ICC ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි තරගය ගාල්ලේ දී සිංහ - කිවි සටන 14 දා සිට | සිළුමිණ

ICC ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි තරගය ගාල්ලේ දී සිංහ - කිවි සටන 14 දා සිට

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් මේ වන විට නවතම ක්‍රිකට් තරගාවලියක් හඳුන්වා දී තිබේ. ඒ මංගල අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලියයි.

මේ ශූරතාවලියේ මංගල තරගය ඉකුත් අගෝස්තු මස 01 වැනිදා ඇරඹිණි. ඒ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සුප්‍රකට අළුබඳුන තරගමාලාවේ ප්‍රථම තරගයෙනි. මෙවර අළුබඳුන ටෙස්ට් තරගමාලාවේ සත්කාරකත්වය දරනු ලබන්නේ වත්මන් එක්දින ලෝක ශූරයන් වන එංගලන්තයයි. කෙසේ වෙතත් මේ ප්‍රථම තරගයෙන් ලකුණු 251ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූයේය.

මේ අනුව අයි.සී.සී. මංගල ටෙස්ට් ශූරතාවලියේ පළමු ජයග්‍රහණය අත්කර ගෙන මුල් ස්ථානයට පත් වීමට කැන්ගරු දේශයට හැකි වී තිබේ. මෙම ශූරතාවලිය 2021 වසරේ ජුනි මස දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ වන විට ලකුණු සටහනේ මුල් ස්ථාන හිමි දෙරට අවසන් මහා තරගයට සහභාගි වනු ඇත.

එම අවසන් මහා තරගය ලන්ඩන් නුවර සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම ටෙස්ට් ශූරතාවලියට සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය හැරුණු විට ටෙස්ට් වරම් හිමි සෙසු රටවල් 09ම තරග කරයි. එහිදී පැවැත්වෙන මුළු තරග ගණන 71කි.

අයි.සී.සී. මංගල ටෙස්ට් ශූරතාවලියේ දෙවන තරගය අගෝස්තු මස 14 සිට 18 දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම් තරග කරනු ඇත.

මෙවර නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් තරග 02ක් අයත්ය. මීට අමතරව 20 - 20 ජගත් තරග 03කි. දෙරට අතර දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 22 - 26 කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එම තරගයත් ටෙස්ට් ශූරතාවලියට අයත්ය. 20 - 20 තරග 03 මහනුවර පල්ලෙකැලේ ජගත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ඒ සැප්තැම්බර් 01, 03 සහ 06 දිනවලදීය.

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය දෙරටටම වැදගත්ය. ඊට ‍එක් හේතුවක් වන්නේ ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකක් පැවැත්වීමයි. එමෙන්ම වත්මන් එක්දින ලෝක අනුශූරයන් ලෙසින් තරග සංචාරයකට නවසීලන්තය සහභාගි වන ප්‍රථම වතාව මෙය වන බැවිනි. ශ්‍රී ලංකාවට මෙය වැදගත් වන්නේ ටෙස්ට්, එක්දින සහ 20 - 20 අංශයන් ත්‍රිත්වයෙන් ම ශ්‍රේණිගත කිරීමට අනුව නවසීලන්තය ඉදිරියෙන් සිටින බැවිනි.

නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමට දඟ පන්දු යවන්නන් සිවුදෙනෙක් ම ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. (නායක) කේන් විලියම්සන්, ටොඩ් ඇස්ටල්, ටොම් බ්ලන්ඩෙල්, ට්‍රෙන්ට් බෝල්ට්, කොලින් ඩි ග්‍රොන්ඩ්හොම්, ටොම් ලේතම්, හෙන්රි නිකොල්ස්, අජාස් පටෙල්, ජිට් රාවල්, මිචෙල් සැන්ට්නර්, විලියම් සමර්විල්, ටිම් සවුති, රොස් ටේලර්, නීල් වැග්නර් සහ බි.ජේ. වොට්ලිංග්.

