පුවත්පත් කලාව ගැන ලියූ මුල්ම සිංහල පොත් දෙක | Page 2 | සිළුමිණ

පුවත්පත් කලාව ගැන ලියූ මුල්ම සිංහල පොත් දෙක

1954 වසරේ අප්‍රේල් මාසයේ ඊ.ආර්. සරච්චන්ද්‍රයන්ගේ ඉල්ලීම පරිදි මහා පත්‍රකලාවේදී ඩී.බී. ධනපාලයන් ලංකා ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංග්‍රහයෙන් පුවත්පත් කලාව ගැන කථාවක් පවත්වා ඇත. “පුවත්පත් බස” නම් එම කතාව කුලසිරි අමරතුංග විසින් සංස්කරණය කළ “තරංගණි” ගුවන් විදුලි සඟරාවේ අප්‍රේල් කලාපයේ පළ වී තිබුණි. මේ ලිපිය පුවත්පත් කලාව ගැන උනන්දුවක් දක්වන අයට මෙන්ම එම විෂයය විශ්වවිද්‍යාලවල ඉගෙනීම ලබන සිසුන්ට ද ප්‍රයෝජනවත් වනු ඇති. මේ එහි වූ උද්දෘතයකි.

“පුවත්පතක් සකස් කරන්නේ ඉක්මනට ය; පොතක් ලියන්නේ හෙමින්, හෙමින් ය. පුවත්පත නා නා තරමේ මිනිසුන්ට තේරෙන පරිදි සකස් විය යුතුය. පොතක් ලිය වෙන්නේ එක්තරා ‍ඉගෙනීමක්, දැනුමක් ඇති කෙනකුට ප්‍රිය වන ආකාරයෙනි.

මේ කාරණය නිසා පුවත්පතේ බස පොතක බසට වඩා සරල විය යුතුය; ලිහිල් විය යුතුය; කාවැදිය යුතුය; හිත දිනා ගත යුතුය; කාටත් නොතේරෙන බසින් පුවත්පතක් කර ගෙන ගියොත්, මුළු පුවත්පතේ ම “වරිගේ නැසී යන්නට” ඉඩ නැත්තේ නොවේ.

පුවත්පත් පටන් ගත් මුල් කාලයේ දී අලුත් පුවත්පත් බසක් ඕනෑ නොකළේය. ඒ යුගයේ දී උගත්, කියැවීමට සමත් අය සිටියේ සීමා සහිතව ය. ඒ සමයේ දී බොහෝ විට ගමේ පණ්ඩිතයා කොටයක් උඩ ඉඳගෙන පත්‍රය කියවා, ඔහු වටේම ඉඳගෙන අහගෙන සිටි ගැමියන්ට ගැඹුරු බස ලිහිල් බසින් තෝරා දුන්නේ ය.

දැන් සිටින පණ්ඩිතයන්ට එදා තිබුණු අනුකම්පාවත්, කාලයවත් නැත. ඇතත් අකුරු කියවන්ට බැරි අය අල්ලා ගැනීම දුෂ්කර ය. අවුරුදු ගණනක් ති‍ස්සේ සිංහල බාසාව හැම සිංහලයාට ම බලෙන් උගන්වා තිබේ. දැන් කුස්සි අම්මාත්, ලක්ෂපතියාත් එක අකුරු ම කියවති. මේ නිසා පුවත්පතේ බස අර කුස්සි අම්මාටත්, අර ලක්ෂපතියාටත් අර පණ්ඩිතයාටත්, කාටත් එකවරම තේරෙන්ට හැකිවිය යුතුය. එසේ සකස් වූ තරමට පුවත්පත ජනප්‍රිය වෙයි.

