සත්‍යය දැනගැනීමේ අයි­ති­යක් අපට තියෙ­නවා | Page 2 | සිළුමිණ

සත්‍යය දැනගැනීමේ අයි­ති­යක් අපට තියෙ­නවා

 

“රෝගීන් මැද නිරෝගීව” කෘතියෙන් රාජ්‍ය සම්මාන ලත් නවකතාකරුවකු බවට පත් වන රත්නායක තිලකරත්න තවත් නවකතා පහක් ද පරිවර්තන කෘති කිහිපයක් ද නිර්මාණ සාහිත්‍යයට එක් කොට ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඉගැන්වීමේ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසින් සේවය කරන ඔහු මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද සූරීන්ගේ 1818 උඩරට කැරැල්ල ලෙසින් පළ වන කෘතියෙහි පරිවර්තක බවට ද පත් වෙයි. මෙහි පළ වනුයේ සුරිය ප්‍රකාශනයක් ලෙස බිහි වී ඇති ඒ කෘතිය පිළිබඳ ඔහු සමඟ පැවැත් වූ සංවාදයෙහි සංක්ෂිප්ත සටහනකි.

 

අනෙකුත් ඉතිහාස ග්‍රන්ථ අතර මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ලියූ The Great Rebellion of 1818 - (උඩරට මහ කැරැල්ල) කෘතිය වැදගත් වනුයේ කුමන කරුණු මතද ?

එය කිහිප ආකාරයකින් විග්‍රහ කළ හැකියි. ඒ හැම කරුණු අතරෙම එක් ප්‍රධාන කරුණක් දක්නට තියෙනවා. ඒක තමයි ඒ පොතේ හමුවන ප්‍රස්තාවනාව. එය පිටු සිය ගණනක් පුරා විහිදිලා යනවා. එය කියවනකොට අපට දැනෙනවා මහාචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ඒ කරුණු පිළිබඳ කොතෙක් ගැඹුරට හදාරල තිබෙනවද කියලා. මේ හැඳින්වීම වෙනත් ඉතිහාස ග්‍රන්ථයකින් මෙතෙක් දුරට ලබාගැනීමට හැකියාවක් තියෙනවාද කියල මම දන්නෙ නැහැ. මම ඉතිහාසයට ඇලුම් කරන පුද්ගලයෙක් මිසක් ඉතිහාසඥයෙක් නෙමෙයි. මම කරල තියෙන්නෙ එහි පරිවර්තන කාර්යය පමණයි. නමුත් ඒ කාර්යය කිරීමේදී හුදු පරිවර්තනයෙන් එහා ගිය දැනුම් කලාපයක් සොයා ගෙන යෑමට මට සිදු වුණා. එහෙම නැතුව මෙවැනි කෘතියක් පරිවර්තනය කිරීම පහසු වෙන්නෙ නැහැ.

මෙහි කැපී පෙනෙන දෙවන ලක්ෂණය වන්නේ එහි හමුවන සෑම තොරතුරක් ම පාහේ සෘජු වශයෙන්ම ලන්ඩනයේ මහජන වාර්තා කාර්යාලය (Public record office) හරහා ලබාගෙන තිබීමයි. ඒ සඳහා ලන්ඩනයේ Wallace කෞතුකාගාරයෙන් ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් ද ලබා ගෙන ඇති සහයෝගය ඉතා විශාලයි. ඒ නිසා මේ කෘතියේ පළ වන කිසිදු තොරතුරක් පරිකල්පනීය තත්ත්වයෙන් ඉදිරිපත් වූ ඒවා නෙමෙයි. ඒ හැම කරුණක් ම එයට අදාළ සෘජු ලිපි ලේඛන මගින් තහවුරු කරලයි තියෙන්නෙ. ඒ නිසා ඒ ලිපි ලේඛන මේ කෘතියේ වාස්තවික අගය වැඩි කරනවා. ඒවා අපිට සාක්ෂි සහිතව ඉදිරිපත් වෙන නිසා එහි ඇති විශ්වසනීයත්වය පිළිබඳ කිසිදු ගැටලුවක් මතුවෙන්නෙ නැහැ. ඒ මූලාශ්‍රය ඉතාමත් ශක්තිමත් මූලාශ්‍රයන්. ඒ හැම දෙයක්ම ලිඛිතව ඒ ආකාරයෙන්ම තියෙන නිසා කිසිම කෙනකුට ඒ තොරතුරු අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා විශ්වසනීයත්වය පැත්තෙන් ගත්තොත් මේ කෘතිය ඉතාම ඉහළ තැනක තියෙනවා. ඒ වගේ තමයි කැරැල්ල සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයේ තොරතුරු සම්බන්ධ ව තෙන්නකෝන් විමලානන්දයන් ඉදිරිපත් කොට ඇති අදහස් ඉතා විශිෂ්ටයි.

