
කර්තෘ-ලක්ෂ්මන් කොඩිතුවක්කු
ප්රකාශනය - සුරස ප්‍රකාශකයෝ
ලක්ෂ්මන් කොඩිතුවක්කුගේ ‘කැන්ගරු වන්නම’ නවකතාව සිංහල නවකතා සාහිත්‍යයේ වපසරිය පුළුල් කරන කෘතියකැයි මම සිතමි. විප්‍රවාසී සිංහල ජනයාගේ ජීවන අන්දරය හෙවත් සිංහල ඩයස්පෝරාවේ දිවි පැවැත්ම අපගේ සාහිත්‍යයට නව භූමි ප්රදේශයකි. ගෝලීය ධනවාදයේ ආස්වාදය සොයා දියුණු රටවල් කරා ඇදී යන මැද පන්තියේ සිංහල ප්‍රජාව එකී දේශයන්හි පැළ වෙන්නට දරන තැත යථාරූපයෙන් විමසා බැලෙන නවකතා අතරට අලුතෙන් ම එක් වූ ප්‍රබන්ධය ලෙස ‘කැන්ගරු වන්නම’ හඳුන්වා දිය හැකිය.
‘කැන්ගර් වන්නම’ සිංහල නවකතා කලාවට අපූර්වත්වයක් එක් කරනුයේ එහි අන්තර්ගත සිද්ධීන් හා චරිතවල ප්‍රබලත්වය නිසා පමණක් ම නොවේ. විප්රවාසියකු වන ලේඛකයා සිය අත්දැකීම් මනා පරිකල්පනයකින් යුතුව නවකතාවක් බවට පරිවර්තනය කිරීමට දක්වන සමත්කම ද එහි සාර්ථකත්වය කෙරෙහි බලපා ඇති බව පෙනේ. විප්රවාසීන්ගේ ජීවිත අළලා ලියවෙන බොහෝ නවකතාවල දක්නට ලැබෙන ප්‍රධාන දුර්වලතාවක් වනුයේ කතාකරුවා අත්දැකීම වාර්තාකාරී ලෙස ඉදිරිපත් කිරීම ය. ඇතැම් විටෙක ව්‍යාජ මවාපෑමක් කිරීමටද සමහර ලේඛකයෝ උත්සාහ දරති. එහෙත් ලක්ෂ්මන් කොඩිතුවක්කුගේ ‘කැන්ගරු වන්නම’ පුරා දක්නට ලැබෙන කැපී පෙනෙන ලක්ෂණයක් වනුයේ ඔහු දැඩි අව්‍යාජ බවකින් යුතුව කතාව ගොඩනගන ආකාරයයි.
අතීතාවර්ජනයකින් ඇරඹෙන කතාව ආරම්භයේදීම පාඨකයා සිය ග්‍රහණයට ගන්නා කතාකරු කෙමෙන් කෙමෙන් කතාව දිග හරිනුයේ දැඩි හෘදයාංගම බවකින් යුතුව ය. මේ කතාවේ කේන්ද්‍රීය චරිතය ලෙස පාඨකයා හමුවට පිවිසෙනුයේ ජිනේනුනම් තරුණ නැට්ටුවෙකි. අවිධිමත් ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන ලාංකිකයන් මුහුණ දෙන සැබෑ අභියෝග ජිනේන්ද්‍ර ඇතුළු තවත් චරිත ගණනාවක් ඔස්සේ ලේඛකයා විසින් චිත්රණය කරනු ලබන්නේ පාඨක සිත්සතන් තුළ දොම්නස මෙන්ම සොම්නස ද ජනිත කරවමිනි.
