
2015 ජනවාරියේ ලක්ෂ හතරකටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් පරාජය වී මැදමුලනට පසුබැසීමෙන් පසු 'අනුහස් නායකයා' සිය බලලෝභී දේශපාලනයේ අවසානය සටහන් කරනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළහ. එහෙත් එය එසේ නොවන බව අප දැනගෙන සිටියෙමු. දේශපාලනඥයන් තුළ ලජ්ජාව නැමති නහරය හෝ බලය අත්හැරීම නැමති නහරය නැත.
ඊට උදාහරණ ඇතිපදම් සොයාගත හැකිය.
ජනතාව පවා බොහෝ විට කෙටි කලක් ඇතුළත සියල්ල අමතක කරයි. අන්ධකාර,දූෂිත ඉතිහාසයක කළුපාට ,වසර පහක් යන්නටත් මත්තෙම් අමතක කරන තැනට පත්ව ඇති සමහරු වර්තමාන ආණ්ඩුව යටතේ හිමිව තිබෙන සාධනීය නිදහස සහ යම් යම් ජයග්‍රහණ සාහසික ලෙස කුණු මුල්ලට දමා තිබෙන බවක් පෙනේ.
ඊට සමීපතම උදාහරණය වරක් එක්තරා හිමිනමක් 'හිට්ලර් වෙලාහරි මේරට බේරාගන්න' කියා ගෝඨාගෙන් කළ ඉල්ලීම සිහිපත් කළ හැකිය.
සකල ලෝකය විසින්ම හෙළා දකිනු ලබන ආකාරයේ ඒකාධිපතියකු අනුගමනය කරමින් හමුදා පාලනයක් පවත්වාගෙන යන ලෙස හිටපු ආරක්ෂක ලේකම් වරයාට කළ ආරාධනය සන් කරන්නේ කුමක්ද?.
අපි විහිළුවට හෝ ගෝඨා දිනන බවට අනුමාන කරමු. එවිට ඔහුට ලබාදුන් සංඝගත විවරණයක් තිබේ.
'හිට්ලර් වෙලා හරි කමක් නෑ,රට හදන්න'
ඒ කියන විවරණයයි . මතක තබාගන්න,දේශපාලකයින් සෑම විටම අල්ලා ගන්නේ තමන්ට සාකල්‍යෙන්ම වාසිදායක කොටසින් ය. ඒ අනුව අර ප්‍රකාශය ගෝඨාටත්, මහින්දටත්, බන්දුල ගුණවර්ධන ශූරීන් විසින් ම නාමකරණය කළ පොහොට්ටුවේ ගමේ දේශපාලන පොල්ලෙල්ලත් එය ලැයිසමක් බවට පත්කරගන්නවාට සැක නැත.
මතකය දුවන්නේ 2015 ජනවාරි 9 වෙනිදා පෙරවරුවට ය. තමන් විසින්ම කැඳවාගත් 'පරාජයෙන්' පසු මැදමුලනට ගොස් එහි ජනෙල් කවුලුවක එල්ලී සිටි මහින්දගෙන් මිනිස්සු ඉල්ලුවේ 'ඇයි මරලා හරි ගත්තේ නැත්තේ' කියා ය. ගමනක් යන්නට මිනිසෙකු නිවසින් එළියට බසින විට ඔහුගේ හිත හෙල්ලෙතැයි සිතා කිවිසුමක් හෝ නාරින මිනිසුන් සිටින රටක මේ තරම් සාහසික 'ආත්ම' බිහිවන්නේ කෙසේද? ඊටත් වඩා අරුමය වන්නේ සාතිශය අවිහිංසාවාදී දහමක් දෙසූ ශාස්තෲවරයකුගේ 'අනුගාමිකයන්' යැයි කියාගන්නා පිරිස් මෙහෙම කියන්නේ කොහොමදැයි කියාය.“ඔය ඉල්ලන ඒකාධිපතියෝ, ඔය ඉල්ලන ආඥාදායකයෝ, ඔය ඉල්ලන හමුදා පාලනයක් වුණත් හොඳයි කියන අය ඒ අත්දැකීම පිළිබඳව අවබෝධයක් නොමැතිවයි ඒ වගේ දේවල් කතා කරන්නේ,” යි ජනාධිපතිවරයා එවක ප්‍රකාශ කළේය.