මේ කෘතිය පරිවර්තනය කිරීමේදී ඔබට මුහුණ පෑමට සිදුවූ ගැටලු මොනවාද?

මූලාශ්‍රය පිළිබඳ කිසිදු ගැටලුවක් මට තිබුණේ නැහැ. මට තිබුණේ පරිවර්තනය කරන්න විතරයි. හැබැයි පරිවර්තනය කිරීම සඳහා මේ කෘතිය කොහේවත් හොයා ගන්න තිබුණේ නැහැ. මෙය මුලින් ම රචනා වෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්; එහි වෙළුම් තුනක් තියෙනවා. ඊට පස්සේ මහාචාර්ය විමලානන්ද ඒ කෘති තුනෙන් දෙවන හා තුන්වන වෙළුම් සිංහලට පරිවර්තනය කරනවා. නමුත් පළවන වෙළුම සිංහලට පරිවර්තනය වෙන්නෙ නැහැ. දෙවන හා තුන්වන වෙළුම් අදත් ගුණසේන පොත් සමාගමේ තියෙනවා. නමුත් පළමුවැනි වෙළුම ඔවුන් ළඟවත් නැහැ. වාසනාවකට වගේ රත්නපුරේ ජීවත්වන මගේ මිත්‍රයෙක් වන එම්. බී. බණ්ඩාර මහතා රත්නපුරේ ශ්‍රී ධර්මායතන පිරිවෙණෙහි අධිපති රාජකිය පණ්ඩිත සරණපාල කෑලිගම විජිත නන්ද නාහිමියන්ගේ පුස්තකාලයෙන් මේ දුර්ලභ පොත මට ගෙනත් දෙනවා. ඔහු ‍එ් පොත හොයා ගත්තේ නැතිනම් මේ පරිවර්තනය මේ ආකාරයට බිහිවීමේ හැකියාවක් නැහැ.

මේ පොතේ මහාචාර්ය විමලානන්දගේ ප්‍රස්තාවනාව හැරුණු විට, අනිකුත් සියලු ම ලිපි ලේඛන අයත් වෙන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට සම්බන්ධ විවිධ පුද්ගලයන්ට. යටත් විජිත පාලනයට සම්බන්ධ පරිපාලකයන්, හමුදා නිලධාරීන්, ලිපි කරුවන් ආදී විශාල පිරිසක් ඒ අතරෙ ඉන්නවා. මෙරට ප්‍රධානීන් සිංහලෙන් ලියා ඉංග්‍රීසි‍යට පරිවර්තනය වූ ලේඛන ද තියෙනවා. මොවුන් භාවිත කර තිබෙන ඉංග්‍රීසි භාෂාව ඒ යුගයේ හිටපු ඉංග්‍රීසි සාහිත්‍යකරුවන්ගේ භාෂාව නෙමෙයි. රොබට් බ්‍රවුන්රිග් කියන්නෙ හමුදා නිලධාරියෙක් මිසක් සාහිත්‍යකරුවෙක් නෙමෙයිනෙ. ඒ නිසා ඉංග්‍රීසි සාහිත්‍යකරුවන්ගේ නිවැරදි ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරය ඒ බොහෝ ලේඛනවල නැහැ. ඒ නිසා ඒ වාක්‍ය නිවැරදිව සිංහලට නඟන්න මට ලොකු දුෂ්කර ක්‍රියාවක නිරත වෙන්න වුණා. එයට ඉතා විශාල කාලයක් හා ශ්‍රමයක් වැයවුණා.