පුවත්පත් කලාව පිළිබඳ ප්‍රථම සිංහල ග්‍රන්ථය නිකුත් වන්නේ 1953 වසරේ ය. ලේක් හවුස් ආයතනයේ “දිනමිණ” පත්‍රයේ ප්‍රවෘත්ති කර්තෘ ධුරය හෙබ වූ ධර්මපාල ජයවීර මේ කෘතියේ කතුවරයා ය. ඔහු පුරෝගාමි වූයේ පුවත්පත් කලාව පිළිබඳ ප්‍රථම පොත පළ කිරීමෙන් පමණක් නොව ලංකාවේ ප්‍රථම වතාවට පුවත්පත් කලාව, පත්තර කන්තෝරුවලින් පිටත දී ඉගැන්වීම ආරම්භ කිරීමට පුරෝගාමි වූ බවත්, ‘පත්‍ර කලාව’ පොත ලියා පළ කළ වකවානුව හා සමගාමීව ව‍ගේ ඔහු වැල්ලවත්තේ පොලිටෙක්නික් ආයතනයේ පුවත්පත් කලාව පිළිබඳ පන්තියක් පැවැත්වූ බව තමාට මතක ඇතැයි ගුණදාස ලියනගේ විසින් ලියූ “පුවත්පත් කලාව” කෘතියේ සඳහන් වෙයි. ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනීම අවසන් කළ ගාමිණි ෆොන්සේකා (ප්‍රවීණ රංගවේදී) පොලිටෙක්නික් ආයතනයේ පුවත්පත් කලාව හදාරා ඇත්තේ ධර්මපාල ජයවීරයන්ගෙන් බව අපට කියා තිබිණි. “පත්‍ර කලාව” ග්‍රන්ථයේ කර්තෘ ලියූ සටහනෙහි මෙසේ සඳහන් වී තිබුණි.

“මා ඉගෙන ගත් කැලණියේ ධර්මාලෝක විද්‍යාලයේ පැවැති ශිෂ්‍යයන්ගේ සඟරාවෙහි සංස්කාරක ධුරය ඉසුලූ කාලයේ දී එය මගේ රක්ෂාව වේ යි මම නොසිතු’වෙමි. එහෙත් එකල ද එය දැන සිටියෙක් වෙයි. එනම් මා ඉගෙන ගත් පාසලේ විද්‍යාලයාධිපතිව සිටි (දැනට ‍ලංකාදීප පත්‍රයේ ප්‍රධාන කර්තෘ) ශාස්ත්‍රාචාර්ය ඩී.බී. ධනපාල මහතා ය. ඒ පාසලෙන් අස්ව යද්දී මට දුන් සහතිකය ඒ මහතා අවසන් කර ඇත්තේ “මොහු ඕනෑම සිංහල පත්‍රයකට පිරිමසින කෙනෙකි” කියා ය.

පාසලින් අස් වී 1946 දී රක්ෂාවක් වශයෙන් මා බැඳුණේ “පෙරමුණේ” පත්‍රයේ කර්තෘ මණ්ඩලයට ය. එකල වයස අවුරුදු 17ක් වූ මට පුවත් පත් කලාව පිළිබඳව අත පොත් තබන ලද ඒ දිනය මගේ ජීවිතයේ ඉතා ම වාසනාවන්ත දිනය වශයෙන් සලකමි. එය වඩාත් වාසනාවන්ත වන්නේ මට එසේ අත පොත් තබන ලද්දේ ලංකාවේ උසස් පුවත්පත් කලාවේදියකු වූ ද ශ්‍රේෂ්ඨ සිංහල ලේඛකයකු වූ ද ඩී.ආර්. ජයවර්ධන මහතා ම වූ හෙයිනි.”

ධර්මපාල ජයවීර මහතා එවකට සතිපතා පත්‍රයක් වූ “පෙරමුණ” පත්‍රයෙත් “සිංහල ජාතිය” පත්‍රයේ කර්තෘ මණ්ඩලයට පිවිස නොබෝ කලකින් “දිනමිණ” කර්තෘ මණ්ඩල බැඳුණු ඔහු ඉන්පසු “සිලෝන් ඔබ්සර්වර්”, “සිලෝන් ඩේලි නිවුස්”, “තිනකරන්” (දිනපතා දෙමළ), “සිළුමිණ” සහ “ජනතා” ඇදී පත්‍රවල කර්තෘ මණ්ඩලව කටයුතු කොට ඇත. තවදුරටත් ඔහු මෙසේ කියයි.

