බඩගින්නෙන් උපන් 'විශ්වයේ ලොක්කා' ක්‍රිස් ගේල් | සිළුමිණ

බඩගින්නෙන් උපන් 'විශ්වයේ ලොක්කා' ක්‍රිස් ගේල්

බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම මෙවර එංගලන්තයට පැමිණියේ කිසියම් වූ බලාපොරොත්තු කිහිපයක් සමඟිනි. ඒ අතරට එංගලන්තයේදි සාර්ථකව තරග කිරීමටත් තවත් වතාවක් ශූරතාවක හිමිකරුවෝ වීමටත් හැකියාව තිබෙනු ඇත යන බලාපොරොත්තුවත් අයත්ය.

එක්දින ජගත් තරගවලදී කොදෙව්වන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) කුසලාන ත්‍රිත්වයක්ම හිමිකර ගත්තේ එංගලන්තයේදීය. ඊ‍ට 1975 සහ 1979 ලෝක කුසලාන ශුරතා අයත්ය. එමෙන්ම 2004 චැම්පියන්ස් කුසලාන ශුරතාවත් ඔවුහු හිමිකර ගත්තේ ද එංගලන්තයේදීමයි. තවද 1983 ලෝක කුසලාන අනුශූරතාවත් එහිදීමයි. මෙවර ශුරතාවත් හිමිකර ගැනීමට තරම් දක්ෂ ක්‍රීඩකයෝ පිරිසක් ඔවුන් සතුවූහ. මේ අතර ‘යුනිවර්ස් බොස්’ හෙවත් ‘විශ්වයේ ලොක්කා’ ලෙස තමන්ම හඳුන්වන ක්‍රිස් ගේල් ද වූයේය.

කොදෙව්වෝ සිය පළමු තරගයෙන් පාකිස්තානය පහසුවෙන් පරාජය කළහ. එමෙන්ම ඔවුන්ගේ අවසන් තරගයත් ජය ගත්හ. එහෙත් අතර මැදදි තරග පරාජය විය. ඊට ජය ගත හැකිව තිබුණු තරගත් විය. අවසානයේදී මුල් වටයේ ලකුණු සටහනට අනුව ඔවුනට හිමි වූයේ 09 වැනි ස්ථානයයි. කොදෙව්වන් ඇෆ්ගනිස්තානයට පමණක් ඉදිරියෙන් සිටියහ.

මෙසේ කොදෙව් පසුබැසීමට හේතු කිහිපයක්ම බලපෑවේය. මින් ප්‍රධානතම වූයේ සුපිරි එමෙන්ම ප්‍රහාරාත්මක පිතිකරු ගේල් අසාර්ථක වීමයි. කොදෙව්වන්ගේ සාර්ථකත්වයට එය අතීශයින්ම වැදගත් වූයේය. එහෙත් සිය අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ගේල් හට ඉනිම් 08 කදී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 242 ක් පමණකි. ඊට අර්ධ ශතක දෙකකුත් අයත්ය.

ගේල් මෙවර සහභාගි වූයේ තම 05 වැනි එක්දින ලෝක කුසලාන තරගාවලියටයි. ඊට 2003, 07, 11, 15 සහ මෙවර අයත්ය. එහිදී හෙතෙම රැස් කරන ලද මුළු ලකුණු ප්‍රමාණය 1186 කි. ඒ අනුව ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකරුවන් අතර ඔහුට 06 වැනි ස්ථානය හිමි වේ. කොදෙව්වන් අතරින් දෙවැනි ස්ථානයයි.

ලෝක කුසලාන තරගවලදී ගේල්ට තරග 35කි. මුළු ලකුණු 1186 කි. ඊට ශතක 02කි. අර්ධ ශතක 06කි. සාමාන්‍යය 35.93කි. තරගයක වැඩිම ලකුණු ගණන 215කි. එය ඔහු රැස් කළේ සිම්බාබ්වේට එරෙහිව 2015 තරගාවලියේදීය. එම තරගය ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර මානුකා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඊට පන්දු 147 කි. 4 පහර 10කි. 6 පහර 16 කි. මෙය එක්දින ලෝක කුසලාන තරගයකදී වාර්තා වූ ප්‍රථම ද්විත්ව ශතකයයි. ලෝක කුසලාන තරගවලදී ඔහු විසින් රැස් කරන ලද මුළු 6 පහර ගණන 49කි. එයත් වාර්තාවකි. මීට පෙර මේ වාර්තාවේ හිමිකරුවා වූයේ හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒ.බී.ඩී. විලියර්ස්ය. ඔහුට 6 පහර 37කි.

