‘බොලි­වි­යාවේ චේ’ සහ ‘මහා­ද්වී­ප­යක තනි වුණෙමි’ ග්‍රන්ථ ද්විත්වය ජනගත වේ | Page 2 | සිළුමිණ

‘බොලි­වි­යාවේ චේ’ සහ ‘මහා­ද්වී­ප­යක තනි වුණෙමි’ ග්‍රන්ථ ද්විත්වය ජනගත වේ

රටවල් අසූවකට වඩා සංචාරය කර ඇති රොහාන් ඩිරෙක්ස් මහතා දුර්ලභ ගණයේ දේශ ගවේෂකයෙකි. මේ පෘථිවි තලයේ චමත්කාරත්වය ද, භයංකාරත්වය ද මිනිස් ශිෂ්ටාචාරයේ සංස්කෘතික විවිධත්වය ඔස්සේ ද ගමන් කරන ඔහුගේ ඒ සංචාරක අත්දැකීම් ඉතා දුර්ලභ අත්දැකීම්වලින් පිරුණේ වූ එකකි.

ඔහු විසින් රචිත ‘මහාද්වීපයක තනි වුණෙමි’ (ලෝකය තවමත් නොදුටු රුසියාව), කෘතියට පාදකව ඇත්තේ ඒ අත්දැකීම් සම්භාරයයි. රුසියානු සමූහාණ්ඩුවට අයත් රාජ්‍යයන්වල ශිෂ්ටාචාර ගමන්මඟ ඔස්සේ ඇවිද යමින් මනා ලෙස ගෙත්තම් කළ, කාලයේ වැලිතලාවෙන් වැසීයාමට තිබූ අපූර්ව තොරතුරු ඇතුළත් ලිපි පෙළක් ඊට ඇතුළත් ය.

රොහාන් ඩිරෙක්ස් බොලීවියානු සංචාරයේදී සොයා යන ලොව අසහාය විප්ලවීය චරිතය වන අර්නස්ටෝ චේ ගුවේරාගේ සමීපතමයන් මෙන්ම ලාහිගුරා වනයේදී චේ ගුවේරා අත්අඩංගුවට ගත් කැප්ටන් ගැරී ප්‍රාඩෝගේ සජීවි සාක්‍ෂි ඇසුරෙන් රොහාන් ඩිරෙක්ස් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිස්ස ගුණතිලක හා එක්ව රචනා කරන ලද ‘බොලිවියාවේ චේ’ කෘතිය චේගුවේරාගේ අවසන් කාලය පිළිබඳ රචනා වී ඇති සිංහල කෘති අතර ඇති වඩාත් සත්‍යට ළං වන කෘතියකි.

‘බොලිවියාවේ චේ’ ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් ප්‍රකාශනයක් වන අතර ‘මහාද්වීපයක තනි වුණෙමි’ පී ඇන්ඩ් පී ඇසෝසියේට් ආයතනයේ ප්‍රකාශනයකි..


මහ තෙරුන් තිදෙනෙකුගේ ලිඛිත විමර්ශිත

“සක්වළ දැක්ම සහ බඹලොව ගමන”

අති පූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය, රේරුකානේ චන්දවිමල, බෙල්ලන ඤාණවිමල යන මහා නාහිමිවරුන්ගේ ලිඛිත අදහස් ඇසුරෙන් සම්පාදිත “සක්වළ දැක්ම සහ බඹලොව ගමන” (සසර පැවැත්මයි - සසර නැවැත්මයි) විමර්ශන ග්‍රන්ථය නොබෝදා දොරට වැඩිණි.

කොළඹ 10, මරදාන පාරේ, අංක 717/1 ස්ථානයේ (ආනන්ද විද්‍යාලය අසල) පිහිටි “සාහිත පොත් පියස” මඟින් ප්‍රකාශිත මේ කෘතිය ප්‍රවීණ ලේඛක, ශාස්ත්‍රපති චාමික මුණසිංහයන්ගේ නවතම සංස්කරණයකි. බඹලොව හා සබැඳි කථා ඇතුළු දහම් කරුණු සරලව, රසවත්ව ඉදිරිපත් කර ඇති මෙය බ්‍රහ්ම ලෝකය පිළිබඳව ලොව මෙතෙක් පළ වූ සවිස්තරාත්මක ග්‍රන්ථය ද වේ. සක්වළෙහි ස්වභාවය, සත්වයාගේ ස්වරූපය, සිත කය සහ භාවය, සංසාරික ඥාති හිතෛෂීත්වය, මෙකල නිවීමට ඇති හොඳ ම ස්ථානය, නිවන් යන්නන් හා රහත් උතුමන් කොහේ හෝ සිටිනවා ද? නිර්මල බුදු දහම හා සක්වළ වැසියන්ගේ සසර පැවැත්ම යනාදී මාතෘකා රැසක් මෙම කෘතියෙන් නිදසුන් සහිතව විග්‍රහ කර තිබේ.

 

Comments