නවකතාකරුවකු සතු විය යුතු සුවිශේෂ ගුණාංගයක් වන මිනිස් සිත විනිවිද දැකීමේ හැකියාව අතින් ද ලක්ෂ්මන් කැපී පෙනෙන හැකියාවක් පෙන්නුම් කරයි. ඔහුගේ කතා නායකයා වන ජිනේන්ද්‍ර වැනෙනසුලු හිත නිරූපණය කිරීමට දක්වන සමත්කම මීට කදිම නිදසුනකි. ජිනේන්ද්‍ර යනු සම්ප්‍රදායික ලාංකිකයකු වන අතරම කැන්ගරු දේශයේ නව සංස්කෘතික ප්රවාහයට ද ඇල්මක් දක්වන දෙබිඩි චරිතයක් ලෙස නවකතාව තුළ ස්ථානගත කිරීමට ලක්ෂ්මන් සමත් වෙයි. වරෙක ඔහු ලංකාවේ වෙසෙන සිය බිරිය වන සුගන්ධිකාත් සමඟ මනසින් දැඩි ව බැඳෙයි. සිඟිති දියණිය ගැන සිතමින් ළතැවෙයි. ඒත් සමඟ ම ඔස්ට්‍රේලියාවේදී මුණගැසෙන මජීමා නම් ලාංකික තරුණියට වසඟ වී ඇය වෙනුවෙන් දිවි පුදන තරමට සමීප වෙයි.
මජීමාගේ චරිතය මඟින් ලක්ෂ්මන් පෙරදිග කලාපයේ ගැහැනිය අරබයා පනවා තිබෙන ගතානුගතික කඩඉම් බිඳ දමන්නේ ලේඛකයකු සතු විය යුතු ඉදිරිගාමී සමාජ දැක්ම අපූරුවට පෙන්නුම් කරමිනි. ඕස්ට්‍රේලියාව බඳු ඔහු සංස්කෘතික හා බහුවාර්ගික දේශයක නිදහස්කාමී සිතුම්පැතුම් සමඟ ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අතර කොදෙව් මානසිකත්වයෙන් පෙළෙන ජිනේන්ද්‍ර වැන්නන් වෙත මජීමා හරහා ලක්ෂ්මන් එල්ල කරන අභියෝගය ඉතා ප්‍රබල ය. තම අරමුණු සපුරාගැනීම සඳහා පමණක් කායික ව බැඳෙන ගැහැන්නු හා මිනිසුන් අතර ගොඩනැඟෙන තාවකාලික සබඳතා මානව ප්‍රේමය ලෙස වරදවා තේරුම් ගන්නා ජිනේන්ද්‍රට මිනිස් ජීවිතයේ ගැඹුරු බැඳීම් හටගනුයේ කෙසේද යන පාඩම ඕස්ට්‍රේලියාවේදී ඉගෙන ගැනීමට සිදුවීම එක්තරා ආකාරයක දෛවයේ සරදමක් බඳුය.
ග්ලෝරියා නමැති ඕස්ට්‍රේලියානු ගැහැනියගේ චරිතය ‘කැන්ගරු වන්නම’ නවකතාවේ හමුවන තවත් අපූරු මිනිස් දුවකි. ලංකාවේ වෙසෙන නිල බිරිය වන සුගන්ධිකාගෙන් ද දුරස් වී මජීමා සමඟ ව්‍යාජ පෙම්දමක පැටලී සිටින ජිනේන්ද්‍රට අවසානයේ පිළිසරණ වන්නේ ග්ලෝරියා ය. රූමත් තරුණියක වන මජීමා වෙතින් කායික ආස්වාදය ලබමින් එක ම කුටියක වෙසෙන ජිනේන්ද්‍ර අනාගත සිහින මවනුයේ දෙදෙනාගේම පුරවැසිභාවය ලබාගැනීමෙන් ඉක්බිති කැන්ගරු දේශයේ නව ජීවිතයක් ඇරඹීමට ය. එහෙත් මජීමා එවැනි සිහින ලොවක අතරමං වූ එකියක් නොවේ. ඇය කැන්ගරු සංස්කෘතිය මෙන්ම සමාජ පසුබිම මනා ලෙස වටහාගත් දුරදක්නා නුවණක් ඇති තරුණියකි. මෙවන් සමාජයක ඇති වන කායික බැඳීම්වල කිසිඳු ප්‍රේමනීය අගයක් නොමැති බව ජිනේන්ද්‍රට පසක් කර දෙනු ලබනුයේ මජීමා විසිනි.