“මෙය අනිවාර්යයෙන්ම මගේ අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලියයි. ලෝක කුසලාන තරගාවලි 05කදී බටහිර ඉන්දීය කොදෙව් නියෝජනය කිරීමට ලැබීම මහා වරප්‍රසාදයක් මෙන්ම ගෞරවයක් ලෙසට මම සලකනවා. මෙවර අවසන් හතරට තේරීමට නොහැකි වීම බලාපොරොත්තු සුන්වීමක්. ඒ වුණත් මෙහි සිටීමට හැකි වීම ගැන මම කෘතඥ වෙනවා. එමෙන්ම ජයග්‍රහණයකින් අවසන් වීමත් මට අපූරු දෙයක් වුණා.” ඇෆ්ගනිස්තානයට එරෙහිව සිය අවසන් ලෝක කුසලාන තරගයට සහභාගි වීමෙන් පසුව ගේල් පැවසීය. එම තරගයේදී පන්දු යවමින් කඩුල්ලකුත් ඔහු දවා ගත්තේය.

මේ අතර කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවට දීප්තිමත් අනාගතයක් පවතින බවත් ගේල් විශ්වාසය පළ කරයි. “අපිට දක්ෂ යොවුන් ක්‍රීඩක‍යෝ සිටිනවා. කොදෙව් ක්‍රිකට් ඉදිරියට ගෙන යෑමටත් එහි මට්ටම උසස් කිරීමත් තිබෙන්නේ ඔවුන් මතයි. මමත් ඉදිරියේදී තවදුරටත් කොදෙව් ක්‍රිකට් නංවන්න මගේ දායකත්වය ලබා දෙනවා. කොහොම වුණත් මම තව තරග කිහිපයකට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.” ගේල් වැඩි දුරටත් පැවසුවේය. මෙවර ලෝක කුසලානයට සහභාගි වූ දෙවැනි වයස්ගතම ක්‍රීඩකයා වූයේත් ගේල්මය. 39 හැවිරිදි ගේල් මාස කිහිපයකින් 40 හැවිරිදි දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තාහිර්ට වඩා ළාබාල වූයේය. මෙම වසර මුලදී ගේල් ප්‍රකාශ කළේ මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව තමන් එක්දින ජගත් තරගවලින් විශ්‍රාම ගන්නා බවයි. නමුත් තරගාවලිය අතරතුරදී එම අදහස වෙනස් කර ගත්තේය. එහිදී තමන්ට තවත් තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව හෙතෙම පැවසීය.

ඊට ප්‍රධාන ලෙසටම ඉවහල් වූයේ එක්දින ජගත් තරගවල වැඩිම ලකුණුලාභි කොදෙව් පිතිකරුවා වීමට ඔහුට අවශ්‍ය වන්නේ තවත් සුළු ලකුණු ගණනක් රැස් කිරීම පමණක් වීමයි. ලෝක කුසලාන සිය අවසන් තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව වාර්තාගත කොදෙව් එක්දින පිතිකරුවා වීමට ගේල්ට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 10 ක් රැස් කිරීමයි. මෙම වාර්තාවේ වත්මන් හිමිකරුවා වන්නේ හිටපු සුපිරි වමත් පිතිකරු බ්‍රයන් ලාරාය. ඔහුට තරග 295 කි. ලකුණු 10,348කි. ගේල්ට තරග 295කි. ලකුණු 10,338 කි. ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඉන්දීය ජාතික කණ්ඩායම බටහිර ඉන්දීය ‍කොදෙව් සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. ගේල්ගේ බලාපොරොත්තුව වැඩිම ලකුණු කොදෙව් වාර්තාව එම තරගාවලියේදී බිඳ දැමීමයි.

