
ලන්ඩනයේ බුකර් පදනම විසින් පිරිනමනු ලබන මෑන් බුකර් අන්තර්ජාතික සාහිත්‍ය ත්‍යාගය මෙවර සාහිත්‍යය පිළිිබඳ දිර්ඝ ඉතිහාසයක් නැති ඔමානයේ මහාචාර්ය ජෝඛා අල්-හාරතීගේ ‘දිව්‍යමය දේහ’ ( Celestial Bodies) නමැති කෘතියට හිමි විය. අරාබි බසකින් ලියැවුණු ඒ කෘතිය ඉංගිරිසියට පෙරළු මහාචාර්ය මැරිලින් බූත් හා සමව බෙදා ගන්නට ඇයට පවුම් 50,000ක් වටිනා ත්‍යාග මුදලක් පසුගිය 20දා ලන්ඩනයේ බුකර් පදනමේ දී පිරිනැමිණි.
‘බුකර්’ නමින් සාහිත්‍ය ත්‍යාගයක් පිරිනැමීම අරඹන ලද්දේ 1969 වසරේ බුකර් ගෲප් (1835 -2018) නමැති සකස් කරන ලද ආහාර නිෂ්පාදන සමාගම විසිනි. ආරම්භයේ දී බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල, අයර්ලන්තයේ, දකුණු අෆ්‍රිකාවේ සහ පසුව එක්වුණු සිම්බාබ්වේ යන රටවල පළ කරනු ලබන ඉංගිරිසි බසින් ලියැවුණු ජීවමාන කතුවරුන්ගේ නවකතා ඒ සඳහා සුදුසුකම් ලැබී ය. 2014 දී ඉහත සඳහන් දේශ සීමා ඉවත් කරන ලදී. ඒ අවස්ථාවේ දී බොහෝ විරෝධතා ඉදිරිපත් වූයේ එමඟින් අමෙරිකානු ලේඛකයන් දිගට ම එය දිනා ගනු ඇතැයි බියක් පළ වූ බැවිනි. ඒ අනුව සීමාව ඉවත් කරනු ලැබීම එලෙස ම පවත්වා ගනිමින් ඉංගිරිසි බසින් ලියැවුණු ලොව ඕනෑ ම රටක ජීවමාන ලේඛකයකුගේ නවකතාවක් සලකා බලන්නට තීරණය කරන ලදී. එහෙත් එය බ්‍රිතාන්‍ය ප්‍රකාශන ආයතනයක් විසින් පළ කරනු ලැබ තිබීම අනිවාර්ය ය.
බුකර් ත්‍යාගය පිරිනැමීම 2002 වසරේ බුකර් සමාගමෙන් වෙන් වූ එහි ද සහභාගිත්වය ඇති ‘බුකර් ත්‍යාග පදනම’ නම් ලාබ නොලබන ආයතනයක් වෙත පවරා දෙන ලදී. ‘මෑන් බුකර් ජාත්‍යන්තර සාහිත්‍ය ත්‍යාගය’ නම් ප්‍රස්තුත ත්‍යාගය පිරිනැමීම 2004 වසරේ අරඹනු ලබන්නේ ඉන් අනතුරුව ය. එ් ත්‍යාගය සඳහා ලොව ඕනෑ ම ජීවමාන ලේඛකයකුගේ ඉංගිරිසියෙන් ලියන ලද හෝ අන් බසකින් ලියන ලදුව ඉංගිරිසියට පෙරළන ලද හෝ කෘති සලකා බලන ලදී. 2015 වසරේ එය වෙනස් වී ඉංගිරිසි නොවන බසකින් රචනා කරන ලදුව ඉංගිරිසියට පෙරළුණු කෘති පමණක් සලකා බැලීම ඇරැඹිණි.
ඒ අනුව ඒ ත්‍යාග දෙක ම පිරිනමනු ලබන්නේ බුකර් පදනම විසින් බව සැලකුව මනා ය.
මෙම ත්‍යාගයේ නමට ‘මෑන්’ යන්න එක් වී ඇත්තේ ඒ නමින් යුත් ව්‍යාපාරික ආයතනයකින් ඊට අනුග්‍රහය සැපයෙන නිසා ය. මේ වසරෙන් පසු මෑන් ආයතනය ඊට අනුග්‍රහය දැක්වීමේ ගිවිසුම අවසන් වනු අතර ඉන් පසු එය වෙනත් විශේෂණයක් සහිතව භාවිත වනු ඇත.
2019 වසරේ මෑන් බුකර් අන්තර්ජාතික සාහිත්‍ය ත්‍යාගය සඳහා කෙටි ලැයිස්තුවට Celestial Bodies කෘතියට අමතරව පෝලන්ත ජාතික ඔල්ගා තොරේෂුක් විසින් පොලිශ් බසින් ලියන ලද නවකතාවක පරිවර්තනය වන Drive Your Plow Over The Bones Of The Dead ද සමඟ තවත් කෘති හතරක් ඉදිරිපත් වී තිබිණි.