අසීමිත මඩ ප්‍රහාර, කෙලවරක් නැති හිස් දෝෂාරෝපණ, යනාදී සියල්ලෙන් මේ ආණ්ඩුවට පහර දුන්නද ආණ්ඩුව පෙරළා අංශුමාත්‍රයක ප්‍රතිචාර දක්වා නැත. නමුත් වැලිකඩ සිදුවීම් සිහිපත් කිරීමත්,රෝෂාන්ලාට වෙඩි තැබූ අයුරුත් සිය ගාණක් මාධ්‍යවේදීන් අමු අමුවේ නැති කළ අයුරුත්, සරසවි සිසුන්ට වෙඩි තැබූ අයුරුත්, දීවරයින්ට වෙඩි තැබූ අයුරුත්,කෝටි ප්‍රකෝටි ගනනින් ලොක්කෝ අල්ලස් ගත් අයුරුත්,හොරකම දෝරේ ගැලූ අයුරුත් ඔබේ සිහින සිහිපත් වෙනු ඇත.
‘කිසිවෙකුගේ බලාපොරොත්තු කිසි විටෙක බිඳ නොදමන්න. මන්ද එය ඔහුගේ එකම වස්තුව විය හැක.’ කියා හිට්ලර්ම පවසා ඇත. ඒ අර්ථයෙන් ගත් කල ගෝඨා හිතවාදී පිරිසගේ 'එකම වස්තුව' ගෝඨා ය. ඉතින්, අප ඒ බලාපොරොත්තු බිඳ දමන්නට ඉක්මන් වන්නේ නැත.
වගකීම් විරහිත ලයිසන් ලබා දුන් විට සිදුවන බරපතල ඛේදවාචකය සමහරුන්ට වගක් නැත. එහෙත් රාජපක්ෂ යුගයේ ඉතිහාසගත කැත වැඩ නැවත සිහිපත් කරන්නට පෙර මෑත ඉතිහාසය පිරික්සීම වටී. ඔවුන් කිසිවෙක් එක කෙස් ගසකින්වත් වෙනස් වී නැත. ඔවුන් ඔවුන්ම ය.
මේ දිනවල ගෝඨා පසුපස සිටින චරිත දෙස බලමු.
ඉකුත් ප්රජාතන්ත්ර විරෝධී නරිනාඩගම දිනවල පාර්ලිමේන්තුවේ 'සොකරි නැටූ' වියරු කල්ලිය ගෝඨා පිටුපසින් සහ ගෝඨාට පරිවාර ගමන් යමින් සිටී.
ප්‍රසන්න රණවීර එදා පාර්ලිමේන්තුවේ නැටූ නාඩගම කාටත් මතක ය. ප්රජාතන්ත්රවාදය බෙල්ලෙන් අල්ලා සොලවා පස්සට පයින් ගසා නාඩගම් නටා,අහවර මිරිස් කුඩු ප්‍රහාරයක්ද එල්ල කළ පිරිස අතර රස්තියාදුකාර ප්රමුඛයෙකි ඔහු.
පසුගියදා ගෝඨාගේ මූලිකත්වයෙන් පොහොට්ටුවේ තරුණ සමුළුව තිබ්බේය. එහි වේදිකාවේ මූලිකත්වය ගත්තේ දිලුම් අමුණුගම ය. හෙතෙම දින 52 කුමණ්ත්‍රණ ආණ්ඩු වකවානුවේ පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන් කඩා බිඳ දමන්නට වෑයම් කළ කුප්‍රකට මහජන නියෝජිතයා ය.
පාර්ලිමේන්තුවේ සිටියවුන් එවක පිස්සු නැටූ හැටි සිහිපත් කරන්නට පෙර ප්‍රාදේශීය සභාවල තත්ත්වය විමසීම වටී.
01. අනිල් චම්පික ජයසිංහ : දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති – නූරි වත්තේ වතු අධිකාරිවරයාගේ ඝාතනයට මරණ දඬුවම නියම විය.