මේ අතර මෙම ඉන්දීය තරගමාලාවේදී ටෙස්ට් තරගවලටත් ක්‍රීඩා කිරීමට ගේල් බලාපොරොත්තු වේ. එහි විශේෂත්වයක් ඇත. එනම් 2014 වසරෙන් පසුව ඔහු ටෙස්ට් තරගයක් ක්‍රීඩා නොකිරීමයි. ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසය පුරාම නරඹන්නන් ක්‍රීඩාංගණ තුළට කැඳවූ පිතිකරුවෝ සිටියහ. අතීතයේදී එංගලන්තයේ ඩබ්.ජී.ග්‍රේස්, ඔස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි විවියන් රිචඩ්ස් එවැනි කිහිප දෙනෙකි. පසුකලෙක ඉන්දියාවේ සචින් තෙන්දුල්කාර්, වත්මනදී විරාත් කෝලිත් ඊට අයත්ය. මෙම පිරිසට ගේල් ද අනිවාර්යයෙන්ම එක් වේ. හෙතෙම අඩි 6 අඟල් 3ක් උසැති දේහධාරි පුද්ගලයෙකි. එය සිය වමත් ප්‍රවේගකාරී පිතිහරඹයට ඔහු මැනවින් උපයෝගී කර ගත්තේය. ක්‍රීඩා කරන විට දිවීමට ඔහු වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. ඒ දැවැන්ත 6 පහරවල් එල්ල කිරීමේ හැකියාව නිසාය.

ටෙස්ට්, එක්දින හෝ 20 – 20 තරග වුවත් ගේල්ගේ පිතිප්‍රහාරය වෙනස් වන්නේ නැත. විශේෂයෙන්ම ආරම්භක පිතිකරුවකු ලෙසට ඔහු සාර්ථක වීමටත් එය බලපෑවේය. ඔහු ‘ස්ලිප්’ ස්ථානයේ දක්ෂ පන්දු රකින්නෙකි. තවද දකුණතින් පිට දඟ පන්දු යවමින් කඩුලු දවා ගැනීමටත් ඔහුට හැකියාවක් ඇත.

 

සුවිශේෂ වාර්තා

ගේල් සතුව සුවිශේෂි වාර්තා කිහිපයක්ම තිබේ. ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ ටෙස්ට් ත්‍රිත්ව ශතක, එක්දින ජගත් ද්විත්ව ශතක සහ 20 – 20 ශතක රැස් කළ දැනට ලොව ප්‍රථම සහ එකම පිතිකරුවා වන්නේ ඔහුය.

ටෙස්ට් තරගයක ප්‍රථම පන්දුවටම 6 පහරක් එල්ල කළ ලොව ප්‍රථම සහ එකම පිතිකරුවාය. ටෙස්ට් ක්‍රීඩාවේ ත්‍රිත්ව ශතක දෙකක් රැස් කළ ලොව සිවුවැනි පිතිකරුවාය. එම දුලබ දස්කම ඊ‍ට පෙර දැක්වූයේ ඩොන් බ්‍රැඩ්මන්, බ්‍රයන් ලාරා සහ ඉන්දියාවේ විරෙන්දර් ෂේවාග් පමණකි. 20 – 20 ජගත් තරගයක ප්‍රථම ශතකලාභියාය. ඔහු මේ දස්කම දැක්වූයේ 2007 ප්‍රථම 20 -20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම තරගයේදීම සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 117 ක් රැස් කරමිනි.

20 – 20 ජගත් තරගයකදී ඉනිම අරඹා කණ්ඩායමේ සෙසු සියලුම දෙනාම දැවී යන විටත් නොදැවී සිටි ලොව ප්‍රථම සහ දැනට එකම පිතිකරුවාය. 2009 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී ලකුණු 63 ක් රැස් කරමින් ගේල් එම දස්කම දැක්වූයේය. ඉහත දස්කම ටෙස්ට් තරගවලදීත් ඔහු දැක්වීය. එම දස්කම දැක්වූ සිවුවැනි කොදෙව් පිතිකරුවාත් ගේල් වේ. එසේ දස්කම් දැක් වූ සෙසු කොදෙව් පිතිකරුවෝ වන්නේ ෆ්‍ර‍ැන්ක් වොරල් (1957), කොන්රඩ් හන්ට් (1965), ඩෙස්මන්ඩ් හේන්ස් (1986/91/93) සහ ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් (2016) ය.