ඔල්ගාගේ විශේෂත්වය වනුයේ ඇය පසුගිය වසරේ මේ ත්‍යාගය දිනා ගත් (Flights) නම් කෘතියේ කතුවරිය වීමයි. අනෙක් කෘති වනුයේ ප්‍රංස බසින් ලියන ප්‍රංස ජාතික ඇනී එර්නෙක්ස්ගේ නවකතාවේ ඉංගිරිසි පරිවර්තනය වන The Years ජර්මන් බසින් ලියන ජර්මන් ලේඛිකා මැරියන් පොෂ්ටාහ්ගේ නවකතාවේ ඉංගිරිසි පරිවර්තනය වන The Pine Islands ස්පාඤ්ඤ බසින් ලියන කොළොම්බියාවේ ජුආන් ගාබ්‍රියෙල් වැක්ස්වෙස්ගේ නවකතාවේ ඉංගිරිසි පරිවර්තනය වන The Shape Of The Ruins ඍමසබි සහ ස්පාඤ්ඤ බසින් ලියන චිලී ලේඛිකා ආලියා ටුබුකො සෙරාෆ්ගේ නවකතාවේ ඉංගිරිසි පරිවර්තනය වන The Remainder යන ඒවායි. මේ අතරින් ජුආන් ගාබ්‍රියෙල් වැක්ස්වෙස් හැර අන් සියලු දෙනා ස්ත්‍රීන් වීම විශේෂයෙන් සඳහන් කළ යුතු වූවකි.
මෙවර මෑන් බුකර් අන්තර්ජාතික සාහිත්‍ය ත්‍යාගය දිනා ගත් 40 වියැති ආචාර්ය ජෝඛා අල්-හාරතී යේමනයේ විශ්වවිද්‍යාලයක මූලික උපාධිය ලද ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයයේ පශ්චාත් උපාධි සම්පූර්ණ කළ මස්කට් හි සල්ටන් ක්අබොස් විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරියකි. ඇය ඉහළ උපාධි සඳහා හදාරා ඇත්තේ සහ දැනට උගන්වන්නේ අරාබි බස හා සාහිත්‍යයයි.
මේ ඇගේ සිව්වන නවකතාව වන අතර මීට පෙර ඇය නවකතා තුනකට අමතරව කෙටිකතා සංග්‍රහ දෙකක් ද ළමා කෘති තුනක් ද නිකුත් කර ඇත.
ඇයගේ නවකතාව අරාබි බසින් ඉංගිරියට පරිවර්තනය කළ මහාචාර්ය මැරිලින් බූත්, ඔක්ස්ෆෝඞ් මැග්ඩලින් ආයතනයේ පශ්චාත් උපාධි හදාරා ඇති අතර මේ වනවිට ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාලයයේ අරාබි භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරියකි. ඊට පෙර ඇය කයිරෝ සහ ඉලිනොයිස් විශ්වවිද්‍යාලවල ඒ විෂයයන් ම උගන්වා ඇත. මේ ඇයගේ 15වන පරිවර්තන කෘතියයි. ඊට අමතරව ඇය ස්වතන්ත්‍ර කතා එකතු දෙකක ද කතුවරිය වන්නී ය.
‘දිව්‍යමය දේහ’ අරාබි බසින් ලියැවුණු කෘතියක් මේ ත්‍යාගයේ දිගු ලැයිස්තුවට පැමිණි ප්‍රථම අවස්ථාව සනිටුහන් කරයි. ඒ අනුව කෙටි ලැයිස්තුව ද ජයග්‍රහණය ද ප්‍රථම අවස්ථාව වෙයි.
‘දිව්‍යමය දේහ’ හි පසුබිම් කාලය හැත්තෑවේ දසකයයි. වහල් ක්‍රමය අහෝසි වූවා පමණි. ධනවතුන්ට ස්වාමි මානසිකත්වයෙන් ගැලවීම පහසු නැත. කතාව වයස් අතර පරතරයක් ඇති එකම පවුලක සොහොයුරියන් තිදෙනෙකු වටා ගෙතෙයි. ඔමානයේ අල්-අමානි නම් ගමක දිවි ගෙවන ඔවුන් අතරින් වැඩිමහල් මයියා ධනවත් පුරුෂයකුගේ බිරියයි. විවාහයට පෙර ඇගේ පෙම් සබඳතාවක් පැවැති බවත් එය අවසන් වූයේ දැඩි ශෝකයක් ශේෂ කරමින් බවත් සඳහන් ය. දෙවැන්නිය වන අස්මා සාම්ප්‍රදායික විවාහයකට ඇතුළත් ව සිටියි. තුන්වැන්නිය වන ඛව්ලා දැනට කැනඩාවට සංක්‍රමණය වී එහි රැකියාවක් කරන සිය පෙම්වතා පැමිණ තමා විවාහ කර ගන්නා තෙක් බලා හිඳින්නී ය.
