
කෝපි මල්
පිපෙන කාරණ
රතුවුණ කම්මුල්
වලාකුළකින් වහගෙන
අඹ අතු අතරින් එබෙන හඳ
පය වරද්දා ඉඳහිට
අඹ මල් දෙක තුනක් බිම හෙළන
රැහැයි කසුකුසුව දිගේ
ඉරිසියා ආරංචි පැතිරෙන
නැණ ගුණැති මහතෙකි කඩුල්ල
ඒ කතා බිඳකුදු නොතකන
දඟකාර කෙල්ලකි මඳනල
කඩුපුල් සුවඳකුත්
කොහෙන්දෝ අරන් එන
ඇහෙන් ඉඟිකර සුවඳ මට දී
ක්ෂිතිජයෙන් එපිට ඇති
කුටියකට ගොස් සැඟවෙන
මිතුරු තරු කැල
ජනෙල් වීදුරු කඩාගෙන
කාමරයට ඇතුළට එබෙන
කියන්නෙ නෑ මම කියන්නෙ නෑමයි
මිතුරනි
නිදි නැති හදේ
කෝපි මල් පිපෙන කාරණ
තරින්ද්‍ර ගලහේන
පාට... පාට...
පාට කෙරුවත් කැතම පාටින්
එදා පෙනුණේ ඇසට මනරම්
ගොම පාට ළා තැඹිලි පාටට
දාලා ගාලා වගෙයි දැන් නම්
ඒ දවස්වල මල් කඩනකොට
පෙම් පාට බේරුණත් ඇස්වල
කදුළු වැල් ගැලුවාට පස්සේ
පුස් බැදුණු හුනු බිත්ති වාගේ
හැමදාම දෙ අතින්ම ඇන්දට
පුරව ගන්නට බැරි වුණා වූ
පිරුණු රූපයි මිහිරි පාටයි
එකට දියවී බොඳවෙලා දැන්
කුරුටු ගෑ ආදර කතාවක
බලි රූප වුණු මතකයන් ඇත
මකන්නත් බැහැ බලන්නත් බැහැ
කොහොම ඇන්දද මතකවත් නැහැ
දේවිකා මධුවන්ති ගෝවින්නගේ
මේ පොළොව මත
නුඹ විසුළ තරු රැගෙන
ඔතා තැබුවෙමි වලා රොඳක
ඉසිනු රිසින්
තරු නැති අඳුරු අහසක
නුඹට තරු දැකීමට
අවැසි දිනයක
චාමරී ෆොන්සේකා
සියල්ල නුඹය
නිදිබරින් ඇසිපිය වැසෙන්නට නොදෙන
නුඹේ කටහඬ තමයි මගේ ජීවය
කෙතෙක් රෑ බෝ වුව ද ජීවිතය
නුඹේ රුව තමයි මගේ දෙනෙතේ පිරිය
ඇසෙන්නට නොදෙමින් විඩාබර වදන්
නුඹේ සිනහව තමයි මගේ සැනසුම
අරක් ගන්නට නොදෙමින් කඳුළු ඇස් අග
නුඹේ සෙනෙහස තමයි මගේ සිත් විමන
සිතන්නට ඉතිරි කරමින් බොහෝ දේවල්
නුඹේ ආලය තමයි මගේ දිවියේ නිවීම
වෙසෙන්නට ඉඩ දෙමින් නුඹේ ජීවිතය තුළ
නුඹේ දැකුමන් තමයි මගේ ආලෝකයේ පහන් ටැඹ