ඒ වගේම බ්‍රිතාන්‍ය යටත් විජිත සේවකයො ලියපු ලංකාවේ නම්, ගම්, පෙළපත් නාම, ප්‍රදේශ නාම වැනි දේවල් වල අක්ෂර වින්‍යාෂය කියවලා තේරුම් ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් වුණා. මෙවැනි ගැටලු සහගත අවස්ථාවලදී එම්. බණ්ඩාර, එම්. කේ. ජයසේන හා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙ සහයෝගය මට ලැබුණා. ඒ හැම අභියෝගයක් ම ජය ගත්තත් පරිවර්තනයෙන් පස්සෙ මම ඊට වඩා විශාල ගැටලුවකට මුහුණ දුන්නා.

ඒ මොකක්ද ?

අද විශාල වශයෙන් පොත්පත් ප්‍රකාශයට පත් වුණත් මෙවැනි ග්‍රන්ථයක් පළ කර ගැනීම අති දුෂ්කර කටයුත්තක්. පිටු ගණනින් ගත්තත් මේ පොත ඉතා විශාල පොතක්. බොහෝ ප්‍රකාශකයන් අවධානයක් යොමු නොකරන මෙවැනි කෘතියක් ජාතික වගකීමක් ලෙස සලකල සූරිය ප්‍රකාශකයො එය පළ කිරීමට ඉදිරිපත් වුණා. ඒ නිසා වසර පනහකට පස්සෙ මේ පොතේ සිංහල පරිවර්තනයක් බිහි වුණා.

මේ පළමු වෙළුමේ දෙවන හා තුන්වන වෙළුම්වල එන ලිපි ඇතුළත් වෙලා තියෙනවා කියන චෝදනාවත් පරිවර්තනය පිට වුණාට පස්සේ ආවා. ඒක කොහොම වුණාද කියල මම දන්නෙ නැහැ. මම කළේ මුල් පොත පරිවර්තනය කිරීම පමණයි. හැබැයි ඒ අදහසෙ සත්‍යයක් තිබෙනවා. මහාචාර්ය විමලානන්ද පරිවර්තනය කරපු වෙළුම් දෙකේදී සමහර කොටස් ඔහු සිංහලට පරිවර්තනය කර නැහැ.

උක්ත කෘතියෙහි පළමුවැනි වෙළුම ගිනිතබා විනාශ කර ඇති බවට රාවයක් තියෙනවා.

එය පැහැදිලිව ඔප්පුකරන්න මූලාශ්‍රය නැහැ. නමුත් එහෙම කතාවක් තියෙනවා. මේ කෘතිය කියවන විට පැහැදිලිව අපට වැටහෙන දෙයක් තමයි අපේ ඉතිහාසය පුරා පාවාදීම කොතරම් නිවට, දීන ආකාරයට කෙරිලා තියෙනවද කියන එක. එහි පෙරමුණේ සිටින්නේ රදළ ප්‍රධානින්. ඇත්තට ම උඩරට කැරැල්ල පාවාදීම සම්බන්ධයෙන් රත්නපුරේ එක්නැලිගොඩ වලව්ව ප්‍රධාන කොටස්කාරයෙක් වෙනවා. ඒ අතර පොදු ජන කණ්ඩායම් ද සිටිනවා. ඔවුන්ගේ බල තෘෂ්ණාව නිසා තමයි අද පවා අප අත්විඳින පරගැති වහල් භාවය හිස ඔසවන්නෙ. මේ තත්ත්වය පසු පරම්පරාවෙන් සඟවා තැබීමට ගත් උත්සාහයක් වශයෙන් ඒ කෘතියේ පළවන වෙළුම් විනාශ කරා කියල අදහසක් සාමාන්‍ය ජනතාව අතර තිබෙනවා. නමුත් එය නිශ්චය වශයෙන් ඔප්පු කරන්න සාධක නැහැ.

