත කරනවා.

තාත්තා ලියපු කෙටිකතාවක් නිසා මට මා උගත් පාසලින් දොස් අහන්නත් සිදු වුණා. මම ඉගෙන ගත්තේ මරදානේ ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලයේ. තාත්තා ලේඛකයෙක් කියලා ගුරු මණ්ඩලේම දන්නවා. ඉස්කෝලේ වැඩවලටත් තාත්ත එනවා; උදව් කරනවා. තාත්තා ලියපු කෙටිකතාවක් ප්‍රසිද්ධ පත්‍රයක පළ වුණා. කෙටිකතාවට පසුබිම් වුණේ දරුවන් පස්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් දිවි නසා ගන්නා සිද්ධියක්. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී බිරියගෙන් තම සැමියා දිවිනසා ගැනීමට හේතුව අහනවා. බිරිය කියනවා තම සැමියාගේ ආදායමට වඩා වියදම වැඩි නිසා දරුවන්ගේ ඕනෑ එපා කම් පිරිමැසීමට නොහැකි නිසා වේදනාවෙන් සිටි බවයි. වෙන එකක් තියා පාසලේ නොයෙක් කරදර කිරීම් නිසා දරුවන් පස්දෙනාත් මානසික පීඩාවට පත් වන බවයි. පාසල්වල අරක ගේන්න මේක ගේන්න කියලා වදකරනවා. මුකුත් නැත්නම් ඉස්කෝලේ පාටිවලට පැටිස් හදන්න රුපියල් පහ ගානේ ගේන්න කියනවා. එතකොට ගෙදරින් රුපියල් 25ක් ගෙනියන්න වෙනවා. මේ කරදර නිසා එයා දිවි නසා ගත්තා කියලා.”

‍මේ කෙටිකතාව පළ වුණාට පස්සේ විදුහල්පතිනිය මාව ගෙන්නල - “නෙලුම් ඔයාගේ තාත්තාට පැටිස් කතාවත් කිව්වද? අපේ සාය ම ඉවරයි” කියලා මට දොස් කීවා. තාත්තා ලිව්වේ නිර්මාණයක් බව කවුරුත් අගය කළේ නැහැ” නෙලුම් අපට කීවා ය.

කුමරජිත් 
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

Comments