02. උදේනි අතුකෝරාළ : වලල්ලාවිට ප්‍රා.සභාවේ හිටපු සභාපති – තවත් ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගෙන් (බෙන්තර ප්‍රාදේශීය සභාවේ සභාපති, ගයාන් සිරිමාන්නගෙන්) ලක්ෂ 15ක අල්ලස් ගෙන බන්ධනාගාරගත විය. මොහු දැන් පොහොට්ටුවට සම්බන්ධ හිටපු පළාත් පාලන නියෝජිතයන්ගේ සංවිධානයේ කැඳවුම්කරුවාය.
03. සාරුවා සුනිල් : අකුරැස්ස ප්‍රා. සභාවේ හිටපු සභාපති – බාලවයස්කාර දැරියක කෙලසා සිරගත වීමට සිදු වූ අතර තම හපන්කම් සැමරීම වෙනුවෙන් සාද පැවැත්වූවෙකි .
04. සම්පත් චන්ද්‍රපුෂ්ප : තංගල්ල ප්‍රා.සභාවේ හිටපු සභාපති – බ්‍රිතාන්‍ය ජාතිකයකු (කුරාම් ෂෙයික්) මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කොට වසර 20ක බරපතල සිර දඩුවමක් නියම විය.
05. නලින්ද රාජනායක : පූජාපිටිය ප්‍රා. සභා හිටපු මන්ත්‍රී – තරුණියකට අතවර කිරීම සම්බන්ද චෝදනාවකට සිරගත විය.
06. ජගත් ඒකනායක : බද්දේගම ප්‍රා. සභාවේ හිටපු උප සභාපති – කුඩු ගැසීමට මුදල් සොරකමේ ගොස් සිරගත විය.
07. දිවුලපිටිය ප්‍රා. සභා හිටපු සභාපති : පස් ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.
08. ආරච්චිකට්ටුව ප්‍රා. සභා හිටපු සභාපති : රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මගින් විදේශිකයෙකුට අලෙවි කොට අත්අඩංගුවට ගන්නා ලදි.
09. රඹෑව ප්‍රා. සභා හිටපු සභාපති : අසරණ ගොවියෙකුගෙන් 75000 අල්ලසක් ගෙන වසර 13 කට සිරගත විය.
10. බේරුවල ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී රත්නසිරි කළුපෙරුම : කුඩා දරුවක අපයෝජන කිරීමේ වරදට අවුරුදු 7 කට සිරගත වීය.
හිටපු පළාත් පාලන නියෝජිතයන් බලයෙන් මත්ව පිස්සු කෙලීම සම්බන්ධව මෙබඳු උදාහරණ තවත් අනන්තවත් සැපයිය හැකිය. නමුත් අප ඒ සියල්ල සඳහන් නොකරනුයේ එසේ කළහොත් මේ සටහන වෙනුවෙන් පිටු කීපයක් ම වෙන් කිරීමට සිදු වන බැවිනි. මේ සියළු තක්කඩි දේශපාලකයන් හට මහජන නියෝජිතයන් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ලබා දුන්නේ ද මේ රටේ ඡන්ද දායකයන් ම ය. ඒ ඡන්ද දායකයන් සාතිශය බහුතරය දැනටත් ඡන්ද දායකයන් ම ය. අද මේ ඡන්ද දායකයන්ට ඇති අභියෝගය වන්නේ මෙවැනි හොරුන්ට, වංචා කරුවන්ට, තක්කඩින්ට, ස්ත්‍රී දූෂකයන්ට, ළමා අපචාරකරුවන්ට නොරැවටී තමන්ගේ නියෝජිතයන් ලෙස ගරු මන්ත්‍රීතුමා යැයි කටපුරා කිව ගැකි පිරිසක් පළාත් පාලන ආයතන වලට තෝරා පත් කර යැවීම ය.