නවසීලන්ත කණ්ඩායමක් මීට පෙර අවසන් වරට ටෙස්ට් තරගවලට සහභාගි වීමට මෙරටට පැමිණියේ මීට වසර 07කට පමණ පෙරය. කෙසේ වෙතත් ඊට පසුව ශ්‍රී ලංකාව ටෙස්ට් තරගමාලා 03කට නවසීලන්තයේදී ක්‍රීඩා කළේය. එම තරගමාලාවන්හීදී ශ්‍රී ලංකාව පරාජයට පත් විය. ඒ 2014 - 15 තරග 2 - 0, 2015 - 16 තරග 2 - 0 සහ 2018 - 19 තරග 1 - 0 ක් වශයෙනි. එහිදී එක් තරගයක් ජය පරාජයකින් තොරව නිමාවට පත් විය.

හතුරු ඉවතට

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සහ වත්මන් වේග පන්දු පුහුණුකරු වන රුමේෂ් රත්නායක නවසීලන්ත තරගමාලාව සඳහා ප්‍රධාන පුහුණුකරු ලෙසට පත් කර ඇත. රුමේෂ් මීට පෙර 2011 සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තරගමාලාවේදීත් පුහුණුකරු ලෙසට ක්‍රියා කර ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වූ බැවින් සියලුම පුහුණුකරුවන්ගේ සේවය අවසන් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබිණි.

මේ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු වන තිලාන් සමරවීරගේ සේවය ටෙස්ට් තරගමාලාව සඳහා ලබා ගැනීමට නවසීලන්තය කටයුතු යොදා ඇත. ඒ අනුව තිලාන් ටෙස්ට් තරගමාලාව අතරතුරදී සහාය පුහුණුකරුවකු වශයෙන් ක්‍රියා කරනු ලබයි.

ටෙස්ට් ඉතිහාසයෙන්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ 1983 වසරේ සිට 2018 දක්වා අතරය. එහිදී පැවැති මුළු තරග ගණන 34කි. නවසීලන්තයට ජයග්‍රහණ 15කි. ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 08කි. ජය පැරදුමක් නැති තරග 11කි. නවසීලන්ත ජයග්‍රාහී ප්‍රතිශතය සියයට 44.11කි. ශ්‍රී ලංකා ජයග්‍රාහි ප්‍රතිශතය සියයට 23.52කි.

නවසීලන්තය මීට පෙර ටෙස්ට් තරගවලට සහභාගි වීම සඳහා අවස්ථා 07කදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 1983 - 84 තරග වාරයේදී දෙරට අතර ටෙස්ට් තරග 03ක් පැවැත්වීය. එය නවසීලන්තය ජය ගත්තේ තරග 2 - 0 කිනි. ජෙෆ් හොවාර්ත් සහ දුලිප් මෙන්ඩිස් නායකයෝ වූහ.

1986 - 87 ටෙස්ට් තරගමාලාවට තරග 03කි. ප්‍රථම තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත් විය. සෙසු තරග පැවැත්වූයේ නැත. ඊට බලපෑවේ ඒ වන විට මෙරටේ පැවැති අනාරක්ෂිත බවයි. ජෙෆ් ක්‍රෝ සහ දුලිප් මෙන්ඩිස් නායකත්වය දැරූහ.

1992 - 93 තරගමාලාවට ටෙස්ට් තරග 02කි. ශ්‍රී ලංකාව ජය ගත්තේ 1 - 0 ක් වශයෙනි. අර්ජුන රණතුංග සහ මාටින් ක්‍රෝ නායකයන් වෙති. 1998 තරගමාලාවට තරග 03කි. එහිදී ශ්‍රී ලංකාවට ජය 2 - 1 කින්ය. අර්ජුන රණතුංග සහ ස්ටීවන් ෆ්ලෙමිං නායකයෝය.