‘කැන්ගරු වන්නම’ නවකතාව මඟින් ලක්ෂ්මන් කොඩිතුවක්කු ලේඛකයා අප රටේ වාර්ගික ගැටලුව වෙතද බැල්මක් හෙළන්නට තැත් කරයි. ඕස්ට්‍රේලියාවේ ගල් වීමට පෙරුම් පුරන ලාංකිකයෝ එකම වහලයක් යට දුක සැප එකට බෙදා ගනිමින් මනා සහෝදරත්වයකින් යුතුව ජීවත් වෙති. සිංහල, දෙමළ හෝ මුස්ලිම් වාර්ගිකත්වය පිළිබඳ ගැටලුවක් ඔවුන් අතර මතු නොවේ. එහෙත් ඇතැමුන් එසේ සමගිව සිටිනුයේ ව්‍යාජ ලෙස බව කතාවේ ඇතුළත් සමහර සිදුවීම් ඔස්සේ ලේඛකයා අපට පෙන්වා දෙයි. දුර්වලව, අසරණව සිටින විට තාවකාලික ලෙස සමගි වන ඔවුන් තනිවම දෙපයින් සිටගන්නට සමත් වූ සැණින් වාර්ගික හැඟිම් ඉස්මතු කර ගනිති. එකිනෙකා පාවා දෙති. මේ දුබලතාව වාර්ගික ලක්ෂණයක් නොව පොදු මානව ස්වභාවයක් බව ‘කැන්ගරු වන්නම’ නවකතාවෙන් පෙන්වා දීමට ලක්ෂ්මන් දරන තැත අගය කළ යුතුය. සුපුන් නම් සිංහල තරුණයාත් ගනේෂ් නමැති දෙමළ තරුණයාත් අතර පවතින සමගිය මෙන්ම විසරකභාවය කදිම ලෙස නිරූපණය කිරීම මඟින් ලක්ෂ්මන් මේ කටුක සත්‍යය අපට වටහා දෙයි.
කැන්ගරු දේශයේ පුරවැසිභාවය ලද ලාංකික සිංහල ජනයා ඕස්ට්‍රේලියාව ද පුංචි ලංකාවක් කරගැනීමට දරන නිරර්ථක උත්සාහය දෙස ද ‘කැන්ගරු වන්නම’ අවධානය යොමු කරයි. ශ්‍රී ලාංකිකයකු වශයෙන් සිංහල ඩයස්පෝරාවේ මෙබඳු ක්‍රියාකාරකම් දෙස උපේක්ෂාසහගත ලෙස බැලීමට ලක්ෂ්මන් සමත්ව සිටීම ද පැසසිය යුතු කරුණකි.
‘කැන්ගරු වන්නම’ නවකතාව හුදු එක් ලාංකිකයකු හෝ ලාංකික පවුලක් කේන්ද්‍රගත නොකරගෙන පොදුවේ එහි වෙසෙන සිංහල ඩයස්පෝරාවේ ජීවන ප්‍රවාහය වෙත පුළුල් බැල්මක් හෙළූ නවකතාවක් බවට පත් වන්නේ ලක්ෂ්මන් කොඩිතුවක්කු නමැති ලාංකික ලේඛකයා සතු අව්‍යාජ අත්දැකීම් සමුදාය හේතුවෙනැයි මම සිතමි. ජිනේන්ද්‍ර හෙවත් ජිනේ නම් විප්රවාසියකු වටා කතාව ගොඩනැගුණ ද ලක්ෂ්මන් කැන්ගරු දේශවාසී සමස්ත ලාංකිකයන් වෙතම ආලෝකධාරාවක් එල්ල කිරීමට මේ නවකතාව උපයෝගී කරනෙ තිබෙන අයුරක් දැකිය හැකිය. ලක්ෂ්මන් සතු ලේඛන කුසලතාව පිළිබඳ කදිම නිදසුනක් සේ මේ නවකතාව සැලකිය හැක්කේ එබැවිනි.