 

ආරම්භය

ගේල්ගේ පවුලේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව සිටියේ සීයා සහ සොහොයුරා පමණකි. සීයා සමාජ මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කළේය. ගේල්ගේ ක්‍රිකට් ක්‍රීඩා හැකියාව දියුණු වූයේ සිය උපන්බිම වන කිංග්ස්ටන් නුවර පිහිටි ලුකස් ක්‍රිකට් සමාජයට සම්බන්ධ වීමෙන් පසුවයි. ලුකස් ක්‍රිකට් සමාජය 1895 වසරේදී පිහිටුවූයේය. ගේල්ට පෙර මෙම සමාජයට ක්‍රීඩා කරමින් පසුව ටෙස්ට් වරම් ලැබූ සුපිරි කොදෙව් තරු ද්විත්වයක් ඇත. ඒ ‘කළු බ්‍රැඩ්මන්’ ලෙස ජනප්‍රිය වූ ජෝර්ජ් හෙඩ්ලි සහ ෆ්‍රෑන්ක් වොරල්ය.

“ලුකස් ක්‍රිකට් සමාජය නොවන්නට ‍අද මම සිටින ස්ථානය ගැන දන්නේ නැහැ. සමහර විට වීදිවල සිටින්නට තිබුණා.” ගේල් පසු කළෙක පැවසීය. අද වන විට මෙම ක්‍රිකට් සමාජයේ ප්‍රාථමික අංශය ගේල්ට ගෞරවයක් ලෙසට ඔහුගේ නමින් නම් කර ඇත. ගේල් පසුව කොදෙව් යොවුන් කණ්ඩායම නියෝජනය කරමින් ජගත් තරගවලට සහභාගි වූයේය. හෙතෙම පළමු පෙළ තරග වරම හිමි කර ගත්තේ 1999 වසරේදීය. ජගත් තරග වරමත් එම වසරේදීමයි. ඉහත ජගත් තරගවලදී පමණක් ගේල් විසින් එල්ල කරන ලද මුළු 6 පහරවල් ගණන 529 කි. ඒ ටෙස්ට් 98, එක්දින 326 සහ 20-20 තරගවලදී 105 ක් වශයෙනි. ගේල්ට ටෙස්ට් ත්‍රිත්ව ශතක 02කි. ඒ 2010 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී ලකුණු 333කි. එමෙන්ම 2005 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 317කි.

මේ අතරින් ඔහුට අමතක ‍නොවන ත්‍රිත්ව ශතකය රැස් කළේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. “ඒක එහෙම වුණේ මාව නායකත්වයෙන් ඉවත් කරලා මාසයකටත් අඩු කාලයකදී මම ත්‍රිත්ව ශතකය රැස් කළ නිසයි.” ගේල් පවසයි.

ගේල්ට අමතක නොවන අන්තර්ජාතික ක්‍රිකට් සභා (අයි.සී.සී.) තරගාවලි ත්‍රිත්වයක් ඇත. ඒ 2004 චැම්පියන්ස් කුසලාන, 2012 සහ 2016 ලෝක කුසලාන (20-20) තරගාවලියන්ය. මෙම තරගාවලියන්ට ගේල් ක්‍රීඩා කළේය. එමෙන්ම එහිදී ශූරතාව හිමිකර ගත්තේද කොදෙව්වන්මය.

හෙතෙම කොදෙව් නායකත්වයත් දරනු ලැබීය. ඒ ටෙස්ට් 2007/08 – 2010, එක්දින 2006/07 – 10/11 සහ 20-20 අංශයේ 2007 – 10/11 අතර කාලයේදීය.

දුෂ්කර ළමා විය

ක්‍රිස්ටෝෆර් හෙන්රි ගේල් 1979 වසරේ සැප්තැම්බර් මස 21 වැනි දා උපත ලැබීය. ඒ ජැමෙයිකාවේ අගනුවර වන කිංග්ස්ටන්හිදීය. ඔහුගේ පියා ඩඩ්ලි පොලිස් නිලධාරියෙකි. මව රටකජු විකිණුවාය. ගේල් දරුවන් 05 දෙනෙකුගෙන් සමන්විත පවුලක 04 වැනියා ය. මීට සොහොයුරෝ 04කි. සොහොයුරියකි.