2003 තරගමාලාව ජය පරාජයකින් තොරව නිමාවට පත් වූයේය. ඊට තරග 2කි. ස්ටීවන් ෆ්ලෙමිං සහ හෂාන් තිලකරත්න නායකත්වය දැරූහ. 2009 තරගමාලාවටත් තරග 2කි. එය ශ්‍රී ලංකාව ජය ගත්තේ 2 - 0ක් වශයෙනි. ඩැනියෙල් විටෝරි සහ කුමාර සංගක්කාර නායකයෝ වූහ.

2012 - 13 තරගමාලාව දෙරටම තරගය බැගින් ජය ගෙන ජය පරාජයකින් තොරව නිමා කර ගත්තේය. ඊට තරග 02කි. මහේල ජයවර්ධන සහ රොස් ටේලර් නායකයෝය.

ටෙස්ට් වාර්තා

නවසීලන්තය ඉනිමක රැස් කළ වැඩිම ලකුණු ගණන 671-4කි. ඒ 1991 වසරේ වෙලිංග්ටන් නුවරදීය. ශ්‍රී ලංකාවට 2005 වසරේදී නේපියර්හීදී ලකුණු 498කි. ඉනිමක අඩුම ලකුණු ශ්‍රී ලංකාවටයි. 1983 වෙලිංග්ටන්හීදී ලකුණු 93කි. නවසීලන්තයට ලකුණු 102කි. එය 1992 කොළඹදීය.

විශිෂ්ටතම දඟ පන්දු යවන්නන් යුගලයක් වන මුත්තයියා මුරලිදරන් සහ ඩැනියෙල් විටෝරි වැඩිම කඩුලු ලාභින් වෙති. මුරලිට 1992 - 2009 අතර කඩුලු 82කි. වි‍ටෝරිට 1997 - 2009 අතර කඩුලු 51කි. ඉනිමක පන්දු යැවීමේදී විටෝරි 130 - 7ක් දවාලු වේ 2006 වෙලිංග්ටන්හීදීය. රංගන හේරත්ට 43 - 6කි. ඒ 2012 ගාල්ලේදීය.

වැඩිම මුළු ලකුණු ලාභියා ස්ටීවන් ‍ෆ්ලෙමිංය. 1995 - 2006 අතර කාලයේදී ඔහුට තරග 13කදී ලකුණු 1166කි. මහේල ජයවර්ධනට තරග 13කදී ලකුණු 1028කි. වත්මන් නායක කේන් විලියම්සන්ට තරග 08දී ලකුණු 968කි.

හිටපු නායකයන් වන අර්ජුන රණතුංග සහ ස්ටීවන් ෆ්ලෙමිං දෙරට වෙනුවෙන් වැඩිම තරග ගණනකට සහභාගි වී තිබේ. 1984 - 98 අතර අර්ජුනට තරග 16කි. 1995 - 2006 අතර ෆ්ලෙමිංට තරග 13කි. වඩාත් සාර්ථකම නායකයෝ වන්නේත් ඔවුන්මය. අර්ජුනට 1991 - 98 අතර තරග 12 - ජය 04 - පරාජ 03 - ජය පැරදුමක් නැති 05කි. ෆ්ලෙමිංට 1997 - 2006 අතර තරග 11 - ජය 05 - පරාජ 03 - ජය පැරදුමක් නැති 03 කි

20 - 20 ඉතිහාසයෙන්

දෙරට අතර 20 - 20 තරග පැවැත්වෙන්නේ 2006 සිට 2019 දක්වාය. මුළු තරග 16 කි. නවසීලන්තයට ජය 08 කි. පරාජ 06කි. ජය පැරදුමක් නැති 01 කි. සම වී පරාජය වූ තරග 01 කි. ඒ අනුව ජයග්‍රාහි ප්‍රතිශතය සියයට 56.66 කි. ශ්‍රී ලංකාවට ජය 06කි. පරාජ 08කි. ජය පැරදුමක් නැති තරගයකි. සම වී ජය ගත් තරග 01කි. ජයග්‍රාහි ප්‍රතිශතය සියයට 43.33කි.