“මේ පොත ලිවීමට මා පෙලඹ වූ ප්‍රධාන හේතුව නම් එකල පුවත්පතක සේවය කිරීමට ඇරඹීමට පෙර ඒ ගැන කිසිවක් කියැවීමට නො ලැබීම නිසා මා ඇසූ බැනුම් හා විඳි සිත් වේදනාවන් ද පිළිබඳව මා තුළ පවත්නා - නොමැරී පවත්නා මතක ය. වැරදි සෙවීම පමණක් නොව සොයන වැරදි හරි ගැස්වීම ද තම යුතුකම බව සලකන දෙදෙනකු මේ කාලය තුළ දී මට හමුවීම පුවත්පත් කලා ජීවිතයේ දී මා ලත් වාසනාවකි. ඔවුහු මේ සිලෝන් ඔබ්සවර් පත්‍රයේ ප්‍රධාන කර්තෘ ටාසි විට්ටචචි මහතා සහ ලේක් හවුස් පවත්පත් කණ්ඩායමේ ප්‍රවෘත්ති සංස්කාරක සී.ඇ‍ෆ්.ජී. පෙරේරා මහතාත් ය. දිනමිණ හා සිළුමිණ පත්‍රවල ප්‍රධාන කර්තෘවරුවන් වන පියසේන නිශ්ශංක හා ශ්‍රී ලාල් හික්කඩුවේ ලියනගේ යන මහතුන් ද මට නො එක් විට දුන් උපදෙස් හා දැක්වූ ආදරයද මා මෙතෙක් පුවත්පත් කලාවේහි රැඳී සිටීමට හේතුවකි.”

කතුවර ධර්මපාල ජයවීර මේ අදහස් දක්වා තිබුණි. පොතේ ප්‍රස්ථාවනාව සපයා තිබුණේ ශාස්ත්‍රාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමියන් ය.

කැලණියේ දලුගම පදිංචිව සිටි ජයවීර මහතා ලියූ ‘පත්‍රකලාව’ කෘතියේ අන්තර්ගත මාතෘකා 15 මෙසේ ය. (1) ප්‍රවෘත්ති පත්‍රය යනු කුමක් ද? (2) ප්‍රවෘත්ති පත්‍රයේ ආරම්භය (3) බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති පත්‍ර ඉතිහාසය (4) සිංහල ප්‍රවෘත්ති පත්‍ර ඉතිහාසය (5) මුද්‍රණ ශිල්පය හා නවීන උපකරණ (6) ප්‍රවෘත්ති පත්‍රයක කර්තෘ මණ්ඩලය (7) උප කර්තෘ (8) වාර්තාකාරයෝ (9) වාර්තා සැපයීම (10) අපහාස නීතිය (11) කාන්තාව හා පුවත්පත් කලාව (12) විශේෂ ලිපි ලිවීම (13) විදේශ ප්‍රවෘත්ති පත්‍ර (14) ලංකාවේ පුවත්පත් අනාගතය (15) ඡායාරූප හා උපහාස චිත්‍ර.

1953 වසරේ ඔක්තෝබර් 04 වෙනිදා ධර්මපාල ජයවීර මහතා ‘සිළුමිණ’ පුවත්පතට ලියූ “ටවර් හෝල් නෘත්‍ය ශාලාව” නම් ලිපිය නාට්‍ය හා රංග කලාව හදාරණ ශිෂ්‍යයනට ටවර් ඉතිහාසය ගැන සැපයෙන අගනා මූලාශ්‍රයකි. මේ ලිපිය ඔහු ලින්නේ මරදානේ ටවර්හෝල් නෘත්‍ය ශාලාව ලංකා කලා මණ්ඩලය මඟින් මිලයට ගෙන එය ජාතික රංග පීඨයක් වශයෙන් පවත්වාගෙන යෑමට ලංකා කලා මණ්ඩලය අදහස් කර සිටින අවස්ථාවකි. ජාතික රංග පීඨයක් ආරම්භ කිරීමෙන් ජාතියේ සිටින නාට්‍ය කලාවට හිතැති අයට ධෛර්ය දීම සඳහා ජයවීර මහතා දිනමිණ හා සිළුමිණ පත්‍රවලින් අනුග්‍රහය දැක් වූ බව පෙනේ.