මෙහි ආකෘතිය ඉතා සංකීර්ණ බවත් පරිකතා කිහිපයක් ම ඇතුළත් හෙයින් ප්‍රධාන තේමාව වෙන් කැර ගැනීම පහසු නැති බවත් විචාරක මතයයි. කතාව කියාගෙන යන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙනි. එහෙත් ඇතැම් විට අබ්දෙල්ලා නමැති චරිතය ඉස්මතු වී මමංකාරයෙන් කතාව කියයි. අබ්දෙල්ලා යනු සිය පියාගේ ක්‍රෑරකම් නිසා හිංසනයට පත්ව සිටින මයියාගේ සැමියා ය.
ජනයාගේ දිවි පැවතුම්වල විවිධාකාර ග්‍රාහක සහ ආදර සහ අහිමිවීම් මෙන් ම වහල් පවුල්වල ඉතාම අහිංසක සහ දරිද්‍ර ජනයාගේ ඇවතුම් පැවතුම්- මේ සියල්ල මේ නිර්මාණයේ කැටිකොට ඇත්තේ මනා පරකල්පනයකිනි. මස්කට් හි කාමරයකින් අරඹෙන කතාව ලොවට පිවිස අවසන් වෙයි.
මෙය කියවාගෙන යෑමේ දී තමන්ට ඉංගිරිසියෙන් මෙතෙක් කියවන්නට ලැබී නැති සංකල්ප, චින්තා සහ අත්දැකීම් ආස්‍රය කරන්නට ලැබුණු බව සමීක්‍ෂක මණ්ඩලයේ ප්‍රධානී ඉතිහාසඥ බෙටනි හියුස් පැවසූ බව ‘දගාඩියන්’ වෙබ් අඩවියේ සඳහන් ය. පුමිතිරිලිඟු බවේ, ජනවර්ගයේ, සමාජ විසමතාවල මෙන් ම වහල්භාවයේ සහ වහලුන් තබා ගැනීමේ පිළිවෙතේ ද විස්තර ඉදිරිපත් කෙරෙන විට අපේක්‍ෂා කළ හැකි ඒකාකාරීත්වය මෙහි නොමැතිවීම ගැන සඳහන් කළ යුතු ම ය. එහි ඇත්තේ එසැණ විස්මය දැනවීම් ය.
කතුවරියගේ සියුම් කලා කුසලතාවට සමීක්‍ෂකයන් සියලු දෙනා ඇලුම් කළ බව හියුස් පවසයි. ‘එය අනෙක් කෘතිවලට වඩා විචිත්‍රවත් ලෙස හා විශ්වාසය දිනා ගන්නා අයුරින් ලියැවී තිබේ. චින්තාකර්ෂණීය ලෝකයේ ගෘහස්ථ නළුවක් මෙන් එය ඇරඹෙයි. එහෙත් මනෝ විද්‍යාව, දර්ශනය සහ කාව්‍යමය ගුණය එකට වෙළී පාඨකයා චරිත අතර ගොඩ නැගෙන සබඳතා වෙත ඇද ගෙන යමින් වෙනස් ආකාර කියැවීමකට අප යොමු කරවයි.’
ත්‍යාගය ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ පරිවර්තිකා මහාචාර්ය මැරිලින් බූත් පවසන්නේ සම්මානනීය අරාබි සාහිත්‍යය කෘතියක් ලොවට ඉදිරිපත් තමා මහත් ආහ්ලාදයට පත් ව සිටින බවයි.
‘‘අරාබි ලෝකය ගැන බොහෝ දෙනා නොසිතන කාරණයක් නම් එහි විස්මකුරු සාහිත්‍ය නිර්මාපකයන් ද සිටින බවයි. සාහිත්‍යයට ප්‍රසිද්ධ ඊජිප්තුව, පලස්තීනය, ලෙබනනය, මොරොක්කෝ වැනි දේශවල මතු නොව සාහිත්‍ය සිතියමේ දක්නට නැති ඔමානයේ පවා එබන්දන් සිටින බව ලොව ම මෙමඟින් දැන ගන්නට ඇත.
සමාජය බාහිර පෙනුමෙන් බොහෝ වෙනස්කම් පෙන්වන නමුත් එහි සාමාජිකයෝ සෑම අතින්ම සමානකම් ඇත්තෝ වෙති. ඔවුන්ගේ එදිනෙදා ඇවතුම් පැවතුම් සහ හැඟීම් මෙන්ම මානව හුවමාරු ද ලොව අනෙක් සමාජවලට අයත් ජනයාගේ ඒවාට කෙතරම් සමාන ද යන්න මේ කෘතිය මඟින් වටහා ගත හැකි වනු ඇත.’’
එස්. නන්දලාල්