අවස්ථා 03කදී නවසීලන්තය මෙරටේදී 20 - 20 තරගවලට සහභාගි වී ඇත. 2009 වසරේදී තරග 2කි. නවසීලන්තයට 2 - 0 ක ජයකි. ඩැනියෙල් විටෝරි සහ කුමාර සංගක්කාර නායකයන්ය. 2012 - 13 වසරේදී තරගයකි.

එය ජය පැරදුමක් නැති තරගයකි. නායකයන් වූයේ මහේල ජයවර්ධන සහ රොස් ටේලර්ය. 2013 - 14 තරග 02කි. ශ්‍රී ලංකාවට 1 - 0 ක ජයකි. අනෙක් තරගයට ජය පරාජයක් නැත. නායකත්වය දැරුවේ ඇන්ජලෝ මැතිව්ස් සහ කයිල් මිල්ස් විසිනි.

වාර්තා

තරගයක වැඩිම ලකුණු වාර්තා වූයේ 2016 වසරේදී මවුන්ට් මවුන්ගානුයිහීදී පැවැති එකම තරගයකදීය. නවසීලන්තය 182 - 4 කි. ශ්‍රී ලංකාව 179 - 9කි. අඩුම ලකුණු නවසීලන්තයේ 60 වේ. එය රැස් කළේ 2014 බංග්ලාදේශයේ චැටොග්‍රාම්හිදීය. ශ්‍රී ලංකාවට ලකුණු 92කි. ඒ 2010 ඇමෙරිකාවේ ලෝඩර්හිල් නුවරදීය. වැඩිම මුළු ලකුණුලාභියා තිලකරත්න ඩිල්ෂාන්ය. 2006 - 16 අතර කාලයේදී ඔහුට තරග 14කදී ලකුණු 324කි. මාටින් ගප්ටිල්ට 2009 - 19 අතර තරග 10දී ලකුණු 298කි.

ලසිත් මාලිංග වැඩිම කඩුලුලාභි පන්දු යවන්නාය. ඔහුට 2006 - 19 අතර තරග 12කදී කඩුලු 13කි. නේදන් මැක්කලම්ට 2009 - 14 අතර තරග 08 කඩුලු 07කි. තරගයක හොඳම පන්දු යැවීම රංගන හේරත් සතුය. 2014 චැටොග්‍රාම්හීදී හෙතෙම ලකුණු 03ට කඩුලු 5ක්ම දවා ගත්තේය. ග්‍රාන්ට් එලියට් 22 - 4 ක් දවාලුවේ 2016 ඕක්ලන්ඩ්හීදීය.

තරගයක වැඩිම උඩපන්දු රැක ගත් වාර්තාවත් ටේලර්ටමය. 2009 කොළඹදී පැවැති තරගයකදී ඔහුට උඩපන්දු 03කි. මාලිංග 2007 දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හි පැවැති තරගයකදී උඩපන්දු 02ක් රැක ගත්තේය.

තරගයක වැඩිම ලකුණු සබඳතාව 101කි. ඒ ආරම්භක කඩුල්ලට ගප්ටිල් සහ කේන් විලියම්සන්ය. එම තරගය 2016 දී මවුන්ට් මවුන්ගානුයිහීදී පවත්වනු ලැබීය. ඩිල්ෂාන් සහ කුසල් පෙරේරා දෙවන කඩුල්ලට 2013 වසරේදී ලකුණු 96ක් රැස් කළේය. ඒ පල්ලෙකැලේදීය.

වැඩිම තරග ගණනකට සහභාගි වූ ක්‍රීඩකයා රොස් ටේලර්ය. 2006 - 19 අතර ඔහුට තරග 15කි. ඩිල්ෂාන්ට 2006 - 16 අතර තරග 14කි.

දෙරට වෙනුවෙන් වඩාත්ම සාර්ථක නායකයෝ වන්නේ විටෝරි සහ සංගාය. 2007 - 10 අතර විටෝරිට තරග 07 - ජය 04 - පරාජ 03කි. සංගාට 2009 - 10 අතර තරග 06 - ජය 02 - පරාජ 04 කි.

Comments