මේ කෘතිය කියවන විට අපිට දැනෙන තවත් දෙයක් තමයි අපේ ඉහළ ස්තරවල ඉන්න මිනිසුන්ගේ තියෙන චංචල ස්වභාවය. ඒ වගේම දීන බව. හොඳම උදාහරණය තමයි කැප්පෙටිපොල චරිතය. කැප්පැටිපොල කැරැල්ලට එක්කහු වෙන්නෙ ඔහුට එක් නොවී සිටීමට බැරි තත්ත්වයක් උදා වුණ නිසා මිසක් ඔහු හදවතින්ම එතැන හිටියෙ නැහැ. කැප්පෙටිපොල කැරැල්ලට එක්වෙනකොට අපේ සාමාන්‍ය ජනතාව කැරැල්ල ආරම්භ කරල ඉවරයි. නමුත් අපි එහි ගෞරවය පිරිනමන්නේ කැප්පෙටිපොලට. ඒ මොකද ඔහු රදළයෙක් නිසා. විල්බාවෙ වැනි පුද්ගලයන් ගැන කතා කරන්නෙ හරිම අඩුවෙන්. සාමාන්‍ය මිනිස්සු ගැන අවධානයක් ඇත්තෙම නැහැ. ඒ වගේම තමයි ඔවුන් දැන් යුද අපරාධ ගැන කතා කරනවා. නමුත් බ්‍රිතාන්‍යයන් තරම් මනුෂ්‍යයා ඝාතනය කරමින් යුද අපරාධ වෙන කවුරුවත් කරේ නැහැ. නායයෑම් වැනි දේවලට පවා වගකියන්න ඕන ඔවුන්. අලි රැක ගැනීම පිළිබඳ ඔවුන් දැන් අපිට උපදෙස් දෙනවා. නමුත් ඔවුන් තරම් ලංකාවේ අලි වෙන කිසි කෙනෙක් විනාශ කළේ නැහැ. කොටින්ම කියනවා නම් ලංකාවට ඉතා විශාල අපරාධයක් කළේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයො මිසක් වෙන කවුරුවත් නෙමෙයි. මේ කෘතිය කියවන කොට ඒ තත්ත්වය ඉතා පැහැදිලිව අවබෝධ වෙනවා. ඒ නිසා මෙවැනි කෘතිවල අවශ්‍යතාව ඉතා වැදගත්. මොකද සත්‍යය දැන ගැනීමේ අයිතියක් අපට තියෙනවා.

මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද පිළිබඳ එතරම් විස්තරයක් වර්තමාන පරම්පරාව සතුව නැහැ කියල මට හිතෙනවා. ඔහුගේ නම හා සේවය පිළිබඳ අසා තිබුණත් ඔහු පිළිබඳ වැඩිමනත් තොරතුරක් ප්‍රසිද්ධ වී නැහැ. වර්ෂ 1907 දී තමයි පාතදුම්බර උඩගම්පහ කෝරළේ නාපාන ගමේ මහාචාර්යතුමා උපදින්නෙ. අධ්‍යාපනය ලබන්නෙ ගුන්නෑපාන රජයේ පාඨශාලාවෙන්. ඔහු ඉතා කුඩා කාලෙදිම තමයි ශාන්ති නිකේතනයට ඇතුළු වෙන්නෙ. එහිදී රවින්ද්‍රනාත් ඨකූර් ගුරු දේවයන්ගෙන් වංග සාහිත්‍යය ඉගෙන ගන්නව. ඊට පස්සෙ උසස් අධ්‍යාපනය සඳහා ඔහු කල්කටා විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. මේ කාලෙදීම තමයි ඔහු අනගාරික ධර්මපාල තුමාගෙන් ලද ආශ්‍රය මත ඉන්දිය මහබෝධි සමාගමට බැ‍ඳෙන්නෙ. ඒ අතර ඔහු පුරා විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නවා. භාරතයේදී සර්වපල්ලි රාධක්‍රිෂ්ණන්, මහත්මා ගාන්ධි ඇතුළු ජන නායකයන්ගෙන් ඇසුර ලබමින් අවුරුදු විසි පහකට පස්සෙ නැවත ලංකාවට එනවා. ඊට පස්සෙ ඔහු මධ්‍ය මහා විද්‍යාල කිහිපයක ම ප්‍රධානියා වෙමින් ඉන් අනතුරුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ දේශක ධූරයකට බැ‍ඳෙනවා. ඉක්බිතිව ලන්ඩනයෙදි ඔහු ආචාර්ය උපාධිය ලබා ගන්නවා. ලෝකය පුරා සැරිසරන ඔහු ඒ ගමන්වලදී ලංකා ඉතිහාසයේ යුරෝපීය යුගය පිළිබඳ සත්‍ය සොයා ගැනීමට ආධාර වන ලේඛන පරීක්ෂා කරනවා. ඒ හැම දෙයකම ප්‍රතිඵල ලෙස තමයි ඔහු අතින් ඉතා වැදගත් කෘති කිහිපයක් බිහිවෙන්නෙ. ලංකාවේ මෙතෙක් සොයා ගන්නා ලද සියලු ශිලා ලිපිවල විස්තර ඇතුළත් “පැරණි ලංකාව හා ශිලා ලිපි” කියන කෘතිය ඒ අතර විශේෂයි. මේ අතරම ඔහු බෞද්ධ තොරතුරු පරික්ෂා කිරීමේ කොමිසමේ සාමාජිකයෙක් ලෙස ද අධ්‍යාපන කොමිසම ඇතුළු තව ඉතා වැදගත් තනතුරු රාශියක් හොබවනව. ඒ සියල්ල නිම කරල 1987 දී ඔහු මිය යනවා.

අප ඉතිහාසය කියවිය යුත්තේ මන්ද?

වර්තමානය තේරුම් ගන්න නම් ඉතිහාසය දැනගෙන සිටිය යුතුමයි. එදා සිදුවුණු දේවල්ම තමයි අදත් සිදුවෙන්නෙ. එහි ස්වරූපය විතරයි වෙනස්. අපිට නැවත ඉතිහාසයට ගමන් කරන්න බැහැ. නමුත් අනාගතය ගොඩ නඟා ගත හැකියි. ඒ සඳහා අපි ඉතිහාසයෙන් අවශ්‍ය පාඩම් උගත යුතුයි. ඒ නිසා තමයි මගේ අනිකුත් ප්‍රබන්ධ සාහිත්‍ය කටයුතු මොහොතකට අමතක කරල මේ කෘතිය පරිවර්තනය කරන්න හිතුවෙ. හැබැයි මම ප්‍රධාන කරණයෙන් ඉවත් වෙලා නැහැ. මම ඉතිහාසයට ප්‍රිය කෙරුවත් මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ ප්‍රධාන කාරණය සමඟයි. මේ දවස්වල “රෝගීන් මැද නිරෝගීව” කෘතියෙහි ඉංග්‍රිසි පරිවර්තනය සිදු කරමින් පවතිනවා. ඉතිහාසය කියන්නෙ කලා ධාරාවෙ එක් තැනක්. එය ඉතා වැදගත්. නව කතාව ඇතුළු ප්‍රධාන සාහිත්‍යය කියන්නෙත් ඒ කාල ධාරාවේ ම නිෂ්පාදනයක්. අපි කුමන දේ කළත් ඒ තුළ අපේ පරගැතිභාවය නැති කර ගන්න ඕන. පරගැති මානසිකත්වයක් තියෙනවා නම් කිසිදු රටක් දියුණු වෙන්නෙ නැහැ. ඒ අනුව මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද වැනි වියතුන් ඉතා දුක් මහන්සියෙන් හා අති විශාල කැපකිරීමකින් කරන ලද මෙවැනි අතිශය වටිනා කෘති වලින් ලබාගත හැකි ආලෝකය අප නොපැකිළිව ලබා ගත යුතුයි. එය ඔවුනට කරන ගෞරවයක් වගේම මුළු ජාතියටම කරන ගෞරවයක් ද වනවා.

Comments