ආදරේ ඇයි පොඩි හඳ මාමේ හඬට සමු දී සිවු වසරයි | සිළුමිණ

ආදරේ ඇයි පොඩි හඳ මාමේ හඬට සමු දී සිවු වසරයි

‘ආදරේ ඇයි පොඩි හඳ මාමේ’ - ‘වේවා ඔබ මගෙ සුදු අයියා’ ආදී ගීත ගායනයෙන් රසික හදවත්හි අමරණීය සටහන් තැබූ ගායන ශිල්පිනී චන්ද්‍රා කබ්රාල් මහත්මිය වියෝ වී ‍ෙම් මස 25 වැනිදාට සිවු වසරක් සපිරුණි. කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරික‍යකු වූ හිමාලි සිනමා අධිපති ලොකු ලියන ජෝසප් කබ්රාල්ගේ දියණියක ලෙස 1941 මැයි මස 28 වනදා උපන් චන්ද්‍රාට සහජයෙන් ම කලාව උරුම වී තිබිණි. ඇගේ මව් දෝන කැරලයින් සෙනවිරත්න නම් වූවාය. පස් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස ඉපිද වරාගොඩ ශාන්ත පාවුලු බාලිකාවෙන් සිප් සතර හැදෑරූ චන්ද්‍රා ගායිකාවක් ලෙස මුල්වරට කළඑළි බසින්නේ ද පාසල් වේදිකාවෙනි.

ඉන් අනතුරුව ගුවන් විදුලියෙහි ‘බී’ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ වයලීන වාදකයෙකු වූ මර්වින් සී. කබ්රාල් නම් ඥාති සොහොයුරා යටතේ ඇය සංගීතයෙහි මුල් පියවර තැබුවාය. ඉන් අනතුරුව ඔහුගේ මාර්ගයෙන් ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට සම්බන්ධ වීම චන්ද්‍රාගේ සංගීත දිවියේ වැදගත් කඩඉමක් ලෙස හැඳින්විය හැකිය. අනතුරුව ගුවන් විදුලියෙහි විකාශය වූ ළමා පිටියට සම්බන්ධ වීමෙන් ඇයගේ ගායන කුසලතා මනා සේ ඔප මට්ටම් වූ අතරම ප්‍රවීණ ගී පද රචක ආනන්ද සරත් විමලවීරයන් හට චන්ද්‍ර නම් මධුර හඬක් ඇති ගායිකාව හමුවන්නේ ද ගුවන් විදුලියේ ළමා පිටිය තුළදීමය.

ඇයගේ ගායන ශක්‍යතාව බලා පැහැදුණු සරත් විමලවීරයන් ඇයගේ ගායනයට උත්තේජනයක් සැපයූයේ ඔහු විසින් ඇයට ගී ලියා දෙමිනි. එසේ ලියා දුන් ගී අතර එදා මෙදා තුර ඉතා ජනප්‍රියත්වයට පත් වූ ගීතයක් ලෙස ‘ආදරේ ඇයි පොඩි හඳ මාමේ’ ගීතය හැඳින්වීම අවිවාදිතය. ආදරේ ඇයි පොඩි හඳ මාමේ ඇ‍යගේ ගීත ගොන්න අතර ජනප්‍රියතම ගීතය වුවද ඇය ගැයූ ගීත අතර ‘පිබිදෙන්න මල් කුමාරි’ ‘වේවා ඔබ මගෙ සුදු අයියා’ හා සුනිල් ප්‍රේමරත්නයන් සමඟ ගැයූ ‘ගිම්හානේ සන්ධ්‍යා වලා’ වැනි ගීතයන් හැඳින්විය හැකිය. ඇයගේ ගීත ක්‍රමයෙන් ජනාදරයට පත් වන අවධියක එම්.එම්.වී. තැටි අධිපති ගේබ්‍රියල් ගුණරත්න මහතා ළමා ගීත දෙකක් තැටිගත කිරීමට ඇයට ආරාධනා කළේය. එම ඇරයුම ඉතා නිහතමානීව පිළිගත් ඇය ‘ආදරේ ඇයි පොඩි හඳ මා‍ෙම්’ ගීතය එච්.එම්.වී. තැටියකට ගායනා කළාය. එම ගීතයෙහි සංගීත නිර්මාණය ප්‍රවීණ සංගීතවේදී රින්ස්ටන් පෙරේරා විසින් වන අතර එහි සහය ගායිකාව ලෙස කාන්ති වක්වැල්ල දායක විය. එම තැටියේම අනෙක් පස ගීතය වූයේ ‘සමනලයා සහ මල’ ගීතයයි. එය සමනලයෙකු සහ කුඩා දරුවෙකු අතර ඇතිවන සංවාදයකි. එහි සහය ගායිකාව වූයේ එකල ළමා පිටියෙහි ජනප්‍රිය ළමා ගායිකාවක වූ ප්‍රවීණ ගායිකා මල්ලිකා ද සිල්වා (කහවිට) ය.

ආදරේ ඇයි පොඩි හඳ මාමේ ගීතයට අමතරව ගීත 100ක් පමණ ගායනය කළ ඇයට ගීත වැඩිම සංඛ්‍යාවක් පබැඳුවේ ආනන්ද සරත් විමලවීරයන් විසිනි. ඇය වැඩිම ගීත ගණනක් ගයා ඇත්තේ ප්‍රවීණ සංගීතවේදි ඩී.ඩී. ඩැනී සමඟය. ඔහු සමඟ ගැයූ ගීත අතරින් ‘ඔරු පදිමු යමුනා ගංගාවේ’ ‘වේවා ඔබ මගෙ සුදු අයියා’ ‘පෙන්වන්න මගේ සුදු අම්මා’ ‘දිය බුබුළු නෑනේ අද කැලණි ග‍ඟේ’ ආදී ගීත ඉතා ජනප්‍රිය වූ අතර මෙම සියලු ගීතයන් හින්දි තනු ආශ්‍රය කොට ගනිමින් නිර්මාණය වූ ගීතයන් විය.

1969 ජුනි මාසයේදී රාජා ගුණරත්න සමඟ ඇය විවාහ වූවාය. ඔහු අධිනීතිඥයෙකු වශයෙන් සේවය කළ අතර ඔවුන් දෙපළට මාලිකා, ඉනෝකා හා රාජිත නම් දරුවෝ තිදෙනෙක් සිටිති.

2015 ජුනි මස 25 වන දින ඇය අප අතරින් වියෝ වුවද ළමා මනසට ගෝචර නොවන නොමේරූ ප්‍රේම ගීත ගයා හෙම්බත් වූ වත්මන් ළමා පරපුරට ‘ආදරේ ඇයි පොඩි හඳ මාමේ’ ගීතයෙන් නැළවිල්ලට ඉඩ තබා මෙම ලිපිය නිම කරනුයේ සුවහසක් ළමා රසිකයන් උදෙසා නැවතත් මෙවන් වූ ගීත බිහිවේවායි යන ප්‍රාර්ථනය ද සමඟිනි.

අනුදි නිසල්යා වීරසිංහ

Comments