ගේල් පවුල ජීවත් වූයේ රොලිංග්ටන් නගරයේය. එහි බහුතරයක්ම අතිශයින්ම දුෂ්කර දිවියක් ගත කළහ. එම නගරය කිංග්ස්ටන් නුවරට නැ‍ඟෙනහිරෙන් පිහිටා තිබුණි. බටහිරින් සුප්‍රකට සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණය විය. ගේල් කුඩා කාලයේ ජීවත් වූ නිවෙස තවමත් ඒ ආකාරයටම පවතියි. හෙතෙම අවස්ථාවක් ලැබූ විට එම නිවෙස බැලීමටත් යයි. ඒ සිය අතීතය අමතක කිරීමට තරම් ඔහු අකාරුණික නොවන බැවිනි.

ඉහත නිවෙස තනි මහලකි. එය ආවරණය කර තිබුණේ ලී පුවරු, රෙදි සහ රැළි ගැසුණු සින්ක් එකකිනි. එහි කාමර දෙකක් තිබුණි. මින් කාමරයක් ගේල් මවුපියන්ටයි. අනෙක් කාමරයේ තනි ඇඳවල් දෙකක් තිබුණේය. ඒ දරුවන් 05 දෙනා සඳහාය. මින් අනිවාර්යෙන්ම ඇඳක් වෙන් වී තිබුණේ සොහොයුරිය මිෂෙල්ටයි. අනෙක් ඇඳ සොහොයුරන් සතර දෙනාටය. මෙම නිවෙස අසළම හුණු කර්මාන්ත ශාලාවක් පිහිටා තිබුණේය. එහි බලපෑමටත් ලක් වීමට ගේල්ට සිදු වුයේය. ක්‍රිකට් ක්‍රීඩාව ගේල්ට කිසිසේත්ම ආධුනික වූයේ නැත. ඒ රොලිංග්ටන් ළමුන් නිතරම නිරත වූ එකම ක්‍රීඩාව ක්‍රිකට් වූ බැවිනි. ඔවුන් ක්‍රීඩා කළේ උණබටවලින් සැදු පිති යොදාගෙනය. එමෙන්ම බිත්තිවල කඩුලු අලංකාර ලෙස චිත්‍රණය කර තිබුණි.

ගේල්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට මූලික අඩිතාලම ලැබුණු ලුකස් ක්‍රිකට් සමාජයත් ඔහුගේ නිවෙසට ආසන්නයේම පිහිටා තිබුණේය. කෙසේ වෙතත් ගේල් සොහොයුරන්ගෙන් වඩාත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසට සැළකුවේ වැඩිමහල් සොහොයුරු මයිකල්ය. එසේ වුවත් ඔහුගේ ක්‍රිකට් ගමන අතරමගදී නතර වූයේය. ගේල්ගේ ගමන ඉදිරියටම ගියේය.

ගේල් පවුලට ආර්ථික ගැටලු රැසක්ම තිබුණි. එය කෙතරම්ද යත් ඇතැම් දිනවල ගේල් දරුවන් කුසගින්නෙත් සිටියහ. එමෙන්ම තමන් සුළු රැකියාවක් කළ බවත් සමහර විට සොරකම් කිරීමටත් සිදු වූ බව පසුකලෙක ගේල් පිළිගත්තේය. එවැනි අසීරු කාලයක් ගත කළත් ක්‍රිකට් හැකියාව නිසාම මේ වන විට ගේල් සුපිරි ජීවිතයක් ගත කරයි. සුප්‍රකට ඇමෙරිකානු ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් වාර්තාවකට අනුව ගේල්ගේ ශුද්ධ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ඉක්මවයි.

හෙතෙම සිය පවුලට යුතුකම් ඉටු කරන දයාබර පුත්‍රයෙකි. ඔහුගේ මවට, සො‍හොයුරු මයිකල්ට සහ සොහොයුරිටත් නගරයේ යහපත් පරිසරයක පිහිටි නිවෙස් තුනක්ම ලබා දුන්නේය. එමෙන්ම කන්දක පිහිටි ගේල් සුපිරි නිවෙසේ විශාල කාමරයක් පියාට පිරිනැමීය. ගේල් ජීවිතය විනෝදයෙන් ගත කිරීමට වැඩි රුචිකත්වයක් දක්වයි. ඒ කුඩා කල ගත කළ අමිහිරි දිවිය නිසා විය හැකිය.