ධර්මපාල ජයවීර මහතා ගැන තොරතුරු සොයා ගැනීම අතිශයින් ම දුෂ්කර විය. මේ ලිපිය කියවන ඔහුගේ ඥාතින් ඒ තොරතුරු අපට ලබා දෙන්නේ නම් එය පුවත්පත් කලාවේදීන් ගැන ගවේෂණය කරන අයට අගනා සේවයක් වනු ඇති. වරක් අප ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදියකුව සිටි අභාවප්‍රාප්ත ඩී.ඇ‍ෆ්. කාරියකරවන මහතාගෙන් ජයවීරයන් ගැන විමසිමි. ඒ 2007 වසරේ දී ය.

“ධර්මපාල ජයවීර මුලින් ම මා හඳුනා ගත්තේ වසර 60කට (2017 දී) එපිට. “ලංකාදීප” පත්‍රය පටන් ගන්න කොට පුවත්පත් කලාවේදීන් සඳහා තිබුණ සම්මුක පරීක්ෂණයකට ඔහු පැමිණ සිටියා. පරීක්ෂණයට මාත්, සිසිර කුමාර මනික්කආරච්චිත් පෙනී සිටියා. තෝරා ගත්තේ මාව. 1951 වස‍ෙර් දිනමිණ පත්‍රයට ජයවීර බැඳුණා. දිනමිණට අලුත් මුහුණුවරක් දීමට එය බාරව සිටි ටාසි විට්ටච්චිට ඕනෑ වුණා. ඒ සඳහා ‘ලංකාදීප’ යෙන් කිහිපදෙනෙක් ගන්න තීරණය කළා. මේ අනුව මාව ‘දිනමිණ’ ට ගන්න කපුකම කළේ ජයවීර. ඒ කාලේ ‘දිනමිණ’ පත්‍රයේ කර්තෘව සිටියේ සිංහල දන්නෙ නැති එම්.ඒ. ද සිල්වා. මේ නිසා ප්‍රවෘත්ති කර්තෘ ධර්මපාල ජයවීරත්, ප්‍රධාන උප කර්තෘවරයා වූ මටත් අවශ්‍ය විදිහටයි ‘දිනමිණ’ කළේ. ජයවීර සැබෑ දක්ෂයෙක්. ඔහු සිංහල මෙන්ම ඉංග්‍රීසියත් හොඳින් දැන සිටියා. ඔහු කඩවසම්, ලස්සන, මනා පෞරුෂත්වයක් ඇති සද්දන්ත පුද්ගලයෙක්. වයස අවුරුදු 50 ක්වත් ඔහු ජීවත් නොවීම පුදුමයක්; කනගාටුවක්. මීට වසර 60කට පමණ පෙර ඔහු මිය ගියා.”

ධර්මපාල ජයවීරගේ ඡායාරූපයක් හා පොතේ ඡායාරූපයක් මුල්වරට පළව ඇත්තේ ගුණදාස ලියනගේ විසින් ලියූ “පුවත්පත් කලාව” (1996) කෘතියේය.

පත්තර කලාව ගැන විස්තර ලියැවුණු දෙවන සිංහල පොත් ලියා ඇත්තේ 1962 වසරේ. ශ්‍රී ලංකා පත්‍රකලාවේදී සංගමය එහි ප්‍රධාන කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණයක් අනුව පුවත්පත් කලාව පිළිබඳ වූ ‘පුවත්පත් කලාව’ කෘතිය පත්‍රකලාවේදී සමන් තිලකසිරි විසින් සම්පාදනය ‍කොට ඇත. ශ්‍රී ලංකා පත්‍ර කලාවේදී සංගමයේ සභාපති රත්න දේශප්‍රිය සේනානායක හා ප්‍රධාන ලේකම් ධර්මසිරි ජයකොඩි මේ කෘතියට පෙරවදනක් ලියමින් පවසා ඇත්තේ