කතාවේ දෙවන භාගයේදී හෙවත් ජිනේන්ද්‍රට ග්ලෝරියා මුණගැසීමත් සමඟ ඇරඹෙන නව පරිච්ඡේදයේදී ලේඛකයා මානව ජීවිතය දෙස හෙළන පුළුල් ජීවන දෘෂ්ටිය දැක ගන්නට ලැබෙයි. ඕස්ට්‍රේලියාව බඳු රටවල වෙසෙන ජනයා ආදරය, සෙනෙහස හා මානව ප්‍රේමය වැනි මිනිස් ගුණාංගවලින් දුරස් යාන්ත්‍රික ජනකොටසක් ය යන මතය දරන ඇතැම් ජාතිහිතෛෂීන්ට ග්ලෝරියාගේ චරිතය කදිම පිළිතුරකි. සියලු අපේක්ෂා බිඳ වැටී අන්ත අසරණයකු ලෙස ග්ලොරියා වෙත යන ජිනේන්ද්‍ර වුව ඇය විෂයෙහි දක්වනුයේ රළු පිළිවෙතකි. එහෙත් කෙමෙන් කෙමෙන් ඔවුනතර ගොඩනැඟෙන මානව දයාව මුසු මිනිස් හැඟීම් ඔස්සේ ඔවුහු ආධ්‍යාත්මික ප්‍රේමයකින් බැඳෙති. කැන්ගරු දේශයේ අතරමංව සිටි ජිනේන්ද්‍රට අවසානයේ සෙවණක් වන්නේ අඩපණ වූ සිරුරක් සහිත ග්ලෝරියා නම් මිනිස් දුවයි. ජිනේන්ද්‍ර ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වන්නේ ඇයයි.
ඉසුරුමත් ජීවිතයක් සොයා දියුණු රටවල් කරා සංක්‍රමණය වන ලාංකිකයන්, විශේෂයෙන් ම සිංහල ජන ප්‍රජාව මුහුණ දෙන සැබෑ අභියෝග දෙස උපේක්ෂා සහගත බැල්මක් හෙළූ නවකතාවක් ලෙස ලක්ෂ්මන් කොඩිතුවක්කුගේ ‘කැන්ගරු වන්නම’ හඳුන්වාදීමට කැමැත්තෙමි. මේ නවකතාව මඟින් ලේඛකයා ප්‍රකට කරන මානවහිතවාදී ජීවන දෘෂ්ටිය ද භාෂාව පරිහරණය කිරීමේ සමත්කම මෙන් ම අත්දැකීම නිර්මාණාත්මක ලෙස පරිකල්පනයට ගොනු කිරීමේ සමත්කමද සිංහල ප්‍රබන්ධ කලාව නව තලයකට ඔසවා තැබීමට ඔහු සතු කුසලතාව පෙන්නුම් කරයි. කිසියම් අරමුණක් වෙනුවෙන් ජීවිතය පරදුවට තබන මිනිසුන්ගේ සිත්සතන් ක්‍රියාත්ම වන ආකාරය චිත්රණය කිරීමට දක්වන හැකියාව ඔහු ජීවිතය ඇසුරෙන් මනා පන්නරයක් ලැබූ ලේඛකයකු බව කියාපාන කදිම සාක්ෂියකි. එසේම ජීවිතයේ අර්බුදකාරී ගැටලුවක් හමුවේ මිනිසා සතු සැඟවුණු ආත්ම ශක්තියත් ඉස්මතු වන ආකාරයත් එය මනා ලෙස කළමනාකරණය කිරීමෙන් ජීවන ඉලක්ක ජය ගතහැකි අයුරුත් මනා සංයමයකින් යුතුව නිරූපණය කරන ‘කැන්ගරු වන්නම’ පාඨක ප්‍රජාවගේ ජීවිත පරිඥානය පුළුල් කිරීමට දායක වන නවකතාවක් ලෙස ද හඳුන්වා දීමට හැකිය.
කමල් පෙරේරා