ඔහුගේ සහකාරිය වන්නේ නටාෂා බෙරිජ්ය. ඇය (උපත 1986 අගෝස්තු 31) විලාසිතා නිර්මාණ ශිල්පිනියෙකි. මේ යුවළගේ දියණිය ක්‍රිස් ඇලිනාය. නටාෂ‍ාගේ සොහොයුරා කලක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපවේදියකු වශයෙන් කටයුතු කළේය. ඔහු සිය නිල ජීවිත කතාව 2016 වසරේදී ප්‍රකාශයට පත් කළේය. එය හැඳින්වූයේ ‘සික්ස් මැෂින් - අයි ඩෝන්ට් ලයික් ක්‍රිකට්, අයි ලව් ඉට්’ නමිනි.

සාමාන්‍යයෙන් ගේල් ක්‍රීඩා කරන විට සන්සුන් පුද්ගලයෙකි. නමුත් එසේ නොවන අවස්ථාත් ඇත. 2006 චැම්පියන්ස් කුසලාන තරගාවලියේ තරගයකදී බොහෝ දෙනාට ගේල් කෝපයට පත් වූ අවස්ථාවක් දැක ගැනීමට හැකි විය. ඒ ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයකදීය. එහිදී මයිකල් ක්ලාර්ක් සහ ගේල් දැඩි බහින්බස් වීමක නිරත විය. එහි අවසන් ප්‍රතිඵලය තරග ගාස්තුවෙන් සියයට 30 ක දඩ මුදලක් ගෙවීමට ගේල්ට සිදු වීමයි.

මේ අතර ඔහු වරින් වර කොදෙව් ක්‍රිකට් බලධාරීන් සමඟත් විවිධ ගැටුම් ඇති කර ගත්තේය. ඒ එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කිරීම නිසාය. 2015 – 16 ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් 20-20 තරගාවලිය අතරතුරදී ගේල්ට තවත් ගැටළුවකට මුහුණ දීමට සිදු වූයේය. ඒ නෙට්වර්ක් ටෙන් රූපවාහිනී සේවයේ නිවේදිකාවක් වන මෙල් මැක්ලොග්ලින් සමඟ ක්‍රීඩාංගණයේ දී පැවැති සජිවී සාකච්ඡාවකදීය.

එහිදී මෙල් විමසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සිටි ගේල් එක් වරම අසංවර ප්‍රකාශයක් සිදු කළේය. ඒ මෙල්ටය. මෙය සජීවිව රූපවාහිනියෙන් දුටු බොහෝ දෙනා දැඩි ලෙස විවේචනය කළහ. එහිදී ඔහු ක්‍රීඩා කරමින් සිටිය මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම ගේල්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 10,000 ක දඩ මුදලක් නියම කළේය. ගේල් යනු බොහෝ දෙනා අතර ජනප්‍රිය ක්‍රීඩකයෙකි. එසේ වුවත් ඔහුගේ ජීවන රටාව බොහෝ විට අවබෝධ කර ගැනීමටත් නොහැකිය. මීට කලකට පෙර මවිතයට හේතු වන දෙයක් ඔහු කළේය. ඒ තැබෑරුමක් සිය නිවසේම ඇරඹීම. එහි විශේෂත්වයක් ඇත. එනම් එහිදී ඇතැම් සේවිකාවන් බොහෝ විට අඩනිරුවතින් සේවය කිරීමයි.

කෙතරම් විනෝදකාමී පුද්ගලයෙක් වුවත් ගේල්ට සිය අතීතය අමතක නැත. එම නිසා ජැමෙයිකානු දූප්පත් දරුවන් වෙනුවෙන් පදනමකුත් ඔහු අරඹා ඇත. ක්‍රිස් ගේල් නැමැති සුපිරි ප්‍රහාරකයාගේ පිතිහරඹය එක්දින ලෝක කුසලානයේදී මින් ඉදිරියේදී දැකීමට නොහැකි වනු ඇත. එසේ වුවත් තවදුරටත් 20-20 තරගවලදී හෙතෙම සිය පිති ප්‍රහාරයෙන් පන්දු යවන්නන්ව දමනය කරන ආකාරය නම් දැක ගත හැකි වනු නියතය.

Comments