හිට්‌ලර්ගේ ම්ලේච්ඡත්වය විසින් එක දවසකට ඝාතනය කළ යුදෙව්වන් සංඛ්‍යාව විසිදහසකට අධික ය. එතරම් අධික සංඛ්‍යාවක් සඳහා වෙඩි උණ්‌ඩ වැය කරන්නට හිට්ලර් අපේක්ෂා නොකළේය. ඒ වෙනුවට ගෑස් භාවිත කිරීම වැනි තුච්ඡ වූ වෙනත් ක්‍රම සොයාගනිමින් දහස් ගණන් වූ අහිංසක යුදෙව් ජාතිකයන් එක පොදියට මරා දැමුවේය.
මිලියන ගණනින් තමා ඝාතනය කළ යුදෙව්වන් හෝ අන්‍ය ජාතිකයන් පිළිබඳව හිට්ලර් කිසිදාක ශෝක වූයේ නැත.
'වියතුන් උමතු වූ විට කරන ප්‍රකාශ ඔබව අවුළුවා තබනවා' යැයි කියන කතාව ඇත්තක් ය.
මේ සිදුවෙමින් තිබෙන්නේ ඒ ව්‍යසනය ය.
62 මාර්තු 30 හේන්පිටගෙදර ඥාණසීහ හිමියෝ මෙහෙම ප්‍රකාශයක් කළහ.
'මම දේශපාලනයෙන් ඈත්වෙලා ඉන්නේ. ඒත් මේක කිව යුතුයි. මේ රට සංවර්ධනය කරන්නට නම් සිහලුන්ගෙන් වහලුන්ගෙන් මෙන් වැඩ ගත යුතුය. එහෙම කරන්න පුළුවන් ආඥාදායකයකුට මගේ උදව් ලැබෙනු ඇත' කියා ය.
මොන තරම් කෘතහස්ත අයකුගෙන් වුවත් 'කටට ආ පලියට' යමක් කියන අවස්ථා දැකිය හැකිය. දේශපාලකයෝ පිස්සු නටන්නේ ඒ කියන ලද 'උමතු කතා' අතුරුපස කරගෙන ය.
මාධ්‍ය නිදහස නැති, මානව නිදහස නැති, ජීවත්වීමේ නිදහස නැති, වෘත්තීය අරගල කිරීම් නිදහස නැති, රටක් හදා වහලුන් බවට මිනිසුන් පත් කරන්නයැයි කියා ඉල්ලන ඉල්ලීම් ඒ වෙලාවට හරි ජොලි ය. හැබැයි ක්‍රියාවට නංවන විට සියල්ල සිදු වී හමාර ය. එතකොට බබිත්, බබීගේ අම්මිත් කියන දෙන්නා ම සුන් ය.
සිහිනෙකින් හෝ කල්පනා කරන විට ගෝඨා ජයගතහොත් කැබිනෙට්ටුව හරී අපූරු සංකලනයකින් යුක්ත වනු ඇත. ජනපති ගෝඨා...අගමැති මහින්ද..මුදල් සහ ආර්ථික කටයුතු බැසිල්..කතානායක චමල්...තරුණ කටයුතු නාමල්..ශෂීන්ද්‍රත් ආවොත් ඔහුටත් ඇමතිකමකි.සමහරවිට නිරූපමාත් ඇමති කෙනෙකි. ගෝඨාගේ බිරිය රණවිරු අධිකාරියට ය. දුවලා පුතාලත් නිවඩු දමා අමෙරිකාවෙන් ලංකාවට එනු ඇත.
මේ සිහිනය ම බිහිසුණු නොවේද?.
ඔය අතර ඉතිරි වෙන කුඩා කුඩා අවශේෂ ඇමතිකම් හිමිවන්නන් අතර විමල්,රෝහිත,ජොන්ස්ටන්,කෙහෙලිය,මහින්දානන්ද,එස්.බි,ඩිලාන්,වගේ අයය.
නි. අඇමතිකම් අතර ප්‍රසන්න රනවීර,ලොහාන් රත්වත්ත,දිලුම් අමුණුගම වගේ අයය.
කල්පනා කරන්නට දෙයක් නැත. ඒ තරම් බිහිසුණු සිහිනයක් ඔබ දකිනවා නම් ඊට වඩා අවාසනාවක් තවත් නැත.
මානාභරණ