“සත්‍ය පූජනීයය යන පුවත්පත් කලාවේ සිද්ධාන්තය කොට ගෙන පුවත්පත් කලාවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතර ම, නිවැරදි හා සත්‍යවාදී ලෙසත්, ජනතාවගේ ගුණ වගාව හා රුචිකත්වය නොකෙලසන ලෙසත්, දේශීය හා විදේශීය තොරතුරු රටේ ජාතික වුවමනාවන්ට හා අන්තර් ජාතික සහෝදරත්වයට අනුකූලව පාඨකයා ඉදිරියේ තැබීමෙන් ද, අනාගත පරපුර වෙනුවෙන්, පීඩාවෙන් හා වේදනාවෙන් කුස ගින්නෙන් හා නැති බැරි කමෙන් අධිරාජ්‍යවාදයෙන් හා යුද්ධයේ භීතියෙන් තොර සෞභාග්‍යමත් ලංකාවක් බිහි කිරීමේ මානුෂික කර්තව්‍යය කෙරෙහි මේ රටේ මහජන මතය ‍යොමු කිරීමෙන් ද, ජනතාව වෙනුවෙන් ජනතාවගේ පුවත්පත් කලාවක් - ජාතිය වෙනුවෙන් ජාතික පුවත්පත් කලාවක් ශ්‍රී ලංකාවේ ගොඩ නැංවීම සඳහා කැප වී සිටින ශ්‍රී ලංකා පත්‍ර කලාවේදී පිරිසක් සාමාජිකත්වය දරන ප්‍රබල ම පුවත් පත් කලාවේ සංගමය වන්නේ ය.”

“පුවත්පත් කලාව” නම් කෘතියේ සංස්කාරක සමන් තිලකසිරි ප්‍රවීණ පත්‍ර කලාවේදියකු මෙන් ම ගීත රචකයකු කවියකු, සම්මානනීය ළමා පොත් ලියූ ලේඛකයෙකි. “ලංකාදීප” පත්‍රයේ උප කතුවරයකු වූ සමන් තිලකසිරි මහතා “රසවාහිනි” සඟරාවේ සංස්කාරකවරයෙකු ලෙස ද කටයුතු කර ඇත. සිසිර සේනාරත්නයන් ගැයූ මේ ගීතය ඔබට මතක ද? ඒ ගීතයේ ගේය පද රචකයා ඔහුය.

නිල්මිණි දෑසේ මැව් ආ‍ලෝකය

හද මැදුරේ නැත නිවුණේ

මල් වැනි ඒ හද මල් මෙන් මැලවී

ඇයි අද සෝ ගිනි නැඟුණේ

මධු මලකට බඳු මුව මදහාසේ

රන් මුතු මිණි කැට වටිනා

ආදරයක රස සිහින මවා දුනි

පෙම්බර සිතිවිලි අමුණා

මධු මල පරවී මුතු ඇට විසිරී

මා හැදු මාළිග බිඳුණා

එහි ආලෝකය නිවුණා

කිංකිණි සිහින හඬින් මසුරන් වැනි

ගැයූ ගී මට සිහිවෙනවා

දෙසවන මී පැණි වැනි ඒ ගී හඬ

සුළ‍ඟේ අද මුමුණනවා

ගීයට ගීයෙන් බැඳි හද බිඳුණා

දෑසට කඳුළැලි එනවා

මම තනිව ම වැළපෙනවා

සමන් තිලකසිරි (1962) තිරගත (දස්කොන්) චිත්‍රපටයේ ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීත අධ්‍යක්ෂණ යටතේ ගීත තුනක් රචනා කර ඇත.

නිම් නැති මේ භව සාගරේ

නිති සැම සතුන් මුළු ලෝකේ

නිම් නැති මේ භව සාගරේ

(ගායනය - සිසිර සේනාරත්න)

සොම්නස පෙම් රස එකතු වුණා

ඔබ සතු මගෙ හද ඔකඳ වුණා

(ගායනය - රුක්මණි දේවි / සිසිර සේනාරත්න)

ධර්ම රසයෙහි සැපතුම්

ලබති සැවොමා

(ගායනය - ෂෙල්ටන් ප්‍රේමරත්න - සිසිර සේනාරත්න)

සමන් තිලකසිරි ළමා සාහිත්‍යයට අගනා කෘති කිහිපක් එක් කළේය. “පාසල් ළමා ගී” (1969), මල් ඔන්චිල්ලා (1981) කෘතිවලට හොඳම කෘති ලෙස රාජ්‍ය සම්මාන ලැබී ඇත. ඔහු ලියූ ‘කුන්දමාලි’ ගීත කතාව 1958 “කලා” සඟරාවේ (ඔක්තෝබර් 25) පළ වී තිබුණා. එහි එක කවකි මේ.

සිරින් සපිරි මන පිනවන

පියසක් තිබුණා

සුරන් ලියන් පැමිණ නටන

තැනකුත් එහි තිබුණා

නිලට නිලේ දිලිසෙනවා

නිසංසලයි සැමදා

ප්‍රියංකරයි සිතට සතුට ගෙන

දෙයි හඳ ඇති දා

සමන් තිලකසිරි “පුවත් පත් කලාව” කෘතිය ආරම්භ කර ඇත්තේ “එක් දවසක්” නම් මාතෘකාවෙන් ලියූ දයානන්ද කුමාරදාස ලියූ ලිපියෙනි.

“පුවත්පත් කලාව” කෘතිය ගැන සමන් තිලකසිරි මේ හැඳින්වීම කර ඇත.

කවර කලාවකින් වුවද සිදු කෙරෙන්නේ නොඑසේ නම් සිදු විය යුත්තේ කෙනකුගේ රස විඳිමේ ශක්තිය හා ගුණය ඒ තැනැත්තාට නොදැනුවත්වම ප්‍රයෝජනයට ගෙන ඔහුගේ සිතුම් පැතුම්වලට අදාළ දේ මඟින් ඒ ශක්තිය හා ගුණය වඩා උසස් රසයක් කෙරේ යොමු කිරීමයි. පුවත්පත් කිරීමත් කලාවක් හැටියට සැලකිය හැක්කේ මේ කටයුත්ත සිදුවේ නම් පමණෙකි. පුවත්පතක් බිහි වන්නට කලින් මූලික වශයෙන් ලිවීම අවශ්‍යයි. ලියූ දේ සකස් විය යුතුයි. පුවත්පතක ඇති ප්‍රධාන අංශය එය යි. තවත් නොයෙක් අංග පුවත්පත්වල තිබේ. ඒවා ඒ ලියූ දේ තවදුරටත් පැහැදිලි ලෙස අලංකාර වන්නට යොදන දේයි. යම් පුවත්පතක් සාමාන්‍ය මිනිසා ගේ රස විඳීමේ ශක්තිය හා ගුණය ප්‍රයෝජනයට ගෙන ඔහුගේ සිතුම් පැතුම්වලට අදාළ දේ තුළින් රිංගා ඔහුට සිදුවන යහපත හෝ විනාශය ගැන කිසිම තැකීමක් නොකර, පත්‍රය විකුණා ගන්නට පමණක් මාන බලතොත් එය පුවත්පත් කලාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ කිරීමෙකි. ඒ පුවත්පත්වල ලියන දෙයින් යට කී පරමාර්ථ ඉටුවීමට කිසිම පිටුවහලක් නොවෙතොත් ඒවා නියම පුවත්පත් කලාවට අඩංගු ලියවිලි ලෙස සැලකීමට පුළුවන් කමෙක් නැත.”

“පුවත් පත් කලාව” කෘතියේ ඇති පරිච්ඡේද අතර “වගකිව යුත්තෝ: කර්තෘ, ප්‍රවෘත්ති සංස්කාරක, විශේෂාංග, සංස්කාරක, ප්‍රධාන උප කර්තෘ. උප කර්තෘ, ප්‍රධාන වාර්තාකරු, වාර්තාකරු, ඡායාරූප ශිල්පියා යන පරිච්ඡේද ද, පුවත් සකස් කිරීමට, පිටු සෑදීම - ශුද්ධිපත්‍ර කියවන්නෝ, මුද්‍රණය, බෙදා හැරීම, සවස පත්‍ර සහ ඉරිදා පත්‍ර, අපහාස නීතිය ආදියෙන් යුක්තය.

“පුවත්පත් කලාව” ගැන මේ ග්‍රන්ථය ලියූ සමන් තිලකසිරි මහතාගේ ජීවන තොරතුරු ද අපට සොයා ගත නොහැකි විය. ඔහු ගේ සමකාලීන පත්‍ර කලාවේදීන් ද මිය පරලොව ගොස්ය. 1928 උපත ලැබූ ඔහු 2000 වසරේ මිය ගියේ පුවත්පත් කලාව ගැන මුල්ම සිංහල පොත් දෙකෙන් එකක් හා මියුරු ගීත පැබැඳු ගේය පද රචකයකු ලෙස අගනා ගීත කිහිපයක් ඉතුරු කොට ය.

 

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

Comments